රැය පහන් වන තුරා මම කල්පනා කළෙමි. අම්මා මගෙන් උදව්වක් ඉල්ලා සිටී. මීට පෙර කිසිදු අවස්ථාවක මුදලින් ඇයට උදව් කරන්නට මට සිදු වී නැත. අම්මා සිය සැමියා ගේ දික්කසාද යෙන් පස්සේත් දිරියවන්ත ගැහැනියක ලෙස ස්වයං රැකියාවක් ද කරමින් මා ඇති දැඩි කර ගත්තා ය. මා කුඩා කල සිට ම අම්මා ගේ විච්චූර්ණ මගේ සිත් ගත්තේ නැත. රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස, දන්නා ශිල්ප සියල්ල ඈ තමන් ගේ ශරීරය මත අත්හදා බැලුවා ය. ඇගේ සම, මතුපිට චර්මස්ථය සම ගසා ඉවත් කළා බඳු පැහැයක් ගත්තේ ය. සුදු වෙන්නට කියා විශාල මුදලක් වියදම් කොට ඕ එන්නතක් ද විද ගත්තා ය. ඇගේ වරල, එක මාසයකට වඩා එක පාටකින් දැකිය හැකි වූයේ නැත. ආලේපන තට්ටු ගණන් ගැල්වූ ඇය පාසලේ ගුරු දෙගුරු රැස්වීමකට ආ විට ළමයින් පමණක් නොව ගුරුවරු පවා උවමනාවෙන් ඇදෙස බැලූහ. ඒ ගැන මා තුළ අපහසුවක් ඇති ව තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. නමුත් තාත්තා නැති දියණියක ලෙස මා ඇති දැඩි කරන්නට අම්මා දරන උත්සාහය ගැන මම ඇයට ගෞරව කළෙමි. ඊටත් වඩා ආදරය කළෙමි.
ඒ ණය ගෙවා දමන්නට උදා වූ අවස්ථාව මෙය ලෙස මට දැනිණි.
“අපි මේ වැඩේ ටිකක් කල් දාමු තුෂී. මං හිතන්නෙ මං මේ සල්ලි ටික අම්මට දුන්නොත් හොඳයි. එයාට මගෙ උදව් ඕන වෙලාවක් මේක”
උදේ මා තුෂී ට එහෙම කීවේ ඕ අළුයම පිබිද බණ්ඩාරවෙල යන්නට සූදානම් වෙත්දී ය.
“මෝඩ තීරණ ගන්න එපා ගයා”
ටික වෙලාවක් එක එල්ලේ මදෙස බලා උන් මගේ මිතුරී ඇවිත් මා සමීපයෙන් යහන මත හිඳ ගත්තා ය.
“කලෙයක් තිස්සෙම මං දන්නවනෙ. ඒක මෝඩකම නෙවෙයි. ඔයාගෙ හිත හොඳ කම. ඔයාට තියෙන්නෙ පොඩ්ඩ ඇත්තං උණු වෙලා වැක්කෙරෙන හිතක්. ඒත් මේ වෙලාවෙ දිය වෙන්න ගියොත් ඔයා සදහටම අනාතයි ගයා”
“අම්ම දුක් විඳිනව බලන්න බෑ තුෂී “
“මං දන්නව. ඒත් එයාගෙ ප්‍රශ්න විසඳන්න ඔයාගෙ ඔය සල්ලි ටිකෙං පුළුවන් කියල හිතනවද…අසංක පස්ස බලන්නෙ කෝසලා ආන්ටිවත් උකස් තියල කියලයි මට නං හිතෙන්නෙ. අසංක ඒ තරං දසයෙක්. එයා තව මොන මොනාට ණය වෙලා ඇති ද කියල අපි දන්නවද…ඔය ගේ දැං කොහොම හරි බේරුවත් ආයෙ ඔය මනුස්සය ඒකම නොකරයි කියල විශ්වාස කරන්න පුළුවන් ද…මටනං හිතෙන්නෙ ඒකා සල්ලි වලට ගහන ගුල්ලෙක්. ඌට අහු වුණාම සල්ලි වලට මොනා වෙනවද කියල නැතුව ඇති. එහෙම ජාතියක් ඉන්නවනෙ”
“ඒත් අම්ම…”
“කෝසලා ආන්ටි දැං වළට වැටිල ඉවරයි. මට පේන්නෙ එයා අසංකට තියන ආදරෙං ඇස් අන්ධ කරං ඉන්නෙ. තව කාලෙකට එයා හරියට ලෝකෙ දකින එකක් නෑ. අම්මාට උදව් කරන්න තව ඕන තරං අවස්ථාවල් ඉස්සරහට එයි ගයා. හැබැයි ඔයාට මේ වැඩේ පටං ගන්න ආයෙ කවදාවත් සල්ලියක් අතට එන්නෑ. අම්මා දෙනව කියන සුරංගනා කතාවට අහු වෙන්න එපා. ඔයා මේ වෙලාවෙ මේකට අත ගැහුවොත් අම්මට උදව් කරන්න පුළුවන් ඕන දවසක. ඒ ගැන කල්පනා කරන්න”
තුෂී දිග දේශනයක් පැවැත්වූවා ය. මම මුව අයා ඇදෙස බලා සිටියෙමි.
“ඔයා කල්පනා කරල හොඳම තීරණේ ගන්න. අදහසක් දෙනව මිස අපිට බල කරල කියන්න බෑනෙ”
ඈ වන් මිතුරියක යනු සසරේ කරන ලද කුසලයක් නිසා හමු විය හැකි අයෙකැයි මම හැම දා විශ්වාස කළෙමි. තුෂී කිසිදා කිසිදු හේතුවකට මට ඊර්ෂ්‍යා නො කළා ය. මගේ යහපත ම පැතුවා ය. ඒ නිසා මේ වෙලාවේත් ඇය ව විශ්වාස කොට ඈ කියන දේ කරන්නට මම තීරණය කළෙමි.
“ගයාත්මි අම්ම වගේ ගොං වැස්සියක් නොවී මොළේ කල්පනා කරල වැඩ කරන ළමයෙක් වෙන්න. අපේ ආශිර්වාදෙ ගයාට තියෙනව. අපෙං කෙරෙන්න ඕන ඕනම දෙයක් අපි ගයා වෙනුවෙං කරනව”
අත්තම්මා ගේ දෙපා අල්ලා මා අවසර ගත්දී ඇය කීවා ය.
“බිස්නස් කියන්නෙ ලාබ පාඩු කෝකත් බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. හැබැයි කල්පනාවෙං ගියොත් ගමන සුබයි”
සීයා එහෙම කියා හඬ නගා හිනැහිණ. ඒ සිනහව ඔහු සිය හැඟීම් ප්‍රකාශ කරන එක් මාධ්‍යයකැයි දැන් මම වටහා ගෙන හිඳිමි.
“ගයාත්මි කල්පනාවෙං යයි”
මා කෙරේ ඒ අචල විශ්වාසය තැබූයේ යුගාන්ත ය. මොහොතකට සියල්ල නිහඬ වූවා සේ මට දැනිණ. යළි ලෝකය කැරකෙන්නට පටන් ගත්තේ සීයා ගේ සිනහ හඬිනි.
“හරි හරි. සුබ ගමං එහෙනං. අපේ කෙල්ලො දෙන්නගෙං ප්‍රවේසං වෙලා ගිහිං එන්න මේ පුතාටත් වාසනාව ඇති කියල මං හිතනව”
සීයා ගේ සිනහ හඬ, රිය සෑහෙන දුරක් ගිය පසුත් මගේ සවන් තුළ නින්නාද වනවා දැනිණ. අම්මා ගැන සිතිවිලි හිතේ ඈතකට කොට මම මේ සුබ සිහිනය දකින්නට වූයෙමි.
යුගාන්ත මා තුළ මහත් සුරක්ෂිත හැඟීමක් ඇති කරවමින් සිටියා කියා සිතමි. කුසල් ගෙන් කිසි දා මට විඳ ගත නො හැකි වූ හැඟීම ඒ ය.
“ඔයා මේ ගැන දැං ස්ටඩි කරන්නත් ඕන ගයා. කරන ඕනම දෙයක් නිකං ඉවට කරනවට වඩා සක්සස් වෙන්නෙ ඒ ගැන හතර මායිම දැනගෙන කරනකොට. දැං ඔයාට තියෙන්නෙ ප්ලාන්ටිං ගැන කෝස් එකක් එහෙම හොයල බලල කරන්න. නිකංම පැළ විකුණ විකුණ ඉඳල හරියන්නෑනෙ. ඒ ෆීල්ඩ් එකේ උඩට යන්න ඕන කරන කාරණා ටිකෙං රිච් වෙන්න ඕනෙ”
ලොරියට පැළ පටවන දෙස බලා ඉන්නා ගමන් යුගාන්ත කීවේ ය. ඒ ඇස් මත දිව්‍යමය කරුණාවක් විය. දැන් මම පිරිමියෙකු විශ්වාස කිරීමේ වරදට දඬුවම් විඳිමින් හිඳින කෙල්ලක වෙමි. ඒ නිසාමදෝ පිරිමි පිළිබඳ ලොකු විශ්වාසයක් මා තුළ නොමැත්තේ ය. එහෙව් එකේ යුගාන්ත ගේ ඇස් වල වන ඒ කරුණාව කෙතෙක් දුරට විශ්වාස කළ යුතු දැයි නො දැන මා තුළ අන්ද මන්ද බවක් ඇති විය.
“අයියට පිං මේ කරන උදව් වලට”
ඔහු මන්දස්මිතයක් නගා ගත්තේ ය.
“මං පිං බලාගෙන මුකුත් කළේ නෑ. දන්න දෙයක් කාට හරි කියල දෙන එක මනුස්සකමක් කියල විතරයි මං විශ්වාස කරන්නෙ”
පිරිමිකම් ඇතුළේ මනුස්සකම් නැත්ද යන ප්‍රශ්නය මුලින් ම මා තුළ ඇති වූයේ තාත්තා නිසා ය. ඔහු ගැහැනු දරුවෙකු ගේ බර ගැහැනියක් මත පටවා තබා වෙනත් විවාහයක් කර ගත්තේ ය. ඊට පස්සේ කුසල් නිසා මම පිරිමියෙකුට කොයි තරම් නො මිනිස් කම් පෙන්විය හැකි දැයි වටහා ගතිමි. ඒ නිසා ම යුගාන්ත කතා කරන මනුස්සකම ගැන මා තුළ ප්‍රායෝගික ගැටළුවක් ඇති වීම සාධාරණයි කියා සිතමි.
එදා කුසල් ගෙන් පැමිණි දුරකතන ඇමතුම් කිහිපයක් ම මම මගහරිමින් සිටියෙමි. අන්තිමට මා කතා කළේ එක පිට ම කිහිප වරක් ඔහු කතා කරන්නට ගනිත්දී ය.
“මොකද ගෑනියෙ ෆෝන් එකට ආන්සර් කරන්නැත්තෙ…තමුසෙ මාව විහිළුවකට ගත්තද…”
ඔහු කෝපයෙන් පුපුරා හැළුණේ ය.
“මං වැඩක හිටියෙ”
අන්තිම නරක වචන වලින් ඔහු බැණ වැදුණු පසු මම හෙමිහිට කීවෙමි. ඔහු ගේ බැණුම් ගැන කිසිදු සංවේදනයක් නො දැනෙන තරමට මා ඒ කෙරේ අසංවේදී වූයේ කොහොමද කියා නො දනිමි.
“තමුංගෙ වැඩ ගැන මට හිතා ගන්න පුළුවන්. අම්මා වගේම නැතෑ ඉතිං දුවත්. මොකෝ ගහේ කටු උල් කරන්න ඕනයි කියලයැ”
“මොකද්ද ඒ කතාවෙ තේරුම…”
මට උන් හිටි තැන් පවා අමතක වූ තරම ය. තුෂී හා යුගාන්ත වෙතින් තරමක් ඈතට ගොස් මා කුසල් ගේ ඇමතුමට පිළිතුරු දුන්නත්, ඒ හඬින් ඔවුන් දෙදෙනා ම හැරී බලනවා මම දුටිමි.
“කේන්ති ගියාට ඉතිං ඇත්ත ඒක තමයිනෙ. මං මොකෙද්ද කියලවත් දන්නෙ නැතුව…චැට් කරපු පළියට මාත් එක්ක යාළු වුණා. ෂුවර් එකටම දැං තව එකෙක්ගෙ ඇඟේ එල්ලිල ඇති. ඒකයි මට ගණං දාන්නෙ”
“ජරා කතා කියන්නෙපා මනුස්සයො”
මා වෙව්ලමින් සිටිනවා මට දැනිණ. ඒ කෝපය කුසල් එක්ක සේ ම මා එක්ක ය. මේ වගේ මිනිසෙකුට පෙම් කරන්නට හිතුවේ මගේ මොන අනුවණ කමකට ද?
“ඇත්ත කියනකොට හරි අමාරුයි නේ…”
ඔහු අවඥාවට හිනැහුණේ ය.
“අනේ පිං සිද්ද වෙයි. මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවද…මං හිතපු මනුස්සය නෙවෙයි ඔයා. එහෙම වැරදියට හිතුව මං මේ දඬුවම විඳ ගන්නං”
මම දුරකතන සම්බන්ධය විසන්ධි කොට දැම්මෙමි. නැවත තුෂී හා යුගාන්ත වෙත යත්දීත් මගේ වත කෝපයෙන් පුපුරු ගසනවා දැනුණේ ය. යුගාන්ත අර ශාන්තිදායක ඇස් වලින් බැලුවේ සන්සුන් වන්නැයි නො කියා කියමිනි.
ඊළඟ කොටස අඟහරුවාදා ට