තෙල් කෑම කෑවට පස්සෙ මොකද කරන්නෙ?

ඔයාලත් සමහර වෙලාවට තෙල් වැඩිපුර දාලා හදපු රස කෑම කන්න ආසයි නේද?

ෆ්‍රයිඩ් රයිස් එකක්, බැදපු රොටීයක්, වඩයක් නැත්නම් වෙන මොකක් හරි හරිම රසට හදපු තෙල් කෑමක් කෑවට පස්සේ එන සතුට නම් වෙන කිසිම දෙයකින් ගන්න බැහැ. ඒත් ඉතින්, කෑම එක කාලා ඉවර වුණාට පස්සේ එන බඩේ බර ගතියදැවිල්ල, නැත්නම් පපුවේ දැවිල්ල නම් එච්චර හොඳ නැහැ. මේ අපහසුතාවයන්ට ප්‍රධානම හේතුව තමයි කෑම එකේ තියෙන වැඩිපුර තෙල් සහ කුළුබඩු.

එහෙනම්, මේ වගේ තෙල් සහිත ආහාර වේලක් ගත්තට පස්සේ අපිට මොනවද කරන්න පුළුවන්?

මේ ලිපියෙන් අපි බලමු, ඒ අපහසුතාවයෙන් ඉක්මනින්ම ගොඩ එන්න පුළුවන් සරල, පහසු ක්‍රම 7ක්.

1. උණු වතුර ටිකක් බොන්න

තෙල් සහිත කෑමක් කෑවට පස්සේ මද රස්නෙට වතුර ටිකක් බොන එක ගොඩක් හොඳයි. මේකෙන් ඔයාගේ කෑම දිරවීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා වගේම, තෙල් සහිත කෑමවල තියෙන මේදය පොඩි පොඩි කොටස්වලට කඩා දාන්නත් ආහාර ජීර්ණ පද්ධතියට ලේසි වෙනවා. අපි කෑම කෑවට පස්සේ වතුර බොන්නේ නැත්නම්, අපේ බඩවැල් කෑමවල තියෙන වතුර උරාගෙන මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා, උණුසුම් වතුර ටිකක් බොන එකෙන් ඒ වගේ ප්‍රශ්න වළක්වා ගන්න පුළුවන්.

2. ග්‍රීන් ටී එකක් බොන්න

තෙල් කෑමක් කෑවට පස්සේ බොන්න පුළුවන් තවත් හොඳ පානයක් තමයි ග්‍රීන් ටී. ග්‍රීන් ටී වල ෆ්ලේවෙනොයිඩ් (flavonoid) කියන සංඝටක ගොඩක් තියෙනවා. මේවා ප්‍රතිඔක්සිකාරක විදිහට වැඩ කරලා, අපේ ආහාර ජීර්ණ පද්ධතියට එන ඔක්සිකාරක බර අඩු කරන්න උදව් කරනවා. මේකෙන් කෑම දිරවීම පහසු කරලා, බඩට දැනෙන අපහසුතාවය අඩු කරගන්න පුළුවන්.

3. ප්‍රෝබයොටික් තියෙන කෑම ටිකක් ගන්න

ආයුර්වේදයේ කියන විදිහට නම්, කෑම කෑවට පස්සේ බැදපු දුරු ටිකක් දාලා යෝගට් ටිකක් කන එක බඩට හරිම හොඳයි. යෝගට් වල තියෙන Lactobacillus බැක්ටීරියා කියන ප්‍රෝබයොටික් වර්ගය අම්ල පිත්ත දෝෂ (ඇසිඩ්) එන එක වළක්වනවා වගේම, බඩවැල්වල ක්‍රියාවලිය හොඳට සිද්ධ කරන්නත් උදව් කරනවා. ඒ නිසා තෙල් සහිත කෑමක් කෑවට පස්සේ යෝගට් ටිකක් කන එක හොඳ පුරුද්දක් කරගන්න පුළුවන්.

4. ඊළඟ වේලට තන්තු බහුල කෑම ගන්න

ඔයා තෙල් කෑමක් ගත්තා නම්, ඊළඟ කෑම වේලට තන්තු ගොඩක් තියෙන කෑම එකතු කරගන්න එකෙන් කලින් කෑම වේලෙන් වෙච්ච පොඩි හානියක් තියෙනවා නම් ඒක ඉක්මනින් සනීප කරගන්න පුළුවන්. තන්තු කියන්නේ බඩවැල් පිරිසිදු කරන්න උදව් වෙන දෙයක්. ඕට්ස් (oats) වගේ තන්තු බහුල කෑම ගන්න එකෙන් බඩ පිරිසිදු වෙනවා වගේම, දිගු වෙලාවක් බඩ පිරිලා තියෙනවා වගේ හැඟීමක් ලැබෙනවා. ඒ වගේම, ශක්තිය සෙමින් ශරීරයට මුදාහැරෙන නිසා ඔයාට දිගු වෙලාවක් ක්‍රියාශීලීව ඉන්නත් පුළුවන්. ඒ අතරේ ආහාර ජීර්ණ පද්ධතියට තෙල් කෑම නිසා වුණ හානියෙන් ගොඩ එන්න හොඳට කාලය ලැබෙනවා.

5. සීතල කෑම බීම වලින් වළකින්න

තෙල් සහිත කෑමක් කෑවට පස්සේ අයිස්ක්‍රීම්, පොප්සිකල් වගේ සීතල කෑම කන්න ආස හිතෙනවා නම්, ඒක බඩට එතරම් හොඳ නැහැ කියන එක මතක තියාගන්න. තෙල් අධික කෑමක් කෑවට පස්සේ සීතල කෑම කන එකෙන් ඔයාගේ බඩවැල්, බඩ සහ අක්මාව මත වැඩි පීඩනයක් ඇති වෙනවා. මේකෙන් තෙල් සහිත කෑම දිරවීමේ වැඩේ තවත් අමාරු වෙනවා. ඒ නිසා, සීතල කෑම බීම ගැනීමෙන් පුළුවන් තරම් වළකින්න.

6. ඇට වර්ග සහ බීජ වර්ග ආහාරයට ගන්න

ඊළඟ දවසේ ඔයාගේ කෑම වේලට ඇට වර්ග සහ බීජ වර්ග ටිකක් එකතු කරගන්න එකත් හොඳයි. මේවායේ තන්තු ගොඩක් තියෙන නිසා ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යයට ගොඩක් උදව් වෙනවා. ආමන්ඩ්, walnuts, චියා සීඩ්ස් වගේ දේවල් උදේට හරි, දවසේ ඕනෑම වෙලාවක පොඩි ස්නැක් එකක් විදිහට හරි ගන්න පුළුවන්.

7. ටික වෙලාවක් ඇවිදින්න

ඔයා තෙල් අධික කෑමක් කෑවට පස්සේ හරි, සාමාන්‍ය කෑමක් කෑවට පස්සේ හරි, කෑමෙන් පස්සේ පියවර 1000ක් විතර ඇවිදින එක හැමවිටම හොඳයි. මේකෙන් කෑම හොඳින් දිරවන්න උදව් වෙනවා වගේම, අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය (metabolism) හොඳට සිද්ධ වෙන්නත් උදව් කරනවා. ඒ නිසා, කෑම කෑවට පස්සේ ටිකක් එළියේ ඇවිදින්න යන්න පුළුවන් නම්, ඒක ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියට ලොකු සහනයක්.

දැන් ඉතින් ඔයා දන්නවා නේද, සමහර වෙලාවට රසට කෑවාට පස්සේ බඩට අපහසුතාවයක් දැනුණොත් මොනවද කරන්න ඕනේ කියලා. මේ සරල දේවල් ටික පිළිපැදීමෙන්, ඔයාට තෙල් අධික ආහාර වේලක් ගත්තාට පස්සේ ඇතිවෙන අපහසුතාවයන් අවම කරගෙන, ඉක්මනින්ම නැවත සාමාන්‍ය තත්ත්වයට එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, මේවා හදිස්සි අවස්ථාවලට විතරයි. හැමවිටම සමබල ආහාරවේලකට හුරු වෙන එක සහ ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වාගෙන යන එක තමයි ඔයාගේ සෞඛ්‍යයට හොඳම දේ!

Info: https://timesofindia.indiatimes.com/life-style/food-news/9-things-to-do-after-eating-oily-food/photostory/91766868.cms?picid=91767061

Related Articles

Don't Miss


Latest Articles