යසස්වි විශ්ව විද්‍යාලයට යන්නේ උදයෙන් ම නොවේ. ඇගේ දේශන වැටී තිබෙනා වෙලාවන් අනුව ඇය ගෙදරින් පිටත් වන්නේ උදෑසන කාර්යබහුල හෝරාව පමා වී ය. එබැවින් බස් රථ වල තෙරපුමක් නැත. පාරේ වාහන තදබදයක් නැත. ඒ වෙලාවේ ගමන් කිරීම හිතට පහසු ය. ගතට ද සුව පමසු ය.
නමුත් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වැටී තිබුණෙන් ඇය උදයෙන් ම පිටත් වීමට සූදානම් වුණා ය. අස්විද ගෙදරින් පිටත් වෙන වෙලාව අල්වා ඕ පහළ මහළට පැමිණියේ ඔහු සිය රියෙහි කැටිව යාවිදැයි බලන්නටත් එක්ක ය.
‘අද යසස්වි උදේම යනවද…’
ඈ දුටු ගමන් නිලූකා විමසුවා ය. පහළ මහලෙහි උන් හැම නෙතක් ම වාගේ ඇය වෙත යොමු විය.
‘අනේ චූටි පුතා මේ නංගිවත් ඔය ලේසි තැනකින් දාං යන්නකො’
කියා කියන්නට වජිරා කට ගන්නකොට ම නිලූකා තත්පරයකින් සීයෙන් එකකින් ඉස්සර වී තිබිණි.
‘ඉතිං දිල්නුක එක්ක යන්න පුළුවන්නෙ’
වජිරා ඇගේ මුවට ඉඩ නොදී හිටියා ය.
‘ආ ඔව්. මං ඩ්‍රොප් කරන්නං යුනි එක ළඟින්. යමු’
‘කෝ දෙන්න ලන්ච් බොක්ස් එක’
අස්විද වජිරා වෙත යොමු වූයේ එතකොට ම ය. මීට මොහොතකට පෙර මේ ගේ ඇතුළේ සිදු වූ කතා බහ ඔහු ට කිසිදු වටිනාකමක් නැති ලෙස හඟවා ය. නමුත් යසස්වි උදෙන්ම යනවාදැයි නිලූකා විමසූ ගමන් ඔහු ඇදෙස බැලුවේ සිය රථයෙහි යා හැකි බව දැනුම් දීමේ අදහසිනි. දිල්නුක ඒ අවස්ථාව ගත්තේ වී නම් ඒ ගැන යළි කතා කරන්නට හෝ ඉල්ලීම් කරන්නට හෝ දෙයක් නැත. ඔහු රියෙහි නැගී නික්ම ගියේ ය.
‘දුෂ්ටය. නිකමට කිව්වද ලිෆ්ට් එකක් දෙන්නං කියල’
යසස්වි ගේ හිත කෙඳිරිගෑවේ ය.
‘ආ… මේ හෙල්මට් එක දාගන්න’
ඒ ටිකට දිල්නුක ඇය වෙනුවෙන් හෙල්මට් එකක් ද ගෙනැවිත් දුන්නේ ය. යසස්වි යන්තම් හිස සලමින් ද ලා හසරැල්ලකින් ද එය ප්‍රතික්ෂේප කළා ය.
‘තෑන්ක්ස් දුල්නෙත්. ඒත් එපා. ඔයා යන්න’
ඔහු ගේ මුහුණෙහි වූ බලාපොරොත්තුවේ සතුට එසැනෙන් විකෘති හැඩයක් ගන්නට පටන් ගති.
‘ඒ මොකද යසස්වි… යන්න. දිල්නුක ඔයාව ඕන තැනින් බස්සයි’
‘අනේ මං බයික් වල යන්නෑනෙ’
ඈ ඒ ප්‍රතික්ෂේපකිරීම කළේ බෙහෙවින් ආචාරශීලී ලෙස ය. කිසිවෙකුගේ හිතක් නො රිදෙන ලෙස පරිස්සමෙනි.
‘ඒ මොකද ඒ…’
‘මං බයයි අනේ’
‘අයියෝ… බය වෙන්නෙ මොකටද… එන්නකො. නගින්නකො. මං ඔයාව පරිස්සමට එක්කං යන්නංකො’
දිල්නුක යුවතිය පොළඹවාගැනීමේ උත්සාහයක් ගත්තේ ය. නිලූකා ඊට අනුබල දුන්නා ය.
‘අනේ ඔව් දිල්. කෙල්ලව පරිස්සමෙං එක්කං යන්න. ඔයා බය වෙන්නෙපා පැටියො. පුරුදු වෙන්නත් එපැයි ඉතිං බයික් එකක යන්න’
‘අනේ මට පුරුදු වෙන්න ඕන්නෑ අක්ක. මොකද මං බයික් වලට ආස නෑ. බයික් පදින කොල්ලෙක්ව බඳින එකකුත් නෑ. ඒක නිසා පුරුදු වෙන්න ඕන නෑනෙ ඉතිං’
‘අපි දන්නවද ඉතිං මොන මොන දේවල් අපේ ජීවිත වලට වෙන්න තියනවද කියල… ඒක නිසා කොයි දේත් පුරුදු වෙලා තියන එක හොඳයි යසස්වි’
‘පිස්සු නැතුව එන්න. කෝ මං හෙල්මට් එක දාන්න’
දිල්නුක ඔහු අත වූ හෙල්මට් එක යසස්වි ගේ හිසෙහි දැමීමට උත්සාහ කරමින් ඇය වෙත සමීප වූයේ ය. යසස්වි ගේ මුහුණේ ඇඳී යමින් තිබුණේ කෝපයකි.
‘එපා දිල්නුක පුතා’
වජිරා විසින් ඒ මැදිහත්වීම කරනු නො ලබන්නට යසස්වි ට සිය කෝපය පාලනය කරගනු බැරිව යන්නට තිබිණ.
‘යසස්වි බයිසිකලේ යන්න බෑ කියනවනං ඒ ළමයව බලෙං ඒකෙ පටවං යන්න හදන්නෙපා’
දිල්නුක අම්මා දෙස බැලුවේ ය. නිලූකා ගේ මූණ නරක් වී ගියේ ය.
‘හොඳක්නෙ අම්මෙ ඉතිං කරන්න ගියේ’
‘හොඳක් වෙන්නෙ ඒ ළමය ඒක කැමැත්තෙන් බාර ගන්නවනංනෙ. එහෙම නැති තැන මොන හොඳේ වුණත් වදයක් කරදරයක් විදිහටයි දැනෙන්නෙ’
‘අපිට වෙන්නෙ ඕවමයි. අපිට තලන්නෝනෙ බූවල්ලක් අරං. වඳින්න යන දේවාලමනෙ යකෝ ඉහේ කඩං වැටෙන්නෙ’
‘ආන්ටි මං යන්නං’
කියාගෙන යසස්වී වහා මගට බැස්සා ය. මීදුමක් සේ, පැහැදිලි නැති යම් හැඟීමක් හිතේ පැතිරී තිබේ. ලොකු හුස්මක් ගත්තා මිස ඇය ඒ කුමක්දැයි නිශ්චිතව සොයා දැනගන්නට ගියේ නැත.
අස්විද රිය පැදවූයේ සෙමෙනි. කැළඹුමක් ඔහු ට දැනේ. එය වැඩිහිටි හිතකින් සමනය කරගන්නට ඔහු ට ඕනෑ වී තිබිණ. හෙතෙම වරින් වර රියෙහි පැති වීදුරුවෙන් පාරේ පිටුපස බැලුවේ ය. දිල්නුක ගේ යතුරු පැදියෙහි නැගීගත් යසස්වී ව දකින්නට ඔහු ගේ ඇස් පෙරුම් පිරුවා සේ ය. නමුත් හිතේ වූයේ දැඩි බියකි. අභ්‍යන්තරයෙහි ඉසියුම් වෙව්ලුමක් ඔහු අත්විඳිමින් සිටියේ ය. දිල්නුක ගේ යතුරු පැදිය දැන් දැන් මෝටර් රථය පසු කොට යන දර්ශනයක් ඔහු ගේ හිතේ පිළිබිඹු වෙමින් තිබිණ. එසේ ඉදිරියට ඇදෙනා, යුවළක් සිටි හැම යතුරු පැදියක් ම ඔහු ට පෙනුණේ දිල්නුක හා යසස්වී සේ ය. ඔවුන් දෙදෙනා වයසින් ද පෙනුමෙන් ද ගැළපේ. දෙදෙනා ම වර්තමාන විශ්ව විද්‍යාල සිසුන් ය. ඔවුන් සිහින දකිනුයේ එක ම අනාගතයක් වෙනුවෙනි. ඉතින් එහි කිසිදු වරදක් නැත. යසස්වී හොඳ කෙල්ලකි. වජිරා ගේ හදිසි අසනීප වීම ඇය දක්ෂ ලෙස කළමණාකරණය කළා ය. කිසිදු අඩුවක් තුසිතයට නො දැනෙන සේ, ක්ෂණික තීරණ ගෙන සියල්ල ලස්සනට පාලනය කළා ය. දැන් දිල්නුක ද තරුණයෙකි. අනාගතයේ දිනෙක විවාහ වන වයසේ ය. යසස්වී තුසිතයෙන් නික්ම යනවාට වඩා තුසිතයට ම සින්න වෙන එක හොඳ ය.
‘අම්මට එහෙම නොකියා ඉන්නයි තිබුණෙ. අම්ම කිව්වනං යසස්වි දිල්නුක එක්ක යන්නත් තිබුණා’
හිත ටිකක් පෑදුණාට පස්සේ නිලූකා නැන්දනියට කීවා ය. මේ කාරණා වලදී විශේෂයෙන් ම නැන්දම්මා අස කලබල නොවිය යුතු යයි ඇය තීරණය කොට තිබිණ.
‘මොකටද ඉතිං එහෙම…’
‘මොකටද කියන්නෙ අම්මෙ… තේරෙන්නැද්ද… යසස්විගෙ තාත්තල හාල් මුදලාලිල නේද… ඒගොල්ලො ළඟ තමයි අම්මෙ රටේම සල්ලි ටික තියෙන්නෙ. ඔය මුදලාලිල හාල් ටික හැංගුවහම රටම බඩගින්නෙ. අම්ම දන්නැතුවට පාර්ලිමේන්තු නොයා රට පාලනය කරන්නෙ ඔය මුදලාලිල තමයි’
‘ඉතිං…’
‘ඉතිං කියන්නෙ අම්මෙ. එහෙම සල්ලිකාර පවුලක දුවෙක් දිල්නුකව බඳිනවට අම්ම කැමති නැද්ද…’
‘නිලූකා. සල්ලි නැති වුණත් යසස්වි වගේ කෙල්ලෙක් මගෙ මිණිපිරී වෙනවනං මං ඉහටත් උඩින් කැමතියි. හැබැයි නිලූකා කසාදයක් කියන්නෙ සල්ලිමයි කියල හිතන්නෙපා. සල්ලි තියෙන තැනකට තමුංගෙ අය එල්ලල ගොඩයන්න හිතන්නත් එපා. දෙන්නෙක් අතරෙ කැමැත්තක් ඇති වෙනවනං අපි ඒකට ආශිර්වාද කරන එක වෙනම එකක්. හැබැයි ඒ පොඩි උං ගැන ඔහොම හිතනවට මං කැමති නෑ’
වජිරා සිය අවංක අප්‍රසාදය හැඟවූවා ය. නිලූකා සිතුවේ වජිරා අලුත් ලෝකය ගැන කිසිත් නො දන්නා බවයි. මේ සමාජයේ සියල්ලට කලින් ඉස්සර වන්නේ මුදල් ය. තමන්ගේ අයට හොඳ අනාගතයක් උදා කර දෙන්නට හිතන එක වරදක් වන්නේ කෙසේ ද?
හැන්දෑවේ අස්විද සිය මිතුරු රයන් ගේ කාර්යාලයට ගියේ ය. අස්විද දුටු රයන් පුදුම වූයේ ය. සාමාන්‍යයෙන් ඔහු එහෙම කාර්යාලයට එන්නේ නැත. දුරකතන ඇමතුමක් නොදී නම් එන්නේ ම නැත.
‘මොකක් හරි අවුලක්ද බං’
කියා ඔහු විමසූයේ එබැවිනි. අස්විද ලස්සනට සිනහ වූයේ ය. නමුත් ඒ සිනහව යට ඔහු කියන්නට සූදානම් නැති හැඟීමක් යටපත් වී තිබිණ.
‘නැහ්. නිකං උඹත් එක්ක ටිකක් කතා කර කර ඉඳල යන්න ආවෙ’
ඔහු එහෙම කීවෙන් රයන් ඒ ගැන හාරා අවුස්සන්නට ගියේ නැත.
‘ඉතිං… කොහොමද උඹේ පුංචි රෝස මල…’
අස්විද ගේ සිනහව අලුත් වූයේ ය.
‘දොඩවන්නෙපා බං. මගෙ වෙන්නෙ කොහොමද… මං හිතන්නෙ යසස්විගෙයි අපේ දිල්නුකයගෙයි මොකක් හරි හුටපටයක් තියනව’
මිතුරා ගේ සිත් තැවුලට හේතුව රයන් වහා හැඳිනගත්තේ ය. නමුත් කිසිත් කළ නො හැකි අසරණ කමක් ඔහුට ද දැනිණ.
අස්විද වෙනදාට වැඩිය ප්‍රමාදයි වාගේ යසස්වි ට දැනිණ. වජිරා තේ හදන්නට වතුර ළිප තබන්නේ ඔහු ගේ රිය ගෙවත්තට එන හඬට ය. ඒ වන තුරු ඕ තොමෝ කේතලයට වතුර පුරවා එය ළිප මත තබාගෙන ඉන්නී ය. රිය හඬ ඇසුණ ගමන් ගෑස් ළිපෙහි බොත්තම කරකවන්නී ය.
උදේ අස්විද ඇයව මෝටර් රථයෙහි දමාගෙන නො ගිය කේන්තිය යසස්වි වෙත විය. ඇය දිල්නුක සමගින් යතුරු පැදියේ ජෝඩු දමාගෙන යන්නට ඇතිය යන අදහස අස්විද වෙත විය. ඔහු ගෙදරට රිය පදවාගෙන ආවේ කිසිම හදිසියක් නැතිව හෙමිහිට ය. රයන් ගේ කාර්යාලයේ ද ඕනවට වැඩි වෙලාවක් ගත වී තිබිණ. ගෙදර පැමිණි ගමන් නාන කාමරයට වැදී ඔහු වැඩි කාලයක් නාස්ති කළේ ය.
‘චූටි පුතා පරක්කුයි කියල හිතිලත් මං කෝල් එකක් ගන්නැතුව තව ටිකක් බැලුව. ඩ්‍රයිව් කරන ගමන් නිසා…’
මව්වත්කම් වල අධි සාන්ද්‍රීය ස්වරයකින් වජිරා තේ කෝප්පය දෙන ගමන් කීවා ය.
‘රයන් එක්ක චැට් එකක් දාං හිටිය අම්ම. ගෙදර ආව කියලත් විශේෂ වැඩක් නෑනෙ’
‘ආ… මේ බලන්නකො අංකල්… අංකල් තනියම අරහෙ වත්ත උඩහ උදලුගානව. චූටි පුතාට ගෙදර ඇවිත් කරන්න වැඩ නෑලු. ලෝයර් මහත්තය පොඩ්ඩක් කැත්ත උදැල්ල ඇල්ලුවට මුකුත් වෙන්නෑ කියන්න අංකල්’
අස්විද ඇදෙස බැලුවේ ය. ඔහු ගේ නළලෙහි රැල්ලක් නැගී, ඇහි බැම යන්තම් හැකිළී, කුඩා ඇස් තවත් කුඩා වී තිබිණ. යසස්වි සිටියේ සිනහව පිට කරන්නට අවසර ඉල්ලන්නා බඳු බැල්මකිනි.
‘ඇයි දිල්නුකට කියල උදලුගාගන්න පුළුවන්නෙ’
කියා කියන්නට අස්විද ගේ මුව නළියෑවේ ය. නමුත් වජිරාත් විජිතත් එතැන උන් නිසාවෙන් එහෙම කියන්නට බැරි පසුබෑමක් ඔහු ට දැනිණි.