ක්‍රිස්පි ගතියට කටට සැරට ටෝෆු හදමුද?

චීනයෙන් ලෝකයට හඳුන්වා දුන්න කුට්ටියක් විදිහට සකසා ගත්ත උකු සෝයා කිරි වලින් හදාගන්න ටෝෆු නිර්මාංශ බොහෝ දෙනෙක්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරන ඉතාම ජනප්‍රිය ආහාරයක්නෙ.

ඉස්සර ටෝෆු කියන්නෙ හොයාගන්න ටිකක් අමාරු කෑමක් වුනත් අද වෙද්දි නම් ඕනෑම කෙනෙක්ට ඉක්මණින් හොයාගන්න පුළුවන් විදිහට වෙළඳසැල් බොහොමයක ටෝෆු දැකගන්න තියෙනව.

ටෝෆු 100 g ක් ගත්තොත් එහි වැඩි වශයෙන් කැලරි, ප්‍රෝටීන් ,කාබ්ස්, ෆයිබර් සහ මේදය අඩංගු වෙනව වගේම ඊට අමතරව කැල්සියම්, මැග්නීසියම්, කොපර්, විටමින් A, යකඩ සහ සින්ක් වගේ පෝෂකත් අඩංගු වෙනව.

එහෙනම් smart lady අපි අද ඔබත් එක්ක මේ බෙදාගන්න සූදානම් වෙන්නෙ මේ ටෝෆු පිළියෙල කරගන්න පුළුවන් ඉක්මන් සහ රසම රස ක්‍රමයක් ගැනයි.

පුරුදු විදිහට මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ටෝෆු කුට්ටියක්

බිත්තර දෙකක්

කෝන් පිටි කෝප්ප 01 ක් 

සිහින්ව ලියාගත් ලොකු ළූණු ගෙඩියක්

සිහින්ව ලියාගත් ලීක්ස් හෝ ළූණු කොළ 05 ක් පමණ

සිහින්ව ලියාගත් ඉදුණු හෝ අමු මිරිස් කරල් 03 ක්

කුඩාවට කපාගත් සුදුළූණු බික් 03 ක් 04 ක්

ලුණු කුඩු 

ගම්මිරිස් කුඩු

කෑලි මිරිස්

තෙල් 

වතුර 

සාදාගන්නා ආකාරය

මුලින්ම, ටෝෆු කුට්ටියෙන් අඟල් භාගයක් පමණ කුඩාවට සිටින සේ කැට කපාගන්න.

භාජනයක් ලිපතබා එයට වතුර කෝප්ප 02 ක් 03 ක් එකතු කර නටන තුරු රත්කර ගන්න.

කපාගත් ටෝෆු කැට නටන උණුවතුරට දමා විනාඩි 02 ක් පමණ තබා ලිපෙන් ඉවත් කරගන්න.

ලිපෙන් ඉවත් කරගත් ටෝෆු ටිෂූ කඩදාසියක තබා වතුර ඉවත් කරගන්න.

තවත් ටිෂූ කඩදාසියකින් ටෝෆු කැබලි වල උඩ තෙත මත්තු කරමින් උඩින් ඇති වතුරත් ඉවත් කරගන්න.

දැන් භාජනයක් ගෙන එයට බිත්තර කඩාදමා හැන්ඳක් හෝ ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් බීට් කරගන්න.

කෝන් පිටි ටික තවත් භාජනයකට දමා එයට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර පිටි සමඟ හොඳින් කලවම් කරගන්න.

දැන් ටෝෆු කැබලි ටික බිත්තර සාරු වල දවටා බිත්තර වල දවටා ගත් ටෝෆු කැබලි පිටි දැමූ භාජනයටද දමා පිටි වලත් හොඳින් දවටා ගන්න.

මේ අතරතුර තෙල් රත්වීමට තබාගන්න.

දැන් පිටි වල දවටාගත් ටෝෆු කැබලි රත්වූ තෙලට දමා රන්වන් පාට වනතුරු බැදගෙන ලිපෙන් ඉවත් කරගෙන තෙල් බේරීමට තබාගන්න.

දැන් තවත් භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වන විට ලියාගත් සුදුළූණු, ලූණු, ලීක්ස් හෝ ලූණු කොළ සහ මිරිස් එකතු කර හොඳින් කලවම් කරගන්න.

ලූණු ටික මැලවීගෙන එන විට එයට ඔබේ රස අනුව ලුණු, කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු දමා හොඳින් කලවම් කරගන්න.

විනාඩියක් පමණ තබා බැදගත් ටෝෆු කැබලි ටිකත් එයට එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

තවත් විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවත් කරගන්න.

ඔන්න දැන් රසම රස ටෝෆු ලෑස්තියි. 

ඒනම් මේ විදිහට ටෝෆු හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles