පාට සේදුණු වත්සුණු – 12

කුසල් කතා කරතැයි බියෙන් පෙර දා සැඳෑවේ සිට ම මා සිටියේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ගෙන ය. ඔහු ගේ යෝජනාව ට එකඟ නොවී බස් එකක එල්ලුණ එක ගැන ඔහු දක්වන්නට නියමිත ප්‍රතිචාරය සුබ නොවන බව මම දැන සිටියෙමි. බලාපොරොත්තු වූවා සේ ම හෙතෙම දුරකතනය ක්‍රියාත්මක වී විනාඩි කිහිපයක් ගත වෙන්නට පෙර කතා කළේ ය.

“මාව අන්දල තියල තමුසෙ ඊයෙ මාරු වුණා නේ…”

ආදරේ කරන පිරිමියෙකු ගෙන් මා කිසි දා එබඳු කතා විලාශයක් බලාපොරොත්තු වූයේ නැත. නමුත් කුසල් ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු විය නො හැකි බව ද දැන් මම වටහා ගෙන සිටිමි.

“නෑ…බස් එකේ මාමා හිටිය නිසා…”

“බයිලා නොගහ යනව ඕයි”

“මොකද්ද අනේ කතා කරන විදිහ…”

“ඇයි තමුන්ට මල් තියල වැඳල කතා කරන්නද කියන්නෙ…”

“මල් තියල වඳින්න ඕන නෑ කුසල්. වැදගත් විදිහට මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නකො”

“අනේ අනේ මේ…මට උගන්නන්න එන්න ඕන්නෑ හරී”

කෙනෙක් ප්‍රේමයෙන් බලාපොරොත්තු වන්නේ සැනසුමකි. නමුත් ඒ සබඳකම හිතට වදයක් වත්දී එය තව දුරටත් ප්‍රේමය සේ දැනෙන්නට විදිහක් නැත.

“තමුසෙ ඊයෙ ඉඳලම ෆෝන් එක ඕෆ් කරං හිටියෙත් මං ගනී කියලනෙ…”

“ඔයා කැමති විදිහකට හිතා ගන්න”

“හැබැයි මගෙං ලිස්සල යන්නනං හදන්නෙපා ගයාත්මී”

“මොකද්දප්ප මේ වදේ…කොයි වෙලාවෙ කතා කළත් ඔයා බලන්නෙ මොකක් හරි අල්ලං රණ්ඩු වෙන්නනෙ. මටනං දැං මේක ඇති වෙලා”

“ඔව් ඔව්. මටත් තේරෙනව දැං තමුසෙට ඇති වෙලා කියල”

ඔහු ට තව දුරටත් යමක් කියන්නට ඉඩ නො තබා මම දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. කුසල් යළි යළිත් ගත්තේ ය. නමුත් මම පිළිතුරු දෙන්නට නො ගියෙමි. හිත ඒ තරමට මුරණ්ඩු වූයේ කොහොමද කියා මට පවා සිතා ගත නො හැකි ය. මම දුකකින් නොව සන්තාපයකින් සංවේගයකින් හෝ සංවේදනාවකින් නොව කේන්තියෙන් පුපුරු ගසමින් සිටියෙමි. වෙන දෙයක් වුණාවේ කියා මේ බැම්ම ලිහා ගන්නට දැන් මා සූදානම් ය. නමුත් කුසල් ගෙන් ඊට පුංචි බුරුලක් හෝ ලැබෙන්නේ නැති එක මොන තරම් අවාසනාවක් ද?

තුෂී වැඩ ඇරී එත්දීත් මා හිටියේ යහනේ පෙරළීගෙනයි.

“මොකද…”

මම වෙනසක් නො පෙන්වා සිනා සීමි. මේ ඇය රැකියාවට ගිය මුල් ම දිනයයි. කතා කළ යුතු වැදගත් ම දේ එයයි.

“කොහොමද ජොබ් එක…”

“හම්මෝ…කතා කරල වැඩක් නෑ”

“ඇයි…අමාරුද වැඩ…”

“ඔෆිස් වැඩ නෙවෙයි වෙච්චි…අමාරුයි කියන එක අපි බලාපොරොත්තු වෙන්න ඕන තමයි. ඒත් එහෙමත් අමාරුවක්. ඉඳගන්න ලැබෙන්නෙ දවල්ට කෑම කන ටිකට විතරයි ගයා”

“ආ…මුළු දවසම හිටගෙන…”

“මේ…මං හවස දැක්කෙ…මගෙ කකුල් දෙකම ඉදිමිලා”

ඇය කකුල් දෙක ඉදිරියට පෑවා ය. වළළුකර යුගල ම තඩිස්සි වී තිබිණි. තුෂී ගැන දුකකුත් මේ සමාජ ක්‍රමය ගැන කේන්තියකුත් එක වර සිත් හි ඇති විය. ඇය විශ්ව විද්‍යාල සුදුසුකම් ද ලබා සිටින කෙනෙකි. එහෙම කෙනෙකුට කළ හැකි රැකියාවක් නැත්තේ ය. උපාධි ධාරීන් පවා කම්හල් වල වැඩ බිම් වල කුළී වැඩ කරති.

තුෂී දිය නා ගත් පසු මම ඇගේ දෙපා වල බාම් ගැල්වීමි.

“ඔන්න ඕකට යන්නෙපා. ප්ලාන්ට් නර්සරි එක පටන් ගත්තට පස්සෙ මං කොහොමහරි එකතු වෙන සල්ලි වලිං ඔයාට සැලරි එකක් හදල දෙන්නං”

“පිස්සුද…තාම නර්සරි එක දැම්මෙත් නෑ. මං මේකට යනව අමාරුවෙං හරි. ඒ අතරෙ පුළුවං වෙලාවට ඒකෙ වැඩ ටික කරමු. අපි මුලිං ඒකට හුඟක් මහන්සි වෙන්න වෙයි ගයා. කොටිංම අපේ මහන්සියට පඩියක් ගැනවත් නොහිතා. හුඟක් බිස්නස් පටං ගන්නෙ එහෙම”

“යුගාන්ත අයිය එන්නං කිව්ව බණ්ඩාරවෙල යන්න. මල් ගේන්න”

තුෂී අමුතු සිනහවක් නගා ගත්තා ය. මම ඇය ට කොට්ටයකින් දමා ගැසුවෙමි.

“මො…කද…මං මොනා කළාටද…”

“මං දන්නව ඔය හිනාවෙ තේරුම”

“යකෝ මේකි…”

“මේ සන්ඩේ ඔයාට නිවාඩු වෙයි නේද..අපි යමුද බණ්ඩාරවෙල…”

“මං මොකටද ඉතිං …දෙන්නත් එක්ක යන එකනෙ”

“ඇයි හනිමූන් යනව කියල හිතුවද…”

“අනේ මන්නං හිතුවෙ නෑ එහෙම. ඔය එළියට පනින්නෙ හිතේ තියන දේවල් තමයි”

“අනේ…”

හිතෙහි අමුතු සැහැල්ලුවක් පා වෙමින් තිබිණි. එය බලාපොරොත්තුවක් හා මුහු වූ දෙයකි. ජීවිතය මෙතැනින් පටන් ගත යුතු ව තියේ. මා හිටියේ මං මුලා වී ගෙන ය. පාරක් සොයා ගත නො හැකි ව ය. අරමුණකින් ද තොර ව ය. ඒ සියල්ල හදිසියේ ම මගේ දෑස් ඉදිරියේ පහළ වී තියේ. හදිසියේ ම ජීවිතය මට හමු වී තියේ.

උදේ පාන්දරින් ම කුසල් කතා කළේ ය. දුරකතනය දෙස බොහෝ වෙලා බලා හිඳීමෙන් අනතුරු ව මම පිළිතුරු දෙන්නට තීරණය කළෙමි.

“මොනාද කරන්නෙ…”

ඔහු කිසිත් නොවුණ සේ ඇහුවේ ය. නමුත් ඔහු වෙනුවෙන් දැන් මසිත් හි සියල් සංවේදී සෛල මිය ගොස් තිබුණා සේ ය.

“මුකුත් නෑ”

ඒ වචන දෙකෙහි කෙළවර සුසුමක බර විය.

“තාම තරහෙන්ද ඉන්නෙ…”

“නෑ”

“හරි හරි දැං ඒක ඉවරයිනෙ. අමතක කරල දාමු”

එහෙම සංස්කරණය කොට අනවශ්‍ය තැන් හෝ හිත් බිඳුණු තැන් හෝ ඉවත් කොට ලන්නට ජීවිතය කියන්නේ සිනමා පටයක් නොවේ. ජීවිතයක් මත්තේ සිදු වෙන දේවල් තැන්පත් වන්නේ මතකයේ ගැඹුරු පත්ලක ය. ජීවිතාවසානය වන තෙක් ඒ ගැඹුරු කැළැල් මැකී යන්නේ නැත.

“ඔයා මේ ළඟ පාතකවත් නැතුව ගිය එකනෙ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව”

ප්‍රශ්න ඇරඹුණේ මා ගෙදර සිටිත්දී ම ය. නමුත් බිය සහ ලැජ්ජාවත්, ඒ මගේ ප්‍රථම පෙම් සබඳකම නිසාවෙනුත් මම ඉවසා දරා සිටියෙමි.

“සැටඩේ සන්ඩේ වත් ඔයා මෙහෙ එන්නකො. මොකද්ද අප්ප…හම්බ වෙන්නවත් විදිහක් නැතුව…කිසි තේරුමක් නෑනෙ මෙහෙම සම්බන්ධයක්”

“අත්තම්ම එන්න දෙන්නෑ”

“ඒක මාර වැඩක්නෙ. ඔයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ”

ඔහු ට මා අමතක කර දමන්නැයි කියන්නට ම ය මට සිතුණේ. නමුත් එහෙම කියන්නට තරම් තවමත් මා ශක්තිමත් ව සිටියේ නැත.

නමුත් කුසල් හා මා අතර කිසිවක් ඉතිරි වී නොමැති බව මම දැන සිටියෙමි. තිබුණා නම් ඒ අමතක කර දැමිය යුතු ම වූ මතකයක් පමණකි. මට ඒ සියල්ලෙන් විනිර්මුක්ත වීමේ අවශ්‍යතාවය විය. නමුත් පටලැවිලි ඇති කර ගන්නා තරම් පහසුවෙන් ඒවායින් නිදහස් විය නො හැකි ය.
ඉරිදා උදයෙන් ම අපි බණ්ඩාරවෙල යන්නට යොදා ගතිමු. කියූ වෙලාවටත් කලින් යුගාන්ත අත්තම්මලා ගේ මිදුලේ රිය නතර කළේ ය.

“ඔයා ඉස්සරහ සීට් එකේ යන්න හොඳේ”

මම තුෂී ගේ කනට කර කෙඳිරීමි. ළෙංගතු බැල්මක් හෙළුවා විනා ඇය ප්‍රසිද්ධියේ එය විහිළුවට නො ගැනීම මට පහසුවක් විය.

“අනේ මේ කෙල්ලො දෙන්නව පරිස්සමට එක්ක ගිහිං එක්ක එන්න පුතා. පාරවල් දන්න දෙන්නෙකුත් නෙවේනෙ. පුතාව ගොඩාක් විස්වාස කරලයි පුතා එක්ක මේ දෙන්නව එවන්නෙ”

අප රියට නැගෙත්දී අත්තම්මා කීවා ය. යුගාන්ත ලස්සන සිනහවක් පෑවේ ය.

“චුට්ටක්වත් බය වෙන්න එපා අත්තම්ම”

“මටනං බය මොනා වුණත් මේ අහිංසක කොල්ලා ගැන”

සීයා එසේ කියා හඬ නගා හිනැහුණේ ය. ඒ සිනහවට අපි සියලු දෙනා ම අත්වැල් ඇල්ලුවෙමු.

“සීයා විතරයි මගෙ තත්වෙ තේරුං අරං තියෙන්නෙ”

යුගාන්ත ඉදිරි කැඩපතින් මදෙස ට බැල්මක් හෙළුවේ ය. මම ලා සිනහවක් ඇති ව සිටියෙමි. හදවතෙහි අමුතු ගැස්මක් විය. මේ යන්නේ ඉරණම් ගමනකි. මගේ ජීවිතයේ අනාගතය තීරණය කරන්නට යන ගමනකි.

“ජය වේවා ගයා! මෙතනින් පටං ගන්න ගමන ඔයා හුඟක් දුර යයි කියල මං හිතනව”

රිය පණ ගැන්වෙන කොට ම තුෂී කීවා ය. අරුත් පසිඳලිය නො හැකි හැඟුමන් සමුදායකින් මගේ පපුව පිරී යනවාත් මා හැඬුම්බර වී ගෙන එනවාත් මට දැනිණ.

ඊළඟ කොටස සිකුරාදා ට..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles