මල්සර හී සර – 28

0
1668

“ආන්ටි දැන් බෙහෙත් අරගත්ත එකේ පොඩ්ඩක් නිදාගන්න, ආන්ටිට කකුලෙ අමාරුවටත් වඩා ඇත්තෙ බිම වැටිච්ච වෙලේ ඇඟ පත වැදිච්ච අමාරුව” කියලා සමුද්‍ර තමන්ගෙ වාහනේ ඉස්සරහ සීට් එක හොඳටම පල්ලෙහට දාලා නන්දා නැන්දම්මට කකුල දික්කරගෙන පහසුවෙන් යන්න වැඩේ හදලා දුන්නා. හරිනම් ඩ්‍රයිවින් සීට් එකට ඇවිල්ලා වාහනේ දක්කගෙන යන්න ඕන තමන් වුණාට ඇස් දෙක කරකවල සුමල් කිව්ව කතාව දැක්කම සුමල් ඩ්‍රයිවින් සීට් එකට එන විත්තියත්, තමන් යන්න ඕන පස්සෙ සීට් එකට විත්තියත් සමුද්‍ර තේරුම් ගත්තා. ඒ විදියට තමයි සමුද්‍ර පස්සෙ සීට් එකට ඇවිල්ලා සප්තමී ළඟ වාඩි උනේ.

කකුල් හොඳටම ඇමැට්ටි වෙලා ඉදිමිච්ච පාර බේත් දාලා වෙලලා, වේදනාව නැතිවෙන්න දුන්න පේන් කිලර්ස් වලට නන්දා උන්නේ නින්ද යන්න ඔන්න මෙන්න. වේදනාවයි නිදිමතයි එක්ක නන්දා උන්නෙ පිටිපස්සෙ වෙන්නෙ මොනවද තියා ඉස්සර සීට් එකේ වෙන්නෙවත් මොනවද කියල හිතාගන්න බැරි තත්ත්වෙක. අම්මා නිදාගෙන ඉන්න විත්තිය දැනගෙන උන්නට සප්තමීට බයක් සැකක් නැතුව සමුද්‍ර එක්ක කතාකරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. එදා දියතෙ ඉඳන් එද්දිත් අම්මා සද්ද නැතුව ඉඳලා පස්සෙ ඔක්කොම දේවල් දැක්ක ගාණට තමන්ව අල්ලගත්ත එකෙ අදත් එහෙම දෙයක් වෙන්න පුලුවන් නේද කියන එකත් සප්තමීට මතක තිබ්බා. ඒ වුනාට සමුද්‍ර නම් හිටියෙ ඕන දෙයක් වෙද්දෙන් කියල හිතාගෙන සප්තමී එක්ක කතාකරන්න හිතාගෙන. කොහොමත් ගෙවල් වලට යන්න පැය තුනක් හතරක් යන එකේ කතා කරන්න ඕන තරම් පුලුවන්කම තියෙන එක සමුද්‍ර දැනගෙන හිටියා.

“හිතුවෙ නැති දෙයක් වෙච්ච එකෙන් ඔයාට නේද ලොකුවටම කරදර?” කියල සප්තමී හීන් සැරේ අහද්දි සමුද්‍ර කරේ අර ලස්සන හිනාව මූනෙ ඇඳගෙන කලු පාට ඇස් දෙකෙන් සප්තමී දිහාව ආදරෙන් බලපු එක. පිටිපස්සෙ වෙන්නෙ වෙනම මංගල්ලයක් කියල දන්න හන්දම සුමල් කෝකටත් කියල ඇස් දෙක ඉස්සරහටම තමයි අලවගෙන උන්නෙ. ඒ යන ගමන් අතරින් පතර නැන්දම්මා නැගිටලද කියලත් බලාගෙන තමයි මිනිහා ගියේ.

“මට නම් කිසිම කරදරයක් නෑ, අම්මාට වෙච්ච දේයි මට අවුල්. කකුල් මං හිතන්නෙ බිම තියන්න වෙන්නෙ නෑ තව සති ගාණකට නේද?”


“ඒකනෙ, අම්මට අනික ආතරයිටිස් වගෙත් ටිකක් තිබ්බ හන්දා කොහොමත් තව අමාරු ඇති. මං මේ කල්පනා කලේ දැන් ගෙදර ගියත් අම්මව කොහොමද උඩ තට්ටුව එක්කරගෙන යන්නෙ කියල, අපේ හවුසින් ස්කීම් වලට ලිෆ්ට් එහෙමත් නෑනෙ” 

“ඕක ප්‍රශ්නයක්ද ළමයො, මං මේ ජිම් ගිහිල්ලා ඇඟ එහෙම හදාගෙන තියෙන්නෙ මොකට කියලද ඔයා හිතන්නෙ?”

“ලයින් දාන කෙල්ලන්ගෙ අම්මල බිම වැටුණව උස්සන්නද?” කියල සප්තමී ජාඩියට මූඩිය වගේ උත්තර දෙද්දි සමුද්‍ර කරේ ඇස් දෙක හීනි කරලා “අනේ මේ” කිව්ව එක.

“හැබැයි එක අතකින් එහෙම වෙච්ච එක හොඳයි නේද? අම්මා වැටිච්ච එක පව් තමයි. ඒ උනාට එහෙම උනේ නැත්තම් මෙහෙම කතාකරන්න තියා මට ඔයා දිහා බලන්නවත් වෙන්නෙ නෑනෙ” කියල සමුද්‍ර හිනාවෙලා කියද්දි නම් සප්තමීට ඇත්තටම සමුද්‍ර පව් කියලත් හිතුනා.

“මං උදේ ඉඳල පිස්සු හැදිල වගේ හිටියෙ. කතාකරන්න තියා බලන්නවත් බෑනෙ. අනික මං උදේ ඔයාට කතාකරන්න එද්දි මං ආන්ටි එතන ඉන්නවා දැක්කෙ නෑ. මං ඔයාගෙ පිටට තට්ටු කල වෙලේ ආන්ටි නිකන් කන්න වගේ අනේ බැලුවෙ. අම්මා බැන්නද ඔයාට?”

“නෑ සමහරවිට ගෙදර ගිහිල්ලා බණින්න වගේද දන්නෙ නෑ උන්නෙ. ශූටින් හන්දද දන්නෙ නෑ අම්මා මුකුත් කිව්වෙ නෑ”

“ගෙදර ගිහිල්ලා බැන්නොත් ඔයා මට කියන්න හොඳේ. මං හිතන්නෙ දැන් නම් අපිට කරන්න තියෙන එකම දේ ඔයාගෙ අම්මල එක්ක කතා කරන එක විතරයි අප්පා. වෙන නම් සොලුශන් එකක් මට සෙට් වෙන්නෙ නෑ. ඒවයින් වැඩක් නෑ. ඔයාට නිදිමතද? නිදිමත නම් නිදාගන්න. අම්මා නැගිට්ටොත් මං කතාකරන්නම්” කියල සමුද්‍ර කියද්දි සප්තමී ඇත්තටම ඔලුව වැනුවෙ පුදුමාකාර නිදිමතක උන්න හන්දා. රඟපාන එක ලේසි කියල මිනිස්සු හිතාගෙන උන්නට රඟපාන මිනිස්සු තමා රඟපාන එකේ අමාරුව දන්නෙ කියල සප්තමීට හිතුවෙ තමන් ආස කරන මනුස්සය ළඟට වෙලා කතාකර කර යන්න පුලුවන්කම හම්බුවෙච්ච වෙලෙත් මේ කොහෙන්ද ආව මකර නිදිමතක් ඒකට හරස්වෙච්ච හන්දා. සප්තමී උරහිසට හේත්තු වෙලා පොඩි නින්දක් දාද්දි සමුද්‍ර කලේ ජනේලෙන් එලියෙ පේන පාර දිහා බලාගෙන කල්පනා කර එක. තමන් සප්තමී එක්ක කොච්චර විහිලු තහලු කර කර කතා කරත්, සම්බන්ධයක් මේවගේ විහිලුවෙන් තහලුවෙන් විතරක් ගෙවන්න බැරි විත්තිය සමුද්‍ර නොදන්නවා නෙවෙයි. මෙච්චර කාලෙකට මේ සප්තමිව හම්බුවෙනකම් තමන් සිල් රැක්කා කියල කිව්වෙ නැති උනාට කැම්පස් යනකාලෙ තිබ්බ අෆෙයාර් එක ඉන් අවුරුදු කීපෙකට පස්සෙ නොගැලපීම් මත වෙන් උනාට පස්සෙ තමන් එහෙම කිසිම කෙල්ලෙක් එක්කා සිරා සම්බන්ධයක් හදාගන්න හිතුවෙ නැති එක ඇත්තක්. අම්මා නිතරම කියන විදියට “අවුරුදු තිහ වෙද්දිත් කසාද බඳින්න අදහසක් නෑ කියන්නෙ පුතේ ඒක මට නැතත් රටේ ලෝකෙ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්” කියන එක හිත අස්සෙ වද දුන්නට සප්තමී කියන්නෙ එහෙම රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් කතා අහන එක නැතිකරගන්න යොදාගත්ත ඇමක් නෙවෙන විත්තිය දන්නෙ තමන් විතරනෙ. අනික මේ ඉන්ඩස්ට්‍රි එක ගැන සමාජෙ මිනිස්සු අහල තියෙන කතන්දර වල හැටියට සප්තමීලගෙ මව් දෙමව්පියො උනත් ඒ ලෙවල් එකෙන් තමන් දිහා බලන එක වැරදි නෑ කියල සමුද්‍ර හිතුවා.

ඒ හැමදේම හිතුවෙ උරහිසේ ඉඳන් වැටෙන්න ගිය හන්දා තමන්ගෙ උකුල උඩින් පරිස්සමට හාන්සි කරවපු සප්තමීගේ සිල්ක් වගෙ කෙස් අස්සෙන් තමන්ගෙ ඇඟිලි සනීපෙට යවන ගමන්. සප්තමී උන්නේ ඒ සනීපෙ විඳින ගමන් හීන් සැරේ හොඳ නින්දකට වැටෙන ගමන්. මේ ගමන අමාරු බව ඇත්ත උනත් සමුද්‍රගෙ අත තමන්ගෙ ඔලුවට උඩින් මේ වගේ රැඳිල තියෙද්දි ඒ ගමන යන්න බය වෙන්න ඕන නෑ කියන එක තමයි බාගෙට නින්ද යාගෙන එද්දිත් සප්තමී හිතුවෙ.

පැය තුනකට හතරකට කිට්ටු ගමනකට පස්සෙ සප්තමීලගෙ නිවාස සංකීර්ණෙට කිට්ටු වෙද්දි අම්මල දූලා ඔක්කොම උන්නෙ ඇහැරිලා. නන්දා අමාරුවෙන් උනත් “තාත්තට කතාකරල එන්න කියන්න පල්ලෙහට බබා, මං කොහොමද නැත්තම් උඩට යන්නෙ?” කියල කිව්ව හන්ද සප්තමී තාත්තට කතා කරාට අම්මව උස්සගෙන තට්ටු දෙක තුනක් උඩට නගින එක තාත්තටත් කරගන්න බෑ කියන එක දැනගෙන උන්නට සමුද්‍රගෙන් ඒකට උදව්වක් ඉල්ලන්න සප්තමී බය උනේ ඔක්කොටම වඩා අම්මා එතන උන්නු හන්දා.

“මෙයානේ අන්තිමේ රඟපාන්න ගිහින් තියෙන්නෙ” කියාගෙන විහිලුවක් කරගෙන ඉස්සරහට ආවට මොකෝ ජයබාහු මහත්තයගෙ මූණෙ ඇඳිලා තිබ්බෙ ආදරේ මුහුවෙච්ච වේදනාවක් කියන එක දකින්න පිටස්තරයෙක් වෙච්ච සමුද්‍රටත් බැරි උනේ නෑ. “තාත්තා වගේ කෙනෙක්ව” හොයන දුවෙක් මේ ගෙදරත් ඉන්න පුලුවන් විත්තිය සමුද්‍රගෙ හිත ඇත්තටම තේරුම්ගත්තෙ ආං ඒ වෙලාවෙ.

“හරි වැඩේනේ අංකල් උනේ. හොඳ වෙලාවට දවල් වරුවෙ හන්දා ඩොක්ටර් කෙනෙක් හොයාගන්න පුලුවන් උනා. රෑක වගේ උනානම් අපි අනාතයි” කියල සමුද්‍ර කියද්දිත් මාමණ්ඩි කරේ ජිප් එකේ ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා ඇඬුම් බර මූණකින් තමන් දිහා බලන් ඉන්න නෝනා මහත්තය දිහා බලන එක.

“මං ඒත් කිව්ව පුතා මේ ඔය ගමන යන්න එපා කියල. කොහෙද පැනගෙන යන්නෝන උනානෙ. අවුරුදු පණස් ගාණක් උනාට මෙයාල හිතන් ඉන්නෙ වොන්ඩර් වුමන් කියල. මං ඒත් කිව්ව රඟපාන්නෙ කෙල්ල වෙච්ච එකේ ඒකෙ අඩුපාඩු බලන්න යන්නෙ ඔයා මොකෝ මේ මාලිනී ද කියල”

“මාලිනී කිව්වෙ අංකල්?” කියල ඇහුවෙ සුමල්.

“මාලිනි ෆොන්සේකා” කියල ජයබාහු අංකල් හිනාවෙද්දි සමුද්‍ර නම් හිනාව ගානට මැනේජ් කරගත්තට මොකෝ සුමල් කාරයට නම් බකස් ගාලා හිනාව එලියට පැන්නා.

“වැටුණයින් පස්සෙ මෙයා මොකෝ බෙරිහන් දුන්නද?” කියල ජයබාහු අංකල් අහද්දි සමුද්‍ර වෙච්ච සිද්දිය කියන්න කට ඇරියට ඒකට උත්තර දුන්නෙ සුමල්. 

“නිව්ස් වලට කියාවි අංකල්”

“මොකද්ද?”

“ආණමඩුව පැත්තෙන් විසාල සබ්දයක් ඇහිච්ච විත්තිය”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here