ඔබේ දරුවා කොහෙවත් එක්ක යන්න බැරි තරමට දඟයෙක් ද?

කොහෙවත් එක්ක යන්න බැරි තරම් දඟ කරන පොඩ්ඩෙක් නිසා ඔබත් කරදරයට පත් වෙලා ද?

අධි ක්‍රියාකාරී දරුවන්ට නම් ප්‍රතිකාර තිබෙනවා. ඒත් බොහෝ වෙලාවට ඔබේ දරුවා එහෙම විශේෂ අවශ්‍යතාවයක් නැති ඒත් දඟ මල්ලක් වෙන්න ඇති. ගෙදරදී දඟ කළත් පිට ගෙදරකදී කරදරකාරී හැසිරීම් දක්වන්න දරුවාට ඉඩ තියන්න එපා.

අමුත්තෙකුගේ ගෙදරට ඇතුළු වෙනකොට පාවහන් ගලවන්න, පුටු උඩ නටන්නේ නැතුව සන්සුන්ව ඉඳගෙන ඉන්න, කෑම ඉහිරවන්නේ නැතුව ආහාර ගන්න දරුවට ගමන යන අතරම මතක් කරන්න. සමහර කුඩා දරුවන් බිඳෙන කෝප්ප, පිඟන් වල ආහාර පාන ලබා ගන්න ගිහින් ඒවා බිඳින අවස්ථා ඕන තරම්. එහෙම වුණාම “අනේ ඔහොම්මයි.. හරිම දඟයි” කියලා ඔබ ෂේප් වුණත් ඒ කැඩුණු දේවල් ගැන ගෘහණියට දුක හිතෙන්න පුලුවන්. ඒ නිසා වීදුරු හෝ පෝසිලේන් පිඟන් කෝප්ප පරිහරණය ඔබේ පොඩ්ඩට අමාරු බව ඔබ දන්නවා නම් නොබිඳෙන බඳුනක එයාගේ ආහාර ලබා දෙන්න ගෘහණියට කලින්ම මතක් කරන්න.

පිටස්තර නිවසකට ගියාම ඒ ගෙදර බබාගේ සෙල්ලම් බඩු අදින්න, කඩන්න ඔබේ දරුවා උත්සාහ දරන්න ඉඩ තියනවා. අන්න ඒ නිසා දරුවා කැමතිම සෙල්ලම් බඩුව යන තැනක අරගෙන යන්න. අලුත් සෙල්ලම් බඩු ඉල්ලලා පෙරළි කරනකොට එයාගේ ආසම සෙල්ලම් බඩුව අතට දීලා නළවා ගන්න ඔබට හැකි වේවි.

තවමත් දරුවාගේ ආහාර රටා වෙනස් නම් ඔබ යන නිවසේ දරුවාට ගැලපෙන ආහාර හදා ගන්න ඔබට හැකියාව තියනවද කියලා හොයලා බලන්න. එහෙම හැකියාවක් නැත්නම් බබාගේ කෑම හදාගෙන අරගෙන යන්න. දරුවා ශරීර කෘත්‍ය කරන්න පිටස්තර තැනක මැලි වෙන්න පුලුවන්. ඒ වුණත් එළිමහනේ ඒ දේවල් කරන්න දරුවා යොමු කරන්න එපා.

දරුවාට ඔබේ කතා වලට මැදිහත් වෙන්න, ඒවා අහගෙන ඉන්න ඉඩක් දෙන්න එපා. වෙනත් දෙයක් සඳහා යොමු කරන්න. වැඩිහිටියන්ගේ කතා වලට මැදිහත් වෙන දරුවන් ගැන පිටස්තර අය නොරිස්සුමෙන් බලන්න ඉඩ තියනවා. අනිත් දේ ඒ ගෙදර පරිසරය බොහොම නිශ්ශබ්ද එකක් නම් කෑකෝ ගහන්න දරුවාට ඉඩ දෙන්න එපා. ක්‍රමවත් ගේට්ටු නැති මහ පාරට ආසන්න, අනාරක්ෂිත ළිං ඇති, ලිස්සා යා හැකි තැන් ඇති, සර්පයන් ගැවසෙන නිවසකට ගියොත් දරුවාට වැඩි අවධානයක් දෙන්න.

පිටස්තර ගෙදරකට ආවම හැම දෙයක්ම ඇද ඇද බලන දරුවන්, මහ හයියෙන් රූපවාහිනී ක්‍රියාත්මක කරන දරුවන්, මිදුලේ මල් ගස්වල මල් කඩමින් ඒවාට හානි කරන දරුවන්, එකට එක කියන මරහඬ තලන, සමහර වෙලාවට අසභ්‍ය වචන කියන දරුවන් අනිත් අයගේ අප්‍රසාදයට ලක් වෙන බව අමතක කරන්න එපා. දරුවා දඟ වැඩක් කරොත් එය වීරකමට අරගෙන හිනා නොවී ආදරෙන් හෝ මඳක් සැර කරලා පිටස්තර තැනක හැසිරිය යුතු අන්දම දරුවාට සිහිපත් කරන්න.

ඔබේ දරුවන් දඟ මල්ලක් වීම ඔබට මහත් සතුටක් වුවත් අනිත් අයට එය කරදරයක් විය හැකි අවස්ථා ඕනෑ තරම් බව අමතක කරන්න එපා..

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles