ළතෙත් ආදර හැඟුම් ගංගා – 52

*නාද්‍යා සොනාලි සල්වතුර*

අහස්ගෙ ඒ ඇඬුම් හඩ මට දැනුනෙ හරියට අහස්ටයි මටයි දෙන්නටම දීපු මරණ වරෙන්තුවක් වගේ.

මේ තරම් කල් මම හංගගෙන හිටිය, අවුරුදු දෙකකට කිට්ටු වෙන්න මහාමේරු ආදරේකින් වහගෙන හිටිය, මට රකින්න කියලා මේ ලෝකෙ තිබිච්ච එකම මගේ කියන බැඳීම අහස්ගෙ ඒ ඇඬුමත් එක්ක බිඳිලා ගියා කියන ෆීලින් එකම මගේ හුස්ම තප්පර ගානකට නතර කරලා දැම්මා. 

දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙක්ට කරන්න බැරි දෙයක් නෑ. දරාගන්න බැරි වේදනාවක් නෑ. එක්කහු කරගන්න අමාරු හයියක් නැත්තෙ නෑ. බිම වැටිල උන්න මම නැගිට්ටා නෙවෙයි මම එතනින් උඩට පැන්නා. මගේ අත් දෙක ගිහින් නතර වුණේ ගයාන්ගෙ කරේ. අහස්ගෙ ඇඬුම් හඬ ආව අපේ ගෙදර තිබිච්ච එකම කාමරේ දිහාවට යමින් උන්න ගයාන්ව නතර කරන්න මගේ ඒ අම්මා වේශෙන් එලියට පැන්න ගෑනුකමට, හයියට පුලුවන් වුනා.

“ගයාන් තව එක අඬියක් හරි උඹ ඉස්සරහට තිබ්බොත් මම අම්මපා තමුසෙව මරාගෙන මැරෙනවා” කියලා මම කිව්වෙ අන්න ඒ ආවේගේත් එක්ක. මම ඇත්තටම උන්නෙ මගේ අහස්ව බේරගන්න ගයාන්ව මරලා හංගන්න උනත් පුළුවන් කියන මානසිකත්වෙක.

ඒත් ගයාන්ගෙ ඇස් තිබ්බෙ මගේ ඒ ආවේගේ පිරිච්ච ඇස් දිහා බලාගෙන නෙවෙයි.

ඌගේ ඇස් දෙක  ගිහින් තිබ්බේ ගේ ඇතුළට. ඇඬුම ආව පැත්තට. 

“ගයාන් මාව නරක ගෑනි කරගන්න එපා” කියලා මම ආයෙ ආයෙ ඉඳන් කිව්වත්, ඒක මම කෑගහලා කියනවා කියලා මම හිතුවත් මගේ කටහඬ එළියට ආවෙ මිමිණීමක් වගේ. කාන්ති අක්කා දුවගෙන ගිහින් කාමරේ දොර හිරකරගෙන වගේ දොර ළඟ නතර වුණා. ඒ ගෑනි උන්නෙත් බය වෙලා වෙව්ල වෙව්ල. කාන්ති අක්කා දැනගෙන හිටියා, දැන් ගේ ඇතුළට ගියොත් වෙන්නේ විනාසයක් කියලා. දරුවෙක් නොඋන්නට කාන්ති අක්කා කියන්නෙත් අහස්ට එක විදියකින් කිරි අම්මෙක් වෙච්ච මනුස්සයෙක්. මට අම්මා වෙච්ච මනුස්සයෙක්. අම්මලා දෙන්නෙක්ගෙ ආදරේ ළඟදි ගයාන්ව පරද්දන එක අමාරු දෙයක් නෙවෙයි කියලා හිතිච්ච එකම මට මතක් කරලා දුන්නා මං මේ වෙලාවෙ තමයි වෙන හැම වෙලාවකටම වඩා හයියට ඉන්නෝන කියන එක.

ගයාන්, ඌ මනුස්සයෙක් නෙවෙයි. ඒක මං ඉතින් අද දැනගත්ත දෙයක් නෙවිනෙ. මට උගෙන් ළමයෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්ත වෙලාවෙ තමයි මං දැනගත්තෙ ගයාන් කියන්නෙ මනුස්සයෙක් නෙවෙයි අමනුස්සයෙක් කියන එක. අමනුස්සයෙක් නෙවෙයිද “මේ ළමයව නැති කරමු” කියන්නෙ. අන්න එහෙම එදා කිව්ව එකාම අද අපේ ගේ ඇතුළට ගියේ හරියට තමන්ට අයිති දෙයක් උදුරගෙන යන්න ආව වන සතෙක් වගේ. ගයාන් දොරෙන් ඇතුළට ගිහින්, කාමරේ පැත්තට යනකොට මට මතක් වුණේම මිනිහව මට අතාරින්න හේතුවෙච්ච මිනිහගෙ පරණ තිරශ්චීන ගතිය. තමන්ට අයිති දෙයක් වෙන කෙනෙක් ළඟ තියෙනවා දැක්කම උට හැදිච්ච පිස්සුව.

මම වේගෙන් නැගිටලා දොර දිහාවට දුවන්න හැදුවා, ඒත් බිම වැටෙද්දි උලුක්කු වෙච්ච කකුල එක්ක මට ඒක කරන්න පුලුවන් උනේ නෑ. මට කලින් තමයි ගයාන් ඒ කාමරේ අස්සට ගියේ.

මම හයියෙන් කෑ ගැහුවා. යන්න එපා කිව්වා.ඒත් ඌ නැවතුණේ නෑ. මිනිහා උන්නෙ කාමරේ දොරෙන් ඇතුළට ගිහින් අහස් දිහා බලාගෙන.

මම කාමරේ දොර ළඟට ගියේ පුදුම ආවේගෙකින්. එතන මම දැක්ක දේට මගේ පපුව ගැහෙන එක නතර වුණා. තප්පර ගාණකට. ඉන්පස්සෙ තමයි පපුව ගැහෙන්න ගත්තෙ. ලබ් ඩබ් ලබ් ඩබ් කියලා.

ගයාන් උන්නෙ ඒ පුංචි කාමරේ මැද්දේ හිටගෙන. මිනිහගෙ ඇස් දෙක දරුවා නිදන් ඉන්න පොඩි ඇඳි දිහාවට තමයි ඇදිලා ගිහින් තිබ්බේ. අහස් උන්නෙ තවමත් අඬන ගමන. හරියට තමන්ගෙ වටේ මහ කුණාටුවක් වෙන බව තේරුම්ගියා වගේ නවත්තන්නෙ නැතුව අඬන ගමන්.

ගයාන් තොටිල්ල ළඟට ගිහින්, අහස් දිහා බැලුවා. 

ගයාන්ගෙ අත ගිහින් නතර වුනේ අහස්ගෙ එකට යාවෙච්ච ඇහි බැම උඩ. ඉන්පස්සෙ ඒ අත තමන්ගෙ ඒ විදියටම එකට යාවෙච්ච ඇහි බැමට මාරු උනා. ගයාන් ඒ නොකිය කිව්වේ “මේ මගේ ළමයා” කියන එක මම තේරුම්ගත්තෙ ඒ විදියට.

“මේ…” ගයාන්ගේ කටහඬ එළියට ආවේ යාන්තමින් වගේ. ඒක තරහක් නෙවෙයි. ඒක පුදුමයක්, ඒක තිගැස්මක්. ඒක අවිශ්වාසයක්. ඒ කටහඬ වෙව්ලන්න ගත්තෙ ඒ ඔක්කොම ෆීලින්ග්ස් එක්කහු කරගෙන.

අහස්, එයාගේ ඇඬුම පොඩ්ඩක් අඩු කරලා, දාඩියෙන් තෙත් වෙලා, කොණ්ඩෙ අවුල් වෙලා, ඇස් රතු කරගෙන, පිස්සෙක් වගේ හිටපු මනුස්සයා දිහා තප්පර ගානකට බැලුවා. එක දිගටම ගයාන් දිහාව බෝල ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉඳියා.

ගයාන් උන්නෙ අඩියක් පස්සට තියන ගමන්. හරියට අහස්ගෙ ඒ බැල්ම දරාගන්න බැරුව වගේ.

“තමුසෙ මේ ළමයව හදාගත්තා කියලා මට කිව්වෙ නැත්තෙ ඇයි,” කියලා අහද්දි ඒ කටහඬ මට තවදුරටත් ඇහුනෙ කෑගැහිල්ලක්, චෝදනාවක් විදියට නෙවෙයි වැලපීමක් විදියට.

 “නාද්‍යා… ඇයි තමුසෙ මගෙන් මෙච්චර ඇත්තක් හංගලා දැම්මෙ.” කියලා ගයාන් අහද්දිත් මං උන්නෙ “මං තමුසෙට දරුවෙක් ලැබෙන්න ඉන්න විත්තිය කිව්වා. මම ඒ ළමයව නැති කරන්නෙ නෑ කියන එකත් කිව්වා. එහෙමෙකේ තමුසෙ දැන් ඇවිල්ලා මම මහ ලොකු වරදක් කරපු ලෙවල් එකෙන් කතාකරන්නෙ ඇයි?” කියලා පැහැදිලි කරන ගමන්.

“මම බොරු කිව්වේ නෑ, ගයාන්. මම කළේ මගේ ළමයාව තමුන්ගෙ ආරක්ෂා කරගත්ත එක. ඒ අපේ ළමයා නෙවෙයි මේ මගේ ළමයා. මගේ ළමයව හදනවද නැද්ද, ඉන්නෙ හිටියෙන්නෙ කොහෙද, පරිස්සම් කරන්නෙ, හංගන්නෙ කාගෙන්ද කියන එක ඩිසයිඩ් කරන්නෙ මම මිසක් තමුන් නෙවෙයි. ඒක හන්දා තමයි මම ඒ කතන්දර කිසිම දෙයක් තමුන්ට කියන්නෙ නැතුවඈත් කරේ. අනික තමුන් නිකන් දැන් මේ අඬා වැලපීගෙන එන්නෙ මොකද? තමුන් නැතිකරන්නෝන කිව්ව ළමයා නේද මේ? ඒ ළමයා කවුරු උනත්, කොහෙ උන්නත් තමුන්ට තියෙන ප්‍රශ්නෙ මොකද්ද? තමුන් මරන්න කිව්ව දරුවව මං මැරුවෙ නැත්තම් තමුන්ට ඒ ළමයා තව එක ළමේක් උනාට මට එහෙම හිතන්න පුලුවන් උනේ නැති හන්දා. දැන් තමුන් නිකන් මෙතන ජාතියේ පියා වගේ රඟපාගෙන එන්න එපා. මං තමුන්ගෙන් මුකුත් හැංගුවෙ නෑ. තමුන් තමයි මොනවද උනේ කියලා හිතාගන්න බැරි ලෙවල් එකකින් හැංගිලා ගියේ”

අන්න ඒ වචන වලට තමයි ගයාන් හැරිලා මං දිහා බැලුවෙ. මිනිහගෙ ඇස් වල කලින් තිබ්බ තරහා වෙනුවට දැන් තියෙන්නේ සම්පූර්ණ වේදනාවක්. මම ළඟට ගිහින් අහස්ව තොටිල්ලෙන් උස්සලා ගත්තා. පුංචි අහස් මගේ උරහිසට මූණ තියාගෙන, පොඩ්ඩක් කෙඳිරි ගාන ගමන් හිමින් සැරේ නැලවෙන්න ගත්තා. ගයාන් උන්නෙ ඒ හැමදේම දිහාව බලාගෙන. කල්පනා කරන ගමන්. මට ඕන උනේ අහස්ව මගෙ පපුවට තුරුලු කරගෙන ගයාන්ට එන්න බැරි තරම් දුරකට දුවන එක.

“දැන් හරිනෙ නටාගෙන ඇවිත් දකින්න ඕන දේ දැක්කා නේ,” මම කිව්වෙ අහස්ව තුරුලු කරගෙන. මගේ ඇස් වල දැන් බයක් තිබ්බෙ නෑ, මගෙ හිතේ තිබ්බෙ දරුණු තීරණයක් අහස්ව පරිස්සම් කරන්න ලොකුම ලොකු තීරණයක් ගන්නෝන කියන හැඟීමක්. 

“දැන් ඉතින් යන්න. ගයාන් ඔයාට මේ දරුවා ගැන කිසිම අයිතියක් නෑ.” කියලා මම කිව්වෙ ඒ වචන තව ටිකක් බර කරලා. 

“අල්ලන්නෙපා,” මම කිව්වෙ හරිම තදින්. “අත තියන්න එපා ගයාන්.”

ඒ වචන එක්ක ගයාන් අහස් දිහාවට දික්කරපු තමන්ගෙ අත පස්සට ගත්තා. 

“ඔයාට බැරිද මට සමාව දෙන්න නාද්‍යා?”

“සමාව? ඔයා දන්නවද සමාව කියන්නේ මොකක්ද කියලාවත්? සමාව දුන්නා කියලා ඔයා කෑලි කෑලි වලට කඩපු මගේ ජීවිතේ තරුණ කාලෙ ආයෙත් එකතු කරලා ගන්න මට කරන්න බෑ නේද? අනික මම සමාව දුන්නත් ඔයා හිතනවද ගයාන් මේ දරුවා කවදහරි දැනගත්තොත් ඔයා එයාව මරන්න හැදුව කියලා කිසිම සමාවක් දේවි කියලා.”

“ඒ දරුවා මට සමාව නුදුන්නට කමක් නෑ නාද්‍යා. හැබැයි මට පුලුවන් වෙච්ච වරදක් ආයෙ හදන්න. මගෙන් වරදක් උනා. ඒත් දැන් මට ඕන ඒක හදන්න”

“ඔයා කරපු වරද නම් ආයෙ ලේසියෙන් හදන්න පුළුවන් කියලා තමුන් හිතන්න එපා. එහෙම මේ ආයෙ ඇවිල්ල ඉස්සර වගේ තමුන්ගෙ වචන ලඟ සරෙන්ඩර් වෙන්නෙ නෑ කියන එක හොඳට මතක තියාගන්න”

“තමුන් සරෙන්ඩර් උනේ නැතුවට මට කමක් නෑ. මට තමුන්ගෙන් වැඩකුත් නෑ. හැබැයි මේ දරුවා මගේ. මේ දරුවගෙ ඇඟේ දුවන්නෙ මගේ ලේ කියන එක මට උසාවියකදි උනත් ඔප්පු කරන්න පුලුවන් කියන එක අමතක කරන්න එපා.

මට මේ දරුවව ඕන නාද්‍යා. මේ දරුවා මගේ. මගේ මගේ. මට මේ දරුවව ඕන”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles