2024 වර්ෂයේදී නිකුත් කරන ලද ත්‍රාසජනක තෙලිඟු චිත්‍රපටයක් තමයි The Birthday Boy කියන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය තිර රචනය සහ අධ්‍යක්ෂණය විස්කි නැමැත්තා විසින් සිදු කර ඇති අතර මෙම අපූරු චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ විස්කි සහ භාරත් ඉමල්ලරාජු විසින්.

රවි ක්‍රිෂ්ණා , සමීර් මල්ලා, වික්‍රන්ත් වෙඩ්, රාජා අශෝක් වල්ලම්සෙට්ටි, සායි අරුන්, රාහුල් චිලම්පල්ලි සහ මනි වාකා යන පිරිස මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා.
අර්ජුන් , බාලා , වෙන්කි , සායි සහ සත්ති කියන්නේ කුඩා කාලයේ ඉඳලාම මිතුරන්. ඔවුන් පස් දෙනා වැඩිදුර අධ්‍යාපනය සඳහා පිට රටකට ගිහින් ජීවත් වෙනවා. එකම නිවසක ජීවත් වෙන මේ පස්දෙනා බොහොම සතුටින් වගේම විනෝදයෙන් තමයි ජීවත් වෙන්නේ.
මේ අතරේ බාලා ගේ උපන් දිනය පැමිණෙනවා. ඔවුන් එය ඉතාම විනෝදයෙන් සමරන අතර මත්පැන් පානය කරමින් ගී ගයමින් එකිනෙකා සමග ඉතාම සතුටු වෙනවා. මේ සාදය අතරතුරදි අනෙක් හතර දෙනා හොඳටම මත්පැන් පානය කරලා ඉන්න බාලාව උස්සලා ඒ අසල තියෙන සෝෆා එකට විසි කරන්නට සූදානම් වෙනකොට අත් වැරදීමකින් ඔවුන්ට බාලාව අත හැරෙනවා. බාලා ඒ අසල තියෙන කුඩා වීදුරු මේසය මතට වැටෙනවා. හැමදෙනාම පියවි සිහියට එන්නේ ඒ වෙලාවේ.
බාලාව පරීක්ෂා කරලා බලනකොට ඔහු මිය ගිහින් කියලා යාළුවන් සිව් දෙනා දැන ගන්නවා. ඔවුන් සිව්දෙනාම ඉතාම බියට පත්වෙන අතර ඊට පසුව කරන්නෙ කුමක්දැයි සිතමින් ඉන්නකොට නිවසේ සීනුව නාද වෙනවා. නිවසේ දොර විවෘත කරලා බලන වෙලාවෙ දොර ඉදිරියේ ඉන්න පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. එතකොට විවෘත කරන යාළුවන් දෙදෙනා ඉතාම බියට පත් වෙනවා. නිවසේ ශබ්දය ඉතාම වැඩි බවට අසල්වැසියන් පැමිණිලි කරපු නිසා එය පරීක්ෂා කරන්න ආපු බව පොලිස් නිලධාරීන් පවසනවා. දොරකොට දීම ඔවුන්ගේ හැදුනුම්පත් පරික්ෂා කරපු පොලිස් නිලධාරීන් ඔවුන්ට අවවාද කරලා පිටත් වෙනවා.
මේ සියලු දෙනා නැවතත් කල්පනා කරන්නට පටන් ගන්නේ ඔවුන්ගේ ඊළඟ පියවර මොකක්ද කියන එකයි. බාලාගේ මරණය ගැන පොලිසිය ට දැනගන්න ලැබුණොත් ඔවුන් සිව් දෙනාගේම අනාගතය සහ අධ්‍යාපනය විනාශ වෙන නිසා ඔවුන් ඉන්නේ ඉතාම බියෙන්. නීතිඥවරයෙකුගේ කාර්යාලයේ සේවය කරන භාරත් කියන අර්ජුන්ගේ සහෝදරයාට මේ ගැන දැනුම් දෙමු කියලා අනෙක් මිතුරන් තිදෙනා යෝජනා කරනවා. ඒ අනුව අර්ජුන් තමන්ගේ සහෝදරයට දුරකථන ඇමතුමක් දීලා හදිසියක් බව පවසමින් නිවසට එන්න කියලා කියනවා.
ටික වෙලාවකට පස්සේ භාරත් නිවසට පැමිණෙනවා. මියගිය බාලාව දැකලා භාරත් ඉතා බියට පත් වෙනවා. කළ යුතු දෙයක් ගැන කල්පනා කරමින් ඉන්නකොට බාලා ගේ දුරකථනය දිගින් දිගටම නාද වෙනවා. ඒ බාලා ගේ මව. ඉන්පසුව බාලාගේ මව අමතන්නේ මිතුරන්ට. බාලාට දුරකථනය දෙන්න කියලා ඇය පැවසුවත් මිතුරන් සහ අරිජුන්ගේ සහෝදරයා ඉතාම අසරණභාවයට පත්වෙනවා.
භාරත් ගේ යෝජනාව වෙන්නේ අත් වැරදීමක් නිසා බාලා මියගියා කියලා බාලගේ දෙමව්පියන්ට දැනුම් දෙන්න කියන එකයි. කිහිප වරක් උත්සාහ කිරීමෙන් පසුව මිතුරන් මේ ගැන බාලා ගේ දෙමාපියන්ට දැනුම් දෙනවා. ඉන්පස්සේ අනෙක් මිතුරන්ගේ දෙමව්පියන් වගේම මේ නිවස ඔවුන්ට ලබා දෙන ප්‍රවීන් කියන මිතුරත් මේ මරණය ගැන දැන ගන්නවා.
තීරණාත්මක දවසක් උදා වෙන්නේ ඊට පස්සේ. ඊළඟ දවස එළඹුණාට පස්සේ ප්‍රවීන් මේ ගෙදරට එනවා. ඒ අතරේ බාලා ගේ දෙමව්පියන් මේ නිවසට එන්න පිටත් වුණා කියලා මේ මිතුරන්ට දැන ගන්න ලැබෙනවා.ඒ නිසා මිතුරන් එකතු වෙලා මේ නිවස අස් කරලා බාලා ගේ මළ සිරුර සාලය මැද සූදානම් කරලා තියෙනවා. මිතුරන්ගේ සැලසුම වෙන්නේ මේ නිවසේ ගෙවත්තේම බාලාගේ මළ සිරුර වල දාන එකයි. කොහොම වුණත් , මේ වෙලාවේ ප්‍රවීන් මේ මළ සිරුරේ යම් දේවල් කිහිපයක් නිරීක්ෂණය කරනවා.
සිද්ධ වෙච්ච සිදුවීම ගැන මිතුරන් සිව් දෙනා පසුතැවීමෙන් ඉන්නකොට භාරත් සහ ප්‍රවීන් එක කාමරයකට වෙලා ඊළඟට කළ යුතු දේවල් පිළිබඳව කතා කරමින් ඉන්නවා. බාලා මේ අනතුරෙන් මිය ගියත් තුවාල සහ රුධිරය කිසිවක් පෙනෙන්නට නැති බවත් ඔහුගේ සිරුර රෝස පැහැයට හැරී තිබුණ බවත් මරණය ගැන තමාට යම් සැකයක් තිබෙන බවත් ප්‍රවීන් භාරත්ට කියනවා.

පෙනෙන්නට තියෙනවට වඩා යමක් සිදු වෙලා තියෙන බව සැක කරන ප්‍රවීන් සහ භාරත් මේ මරණය පිළිබඳව වැඩිදුර විස්තර සොයන්නට උත්සාහ කරනවා. ඒ අනුව අනෙක් මිතුරන්ට නොදැනෙන්න ඔවුන් හරහාම වෙන වෙනම මේ ගැන පරීක්ෂා කරන්න ප්‍රවීන් වගේම භාරත් කටයුතු කරනවා.
මිතුරන් ගෙන් කිසිඳු හෝඩුවාවක් දැන ගන්නට ප්‍රවීන්ට වගේම භාරත් ටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට ඇදුම රෝගය සඳහා බාලා භාවිතා කරන ඉන්හේලර් එකක් සහ තවත් බෙහෙත් වර්ගයක් සොයා ගන්නට ලැබෙනවා.
මේ අතරේ මෙතනින් නොනැවතෙන ප්‍රවීන් ඉතාම විමසිල්ලෙන් මේ ගැන හොයන්නට පටන් ගන්නවා.හදිසියේම දෙයක් මතක් වෙන ප්‍රවීන් මේ නිවසේ කුණු බාල්දි අවුස්සා බලනවා. උඩු මහලේ නාන කාමරයේ තියෙන කුණු බාල්දියේ තිබිලා යම් වස වර්ගයක් ප්‍රවීන් ට හොයා ගන්න ලැබෙන්නේ ඊට පස්සේයි.
ඇත්තටම බාලා ගේ මරණය සිද්ධ වෙච්ච ආකාරය සහ ඒ පිටුපස තියෙන කවුරුත් නොදන්න කතාව ප්‍රවීන්ට සහ භාරත් ට දැන ගන්න ලැබෙනවා.
නමුත් ,

මේ සියල්ල අවසානයේදී තමයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා ප්‍රේක්ෂකයාට පෙන්වන්නේ.
ඇත්තටම බාලා ගේ මරණයට හේතුව මොකද්ද?
බාලාගේ මරණය පිටුපස තියෙන කිසිවෙකුත් නොදන්න කතාව මොකක්ද?
බාලාගේ දෙමව්පියන් පැමිණියාට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද ?
තමන්ගේම මිතුරෙකුට මරණය අත් කරලා දීලා තියෙන මේ සිදුවීමෙන් මිතුරන් සිව් දෙනා ගැලවෙන්නේ කොහොමද ?
සත්‍ය කතාවක් ඇසුරෙන් බොහොම නිර්මාණාත්මකව ගොඩනගලා තියෙන මේ කතාව මිනිත්තු 119 ක් පුරාවට කුතුහලය උපරිම ලෙස රඳා පවත්වා ගනිමින් ප්‍රේක්ෂකයාට හොඳ රසවින්දනයක් ලබා දෙනවා. 2024 ජූලි මාසේ 19 වෙනිදා නිකුත් කරපු , ඉතා කුඩා සිදුවීමක් නිසා මිතුරන් සිව් දෙනෙකුගේ ජීවිතයේ උඩු යටිකුරු කරන මේ අපූරු චිත්‍රපටය නරඹන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.