සාමාන්‍යයෙන් මහගෙදර පැමිණි විට යුගාත්ම යළි කොළඹ යන්නේ දවසක් දෙකක් නතර වී හිඳ ය. නමුත් අම්මා ගේ අසනීපය ගැන ආරංචිය මත පැමිණි ඔහු ඒ සැඳෑවේ ම කොළඹ යන්නට සූදානම් වූයේ ය. පළිඟු මැණිකේ කෙතරම් පෙරැත්ත කළ ද එදා ඔහු එහි රඳවාගත නො හැකි විය.
“වැඩ ගොඩයි අම්ම. මං ඒ සේරම තියල දුවං ආවෙ අම්මව හොස්පිට්ල් ඇඩ්මිට් කළා කියපු නිසා. හෙට උදේටනං කොළඹ ඉන්නම ඕන”
“ඉතිං පුතාට රෑ ඉඳල උදේ යන්න පුළුවන්නෙ”
කියා පළිඟු මැණිකේ කීවාට නතර වෙන හිතක් යුගාත්ම ට වූයේ ම නැත.
“බ්‍රාන්ච් එකක් නුවරත් තියෙන්නෙ. ඔය තරං හදිස්සියෙ දුවන්නෙ… කොළඹ මොනා දාල ආවටද…”
අන්තිමට අම්මා පුතා ට අභියෝග කළා ය. ඇගේ මුහුණෙහි වූයේ ඔහු ගේ හොරයක් අල්වාගත් බවට සාක්ෂියකි. යුගාත්ම ලස්සනට සිනහ වූයේ ය.
“මේක මේ එන්න හිටිය දවසක් නෙවේනෙ. ආයෙ එන්නංකො ඉඳල යන්න”
අම්මාගෙන් කෙසේ වතුදු අප්පච්චිගෙන් මූණ හංගාගන්නට ඕනෑ වූයේ ඇයි කියා ඔහු දන්නේ නැත.
යුගාත්ම ගේ රිය නො පෙනී යන තුරු ම තරුපති හා පළිඟු මැණිකේ බලා සිටියහ. තරුපති යළි ගෙතුළට හැරුණේ උගුර පාදමිනි. ඔහු ට කියන්නට යමක් වන වග පළිඟු මැණිකේ හැඳින්නා ය. සැබවින් තරුපති ට කියන්නට කතාවක් තිබෙන්නේ දින කිහිපයක සිටයි. ඊට පෙර ඇයට කියන්නට තිබෙනා දේ කිව යුතු යයි පළිඟු මැණිකේ ඉක්මන් වූවා ය.
“මට දැනෙන විදිහටනං පුතා කවුරුහරි ගෑනු ළමයෙක් හිතේ තියං ඉන්නව”
තරුපති අමුණුගම තිගැස්සුණේ ය.
“මැණිකෙට පුතා එහෙම දෙයක් කිව්වද…”
“මං කිව්වෙ මට දැනෙන හැටියට කියල. කිව්වෙ නෑ. ඒත් ඇයි අපෙ මහත්තය ඔච්චර ගැස්සුණේ මං එහෙම කිව්වහම… දෙයියංගෙ පිහිටෙන් එහෙම දෙයක් වෙනවනං අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද…”
“මැණිකෙට මොකද එහෙම දැනුණෙ කියල කියන්ටකො”
පළිඟු මැණිකේ ගේ රැළි නැගී ඇති මුහුණේ නිරායාස සිනහවක් නැඟිණි. අම්මා කෙනෙකුගෙන් පුතෙකුට සැඟවිය හැකි රහසක් නොවෙතැයි ඒ සිනහව නිහඬව කීවේ ය.
“එක සැරයක් මං අහගෙන කාගෙන්ද මන්ද කෑවද කින්ද මන්ද අහනව. ප්‍රමාද වෙලා නේද කියල දොස් කිව්වත් එක්ක”
“වැඩ කරන තැන කාටහරි වෙන්ටැති”
තරුපති ට ඕනෑ වූයේ ඒ සාමාන්‍ය කතාබහක් ලෙස මැණිකේට ද තමන්ගේ හිතට ද ඒත්තු ගන්වා ගන්නටයි.
“ආයෙ මං අහගෙන කෑම හදන තැනක ඕඩරයක් දානව. කෑම එකක් ගෙනියන්න කිව්ව තැන එවන්නං කියල”
“ආ… එහෙනං ඉතිං සාප්පුවක කාටහරි තමයි”
තරුපති වඩාත් නො සැලකිලිමත් බවක් පෙන්වන උත්සාහයක් ගත්තේ ය. නමුත් ඇත්ත ම ඇත්ත නම් ඔහු ගේ පිරිමි හදට ද අමුත්තක් දැනුණ බවයි.
“මං මේ නිදහස් වෙලාවක මැණිකෙට කියන්න කියල හිතහිත හිටියෙ”
තරුපති හාන්සි පුටුවෙහි වැතිරුණේ ය. පළිඟු මැණිකේ දොර පුටුවෙහි අසුන් ගත්තා ය.
“මොනාද අපෙ මහත්තය…”
“ජිතේගෙ දුව…”
මැණිකේ ගේ හිතේ ඈත කොනක- අතීත අකුණක් පිපිරිණි. ‘ඉතිං’ කියනා තරම්වත් උනන්දුවක් ඈ තුළ ඇති වූයේ නැත.
“ඒ කෙල්ලත් දික්කසාද නඩු දාලයි කියල අන්තිමට කතා කරපු වෙලාවෙ ජිතේ කිව්ව”
“අපිට මොකටද අනුංගෙ එව්ව”
මැණිකේ හොස්ස ගැස්සුවා ය. වෙච්ච හැම නස්පැත්තියකට ම මුල ඔය කෙල්ල යයි ඇගේ ගැහැනු හිත පුපුරුගසයි.
“නෑ ඉතිං අපේ හාදයත් ආයෙ කටයුත්තක් කරගන්න ඕන එකේ…”
“නෑ නෑ ඒකනං වෙන්නෑ”
පළිඟු මැණිකේ චීන පටස් එකක් වාගේ පුපුරා නැගිට්ට විදිහට තරුපති ගැස්සී ගියේ ය. එහි ඇති වරද කුමක්ද කියා ඔහු ට සිතාගත හැකි වූයේ ද නැත.
“තීන්දුවක් වෙලා තියෙද්දිත් වෙන මිනිහෙක් එක්ක පැනල ගිය ගෑනිනෙ ඔය. කී දෙනෙක්ට ගින්දර දුන්නද… අන්තිමට එයාට පලදෙන්න ඇත්තෙත් ඒකම තමයි”
“මොකද්ද හැබෑට ඔයාට මේ වෙලා තියෙන්නෙ… එහෙනං අපේ පුතා දික්කසාද වුණෙත් කාටවත් දීපු ගින්දරක් නිසාද… මනස්ගාත හිතල බහුබූත කියවන්න එපා”
“හැබැයි මහත්තයගෙ හිතේ මොකක් තිබුණත් ඒක වෙන්නෑ ඔන්න මං කිව්ව”
පළිඟු මැණිකේ ගස්සාගෙන ඇතුළු ගෙට ගියා ය. මඳ සිනහවක් නැගෙන්නට ආවත් තරුපති ඒ සිනහවට ඉඩ දුන්නේ නැත. ඔහු ගේ හිතට බරක් දැනෙමින් තිබිණ.
උදේ සිට ම ඇද හැළෙනා චුරු චුරු වැස්ස නිමා වන හැඩක් වූයේ නැත. බෝ වෙලාවක් වෙහෙස වී වැඩ කිරීමෙන් පස්සේ අන්තරා පරීක්ෂණ කාමරයෙන් නික්මුණේ හිත එකඟතාවයකට පත් නොවෙනා බව දැනුණ නිසාවෙනි. ඇතුළාන්තයෙහි වන්නා වූ නො සන්සුන් බව යටපත් කරගන්නට ඇය කිහිප වරක් ම උත්සාහ කළා ය. නමුත් අප බලෙන් අමතක කරන්නට හෝ යටපත් කරන්නට උත්සාහ කරන සිදුවීම් වැඩි වැඩියෙන් හිත මතුපිටට පැමිණෙන එක ස්වභාවයයි. යුගාත්ම විසින් ඇගේ අනුදැනුමකින් තොරව එවනා ලද දිවා ආහාරය භුක්ති විඳීමෙන් අනතුරුව වුව අන්තරා ට එය අමතක කළ හැකි වූයේ නැත. විටින් විට හුම්මානයක් වාගේ අනියත හැඟුම් ධාරාවක් හදවතින් නැගී ආවේ ය. විටෙක හදමඬල ම බුර බුරා නැගෙනා ගිනි ජාලාවකට හසු වෙන්නා සේ දැනිණ. ඕ කෝපි එකක් තනාගෙන බරාඳයට ආවා ය.
ගෙදර එන්නේ කවර වෙලාවකදැයි දැනගන්නට කිශෝරි ඇමතුමක් දුන්නා ය.
“වහිනවනෙ. ඔයා එන්නෙ කොහොමද… අප්පච්චි අහනව එක්කං යන්න එන්නද කියල”
කිශෝරි ඒ ඇමතුම ගත්තේ ද ජිතේන්ද්‍ර ගේ වදයටයි.
“තාම මං වැඩ අම්ම. හරියටම වෙලාවක් කියන්න බෑ. අප්පච්චිට කරදර වෙන්නෙපා කියන්න. මට ටැක්සි එකක් දාං එන්න පුළුවං”
ගෙදර යන්නට වුව නො සිතෙන බරක් අන්තරා ගේ හදවත මත පැටවී තියේ. නමඅත් රාත්‍රියට එහි ගොස් නිදනා එක අම්මා අප්පච්චි ගේ හිත් පහසුවට හේතුවක් නිසා එහෙම කළ යුතුව තියේ. අන්තරා කිහිප විටක් ම දුරකතනය ගෙන බැලුවා ය. ඇමතුමක් මහැරෙන්නට ඇත්දැයි දෙගිඩියාවට ලක් වෙමින් සිටියා ය. පාරින්දි ට දුරකතන ඇමතුමක් ගත්තා ය. යුගාත්ම නුවර ගිය බව පමණක් ඇය ද දැන සිටියා ය. කෑම එකට ස්තූතියි කියන්නට ඔහු ට ඇමතුමක් ගන්නට ද නො සිතුණා නොවේ. නමුත් හොඳ යාළුවන් ස්තූතියි නො කියන බව ඇය දැන සිටියා ය. එය හදවතේ පැවතිය යුතු දෙයකි. හදවතට දැනිය යුතු දෙයකි.
බෝ වෙලාවක් එකල මෙකල වෙමින් හිඳ ඕ ත්‍රාරෝද රියක් ඇනවුම් කළා ය. කඩින් කඩ වහිනා වැස්ස ද ලිස්සන සුළු පාර ද මාර්ග තදබදය ද නිසා එය ගෑටුවේ ය. අන්තරා ඊට කැමති වූවා ය. ඇය ට ඕන වී තිබුණේ කුමක් ද කියා ඇය ම වුව දැන සිටියේ නැත. ත්‍රීරෝද රියක පසුපස අසුනේ මැදට වන්නට තනිව හිඳ, දෙපස ඉටිරෙදි තිර නිසා අඳුරු වී ඇති පසුබිමක හුදෙකලාවේ, රියෙහි ඉටි රෙදි වහලය මතට මොරගෙඩි වාගේ වැටෙනා වැහි හඬ අසමින්, කාලය ගැන නිනව්වක් නැතිව හිතත් එක්ක තනි වී හිඳිනා ගැහැනිය දෙස නොබලා, ඇය තේරුම් ගන්නට උත්සාහ නොකර ම සිටියා ය.
ලෙදර් බෑගය තුළ වූ ජංගම දුරකතනය හැඬවිණ. අප්පච්චී හෝ අම්මා වෙන්නට ඇත යන සිතිවිල්ලෙන් ඈ ඒ ඉවතට ගත් මුත් තිරය මත වූයේ යුගාත්ම ගේ නමයි. අන්තරා මඳ හදිස්සියකින් දුරකතනය සවනට ගත්තා ය.
“යුගාත්ම…”
“කොහෙද ඔයා… ගෙදරද…”
“ගෙදර යන ගමං යුගාත්ම. ට්‍රයිශෝ එකේ. වහිනව අනේ. ඔහෙටත් වහිනවද…”
ඔහු ගේ මුව මත හසරැල්ලක් නැඟිණ.
“කොයි හරියෙද දැන් ට්‍රයිශො එක… ඔයාට ගෙදර යන්න හදිස්සිද…”
“ම්… හදිස්සියක් නෑ ඉතිං”
එහෙම කීවේ ඇයි කියා ඇය ම දන්නේ නැත. අම්මා හා අප්පච්චි ඈ ඉක්මනින් ගෙදර එනතුරු බලා හිඳින බව ඒ මොහොතේත් ඇයට සිහිපත් විය.
“චුට්ටක් ඔය ඩ්‍රයිවර්ට ෆෝන් එක දෙන්නකො”
අන්තරා එසේ කළේ කුමක් සිදුවෙන්නට යනවාද කියා නිනව්වක් නැතිවමයි. අවසන රියැදුරු අතුරු මගක් ඔස්සේ රිය හරවාගෙන කොහෙන්දෝ මන්දා ඉගිළ ගියේ ය.
“සර් ළඟ ඉන්නෙ මිස්. මං විනාඩි පහෙන් එතනට දාන්නං”
කීවා සේ ම එසේ සිදු විය. ලොකු කුඩයක් දිගැරගෙන මග නතර කොට තිබූ රියෙන් බට යුගාත්ම, අන්තරාට පෙර ත්‍රීරෝද රියට මුදල් ගෙව්වේ ඔහු ගේ උරහිසකට තට්ටුවක් දමමිනි.
“තෑන්ක් යූ මල්ලි”
ඔහු ඉතිරි මුදල හෝ නො ගත්තෙන් ත්‍රීරෝද රියදුරා සතුටෙන් නික්ම ගියේ ය. යුගාත්ම ගේ ලොකු කුඩය යට හිඳි අන්තරා ගේ දෑස් ඒ මන්දාරමේත් දිළිසිණ.
“මං හිතුවෙ ඔයා අද නුවර ඉන්නව කියලයි”
“අම්මගෙනුත් බේරෙන්න බැරි වුණා ඉන්න කියල. ඒත් එන්නෝනෙ කියල හිතුණ”
ඔහු රිය දොර හැර, වැහි දිය බිඳක් හෝ පතිත නොවන සේ ඇයව රියට ගොඩ කරවූයේ ය.
“අනේ ඔයා කරදර වෙලා ලන්ච් ඕඩර් කරලත් එක්ක”
“නැත්තං කම්මැළිකමට දවල්ට නොකා ඉන්නවනෙ… තේ එකක් බොමු නේද…”
ගෙදර ගිහින් තේ එකක් බොමු යයි කියන්නට තිබුණා නම් අන්තරා කැමති ය. නමුත් මිතරෙකු ලෙස හෝ පිරිමියෙකු එලෙස ගෙදරට කැටිව යාම ගැන අප්පච්චී උදහස් වන්නට බැරි නැති බව අන්තරා දනී.
“මට තේ එකක් බොන්න ඕන වෙලා තිබුණෙ. තනියම කම්මැළි නිසයි ඔයාව ගෙන්නගත්තෙ”
“අනේ හරි නරකයි අනේ. මං හිතුව නුවරින් මොනාහරි ගෙනත් කියල මටයි පාරිටයි”
“ඇවකාඩෝ ටිකක්නං ගත්ත මතක් වෙලා. බහිනකොට දෙන්නං”
ඒ කලබල හෝරාව තුළ තේ පානය වඩා උණුහුම් හා තිගැස්මෙන් සපිරි වූයේ ය. නො නවතින මඳහසකින් අන්තරා ගේ මුව පොපියමින් තිබිණ. දෑස් දිළිසෙමින් තිබිණ.
යුගාත්ම වෙත වූයේ ජයග්‍රාහී සතුටකි. දවස අවසාන වෙන්නට පෙර ඈ දකින උවමනාවක් ඔහු ගේ පිරිමි පපුව හූරමින් තිබුණේ දවල් ගෙදර ගිය වෙලාවේ පටන් ය. ඒ වෙනුවෙන් ඔහු කළ සැලසුම් සියල්ල අවසාන මොහොතේ හෝ සාර්ථක විය. තේ කෝප්පය බොන්නට ඔහු වෙනදාට වඩා බෝ වෙලාවක් ගත කළේ ය.
අන්තරා එතැනින් ත්‍රීරෝද රියක් ඇනවුම් කළා ය. වෙන් වෙන්නට බැරි ලෝභී හැඟීමක් දැනෙමින් තිබිණ.
“හෙට ලන්ච් වලට ඔය දෙන්න අපේ ගෙදර එනවද…”
අන්තිම මොහොතේ ඇය ඇසුවා ය.
“එතකොට ඔයාගෙ වැඩේට ඩිස්ටර්බ්”
“නෑ මං උයන්නෑ. ඕඩර් කරල ගෙන්නන්නං”
“එහෙනං අපි එනකොට අරං එන්නං”
“හ්ම්”
ඔහු ඇයව ත්‍රිරෝද රියට ගොඩ කළේත් ලෝභී හදක් දරාගෙනයි.