පතිනියකගේ සටහන් – 17

0
1374

කුස තුළ හෙමින් වැඩෙන පුංචි අමුත්තා අපේ ජීවිතේ ලස්සන කරන අතරෙම සංකීර්ණ කරමින් ඉන්න බව මට දැනෙනවා. වෙනදට වඩා කේන්ති යනකොට හඬා වැළපෙන එක මට පුරුද්දට ගිහින්. උදේ උයන්න ඉස්සර පැයකට වඩා ගත නොවුණත් අඬන්න, පැමිණිලි කරන්න, භානු එක්ක පොඩ්ඩක් රණ්ඩු වෙන්න, වමනේ දාන්න ගියාම ඔෆිස් යන්න හොඳටම පරක්කු වෙන බව මටත් නොතේරුණා නෙවෙයි.

“අපොයි. අපේ කාලේ නම් අපි ළමයා බඩේ ඉන්නවද කියලාවත් හිත හිතා හිටියේ නෑ. වෙනදා වගේම හිටියා”

මිසිස් පෙරේරා නම් ඔෆිස් එකේදි හැමදාම මට කියන්නේ එහෙමයි.

“මාස නවයම මට බත් කටක් කාගන්න බැරි වුණා තාරු. ඇත්තටම මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා. බත් නෙවෙයි යෝගට් හැන්දක්වත්”

නිලූත් අඩුවැඩිය එකතු කරනවා.

කියවන්න :  පාසල් අධ්‍යාපනය අඩාල වුවත් උපාධිය දක්වාම ඔබ ගෙන යන ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

“ඔයාගේ ඩොක්ට සල්ලි ගරන මනුස්සයෙක්ලු අක්කා. අපේ අක්කාගෙ මැහුම් පවා පැසෙව්වනෙ.”

දරුවෙක් ගැන තියා කසාදයක් ගැනවත් හිතුවේ නැති මාධවී නංගිත් කතාවට එනවා.

“තාරු.. මේ හෝමෝන් වෙනස් වෙන කාලේ. මෝනිං සික්නස් හෙමින් ඇරිලා යයි. ආසා දේවල් කන්න. සතුටින් ඉන්න.ඩොක්ට කියන දේ හරියටම පිළිපදින්න “ උපුලි හෙමින් කියනකොට මම නිවෙන බව මට දැනෙනවා.

“පුතාත් මාස නවයම මට කරදර කරේ නෑ දුවේ.මාස තුනක් යනකොට ඔය අමාරු ඇරිලා යාවි. බය වෙන්න දෙයක් නෑ” මම කරන විකාර වලට භානුගේ අම්මා එහෙම ප්‍රතිචාර දැක්වීම මොන තරම් වටිනවද?

කියවන්න :  පතිනියකගේ සටහන් -27

“ඔෆිස් එකේම හැමෝම කියන විදියට දඟලන්න හිතන්න එපා දෝණි. සමහර වෙලාවට ගෑනු අය අත්දැකීම් කියලා බෙදා ගන්නේ නරකම දේවල් විතරයි. ඔයා ඩොක්ටව විශ්වාස කරන්න.ලෝකේ ඉස්සරලම දරුවෙක් ලැබෙන්නේ ඔයාට නොවුණට මේ ඔයාගේ පළවෙනි බබානෙ. ආදරෙන් ඒකට මූණ දෙමු. හිතේ විශ්වාසයයි, හොඳ පැවැත්මයි තමා වැදගත්ම”

අපේ අම්මා කියන කතාවට භානුත් හිස වනමින් සහයෝගය දක්වන හැටි මම බලන් ඉන්නේ ආදරෙන්.

ඔව්, මේ ලෝකේ පළමුවෙනි දරුවා නෙවෙයි. ඒත් මගේ මුළු ලෝකෙම වෙන්න එන කෙනා.

වෙනස්වීම් දරා ගනිමින් ජීවිතේ උහුලා ගන්න භානුකටත් මටත් කියා දෙන කෙනා.

-නිබන්ධිකා-