රැකියාවට එහා ගිය ගුරුවරියක්ගේ මව්වත්කම

මම පහළ මිටියාවත දෙස බලා හුන්නෙමි. කන්ද පහළ ඇත්තේ පටු මාවතකි.මා මේ මාර්ගය දිගේ මෙතරම් දුරක් පැමිණි බව මට විශ්වාස කරන්නට නොහැකි තරම් ය.

“ඇත්තටම ඔය ළමයිව මේ කාලෙ හොයන්න අමාරුයි ළමයෝ..”

විදුහල්පතිතුමා මට උපරිම කාරුණික හඬින් පැවසී ය. ඔහු බොහෝ කල් සටන් කරන්නට ඇත.බොහෝ දෑ අත හරින්නට ඇත.මට එසේ කරන්නට හිතක් නැත.තරුණ ජවය ලෙය පුරා උතුරා යද්දී මට උවමනා සටන් කරන්නට ය.

ගුරුගීතයේ දුයිෂෙන්ගේ සිට හෝගානා පොකුණේ ගුරුතුමිය දක්වාම මගේ රෝල් මොඩලයන් කරගන්නට මම ඉටා ගත්තේ මේ ගමන අරඹන්නට පෙර ය.නමුත් ඒ හැමකෙනෙකුටම වඩා මට වෙනස් සටනක් කරන්නට වන බව දැන් මට පැහැදිලි ය.

මම දුෂ්කර පළාතක පාසලක ගුරුවරියක වන සිහිනයක එල්බ ගත්තියක නොවෙමි.මට ඕනෑ වූයේ රැකියාව ය.එය ලැබුණේ දුෂ්කර පාසලකට ය. මධ්‍යම පාන්තික පවුලක දියණියක වූ මම මුලින්ම මා සමඟ සටන් කළෙමි. ඒ ලැබුණු අවස්ථාව මඟ නොහැර බාර ගන්නට මටම බල කරමිනි.

“ඔය මාරුව හදා ගන්න බැරිනම් වෙන රස්සාවක් බලන්න් පුතේ.තව විභාග එහෙම ලිව්වැකිනෙ..”

අම්මා මට පැවසුවා ය. අම්මාත් තාත්තාත් අපට ඉගැන්වූයේ කම්කටොළු දරා ගනිමින් බව මම හොඳින් වටහා ගෙන සිටියෙමි.එනිසා ඉපයීමට ලැබුණු අවස්ථාව අතහැර ගන්නට මට උවමනා වූයේ නැත.

මම මේ කුඩා පාසලේ ගුරුතුමියක වූයේ එහෙම ය.

“සාමාන්‍ය පෙළ පන්තියේ ළමයි ඉන්නේ හත් දෙනයි. අද ඇවිල්ලා ඉන්නේ එක්කෙනයි..”

විදුහල්පතිතුමා මගේ පත්වීම බාර ගත්තේ එසේ කියාගෙන ය. මේ කුඹුරු වැඩ කාලය බැවින් ළමයින්ට කුඹුරු වැඩ කරන්නට සිදු වෙන බව ඔහු හෙළි කළේ ය.

“සිංහල මිස් බුද්ධාගමයි ඉතිහාසෙයිත් උගන්නනවා..ඔය මිස් විද්‍යාවට ආවට මෙහෙ ගණං ගුරුවරයෙක් නෑ. ඉංග්‍රීසි ගුරුවරයෙකුත් නෑ..”

මා ඉගෙන ගත්තේ නාගරික බාලිකා පාසලක ය.අපට නොතිබූ දෙයක් නැති බව මට සිහි වන්නේ දැන් ය.අමතර පන්ති තිබුණේ අත පොවන දුරකිනි.මේ දරුවන්ට තිබෙන්නේ මොනවාද?

සටන් කරනවානම් වසර එකහමාරක් ඇත.දහයේ පන්තියේ දරුවන් හත් දෙනාට සාමාන්‍ය පෙළ ලියන්නට අවුරුදු එකහමාරක් ඇත.

“සර්, නීත්‍යානුකූල නැතුව ඇති.මං මැත්ස් ඉන්ග්ලිෂ් දෙකත් උගන්නන්නං..”

මා දෙස විදුහල්පතිතුමා බලා හුන්නේ පිය සෙනෙහසක් ඇස් වල තවරාගෙන ය.

“මිස්ට පුලුවංනම් පිනක්..”

කුඹුරු යායට යන පාර මට පෙන්වූයේ පන්තියේ ඉතිරි එකම දරුවා ය.මම දහයේ පන්තියේ දරුවන් සොයමින් වෙල් යායවල් පුරා ගියෙමි.මඩ නාගත්, හරකුන් පසුපස යමින් සිටි, පැල් මත සිටි දරුවන් හය දෙනෙක් මා විශ්වාස කරන්නට තීරණය කර තිබිණ.

ගණිතය මට සමහර කොටස් අලුතින් ඉගෙනගන්නට සිදු විණි.ගණිත ගුරුවරියක වූ මගේ මිතුරියක ඕනෑම මොහොතක මගේ ඇමතුම් වලට මහ රෑ පවා පිළිතුරු දුන්නා ය. මා ඉංග්‍රීසි භාෂාවේ සමතියක බව ඇත්තකි.එහෙත් දහය එකොළහ වසර විෂය නිර්දේශය මට මුල සිටම හදාරන්නට සිදු විණි.

කාලය ඉතා වේගයෙන් ගලා යයි.දරුවන්ට පවුලේ ජීවන සටනට උර දීමට ද සිදු වේ.සමහර දවසට ඔවුන් ඈත නගරයේ පොළට යා යුතු ය.අස්වැන්න විකුණා නැවත පැමිණෙද්දී මට ද රසකැවිල්ලක් රැගෙන එන ඔවුන් මගේ වැඩ කිරීමේ වේගයත් ආශාවත් වැඩි කළේ ය.පැල් රකින දරුවන්ට පාඩම් කරන්නට කෙටි සටහන් සාදා දෙන්නට මම පියවර ගතිමි. ඔවුන්ට ජීවන සටන ද අධ්‍යාපන සටන ද සමසමව රැගෙන යන්නට සිදු වේ.

නිවාඩු කාලය අපට නිවාඩු කාලයක් වූයේ නැත.මට මේ කඳුකරය අතැර ගෙදර දුවන්නට සිතුණු දවස් අපමණ ය. මගේ කුඩා නවාතැනේ මිදුලේ පෙණ ගොබය පුප්පාගත් නාගයන් හිඳින බවත්, සර්පයන් සහ විවිධ සතුන් මෙහි වාසය කරන බවත් අම්මාට කියන්නට මම බිය වීමි.ඇය මා නැවත ගෙන්වා ගන්නා බව මට විශ්වාස ය.

“ගුරුනිවාසෙ අබලන්.සර්පයොත් ඉන්නවා.ටීච අපේ ගෙදර නවතින්න..”

විදුහල්පතිතුමාගේ බිරිඳ මට පැවසුවේ වාරයක් ගෙවී යද්දී ය.

ඒබීසී නොදැන සිටි මගේ දරුවන් වාක්‍ය අමුණමින් රචනා ලියන තරමට වසරක් ගත වෙද්දී දියුණු වූහ.එකතු කරමින් අඩු කරගන්නට දැන සිටි ඔවුන් ගණිත සංකල්ප සමඟ හරිහරියට ගැටෙන්නට විණි.විද්‍යාගාරයක් නැති පාසලක සිට මම ඔවුන්ට විද්‍යාව ඉගැන්වූයෙමි.දැන් අප හිඳින්නේ සාමාන්‍ය පෙළ විභාගය පිළිගත හැකි මට්ටමේ ය.

මගේ මිතුරන් මට සහයෝගයේ දෑත් දිගු කරන්නට ගත්තේ ය.විෂයන් තුනක් උගන්වා හති වැටී සිටි මා වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙර අගෝස්තුවේ ඔවුහු අපේ කුඩා පාසලට පැමිණිය හ.දරුවන් ප්‍රශ්න පත්‍ර කරමින් සටනට බසින්නට පටන් ගත්තේ ය.අපි අනිත් විෂයන් වෙනුවෙන් ද ඔවුන්ට උපකාර කළෙමු.

“මං හිතාගෙන හිටියේ මේ ළමයින්ව කොහොමහරි පාස් කරන මට්ටමට ගන්න..”

මම වෙහෙසකාරී දිනයක් අවසානයේ පාසලේ ගුරුතුමියකට පැවසුවෙමි.

“එයාලා මගෙ සබ්ජෙක්ට් වලටනම් ඒ ගන්න මට්ටමේ ඉන්නවා..”

ඇය කියන්නේ සතුටකිනි.

මම කඳුකරයට පහළ මාවත දෙස බලාගෙන මේ ගෙවන්නේ සන්තුෂ්ඨියේ හෝරාව ය. මගේ දරුවන් හත් දෙනා අද සාමාන්‍ය පෙළ ලියන්නට නගරයට පිටත්ව ගියේ ය.විදුහල්පතිතුමා ඔවුන්ව ඔහුගේ අබලන් වෑන් රියේ නංවා රැගෙන ගියේ ය.

මම සටන පටන් ගත්තේ ඔවුන් කෙසේ හෝ විභාගය සමත් කරවන්නට සිතමිනි.සාමාන්‍ය පෙළ දක්වා හෝ අධ්‍යාපනය ලබා දෙන්නට සිතමිනි.රජය මට ගෙවන වැටුපට සාධාරණයක් කරන්නට සිතමිනි.

නමුත් ඔවුන් විශිෂ්ට සාමාර්ථ ලබා ගන්නා බව දැන් මම දනිමි.

මේ සටන මට සතුටකි.මම මා ඉගෙන ගත් නිදහස් අධ්‍යාපනයට පෙරළා යුතුකම ඉටු කළෙමි.තව වසර ගණනාවක් මේ බිමේ රැඳෙමින් දරු පරපුරක් ගොඩ නගන ආත්ම විශ්වාසයක් මා වෙළා ගනිමින් තිබේ.

ගුරුවරියකට කළ නොහැක්කක් නැත.

More Stories

Don't Miss


Latest Articles