සීත අරණේ සුපුල් නා මල – මාලිනී ෆොන්සේකා ගැන ඔබ නොදත් බොහෝ දේ


“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,”

මාලිනිය පිළිබඳව ඇත්ත මෙයාකාරයෙන් වදන් කරන්නේ භූපති නලින් ය. සැබවින්ම ඒ කතාව කොපමණාකාරයේ ඇත්තක්ද කියන එක අපි අමුතුවෙන් කිව යුතු නොවේ. මාලිනිය වනාහී සැබවින්ම රැජිණියකි. ඇය වන් රැජිණියන් ඉන්පසු බිහිවුණේද, බිහිවෙන්නේද නැත.

ඉතින් අද Smartlady මේ ලිපිය වෙන්වන්නේ ඒ අසහාය රංගන ශිල්පිණිය, සිංහල සිනමාවේ නිළි රැජිණිය – මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නමිනි.

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා උපදින්නේ 1947 අප්‍රේල් 30 වන දින කැලණියේදීය. ඇගේ දෙමාපියන් වූයේ ගිල්බට් සහ සීලවතී ෆොන්සේකා ය. මුලින්ම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මාලිනිය පසුව කැලණියේ ගුරුකුල විද්‍යාලයට උසස් අධ්‍යාපනය සඳහා ගියාය. මාලිනීගේ රංගනයට ඇති ඇල්ම ඇය තරුණ වියේදී ආරම්භ වූවකි. ඇගේ පළමු වේදිකා රංගනය 1963 දී නොරත රත නම් වේදිකා නාට්‍යයෙන් ඇරඹෙද්දී ඇය වයස අවුරුදු 16ක සුහුඹුල් කෙල්ලක විය.

1968 දී, අකල් වැස්ස නාට්‍යයේ ඇගේ චරිතය වෙනුවෙන් ඇය ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිළිය සම්මානය දිනා ගත් අතර එම වසරේම, ඇය තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද පුංචි බබා චිත්‍රපටය සමඟ චිත්‍රපට කර්මාන්තයට පිවිසියාය. ඒ වනාහී ඇයට පමණක් නොව සිංහල සිනමාවේ උන්නතිය උදෙසාද සිදු වූ විශිෂ්ට ගමනක ආරම්භය ලෙස සඳහන් කරන්නට අපිට හැක.

1970 දශකය සිංහල සිනමාවට ස්වර්ණමය යුගයක් වූ කාලයක් විය. ඒ යුගය වනාහී චිත්‍රපට වඩාත් කලාත්මක, විනෝදාත්මක, වෙමින් පැවතුන යුගයකි. මාලිනී රැඳි උන්නේ ඒ උද්‍යෝගිමත් වෙනසෙහි කේන්ද්‍රස්තානය වෙමින් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඇය රඟපෑ සෑම චරිතයක්ම මාලිනිය භාරගත්තේ රඟපෑමක් ලෙස නොවේ. ඇය ඒ චරිත අස්සේ ජීවත් වුණාය. හැඬුවාය. පෙම් කරාය. විරහවේ කඳුලු සටහන් තම රෝස පැහැ සියුමැලි කම්මුල් මත තවරාගත්තාය. එනිසාවෙන්ම සමස්ත ලාංකේය ප්‍රේක්ශකයා උන්නේ ඒ රුවටත්, රඟපෑමටත්, මාලිනිය තුළින් දුටු සැබෑ ශ්‍රී ලාංකේය කාන්තා සලකූණත් ප්‍රේමයෙන් වැළඳගනිමිනි.

චිත්‍රපට 140 කට අධික සංඛ්‍යාවක මාලිනිය රඟපෑ චරිත ප්‍රමාණය අතිමහත් ය. විටෙක ගැමි කතක් ලෙසද, තවත් විටක ඉහළ පැළන්තියේ කාන්තාවක් ලෙසද, පෙම්වතුන්, මව්වරුන් වෙමින්, කැරළි කරුවන්, සිහින දකින්නන් වෙමින් ද මාලිනිය ලාංකේය සිනමාව වඩ වඩාත් පෝෂණය කරනු පිණිස තම රංගන මෙහෙවර ඉටු කළාය. නිධානය චිත්‍රපටයේ අයිරීන් ලෙසින්ද, තුශාරා චිත්‍රපටයේ තුශාරා ලෙසින්ද, බඹරු ඇවිත් චිත්‍රපටයේ හෙලන් ලෙසද මාලිනිය සැබවින්ම තමා නිළි රැජිණක් ලෙස ඔප්පු කරනු වස් මහා රංගන වපසරියක් ආවරණය කරාය.

1975 දී, 9 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී, ජාත්‍යන්තර සම්මානයක් ලැබූ පළමු ශ්‍රී ලාංකික නිළිය බවට මාලිනිය පත්වන්නේ ඒ රංගන කෞශල්‍ය නිසාවෙනි. රඟපෑමෙන් පමණක් නතර නොවුණ මාලිනි ෆොන්සේකා, සසර චේතනා, අහිංසා සහ ස්ත්‍රී චිත්‍රපට ඔස්සේ චිත්‍රපට අධ්‍යක්ශණය අංශයටද පියවර තැබූ බව ඇත්තකි. සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.

ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය, මාලිනිය රඟපෑ පළමු ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ චිත්‍රපටය ලෙස හැඳින්විය හැක.ඒ පිළිබඳව කොලිවුඩ් නිළි සත්‍යප්‍රියා වචන කරන්නෙ මෙවන් අදහසකිනි.

“මම, ශ්‍රීදේවි සහ මාලිනී ෆොන්සේකා, පයිලට් ප්‍රේම්නාත් කාලේ ශ්‍රී ලංකාවේ හිටියා. ඇය හරිම මිහිරි හා මිත්‍රශීලී කෙනෙක්. අපිට හොඳ මතකයන් කිහිපයක් තිබුණා. මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ මම ඇයව මුණගැහෙන්න උත්සාහ කළා. ඇය මට දුරකථනයෙන් කතා කළා. නමුත් ඇගේ අසනීප තත්ත්වය නිසා (මම හිතන්නේ) කිසිවෙකු දැකීමට ඇය කැමති වුණේ නැහැ. දෙවියන් වහන්සේ ඇගේ ආත්මයට සාමයෙන් සැතපෙන්න සලස්වත්වා” යනුවෙනි.

රූපවාහිනිය පැමිණීයේ ඉන් පසුවය.

 සිනමාව දිග්විජය කල මාලිනිය රූපවාහිනිය දිග් විජය කරේත්, ශ්‍රී ලාංකේය ප්‍රේක්ශක හදවත් නැවතත් අතික්‍රමණය කරාය.. ‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’, යන ටෙලි කතන්දර ඔස්සේ මාලිනී ඇගේ කලා හැකියාවට සීමාවන් නොමැති බව ඔප්පු කළාය.

වසර ගණනාවක් පුරා, ජනාධිපති සම්මාන, විශ්ව විද්‍යාල ගෞරව සම්මාන, SIGNIS සම්මාන ඇය සොයා ආ බව ඇත්තක් නමුත් ඒ සියල්ලටම වඩා, ඇයට ආදරය කල ප්‍රේක්ශක ජනතාව ඇයට දිය හැකි ඉහළම ගෞරව සම්මානය වන “සිංහල සිනමාවේ නිළි රැජිණ” විරුදාවලිය ඇය වෙත ලබා දුන්නාය.

යමෙකු රැජිණක් වන්නේ කෙසේද? චිත්‍රපට විචාරක භූපති නලින් පවසන්නේ “තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.” ලෙසය.

අද පවා, අපි ඇයව සිහිපත් කරන්නේ ඇගේ සුන්දරත්වය හෝ කීර්තිය සඳහා පමණක් නොව –  ඇය ඇගේ රංගන හැකියාව ඔස්සේ අපේ හදවත් ගර්භය ආක්‍රමණය කර ඒ සුන්දරත්වය නිසාවෙනි.

ඇය අඬන විට, අපි ඇඬුවෙමු. ඇය සිනාසෙන විට, අපි සිනාසුණෙමු. අද ඇය නොකියාම ගිය ගමනක් අපේ හදවත් මේ සා සසල කරවන්නට හේතු වන්නේද අප සමග ඇය බෙදාගත් ඒ සමීපත්වයයි. සමීපත්වයේ හැඟීමයි.

ඉතින් රැජිණියනි,

උයනක් පිරී පිපි මල්

අද පරවෙලා……

විහඟුන් ගැයූ ගී වැල්

අද නැති වෙලා……

ඔබට සුබ ගමන්!

Reference: https://www.bbc.com/sinhala/articles/c3rp4v4gx8zo

Related Articles

Don't Miss


Latest Articles