ළතෙත් ආදර හැඟුම් ගංගා – 11

0
286

“ගෑනු ළමයෙක්ට මේ ලෝකෙ ලැබෙන්න තියෙන නරකම දේ වගේම වටිනම දේ තමයි ඇටෙන්ශන් එක. හරි කෙනාගෙන් ලැබෙන ඇටෙන්ශන් එක ගෑනියෙක්ට උඩටම යන්න උදව් වෙනවා වගේම, ජිවිතේ ලස්සන කරන්න උදව් වෙනවා. හැබැයි වැරදි කෙනාගෙන් ලැබෙන ඇටෙන්ශන් එක ගෑනියෙක්ගෙ ජිවීතේ වලපල්ලටම ඇදලා දානවා.

ගෑනු ආසයි ඇටෙන්ශන් එකට. හැබැයි තමන්ට ලැබෙන්නෙ මොන විදියෙ ඇටෙන්ශන් එකක්ද, ඒ ඇටෙන්ශන් එකෙන් තමන්ගෙ ජීවිතේ ඉස්සරහට යාවිද වලපල්ලට යාවිද කියන එක තේරුම්ගන්න තරම් මොළයක් ගෑනියෙක්ට තියෙන්න ඕන”  කියලා මට කිව්වෙ අපේ අම්මා. අම්මා ගුරුවරියක් වෙච්ච නිසාම ඉස්කෝලෙදි ගෑනු ළමයින්ට දෙන අවවාද අපේ අම්මා ගෙදරදි දුන්නත්, නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයි කියනවා වගේ ඒ අවවාද උපදෙස් ඔක්කොම මගෙ එක කණකින් ඇතුල් වෙලා අනෙක් කණෙන් පිටවුනේ කටෙන් “විකාර” කියලා අපහාසෙකුත් විසික්කරන ගමන්.

මට ඒ හැම වචනයක්ම මතක් උනා මංජු කමියුනිකේශන් එකේ දොරෙන් ඇතුළට එද්දි. ඉස්කෝලේ පටන් ගන්න වෙලාවට, ඉස්කෝලේ ඇරෙන වෙලාවට කොච්චර සෙනග උන්නත් මේ වගේ වෙලාවල්වලට ඉඳහිටක රිලෝඩ් එකක් දාගන්න මනුස්සයෙක් ආවා ඇරෙන්න එහෙමකට කියලා සෙනගක් උන්නෙ නැති හන්දම මට තේරුනා මංජු මේ ආවේ හොඳට ප්ලෑන් කරපු ගමනක් කියන එක.

උත්තරා අක්කා උන්නෙත් එවෙලෙ ලොකු බබාව මොන්ටිසෝරියෙන් අරගන්න ගිහිල්ලා. මුලු කමියුනිකේශන් එකටම හුස්ම ගන්න ඇහැට පේන කෙනෙක්ට කියලා උන්නෙ එවෙලෙ මංජු විතරයි. මොකද මං උන්නෙ බයෙන් ගල් වෙලා.

“මං හිතුවා අදත් කූඩුව පිරවිලා ඇත්තෙ කියලා” මංජු හිනාවෙද්දි මං උන්නේ මං ඒ හිනාවට උත්තර දෙන්නෝන කොහොමද කියන එක හිතාගන්න බැරුව. 

“මොන කූඩුවද?” කියලා මං ඇහුවෙ ඇත්තටම මංජු කිව්ව දේ මට හිතාගන්න බැරිවෙච්ච හන්දා.

“මේ කූඩුව ගැන කිව්වෙ අප්පා. කොහොමද පැය ගානක් ඔයා මේක අස්සෙ රිංගන් ඉන්නෙ හැරෙන්නවත් ඉඩක් නෑනෙ” කියලා මංජු කියද්දි මං කමියුනිකේශන් එක තිබ්බා කාමරේ වට පිට බැලුවෙ හරියට ජීවිතේ පළවෙනි වතාවට ඒක අස්සට රිංග ගත්ත කෙනෙක් වගේ. කමියුනිකේශන් කාමරේ ඇත්තටම පොඩි විත්තිය තේරුණේ ඒ වෙලාවෙ උනත් ඒකට ලොකුම හේතුව හුස්ම හිරකරන්න හේතුවෙන මංජු කාමරේ අස්සෙ ඉන්න එක කියන්න මට ඒ වෙලාවෙත් පුළුවන්කම තිබ්බා.

“පුරුදුයිනෙ ඉතින්” කියලා මං උත්සහ කරේ මේ කතාව එතනින් නතර කරලා මංජුට ඕන කාරණාව කරලා දීලා මිනිහව මෙතනින් පිටත් කරන්න උනත් පැත්තක තිබ්බ ස්ටූල් එක අරන් වාඩිවෙච්ච මංජු මං දිහාවම බලන් ඉද්දි මට ඕන දේ නම් මේ කපේට වෙන්නෙ නෑ කියන එක මට තේරුණා.

අනික කොහොමත් මේ ජීවිත කාලෙ මට ඕන දේවල් එකක්වත් ඒ විදියට උනේ නෑ නේද කියන එකත් ඒ වෙලාවේ මතක් වුණා.

“මං ඇත්තටම ආවෙ නංගි එක්ක පොඩි ටෝක් එකක් දාන්න” කියලා මංජු අමුතු විදියට හිනාවෙද්දි “ඒ ටෝක් එකට මං ටෝක් වෙයි කියලා නම් හිතන්න එපා අයියෙ” කියලා කියන්න හිතුණත් නොදන්න තැනක, දන්න මිනිස්සුන්ට සද්ද බද්ද දාලා ලබාගන්න පුළුවන් සුගතියක් මට නැති විත්තිය මගෙ මෝඩ මොලේ ඒ වෙලාවෙ මට මතක් කරලා දුන්නා.

මං ඒ හන්දාම කරේ මංජුට ඕන මගුලක් කියාගන්න දීලා සද්ද නැතුව ඉන්න එක.

“මං මේක කාන්ති අක්කටත් වතාවත් දෙකක් එහෙං මෙහෙං කිව්වා. ඒත් ඉතින් මේක කතාකරන්න ඕන කෙනා නංගි හන්දා මං ඒත් හිතුවා මං මොකටද වෙන අය එක්ක මේක කතාකරන්නෙ කියලා” මංජු දියාරු හිනාවක් දාද්දි මං කරේ කිසිම හිනාවක් නැතුව මංජු දිහාව එක එල්ලෙම බලන් උන්න එක හරියට වෙන්ඩ්සේ ඇඩම්ස් වගේ. 

“මං කැමති නංගිවයි දරුවයි භාරගන්න?” කියලා මංජු කියද්දි හිත අස්සෙන් මං හිනා උනා. බඩ පොඩ්ඩක් කැලතුනා වගේ උනේ සමහර විට දරුවටත් මිනිහා කිව්ව කතාවට හිනා ගිය හන්දා වෙන්නැති කියලා හිතුනට මට ඒ එක්කම වමනෙ යන්න ආව හන්දම මම දුවගෙන ගියේ කමියුනිකේශන් එකෙන් එලියට. මංජුත් ඒ එක්කම මාත් එක්ක දුවගෙන ආව විත්තියත්, මං වමනෙ දාන කම් මිනිහා බලාගෙන ඉන්න විත්තියත් තේරුණාම මට ඇත්තටම මිනිහගෙන් අහන්න තිබ්බෙ එක ප්‍රශ්නයයි. ඒත් ඒක අහන්නත් වමනෙ දාලා ඉවර වෙනකම් මට ඉන්න උනා.

“මනුස්සයෙක් වමනෙ දාද්දි ඔහොමද හරිහමං කෙනෙක් නම් ඉන්නේ?” කියලා මං අහද්දි මංජු මං දිහාව බැලුවෙ හරියට “යකෝ මං හරියට වමනෙ දාන්න කිව්වා වගේනෙ” කියලා.

“ඒ ඒ ඒ කිව්වේ?”

“මනුස්සයෙක් වමනෙ දාද්දි අපි හරිනම් කට පිහගන්න කොළයක්, වතුර බෝතලයක් එහෙම අරන් ගෙනවිත් දෙන්නෝන නේද? එහෙම දෙයක්වත් තේරෙන්නෙ නැති තමුන් ළමේක් හම්බෙන්න ඉන්න මං වගේ ගෑනියෙක්ව භාර අරගෙන මොනවද කරන්න හිතන් ඉන්නෙ?” කියලා කියද්දි මංජුගෙ කට තිබ්බෙ කජු ලෙල්ල වගේ ඇද වෙලා.

“අනික අයියෙ කවුරුවත් මාව භාරගන්න ඕන වෙන තැනකට මම තාම ඇද වැටිලා නැතෙයි කියලා මං හිතනවා” කියද්දි නම් මංජුගෙ කජු ලෙල්ල ආයෙ කටක් වුණා.

“කොහොමද නංගි එහෙම වැටිලා නෑ කියන්නෙ. අප්පෙක් නැතුව ළමයෙක්ව හදනවා කියන්නෙම හෙන කේස් එකක්නෙ. මිනිස්සු නංගි දිහාව බලන්නෙ නිකන් රෝන් සයිඩ්. එහෙම කතා අහගන්නෙ මොකටද නංගි?”

“ඉතින් එහෙම රෝන් සයිඩ් බලන ගෑනියෙක්ව භාරගන්න මිනිහා දිහාව මිනිස්සු රයිට් සයිඩ් එකෙන් බලාවි කියලද අයියා හිතන්නෙ?” කියල මං ආයෙ අහද්දි මංජුගෙ කට කජු ලෙල්ල උනා.

“මට අදාල නෑ නංගි මිනිස්සු මං ගැන මොනවා හිතුවත්. මං ඒ ඕන දේකට රෙඩි වෙලා තමයි නංගිට මේ ටෝක්ස් කරේ”

“මං හිතන්නෙත් එච්චරම තමයි අයියේ”

“මොකද්ද?” 

“මට අදාල නෑ මංජු අයියෙ මිනිස්සු මං ගැන මොනවා හිතුවත්. මොකෝ මොනවා හිතුවත් මට මේ වෙලා තියෙන කිසිම දෙයක් ආයෙ වෙනස් වෙන්නෙ නැති හන්දා. අනික් එක කොහොමත් අයියෙ මිනිහෙක් නැතුව ළමේක් හදාගත්ත ගෑනියෙක් ඊටපස්සෙ රාජ කුමාරයෙක් කසාද බැන්දත් ලෝකෙ බණින්නෙ, අනං මනං කියන්නෙ ගෑනිට. මිනිහෙක් නැතුව දරුවෙක් ඉන්න ගෑනියෙක් දිහා බඩුවක් විදියට බලන ලෝකෙ, ඒ ගෑනි ආය කසාදයක් කරගත්තම ඒ මිනිහා දිහා බලලා කියන වචනෙ මොකද්ද කියන එක මං අයියට අමුතුවෙන් කියන්නෝන නෑනෙ.

වෙච්ච දේවල් මට හොඳටම ඇති අයියෙ. තව ඔලුවට කරදර දාන් මට දුක් විඳින්නෝන නෑ. බෝම ස්තුතියි අයියා ඇවිල්ලා ඇහුවට. ඒ උනාට මට ඕන නෑ අයියෙ කවුරුවත් මාව භාරගන්නවට. මොකෝ ඔය භාරගන්නවා කියන වචනෙ අස්සේ ගෑනියෙක්ව විනාස කරන ලොකුම ලොකු උගුලක් තියන විත්තිය මං දන්න හන්දා” 

අපේ අම්මා කිව්ව “මං මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා ගෑනු කැමැත්තෙන් ගිහින් රත්තරන් දම්වැල්වලට බැඳෙනවා. රත්තරන් උනත් ඒ දම්වැලක් විත්තිය තේරෙන්නෙ කාලෙකට පස්සෙ. ඒත් ඒ වෙද්දි සමහරුන්ට ඒ දම්වැලෙන් ගැලවෙන්න විදියක් නෑ. සමහර වෙලාවට ගැලවෙන්න පුළුවන් උනත් මලකඩ කෑව දම්වැලක පැටලිලා ඉඳලා ආත්මෙම කුණුවෙලා ගිහින් ඉවරයි” කියන වචනෙ මට මංජුට පිටුපාලා ආය කමියුනිකේශන් එක අස්සට එද්දිත්  මතක් වුණා.

මංජු කියන්නේ භාරගැනීමක් ගැන නෙවෙයි අයිතිකරගැනීමක් කියන එක තේරුම්ගන්න තරම් මං ඒ වෙද්දි මොලේ දියුණු කරගෙන උන්නා.මංජු මේ ටෝක් කරන්නෙ මගේ ආත්මෙ කොටස් වලට කඩලා, මිනිහගෙ අතේ තියාගෙන ඒක “මං ඔයාව භාරගත්තා, මං ඔයාව පරිස්සං කරනවා” කියන ලේබල් එක ගහන විත්තිය තේරුම්ගන්න තරම් මම සමාජෙ තේරුම් අරගෙන උන්නා. ඒ වගේම  ගෑනියෙක්ගේ ජීවිතේ පරිස්සම් වෙන්න ඕන ඒ ගෑනිගෙ ආත්ම විශ්වාසෙන් මිසක්කා වෙන මිනිහෙක් බලහත්කාරෙන් ඔබන්න හදන බැඳීමකින් නෙවෙයි කියන එක මං තේරුම් අරගෙන උන්නා.

භාරගැනීම කියන්නේ, තමන්ගෙ අතේ තිබ්බ මැප් එකේ අයිතිය වෙන කෙනෙක්ට දෙනවා වගේ වැඩක්. ඊට පස්සේ මට යන්න පුළුවන් පාරවල්, හම්බෙන්න පුළුවන් මිනිස්සු, බලන්න පුළුවන් හීන… ඒ හැමදේම තීරණය කරන්නේ මං නෙවෙයි මගේ අයිතිකාරයා.

අපි හැමෝම ජීවත් වෙන්නේ, ඇහැට පේන්නෙ නැති කම්බි වැටක් ඇතුළේ. මේ කම්බි වැට හදලා තියෙන්නේ සමාජයේ ඕනෑ එපාකම් වලින්. ඒ වැට තියෙද්දිම තව කෙනෙක් ඇවිත් “මං ඔයාව පරිස්සම් කරන්න කියලා හිරකරගත්තම ඒක සිරගෙයක් වෙන එකයි වෙන්නෙ. ඒ සිරගෙදරදී තමයි අපි හිත ඇතුළෙන් මැරෙන්නේ. හුස්ම ගන්න අතරෙම මැරෙන්නෙ.

ඒකයි මං කියන්නේ, හුස්ම ගන්න අතරෙම ගෑනුන්ට මැරෙන්න උනත් පුළුවන් කියලා. ශරීරය මෙතන, ඇස් ඇරලා බලන් ඉන්නවා, කටින් කතා කරනවා, වැඩ කරනවා. ඒත් ඇතුළේ ජීවිතේ, තමන්ගෙ ගෑනු ආත්මෙට දිළිහෙන්න ඕන කරන ලයිට් එක තියෙන්නෙ නිවිල ගිහින්. 

අන්න ඒ හන්දම මම මංජුට කිව්වා,

“මට ඕන නෑ කවුරුවත් මාව භාරගන්නවට. මට උහුලන්න වෙච්ච, වෙලා තියෙන බර, වේදනාව හැමදේම මං තනියෙන් දරාගන්න කැමතියි. මොකද මම ජීවත් වෙනවා නම්, ඒක කාගේවත් අවසරයකින් තොරව සම්පූර්ණයෙන්ම මගේම වෙන්න ඕන කියලා මං හිතන හන්දා”












LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here