ආදර සැලසුම් – 21

0
2642

ආදිත්‍ය හට අශිකා ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ආදිත්‍ය මෞර්යා සමගින් ඇවිදින මං තීරුව අසල කතා කරමින් සිටිනා මොහොතේය.

” පුතා , ශීලා ඇවිල්ලා ඉන්නවා රවින්ද්‍ර එක්ක.ඔයා ළඟ පාතක ඉන්නවනම් ගෙදරට ඇවිත් යන්න එන්න පුළුවන්ද ? ” 

ෂෙහාරා ගේ දෙමව්පියන් මහ ගෙදරට පැමිණ ඇති පුවත ලැබුණු සැනින් ආදිත්‍යයට වුවමනා වූයේ නිවසට යෑමටය. ඒ ,කවුරුන් ඉදිරියේ වත් අශිකා අසරණ වනු දැකීමට අකමැති වූ නිසාය.එහෙත් මෞර්යා සමග ගෙවෙන මොහොත මගහැර ගැනීමටද ආදිත්‍ය තුළ ලෝභකමක් විය.

” අනේ සොරි මෞර්යා.අම්මා කතා කළේ.පොඩි හදිස්සියකට ගෙදර එන්නලු ” 

ආදිත්‍ය කලබලයෙන් කීවේය. මෞර්යා ගේ මුහුණේ වූ අදහසෙහි බිඳුවක වත් වෙනසක් වූයේ නැත.

” ඉතින් යන්න ආදිත්‍ය.අම්මනේ කතා කරන්නේ.අපි දෙන්නට කොයිවෙලේ කතා කරන්න බැරිද ? “

මෞර්යාගේ දුරකථන අංකය ඉල්ලා ගන්නට සිත් වූවත් ආදිත්‍යය ඒ සිතුවිල්ල ආයාසයෙන් මැඩගත්තේය. එවැනි දෙයක් සඳහා ඉක්මන් විය යුතු නොවේ.අනෙක් අතට තමා ආයතන ප්‍රධානියා බව මෞර්යා ඉක්මනින්ම දැන ගනුද ඇත.සමහරවිට මේ තත්ත්වය එවිට වෙනස් විය හැක.

ආදිත්‍ය හැකි ඉක්මනින් නිවසට පැමිණියේය.ෂෙහාරා ගේ දෙමව්පියන් කාලයකට පසුව තම නිවසට පැමිණ සිටින්නේ මතුවී ඇති ගැටලුව නිසා බව සිතා ගන්නට ආදිත්‍යට නොහැකි වූයේ නැත. කුමන තත්ත්වයක් යටතේ වුවද තමා ගත් තීරණය වෙනස් නොකරන්නට සිතා ගනිමින් ආදිත්‍ය වාහනයෙන් බැස නිවසට ඇතුළු වූයේය. ආදිත්‍ය ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ෂෙහාරාගේ දෙමව්පියන් මෙන්ම අශිකාද මග බලාගෙන සිටියහ.

ආදිත්‍ය මඳ සිනහවක් මුහුණට නංවාගෙන වැඩිහිටියන් ඉදිරියේ වාඩි වූ අතර අභිමන් ද ඒ මොහොතේ තරප්පු පේළිය බැස ආවේය.

” මේ ප්‍රශ්නෙ ගැන අපි ඔක්කොම එකතු වෙලා කතා කරොත් හොඳයි ආදිත්‍යය . අපි දේවකටත් කෝල් කරා.මං හිතන්නේ එයත් එයි “

රවින්ද්‍ර කතාව ආරම්භ කළේය. තමා ෂෙහාරා ගෙන් දික්කසාද වනවාට එක හෙලාම කැමැත්ත පල කරන්නේ අශිකා පමණක් බව ආදිත්‍ය දැන උන්නේය. කාලයක පටන් පවුල් ප්‍රශ්න හේතුවෙන් අශිකා දැඩි ලෙස බැට කෑ නිසා මේ මොහොතේ තමා සිටින තත්ත්වය ඉතා හොඳින් තේරුම් ගත හැක්කේ ඇයට පමණක් බව ආදිත්‍ය තවදුරටත් සිතුවේය.

” ඔයා ගත්ත තීරණය ගැන ඔයා හිතල බැලුවද ආදිත්‍ය ? “

රවින්ද්‍ර ඇසුවේය. ඔහු මේ නොකියා කියන්නේ ෂෙහාරාට සමාව දීමටය.එහෙත් එය කළ නොහැක.තමා මේ වන විටත් ෂෙහාරාට ඕනෑවටත් වඩා සමාව දී ඇත. තම වැරදි නිවැරදි කර ගන්නවා නම් ඇයට පසුගිය කාල වකවානුව තුළදී ඕනෑ තරම් අවස්ථාව තිබුණි.නමුත් ඇය කලේ හිතා මතාම තමාව රිදවීම පමණි.

” Im sorry තාත්තා. මං මේ තීරණය වෙනස් කරන්න අදහසක් නෑ ” 

ආදිත්‍ය පිළිතුරු දුන් අතර අභිමන් කට කොනකට සිනහවක් නගා ගත්තේය. ඔහු උන්නේ කෝපයෙනි. එහෙත් කිසිවක් කිව නොහැක. මෙය තම සහෝදරයා සහ වැඩිහිටියන් එක්ව විසඳා ගත යුතු ප්‍රශ්නයකි.

” මේක හිතන තරම් ලේසි වෙන්නෙ නෑ ආදිත්‍ය. අපි පවුලේ අයට මොනවද කියන්නේ? නෑදෑයන්ට මොනාද කියන්නේ? මිනිස්සුන්ට කොහොමද මූණ දෙන්නේ? ඒ හැමදේම ගැන ඔයා හිතලා බැලුවද ආදිත්‍ය ? ” 

එවර හඬ අවදි කළේ ශීලාය. ඔවුන් දෙදෙනා මේ ගමන පැමිණ ඇත්තේ තනිකරම ෂෙහාරාව නියෝජනය කරනු පිණිසය. කුමන වරදක් කළත් තම දියණියගේ පසින් සිට ගැනීම දෙමව්පියන් වශයෙන් වරදක් නොවූවත් , සැමියෙකු වශයෙන් ෂෙහාරා කළ වරදට තමා හට සමාව දිය නොහැක

” හැමදේම ගැන හිතන්න තිබුනේ ෂෙහාරාට නෙමෙයිද අම්මේ ? මෙච්චර ලොකු වැරැද්දක් මට කරන්න කලින් මිනිසුන්ට කොහොමද මුණ දෙන්නේ කියලා එයාට හිතන්න තිබුනෙ නැද්ද ? ” 

දේවක ගේ වාහනය පැමිණෙන මිදුලේ නතර කරන හඬ ඇසිණ. සියල්ලෝම බලා සිටියේ ඔහු නිවසට ගොඩ වදින තුරුය. වාහනයේ දොර වසන හඬ ඇසී තත්පර ගණනාවක් තුළ දේවක නිවසට ඇතුළු වූයේ සියල්ලන් දෙසම බලන අතරේය. ආදිත්‍ය උන්නේ දෙගිඩියාවෙනි.තම විවාහය පිළිබඳව සම්පූර්ණ තීරණය පියාගේ ය. ෂෙහාරා තුළද ඒ වන විට කිසිදු වරදක් නොවූ නිසා තමා එම තීරණයට විරුද්ධ නොවූවද දැන් සිදුවී ඇත්තේ අනෙකකි.

” අපි මේ කතා කර කර හිටියේ දේවක ආදිත්‍ය ගත්ත තීරණේ ගැන ” 

දේවක වාඩිවන අතරේ රවින්ද්‍ර කීවේය. ඒ තම මිතුරා මේ ගැටලුව පිළිබඳව හොඳ පිළිතුරක් ලබා දේ යැයි බලාපොරොත්තුවෙනි.දේවක ආදිත්‍ය දෙස හොඳින් බැලුවේය. ඔහු මේ ආදිත්‍යව දකින්නේ බොහෝ කාලයකට පසුවය.ඔහුගේ සම්පූර්ණ ස්වරූපයම වෙනස්ව ගොස් ඇත.ඇත්තටම ඔහු තුළ දකින්නට ඇත්තේ මලානික බවකි. 

” දැන් ආදිත්‍යය මොකක්ද කියන්නේ? ” 

දේවක ඇසුවේය. තමා ගෙන ඇති තීරණය පිළිබඳව සහ තමා මුහුණ දුන් කටුක දේවල් පිළිබඳව කතා කිරීමට තමාට ලැබෙන හොඳම අවස්ථාව මෙයය. එය අත්හැරිය යුතු නැත.ඕනෑම දෙයක් සිදු වන්නට හැර මේ මොහොතේ තමා වෙනුවෙන් කතා කළ යුතුය. 

” මං පුළුවන් ඉක්මනට ඩිවෝස් එක දානවා තාත්තා ” 

ආදිත්‍ය කෙටියෙන් සහ සෘජුව පිළිතුරු දුන්නේය. ශීලා සහ රවින්ද්‍ර මුහුණෙන් මුහුණ බලා ගත් අතර දේවක මොහොතක් කල්පනා කළේය. අශිකා සහ අභිමන් නිහඬව බලා උන්නේ දේවක යමක් කියන තුරුය.

” දැන් ඔය කියන තරමෙ වැරැද්ද ෂෙහාරා කරලා තියෙනවද ඇත්තටම ? ” 

දේවක පොදුවේ ඇසුවේ ඕනෑම කෙනෙකුට පිළිතුරු දීමට ඉඩ තබාය.

” මේකයි දේවක , ෂෙහාරා අතින් වැරැද්දක් වෙලා තියෙනවා. ඒත් මං කියන්නේ මේක කතා කරලා විසඳගන්න පුළුවන් නේද ? ඉක්මන් වෙලා ඩිවෝස් එකක් දානවා වගේ තීරණයකට ගිහින් අපේ පවුල් දෙකම ලැජ්ජ වෙන වැඩක් තමයි වෙන්නේ ” 

රවින්ද්‍ර කීවේ ඇඟට පතට නොදැනීය. ඔවුන්ට අවශ්‍ය ලැජ්ජාවෙන් ගැලවීමට පමණක් මිස තම දියණිය අතින් ආදිත්‍යයට සිදුවූ වරද නිවැරදි කිරීමට හෝ ඒ සඳහා වගකීමට නොවේ.

” ෂෙහාරා පිළිගන්නවද එයා අතින් වැරැද්දක් වුණා කියලා ? ඔය කියන කොල්ලා එක්ක එයාට affair එකක් තිබ්බා කියලා ? ” 

එවර දේවක හැරුනේ ආදිත්‍ය දෙසටය. 

” ඔව් තාත්තා. අනිත් එක මම රයන්ව හම්බ වෙලා කතා කරා. එයත් මට හැමදේම කිව්වා. මේ ප්‍රශ්නේ අද ඊයේ ඇතිවෙච්ච එකක් නෙමෙයි. මාස ගානක් තිස්සේ මං ඉවසගෙන හිටියා.අඩුම ගානේ අම්මට වත් කිව්වේ නැහැ. මං ෂෙහාරාට ඕන විදිහට ජීවත් වෙන්න දීලා බලාගෙන හිටියේ මේක කොයිවෙලේ හරි නතර වෙයි කියලා හිතා ගෙන. ඒත් මං මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේම නැහැ ” 

ආදිත්‍ය කතා කළේ වේදනාවෙනි. ඔහු තමා ඉදිරියේ මේ තරම් විවෘත වූයේ ප්‍රථම වතාවට බව දේවක සිතුවේය. තමාට විවාහ ජීවිතයේ වැරදුනු තැන් අප්‍රමාණය . ඒවා නිවැරදි කර ගැනීමට ද තමා බොහෝ සේ ප්‍රමාදය. අශිකා අයහපත් බිරිඳක් නොවන නමුත් තමා හා අශිකා අතර නොගැළපුණු තැන් බොහෝය.අශිකා යනු හදවතින් බදා වැළඳ ගෙන ආදරය කරන්නියක වුවද තමා හට ඇයට එසේ ආදරය කළ හැකි වූයේ නැත. ඒ තම සිතේ වූ දරදඬු ගතිය නිසාය. සමහර විට ෂෙහාරාද එවැනි දරදඬු ගති ඇත්තියක් විය හැකිය. තමා සහ අශිකා විවාහ ජීවිතයේ තවදුරටත් රැඳී සිටින්නේ දෙපුත්‍රයන් නිසාය. එහෙත් ආදිත්‍යයට එසේ නැත. සිදුවී ඇත්තේ ෂෙහාරා හිතා මතාම ඔහුව රැවටීමකි. ඔහුට ජීවිතයේ විඳීමට තව බොහෝ කාලයක් ඉතිරිව ඇති නිසා ඔහු මේ ආකාරයෙන් විඳවමින් ජීවත් විය යුතු නැත.

” මේකයි රවින්ද්‍ර. අපි මේ දරුවන්ගේ කසාදේ කරලා දුන්නේ අපිට හොඳයි කියලා හිතුන නිසානේ .හැබැයි ඉතින් කසාද බැන්දට පස්සේ ඒ දෙන්නා වෙනම පවුලක්.ඒක ඇතුළෙ තීන්දු තීරණ ගන්න එක ඒ දෙන්නගේ වැඩක්.එකට ඉන්න බැරිනම් වෙන් වෙන එකත් ඒ දෙන්නගේ වැඩක්.ඒ නිසා මං හිතන්නේ මේ ප්‍රශ්නෙ මේ දෙන්නට විසඳගන්න ඇරලා අපි පැත්තකට වෙන එක හොඳයි “

ආදිත්‍ය මෙවැනි පිළිතුරක් දේවක ගෙන් බලාපොරොත්තු වූයේ නැත. ඇත්ත වශයෙන්ම ශීලා සහ රවින්ද්‍ර මෙන්ම අශිකා සහ අභිමන්ද දේවකගේ මේ පිළිතුරෙන් පුදුමයට පත් වූහ.

” ෂෙහාරා උනත් මේ වගේ සම්බන්ධයකට පැටලෙන්න ඇත්තේ මේ දෙන්නා අතර මොකක් හරි නොගැලපීමක් තියෙන නිසානේ. ඉතින් එකට ඉන්න බැරි නම් හොඳම දේ වෙන් වෙන එක තමයි රවින්ද්‍ර.ඒක මේ ගොල්ලන්ට කරගන්න ඇරලා අපි පැත්තකට වෙලා ඉමු ” 

රවින්ද්‍ර උන්නේ කරකියා ගත දෙයක් නොහැකිවය. වසර ගණනාවක මිත්‍රත්වයට සලකා හෝ දේවක හොඳ පිළිතුරක් ලබාදේ යැයි බලාපොරොත්තුවෙන් සිටියද එසේ සිදු වූයේ නැත. දේවක අසුනින් නැගී සිටියේ රවින්ද්‍රට ඕනෑම දෙයක් සිතා ගන්නට හැරය. තීරණයක් ගැනීම ආදිත්‍ය හට භාර කළ පසු රවින්ද්‍රට තමා සමග අමනාපයක් ඇති කර ගැනීමට හේතුවක් නැතැයි සිතමින් දේවක නිවසින් පිටවූයේය.

” එතකොට ඔයාගේ අන්තිම තීරණේ මේකද ආදිත්‍ය ? ” 

රවින්ද්‍ර අවසන් වරට ඇසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here