යකඩ ඇණ වලට හුවමාරු වුණ ටහීටි කාන්තාවන්ගේ ඉරණම

18 වන සියවස කියන්නේ ලෝක සිතියම තාම සම්පූර්ණ නැති කාලයක්. 

මුහුදු යාත්‍රා කරන අයට තිබුණේ එකම එක පිස්සුවක්. ඒ තමයි, ලෝකයේ තාම හොයාගත්තෙ නැති, නොදන්නා පැති හොයාගෙන යන එක!

අන්න ඒ වගේ කාලෙක තමයි HMS ඩොල්ෆින් කියන නැව මුහුදට බහින්නෙ. මේක නිකම්ම ගමනක් නෙවෙයි.  ගවේෂණයක්. මේ නැවේ නාවිකයන්ගේ අරමුණු දෙකක් තිබුණා.

එකක් සිතියම් නැති මුහුද සිතියම් ගත කිරීම. දෙවනි එක තමයි ටෙරා ඕස්ට්‍රේලිස් ඉන්කොග්නිටා කියලා යුරෝපීයයන් විශ්වාස කරපු, දකුණු අර්ධගෝලයේ හැංගිලා තියෙන අර පුරාවෘතීය මහාද්වීපය හොයාගන්න එක.

මේ නාවිකයෝ දැනගෙන උන්නෙ නෑ ඒ ගමන කොහෙන් නතර වෙයිද කියලා. ඒ වගේම එයාලා හිතුවෙවත් නැති විදියට, යුරෝපයේ කිසිම වටිනාකමක් නැති, සාමාන්‍ය දෙයක් වුණු යකඩ ඇණයක් නිසා මුළු පැසිෆික් කලාපයේම ආර්ථිකය වෙනස් වෙන්න යනවා කියලා.

ඒක කොච්චර ලොකු වෙනසක් වුණාද කියනවා නම්, ඩොල්ෆින් නෞකාව ටහිටි දූපතට ලඟා වුණාට පස්සේ, එතන හිටපු මිනිස්සුන්ට මේ යකඩ ඇණ රත්තරන් තරම් වටිනා දෙයක් වුණා.

මේ ඇණවලට තිබුණ ඉල්ලුම කොච්චර ප්‍රබල වුණාද කියනවා නම්, මිනිස්සු එක යකඩ ඇණයක් වෙනුවෙන් තමන්ගේ ශරීරය වුණත් විකුණන්න පෙළඹුණා. යකඩ ඇණයක් මුදල් ඒකකයක් බවට පත් වෙලා, මිනිස්සුන්ගෙ ඇඟවල් පවා හුවමාරු වෙන්න ගත්ත අමුතුම ඉතිහාසයක් මේ ගමන ඇතුළේ හැංගිලා තියෙනවා.

ඔන්න ඔතනින් තමයි, ඇණ සහ නැව අතරේ ඇති වෙන භයානක ගනුදෙනුව පටන් ගන්නේ.

මේක නිකම්ම මූදු ගමනක් නෙවෙයි. මේක තමන්ගේ ආත්මයම විකුණගෙන කෑමක් ගැන කියවෙන කතාවක්.

මුලින් කපිතන් ජොන් බයිරන් යටතේ ගිය ගමනෙන්, ඩොල්ෆින් නැව වසර දෙකකටත් අඩු කාලෙකින් ලෝකය වටේම ගිහින් එනවා. ඒක වාර්තාගත වේගවත්ම සංචාරයක් වුණත්, එයාලා හොයපු මිත්‍යා මහාද්වීපය හම්බවෙන්නේ නෑ.

මේ දූපත හොයාගන්න තිබ්බ උද්‍යෝගය එන්න එන්න වැඩිවෙච්ච හන්දා 1766 දී කපිතන් සැමුවෙල් වයිල්ස් යටතේ ඩොල්ෆින් නෞකාව ආයම සැරයක් මූදු ගමනක් යන්න පිටත් වෙනවා. මාස ගාණක් ප්‍රචණ්ඩකාරී මුහුදත් එක්ක හැප්පිලා වෙහෙසට පත් වෙච්ච මේ නැවේ උන්න කාර්ය මණ්ඩලය, තමන්ගෙ නැවට සහ තමන්ට ඕන කරන එදිනෙදා දේවල් ටිකක් හොයාගන්න බලාගෙන පැසිෆික් සාගරයට ඇතුල් වෙනවා.

1767 ජූනි මාසේදී, ඒගොල්ලන් මුහුදේ නැංගුරන් දාගෙන ඉන්නකොට ඈතින් හරිම ලස්සන දූපතක් දකිනවා. මේ තමයි වර්තමාන ටහිටි දූපත. නාවිකයන්ට මේක හරියට දෙවියන් දුන්න පාරාදීසයක් වගේ පේන්නෙ මෙච්චර දවසක් මූද මැද්දෙ, මූදු රළ එක්ක සටන් කරලා මහන්සි වෙලා උන්න හන්දා. මේ දූපතේ කවුරු ඉන්නවද දන්නෙ නෑ කියන අවිශ්වාසෙ එක්ක ගොඩ බැස්සත් ටහිටි ජනතාව මේ අයට පහර දෙන්නේ නැතුව, ඌරන්, කුකුලන් සහ පළතුරු වලින් පිරිච්ච ඔරු වලින් ගිහිල්ලා මේගොල්ලන්ව පිළිගන්න ගත්තා. මේ ටහිටියෙ උන්න ගෝත්‍රික ජනතාව ඉතාමත්ම සාමකාමී ගෝත්‍රයක් විදියට තමයි බ්‍රිතාන්‍යයන් දැක්කෙ.

ඩොල්ෆින් නැවේ උන්න නාවිකයෝ දැක්කා මේ දූපතේ හිටපු ගැහැණු අය, යුරෝපයේදී එහෙම ලොකුවට වටින්නේ නැති, සාමාන්‍ය යකඩ කෑල්ලක් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න කැමැත්තෙන් ඉන්නවාය කියන එක.

ටහිටි ජනතාවට යකඩ හදාගන්න විදිහක් තිබුණේ නැහැ. මූදෙන් ගහගෙන එන නැව්වල කොටස්වල යකඩ තමයි එයාලා තමන්ගෙ එදිනෙදා වැඩවලට එකතු කරගත්තේ. ඒ නිසා බ්‍රිතාන්‍යයන් දුන්න යකඩ මේගොල්ලො දැක්කෙ මිල කරන්න බැරි දෙයක් විදියට.

අන්න ඒ විදියට තමයි ඉක්මනින්ම හුවමාරු ක්‍රමයක් වර්ධනය වෙන්න පටන් ගත්තෙ. ඇණ දුන්නොත් ඕනම දෙයක් දෙන ලෙවල් එකකට ආවයින් පස්සෙ ඌරෙක්ට අඟල් තුනක ඇනයක් බැගින් හුවමාරු වුණා, ටිකෙන් ටික කෑම බීම ඉක්මවලා යකඩ ඇනවල වටිනාකම උඩට ගියා.

දරුණුම දේ සිද්ධ වුණේ ඊට පස්සේ. ඩොල්ෆින් නැවේ හිටපු ජෝන් රොබට්සන් එයාගේ දිනපොතේ ලියලා තියෙනවා: යකඩ ඇණයක් ගන්න ටහිටි කාන්තාවන් නාවිකයෝ එක්ක ලිංගිකව හැසිරෙන්න පවා කැමති වුණාය කියලා. යකඩ ඇණයක් මුදල් ඒකකයක් බවට පත් වෙලා, මිනිස්සුන්ගෙ ඇඟවල් පවා හුවමාරු වෙන්න ගත්ත අමුතුම ඉතිහාසයක් මේ ගමන ඇතුළේ හැංගෙන්න පටන් ගත්තෙ අන්න ඒ විදියට.

මුලදී නාවිකයෝ හිතුවේ මේක යකඩ ඇණවලට තියෙන ආශාව නිසා කරන දෙයක් කියලා. නමුත් පස්සේ එයාලට තේරුණා මේ කාන්තාවන් මේ සුදු හම තියෙන මිනිස්සුන්ව දෙවියන්ට සමාන කරලා කියන එක. එයාලගේ සංස්කෘතියේ යුද්ධයට අධිපති සුදු හම තියෙන දෙවි කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඒ කාලෙදි තමයි එයාලගේ සශ්‍රීකත්ව චාරිත්‍රය වැටිලා තිබ්බේ. ඒ නිසා මුහුදේ මානසික අසහනයෙන් හිටපු නාවිකයන්ට තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න අවස්ථාවක් ලැබුණා වගේම ටහිටියෙ මිනිස්සුන්ට තමන්ගෙ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරගන්නත් විදියක් හම්බෙනවා.

පාරාදීස ලස්සනෙන් ඇස් අන්ධ වෙලා උන්න නාවිකයො දැක්කෙ නෑ, අසහනෙන් සහ බඩගින්නෙන් මුලා වෙච්ච තමන් මේ කරන දේ මොකක්ද කියලා. ටහිටි ගැහැණු අයට යකඩ දෙන්න ඕන වුණාම, නාවිකයෝ තමන්ගෙ නැවේ ලී තහඩු එකට අල්ලගෙන ඉන්න තිබ්බ අත්‍යවශ්‍ය ඇණ ටිකෙන් ටික ගලවලා විකුණන්න පටන් ගත්තා

මේ කරපු දේ නැවේ ව්‍යූහයේ අත්‍යවශ්‍ය කොටස් වලට පවා හානි සිද්ධ කරන්න ගත්තා. ජනප්‍රවාදයේ කියවෙනවා ටහිටියෙ මිනිස්සු සමහර නැව් මුහුදු බත් වෙලා යනකම්ම නැව් වලින් ඇණ ගලවලා අරගෙන තියෙනවා කියලා.

හැබැයි කපිතන් සෑම විටම උත්සාහ කරලා තියෙනවා තමන්ගේ ඩොල්ෆින් නැවට එහෙම කරදරයක් නොවෙන විදියට නැව ආරක්ෂා කරගන්න. මොකද නැවෙන් පොඩි හරි ඇනයක් ගලවලා දුන්නා කියන්නේ ඒක මහ මුහුද මැද්දෙදි දරුණු හානියක් නැවට කරන්න පුළුවන් කියල එයාට තේරිච්ච හන්ද.

නමුත් මේ ඇණ සෙල්ලම නැවට හානි කරනවටත් වඩා ලොකු හානියක් ටහිටි සමාජයට කළා. ඇණ වෙනුවෙන් ශරීරය විකුණන්න ගිය නිසා ටහිටි කාන්තාවන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරෙන්න ගත්තා. 1769 දී ජේම්ස් කුක් ටහිටියට ආවම එයා ටහිටි ජාතිකයන් අතර සිෆිලිස් රෝගය පැතිරිලා කියලා හොයාගෙන තියෙනවා. පස්සේ කාලෙක හොයාගෙන තියෙනවා ටහිටි ජනගහනයෙන් අඩකටත් වඩා ප්‍රමාණයක් මේ රෝගයෙන් පීඩා විඳලා තියෙනවා කියලා. මේක ටික ටික මේ දූපතේ මිනිස්සු මරණයට පත් කරන්න ගත්තා.

1767 ජූලි අග වෙද්දී ඩොල්ෆින් නැව ආයෙම වතාවක් ඉතාමත්ම ශක්තිමත්ව හදාගෙන, ඒ අය ගුඩ් හෝප් කේප් එක වටේ කැරකිලා 1769 මැයි මාසේදී නැවතත් බ්‍රිතාන්‍යයට ආවා. මේත් එක්කම ඩොල්ෆින් නැව දෙවරක් ලෝකයේ ගමන් කරපු පළමු නැව විදිහට ඉතිහාස ගත වෙනවා.

මේ දෙවනි මුහුදු ගමනත් එයාලා හොයපු ඒ මිත්‍යා මහාද්වීපය හොයාගන්න උදව් කළේ නැති උනාට මේ ගමන පැසිෆික් සාගරය පිළිබඳ බ්‍රිතාන්‍යයන්ගෙ තිබ්බ දැනුම වැඩි කළා.

නමුත් මේ කතාව අදටත් ලෝකය පුරා කතා වෙන්නේ කාන්තා ශරීරයක් වෙනුවෙන් නැවෙන් ඇණ ගලවලා දෙන්න තරම් මෝඩ වෙච්ච බ්‍රිතාන්‍යයන්ගේ මෝඩ වැඩක් විදියට. ඇත්තටම එදා සිද්ධ වුණේ පූජනීය සිරිත් විරිත් සහ පැවැත්ම වෙනුවෙන් මංමුලා සහගත පියවරක් ගත්ත මේ ටහීටියාණු සමාජය ඒ ඔස්සේ තමන්ට අත්පත් කරගත්ත අඳුරු කතාව.

ඩොල්ෆින් නැව අපිට කියලා දෙනවා සාගර ගවේෂණය කියන්නෙ සමහරක් වෙලාවට සිතියමක් දිහා බලන් යන ගමනක්ම විතරක් නෙමෙයි කියලා. හේතුව ඒක අපි නොදන්න, හැංගිච්ච පුදුමයන්ගෙන් පිරිලා තියෙන හන්දා.

ඉතින් මේක තමයි ඇණවලට ඇඟ වික්ක ටහිටි මිනිස්සුන්ගේ කතාව. ටහිටි මිනිසුන්ගේ ඉතිහාස කතාවලට ලොකුම ලොකු කළු පැල්ලමක් එක්කහු කරන්න හේතුවෙච්ච කතාව.

Related Articles

Don't Miss


Latest Articles