සුසුවඳ සූත්‍ර – අවසාන කොටස

0
1110

මාස තුනකින් යළි විදේශගත වීමට පෙර අම්මා යුගාත්ම ගේ භාරයට පත් වෙනවාට නූපුර කැමති වූයේ ය. ඔහු අතපොවන මානයේ නැති විට අම්මා යුගාත්ම ට මීට වැඩිය සමීප වනු ඇති බව ද ඔහු වටහාගෙන සිටියේ ය.

“එහෙම හදිස්සි වෙන්නනෝන් නෑ ඉතිං”

කියා ඇය ලැජ්ජාවට ළඟ සරකින් පැවසී ද, එහි වන්නේ විවාහය ගැන අකමැත්තක් නොවේ යන්න සියලු දෙනා වටහාගෙන සිටියහ. පළිඟු මැණිකේ මුලින් පොඩි විරෝධයක් පෑව ද යුගාත්ම අඩි පොළොවේ හැප්පීමත් එක්ක ඇය සිය විරෝධය හකුලාගත්තේ “අප්පච්චිල පුතාල ඕන දෙයක් කරගන්න එකයි ඇත්තෙ” කියමිනි. පුත්‍රයා ව අප්පච්චි වාගේ සිය මතයට නම්මාගත නො හැකි බව ඕ තොමෝ වටහාගෙන සිටියා ය. අනිත් අතට යුගාත්ම අන්තරාව විවාහ කරගැනීමට විරුද්ධ වීම සඳහා ඉදිරිපත් කරගත හැකි සාධාරණ සාක්ෂි නොමැති නිසා ඇයට අඩියක් පිටුපසට ගන්නට සිදු විය.

විවාහ උත්සවය ඉතා සරල එකක් වීම අන්තරා ගේ සේ ම යුගාත්ම ගේ ද කැමැත්ත විය. එය ඔවුන් ගේ දෙවන විවාහය වීමත්, ඔවුන් දෙදෙනා ම වැඩිහිටි දරුවන්ගේ දෙමාපියන් වීමත් මත, දරුවන්ගේ ගෞරවය රැකෙනා පරිදි සියල්ල සැලසුම් වූයේ ය.

විවාහ ලියාපදිංචියට පෙර දිනෙක අන්තරා හා නූපුර ද යුගාත්ම හා ඔහු ගේ දියණියන් දෙදෙනා ද එක්ව මුහුදුබඩ හෝටලයක දිවා කාලය ගත කළහ. ඒ හෝරා කිහිපය තුළ නූපුර ගෑනු ළමයින් දෙදෙනා සමගින් මිත්‍රශීලී වූයේ ය. ඔහු තුළ කුඩා කල පටන් නංගී කෙනෙකුට තිබූ කැමැත්ත ද, ගෑනු ළමයින් දෙන්නාට අයියා කෙනෙකු නොමැති වීමේ අඩුව ද ඔවුන් එක පවුලක් වීම තුළ පෑහී ගියේ ය. විදේශගත වී උසස් අධ්‍යාපන කටයුතු කිරීමට ගෑනු ළමයින්ගේ තිබූ අලුත් පරපුරේ ළමයින්ට ආවේණික ආශාව නිසා, ඔවුන්ට යුගාත්ම වටිනා වස්තුවක් සේ දැනිණ.

“අක්කිව තමයි ඉස්සෙල්ල යවන්නෙ. අක්කි ගිහින් ආවාම නංගි යන්න. අම්මිව තනියම දාල දෙන්නම යන්න බෑනෙ. අම්මිට කවුරුහරි ඉන්න ඕනෙ”

ඒ වෙලාවේ යුගාත්ම ඔවුන් ගේ අවධානය කවින්ද්‍යා වෙතට යොමු කරවූයේ ය.

නැටුම් පන්ති ගමන් වලදී අන්තරා සමග සුහද ව කතාබහ කළ ද, අලුත් විවාහය ගැන දැනගත් පසු කවින්ද්‍යා තුළ රිදුමක් ඇති නොවුණා නොවේ.

“මගෙ කෙල්ලො දෙන්නවත් යුගාත්මට ලං කළේ ඕක තමයි. අන්තිමට මේ අම්මණ්ඩි කෙල්ලො දෙන්නව මට නැති කරයිද දන්නෑ”

ඇගේ හිතේ එක පැත්තක් නැගී සිටිමින් මොර ගා කෑගෑවේ ය. නමුත් ඇය සිය සිතැඟි දියණියන් ඉදිරියේ හෝ දිගහරින්නට ගියේ නැත. පෙර දී වාගේ නොව ඇය යුගාත්මට දොස් පවරනවාට කැමති නැත. අන්තරා ඔවුන්ට යෙහෙළියක සේ ය. නමුත් ඇයට එක් දෙයක් නො කියා සිටිය නො හැකි විය.

“මරු තාත්ත. මෙච්චර ලොකු දුවල දෙන්නෙක් ඉඳගෙන ආයෙ කසාදයක් කරගන්න හදනව. ළමයින්ට ලැජ්ජ කරන්න…”

“මොකද්ද අම්මි ඒකෙ තියෙන වැරැද්ද…”

වැඩිමල් දියණිය වහා ම ප්‍රශ්න කළා ය.

“ඔය දෙන්න ඩිවෝස් වුණාට

“ඔය දෙන්න ඩිවෝස් වුණාට ඕගොල්ලොන්ගෙ ජීවිතේ එතනිං ඉවර වෙන්නෑනෙ. තාත්ති ආයෙ එයාට ගැළපෙන කෙනෙක් මැරි කරන එක වරදක් නෙවෙයි. අනික එයා මාවයි නංගිවයි අමතක කරල අත්ඇරල දානවත් නෙවෙයිනෙ. අන්තරා අක්කි අපිට වුණත් මාර ක්ලෝස්. ඒ දෙන්නම කිසිම වෙලාවක ඔයාට දොසක් කියන්නෙත් නෑ. අම්මිට ආදරෙං ඉන්න කියල තමයි කියන්නෙ. මන්නං ආසයි එහෙම. ඩිවෝස් එකකින් හැම සම්බන්ධයක්ම නැති නොවී තියෙනවට”

“ඔය දෙන්නගෙ ඔළු වලට අනවශ්‍ය විෂබීජ දාල තියෙන්නෙ අන්තරා”

“අයියෝ අම්මි. එයා ජර්ම් එකක් නෙවෙයි. හරිම බ්‍රෝඩ් මයින්ඩඩ් ලේඩි කෙනෙක්. අම්මිට දැනෙන ජෙලසි ෆීලින් එක නැති කරගත්තොත් අම්මිට ඇත්ත තේරෙයි”

නමුත් ඒ හැඟීම් පාලනය කරගැනීම පහසු වූයේ නැත. කවින්ද්‍යා යුගාත්ම වෙතින් වෙන් වූයේ ඔවුන් අතරේ ඇති වූ නො රිස්සීම නිසා ය. ඔවුන් ගේ යුග දිවියෙහි අවසාන කාලය වන විට ඇයට ඔහු පේන්නට බැරි වී ද, ඔහු ගෙන් වෙන් වී දූවරුන් දෙදෙනා හදාගෙන තනිව ජීවත් වීම එක ම අරමුණ වී ද, ඇයට ම නො තේරෙන ඊර්ෂ්‍යාව මුසු කෝපයක් දැන් හදවත වසාදමා තිබේ. ඇතැම් විට යුගාත්ම වෙනත් ඕනෑ ම ස්ත්‍රියක සමග විවාහ වූවා නම් මේ දැනෙනා ඊර්ෂ්‍යාව නො දැනෙන්නට තිබිණ. ඇයව ප්‍රතික්ෂේප වී අන්තරාව තෝරා ගැනීම, ඇය වෙත එල්ල වූ කම්මුල් පහරක්  සේ කවින්ද්‍යා පිළිගෙන සිටියා ය

විවාහ උත්සවය, එළිමහන් වෙරළබඩ චාම් උත්සවයක් විය. ඊට ඇරයුම් ලබා සිටියේ මනාල යුවළගේත් දෙපස මාපියන්ගේත් සමීපතම නෑ හිතුවතුන් කිහිප දෙනෙකු පමණි. ජිතේන්ද්‍ර ගේ කැමැත්තක් නොවී ද ඒ අවස්ථාවට දක්ෂිණ ට ඇරයුම් කරන්නට යුගාත්මට උවමනා වූයේ ය. ඒ දක්ෂිණ ඔහු වෙතින් කළ විශේෂ ඉල්ලීමකි. කවින්ද්‍යා ට ද ඇරයුම් ලැබුණ ද ඇය නො ආවා ය. දියණියන් දෙදෙන නම් රෝස පාට සුරංගනා ගවුම් දෙකකින් සැරසීගෙන පැමිණ සිටියහ.

දක්ෂිණ ආවේ තනිවමයි. සම්පතී ට ඔහු ගේ බිරිඳ ලෙස එහි එන්නට ඕනෑ වී ද දක්ෂිණ ඒ අදහසට එකඟ නොවුණේ ය. ඔහු ට එහි තනිවෙන්නට, ඔහු ගේ පුත් නූපුර සමගින් තනි වෙන්නට ඕනෑකමක් දැනෙමින් තිබිණ.

එදා අන්තරා දෙව්දුවක් සේ වූවා ය. යුගාත්ම, දක්ෂිණ පමණකුදු නොව නූපුර හා ජිතේන්ද්‍ර පවා ඇස් පිය නො සලා ඇදෙස බලාසිටියහ. ඇගේ ජීවිතයට ලං වූ පිරිමින් හතරදෙනා ඒ ය. ජීවිතයේ විවිධ කාර්තු වලදී විවිධාකාරයෙන් ඇගේ හද මඬලෙහි වීර චරිත නිරූපණය කරන්නට ඔවුන් සිව් දෙනා ම සමත් වූහ. ඒ හැම කෙනෙකුට ම ඇය ආදරය කළේ හදවතින්මයි. ඇගේ පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් අවංකවයි.

“අන්තරා අද ඇත්තටම හරිම ලස්සනයි. ඇත්තමයි”

මීවිතක් තොලගෑමෙන් පසු මනාල යුවළ වෙත පැමිණි දක්ෂිණ, යුගාත්මත් අන්තරාත් සිය දෑතින් අල්වාගෙන කීවේ මඳහසකිනි. නමුත් ඒ සිනහව පිටුපස කඳුළු පිරුණු ඇස් දෙකක් වූයේ ය.

“මොනා වුණත් මට බැරි වුණා අන්තරාව මනමාලියක් කරන්න. ඔයා පව්. ඇඳං හිටපු ඇඳුම පිටින් මාත් එක්ක ඇවිත්…අන්තිමට….”

හිතේ තිබෙන සියල්ල කියාගත නොහැකිව, හිර වූ උගුරෙන් යුතුව දක්ෂිණ හිස බිමට හරවාගත්තේ ය. ඇස් වලට පිරී තිබූ කඳුළ ඔහු ගේ දිළිසෙන කළු සපත්තු මතට වැටිණි. යුගාත්ම දක්ෂිණ ගේ උරහිසකට මෘදු ව තට්ටු කළේ ය.

“මට අයිති වෙලත් පරිස්සං කරගන්න බැරිවෙච්ච මගෙ වස්තුව… උඹ ඒ වස්තුව කොච්චර වටිනවද කියල හරියටම දන්න මනුස්සය යුගාත්ම. උඹල සතුටෙන් ඉන්නයි ඕනෙ”

“අපි කවුරුත් ආයෙ ජීවිත වරද්ගන්නැතුව සතුටෙන් ඉන්න ඕනෙ දක්ෂිණ. මං වගේම ඔයත්…”

“ඒක ඇත්ත”

“අපේ තීරණ නිසා කවදාවත් අපේ දරුවන්ට වරදක් හිත් වේදනාවක් අසාධාරණයක් නොවෙන්න අපි වගබලාගමු. මරාගන්න හේතුවක් අපිට නෑ දක්ෂිණ”

ඒ මොහොත විශේෂිත වූයේ අලුත් විවාහයක් වෙනුවෙන් කලින් විවාහ වල සාමාජිකයන්ගේ ද සතුට හා සුබ පැතුම් එක්ව තිබි බැවිනි. නූපුර ද යුගාත්ම ගේ දියණියන් ද එක පවුලක සහෝදර සහෝදරියන් සේ එක්ව සිටීම සොඳුරු දසුනක් මැව්වේ ය. සැබවින් ඔවුන්ට ලස්සන අලුත් පවුලක් හිමි වී තිබිණ.

“හැබැයි මට මගෙ යාළුව නැති වෙන්න බෑ හොඳේ”

කියමින් අන්තරා වැළඳගෙන පාරින්දි කඳුළක් සැළුවා ය.

“මොනාද කියන්නෙ… ඔයා නැති වුණොත් මට වෙන කවුද යාළුවෙක්ට ඉන්නෙ…”

“ඉස්සර වගේ කඩචෝරු කකා පාරවල් ගානෙ ඇවිදින්නයි… ලයිබ්‍රරි එක ළඟ කොෆි ශොප් එකේ හම්බෙන්නයි… යුගාත්ම එපා කියයිද දන්නෑ”

“එයා මං ආස දෙයක් එපා කියන කෙනෙක් නෙවෙයි”

“ඔයාව මෙහෙම දැක්කහම මටත් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ආසයි අන්තරා”

“ඉතිං වෙමූ”

“ඒකට මිනිහෙක් හොයං ඉන්නෙපැයි මුලින්ම”

“හොයමු ඉතිං”

“පුතා වගේ පුතෙකුත් මට ඕනෙ”

“ඉතිං හදමු. ඒක මහ දෙයක් නෙවේනෙ”

ඔවුන් ගේ කිකිණි සිනහ මංගල උත්සවයට වෙසෙස් චමත්කාරයක් එක් කරන්නට ඇත.

පාරින්දි නූපුර අමතන්නේ ‘පුතා’ කියා ය. අන්තරා ඇයට සම වයස් මිතුරියක සේ දැටනනා බැවිනි. ඒ ආමන්ත්‍රණයෙන් හදවතට දැනෙනා මාතෘ ස්නේහය ඇයට ආගන්තුක ය. නමුත් ඇය ඊට කැමති ය. අන්තරා හා නූපුර සේ දිනෙක ආදරණීය මවක හා පුතෙකු සේ ඇය ඇගේ අනාගතය සිතින් දකියි. නූපුර ඇය අමතන්නේ ‘අක්කා’ යනුවෙනි. අන්තරා පුතා කියත්දී යුගාත්ම ගේ දියණියන් ‘අක්කී’ කියා ඇය අමතන්නාක් මෙනි.

“යසයි ඒ නෑකම”

දැරියක අක්කී ලෙස අන්තරා අමතනු ඇසී පළිඟු මැණිකේ නොමනාපය හැඟවූවා ය.

“ඇයි…”

ඇය විමසුවේ දෙබැම රැලි නංවාගෙනයි.

“මුල ඉඳලම හරියට නෑකං කියන්න ඉගෙන ගන්නව. ඒ අක්කෙක් නෙවෙයි. කුඩම්ම”

“නපුරු කුඩම්මද… අනේ ආච්චි අම්මෙ. නපුරු කුඩම්මල ගැන කතන්දර ගොතල කියන්නෙ නපුරු මිනිස්සු. අන්තරා අක්කි කුඩම්මෙක් නෙවෙයි. එයා අපිට අක්ක කෙනෙක් වගේ ක්ලෝස්. නෑකම මොකක් වුණත් හිත් වල බැඳීමයි වටින්නෙ”

දැරිය කතා කළේ සිනහ වෙමින් මිස තරහවකින් නොවේ. නමුත් පළිඟු මැණිකේ ගස්සා ඉවත බලාගත්තා ය.

“දැන් හැදෙන ළමයි මොන තාලෙට හැදෙනවද මන්ද. අවවාදයක් දෙන්න බෑ මුන්ට. අම්මල හදල තියන හැටි තමයි”

දැරියන් දෙදෙන උනුන් ට රහසක් කොඳුරාගත්හ.

“එයානං නියම නපුරු කුඩම්ම”

ඔවුන් දෑතින් මුව වසා සිනහ වෙන්නේ ඇයට බව දත් පළිඟු මැණිකේ තරහින් පිපිරුවා ය.

නූපුර යළි විශ්ව විද්‍යාලය බලා ගුවන්ගත වීමට තිබුණේ තව දින කිහිපයකි. ඔහු ගේ ශරීර සෞඛ්‍යය සම්පූර්ණයෙන් ම යථා තත්වයට පත් වී තිබිණ. කඳුකර සුවඳ සූත්‍රයට අදාල පේටන්ට් බලපත්‍රය ද අන්තරා නමින් ලැබී තිබුණෙන්, ඉදිරි දින සතුට වෙනුවෙන් වෙන් වී ඇති බව පෙනෙන්නට තිබිණ. නමුත් ජීවිතය වූ කලී දුක සතුට සම අනුපාත වලින් මුහු වූ ප්‍රේම සූත්‍රයක් බව ඔවුහු දැන් දනිති.

“මේක ඇවිල්ල දවස් හතක් මගුල් කාල සමරන්න ඕනෙ සතුටක්… නැද්ද ජිතේ…”

තරුපති ගේ සිනහව උස්ව නැගුණේ මීවිතෙන් සප්පායම් වීම ගැන පළිඟු මැණිකේ තරවටු කළ වෙලාවේ ය. ඒ වෙත්දීත් දෙමිතුරෝ හොඳහැටි පදම් වී සිටියහ.

“නැත්තං… මේක අවුරුදු විසි තිස් ගාණක ඉඳං අපි පතාගෙන ආපු සතුටක්… පතාගෙන ආපු දවසක්”

කිශෝරි ඒ සතුට භුක්ති වින්දේ සන්සුන් සිනහවකිනි. නමුත් පළිඟු මැණිකේ ට නම් හැම තැන ම පෙනුණේ කේන්ති ගන්නට කාරණා ය.

ඒ මංගල උළෙලෙහි අන්තරා වැඩියෙන් ම කැමති වූයේ ඔවුන් ගේ පවුලේ ඡායාරූපයටයි. අන්තරා හා යුගාත්ම ද ඔවුන් ගේ දරුවන් තිදෙනා ද හිඳ ගත් සේයාරුව කලබල නොවූ සිහිනයක් තරම් සුන්දර ය. එහි ඔවුන් ගේ මුහුණු වල වන සතුට ව්‍යාජයක් නොවේ. අහිමි වී තිබූ යමක් යළි අහිමි නොවන්නට ලැබුණු සතුට, ඔවුන් ගේ මුහුණු වලින් දෝරෙ ගැලුවේ ය.

සාදය නිමා වී පිරිස විසිර යන්නට පෙර අන්තරා නූපුර වැළඳගෙන ගත කළ විනාඩි කිහිපය, දවසේ සංවේදී ම මොහොත විය. හඬන්නට ඔවුන් දෙදෙනාට ම උවමනා වූයේ නැත.  ඇස් වලින් කඳුළු ගලා ගියේ අහේතුක හැඟුම් පොදියක් මත විය යුතු ය. යුගාත්ම ගේ දියණිවරු විත් අම්මාත් පුතාත් එක පොදියට වැළඳගත්තේ ඒ පවුලට ඔවුන් දෙදෙනා ද අයත් බව හදවත් වලට දැනුණු නිසා විය හැක. යුගාත්ම සිය විසල් දෑතින් ඔවුන් සිව් දෙනාවම තුරුලු කොට ගත්තේ ය.

“ඕගොල්ලො හතර දෙනාම මගෙ. මට පුළුවන් උපරිමෙන් මං ඔය හතර දෙනාවම සතුටෙන් තියනව. අද ඉඳල අපි එක පවුලක්. දෝණිලට වෙන අම්ම කෙනෙකුත් නූපුරට තාත්තෙකුත් ඉන්නව තමයි. ඒත් අපි දෙන්නම ඔය තුන්දෙනාගෙ අම්මයි තාත්තයි. ඒකෙ කිසි වෙනසක් වෙන්නෑ. කවදාවත්”

යුගාත්ම ගේ හඬ බිඳී ගියේ ය. නූපුර අනිත් අය අතැර ඔහු ව දැඩිව වැළඳගත්තේ ය. දියණියෝ අන්තරා ගේ තුරුළට වූහ. මේ තරම් සුවඳ සූත්‍රයක් කිසි දා ඇයට සොයා ගත නො හැකි වන බැව් අන්තරා ට ඉඳුරා විශ්වාස ය.

-සමාප්තයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here