පාට සේදුණු වත්සුණු -21

මා පැළ තවානට වී පැළ කිහිපයක් වර්ග කරමින් සිටිනා අතර වාරයක අසංක හෙමි හෙමිහිට ඒ දෙසට පැමිණියේ ය. මම ඒ ගැන ඒ හැටි තැකීමක් නො කළෙමි. ඔහු ඇවිත් මට කිට්ටුවෙන් ම සිට ගත්තේ ය.

“වැඩද…”

මම හැරී බලා සිනහවක් නගා ගතිමි.

“ඔව්”

“උදව්වක් ඕනනං කියන්න. දැං මං ඉන්නවනෙ”
යළිත් මම සිනහවක් පෑවෙමි. ඊට වැඩියෙන්, දිය හැකි වාචික පිළිතුරක් ගැන මට අදහසක් වූයේ නැත. කතාවක් බහක් නැති ව ඔහු එහි විනාඩි කිහිපයක් ගෙවා දැම්මේ ය.

“ඔයා ගැන මට ආඩම්බරයි”

ඊළඟට ඔහු කීවේ ය. මගේ මුවගට සිනහවක් ආවේත් නැත.

“ඇත්තටම ඔයා වගේ කෙනෙක්ට උදව් කරන එකත් සතුටක්”

මෙතුවක් මට ඔවුන් ගේ උදවු ලැබුණේ නැත. මගේ අනාගතය ගැන හෝ හිතන්නට අම්මා ට ඉස්පාසුවක් වූවාය කියා නො සිතමි. මට නොව අසංකට දාව අම්මා ගේ කුස ඔත් බිළිඳාට පවා දැන් ඔවුන් උන් හිටි තැන් අහිමි කොට තියේ. ඉන්නට හිටින්නට තැනක් නැති කොට දමා තියේ.

“ඕනම දෙයක් මට කියන්න. හරිද..”

ඔහු ඒ අන්තිම පේළිය කීවේ අමුතු ස්වරයකිනි. මම වහා අසංක ගේ මූණ බැලුවෙමි. ඒ ඇස් මත අමුතු බැල්මක් විය. මම වහා ම ඉවත බලා ගතිමි.

මට වඩා ඔහු වැඩිමහල් වන්නේ වසර කිහිපයකට පමණක් බව ඇත්ත ය. නමුත් නෑ කමට ඔහු මගේ සුළු පියා වන්නේ ය. ලේ නෑ කමට පියා වන පිරිමින් ද සිය දියණිවරු කෙළෙසා දමන ලෝකයක සුළු පියෙකු ගේ ඇස් වල එහෙම බැල්මක් තියෙන එක ගැන පුදුම විය යුතු නැතැයි හදිසියේ ම මගේ යටි හිත විසින් මට මතක් කොට සිටින ලදී.

අසංක ගේ ඇස් වලින් පරිස්සම් විය යුතු යයි මා තීරණයකට ආවේ ඒ සිදුවීමත් සමග ය. නමුත් මම කිසිවෙකුට, අඩු තරමින් තුෂීට වුව මේ ගැන නොකීවෙමි. ඒ වෙනකක් නිසා නොව, බැල්මක් කියන්නේ උසාවියකදී වුව ඔප්පු කළ හැකි සාක්ෂියක් නොවන නිසා ය. අසංක මදෙස අමුතුවට බැලුවා යි කියනා එක දෙස වපර ඇහින් බලන්නට ඕනෑම කෙනෙකුට පුළුවන. මා එවැන්නක් දුටුවේ මාත් ඔහු දෙස බැලු නිසා නේ දැයි අසන්නටත් පුළුවන. එහෙයින් මම මේ සිදුවීම මගේ හදවතට පමණක් සීමා කර ගතිමි.

තවත් හවසක, මා පැළ වලට වතුර දමමින් සිටින තැනට ඔහු ආවේ ය. වදනක් හෝ නො දොඩමින් ඔහු මගේ අතත් එක්ක ම හෝස් එකෙන් ඇල්ලුවේ ය. ක්ෂණික කේන්තියකින් මා ඔහු දෙස බලත්දී හරි ම සාමාන්‍ය ලෙස ඔහු කතා කළේ ය.

“දෙන්න. මං වතුර දාන්නං”

“නෑ ඕන නෑ”

මා කතා කළේ නො රිස්සුම සඟවන උත්සාහයක් නො ගනිමිනි.

“දෙන්න ළමයො”

ඔහු බලයෙන් ම මගේ අතින් හෝස් එක සියතට ගත්තේ ය.

“වැඩද…”

කියා අසා ගෙන අම්මා අප වෙතට ආවේ එතකොට ම ය. ආගන්තුක ගැස්මක් හදවතේ වී මට හමු විය. අම්මා ට මාතින් අංශු මාත්‍රික වරදක් නොවූ බව ඇත්ත ය. නමුත් නො විය යුත්තක්, කිසි සේත් නො විය යුත්තක් දිනෙක අසංක ගෙන් අම්මා ට විය හැකි බවට වේදනාත්මක බියක් මගේ හද මඬලෙහි විය.

“ගයාට ඔය ඉන්නෙ හොඳ ගෝලයෙක්. මෙයාට පුරුදු කරල ගන්න ඕව”

ඒ වෙලාවේ අම්මා ගේ සිනහව අහිංසක එකක් වූවා කියා මම පිළිගමි.

“අමුතුවෙං පුරුදු කරන්න දෙයක් නෑ හරිද…අපිට ඕන දෙයක් ඔට්ටුයි”

අසංක අහංකාරයෙන් කතා කළේ ය.

“ඒකනෙ ඉතිං මං ඔයාට කැමති වුණේ..නේ ගයා…”
දෙතොල් තෙරපා ඉක්මන් මඳහසක් නැගුවා විනා මම හා හ්ම් ගාන්නට නො ගියෙමි.

“පිට මිනිස්සු ගැන විශ්වාස කරන්න හොඳ නෑ ගයා ඒ තරං. පිට අය ඉතිං පිටමනෙ. අපේ දේවල් අපේ අයත් එක්ක අපි බලා ගන්න ඕන”

මට කේන්ති ගියේ අම්මා ගේ ඒ කතාවට ය.

“අම්ම ඔය පිට පිට කියල කියන්නෙ කවුරු ගැනද…”

“නෑ නෑ. ඔයාට තරහ ගන්න දෙයක් නෙවෙයි මං කිව්වෙ…”

මට කේන්ති ගිය බව හෝ ඇයට දැනුණ එක ගැන මට පුදුම ය.

“තුෂීයි යුගාන්තයියයි නැත්තං මට මේ දේ තීයටවත් කරගන්න බෑ. මං ඒ දෙන්නට හැමදාම ණයගැතියි”

“ඔයා මට කතා කළානං මං ඔයාට මේ හැමදේම කරගන්න උදව් නොකර ඉන්නෑ ගයා”

“ඒකනෙ…ඔයාට ඕනම දෙයක් මටයි අසංකටයි කියන්න”

නරින්ට කුකුළන් බාර දෙනවා කියන්නේ ඔවැනි දේ ට ය. නමුත් මම අම්මා ඉදිරියේ මුණිවත රැක්කෙමි. ඇය අසීමිත ව අසංක විශ්වාස කරන බවක් මට පෙනේ. අම්මා සිය ආදරයෙන් අන්ධ වී සිටිනවා වන්නට පුළුවන.

යුගාන්ත වැඩි පුර අත්තම්මලා ගේ ගෙදරට එන එක අඩු විය. ඇතැම් විට ඒ අම්මලාත් එහි පදිංචියට ආ නිසා විය හැක. ඒ ගෙදර මුල දී තිබි නිදහස් බව මුලුමනින් ගිලිහී ගිය බව ඇත්ත ය. නමුත් යුගාන්ත ඉඳහිට විත් තේ එකක් බොමින් කතා කර කර ඉන්නේ නැති දවස් වල අමුතු පාළුවක් වූවා සේ මට දැනිණ.

“අර ළමයත් දැං වැඩිපුර මේ පැත්තට එන්නෙ නෑ”

අත්තම්මා එහෙම කීවේ මට දැනුණ පාළුව ඇයටත් දැනෙන්නට වූ නිසා විය යුතු ය. මොනවා කිව යුතු දැයි මම දෙගිඩියාවේ සිටියෙමි.

“අර ඉන්නෙ යුගාන්තයිය”

ඒ වෙලාවේ ඔහු ත් අලුත් ගේ පැත්තේ සිට නත්තසූරිය වැටට මත්තෙන් අපේ පැත්ත බැලුවේ ය. මම සිනහවකින් විකසිත වීමි. යුගාන්ත ඒ සිනහවෙන් මග අසාගෙන අප සිටි දෙසට ඇදී ආවේ ය.

“අත්තම්ම කිව්ව විතරයි. අයිය දැං වැඩිය මේ පැත්තට එන්නෙවත් නෑ කියල”

“අනේ…එහෙම නෑ අත්තම්මා ඉතිං”

කියමින් හෙතෙම කොංක්‍රීට් බංකුව මතින් හිඳ ගත්තේ ය. ඒ ඇස් වල කාන්තිය මා වසඟ කර ගන්නා සුළු වී ද, මම ඒ බවක් නො දැනෙන නො හැඟෙන සෙයින් සිටියෙමි. යුගාන්ත ව මේ විදිහට මට මුණ ගස්වා ඉරණම බලාපොරොත්තු වූයේ විවිධාකාරයේ පුරුෂයන් මෙලොව හිඳින බව අත්දැකීමෙන් මට පසක් කරවීමද කියා නො දනිමි. ඔහු මුණ නො ගැසුණේ වී නම්, මම තවමත් කුසල් ගේ අමිහිරි අත්දැකීම් මගේ උරුමය වෙතැයි සිතා ගෙන ඉන්නට තිබිණි.

“ශාන්තිට කියන්න ගයා අපිට තේ ටිකක් හදන්න කියල”

අත්තම්මා කීවේ යුගාන්තට තේ එකක් තනා දුන්නා නම් මැනවැයි මටත් සිතෙමින් තිබියදී ය. මම ඉක්මන් ගමනින් ගේ දෙසට ගියෙමි. ශාන්ති ට නො කියා මා ම තේ හදන්නට ගත්තේ ඇයි කියා හිත විමසන ඕනෑ කමක් මට වූයේ නැත. ඇතැම් දේවල් සිදු වන්නේ එහෙම ය. කුසල් වෙනුවෙන් කිසි දා ඇති නොවූ විදිහේ සිතිවිලි, යුගාන්ත නිසා හිතේ පහළ වේ. සාමාන්‍යයෙන් මා තේ හදන්නට කම්මැළි කෙල්ලක වී ද, යුගාන්ත ට මගේ අතින් ම තේ හදන්නට මට සිතේ. ඒ නිකං ම පහළ වන සිතිවිලි නොවන බව ද, කිසියම් ජීව රසායනයක් ඒ සඳහා අප පොළඹවන බව ද දැන් මම වටහා ගනිමින් හිඳිමි.

“ෂා…අද අපිටත් මෙයාගෙ අතිං හදපු තේ එකක් බොන්න පුළුවන් එහෙනං”

මා අපේ තේ තුන තැබූ බන්දේසිය අතට ගත්දී ම අසංක මුළුතැන්ගෙයි උළුවස්ස ළඟ හිඳ කීවේ ය. යුගාන්ත ට තේ එකක් පිළිගන්වන්නට උපන් ආශාව අසංක ට තේ එකක් හදා දෙන්නටය කියා මට දැනුණේ නැත.

“ශාන්ති අනේ මේ අසංක මහත්තයට තේ එකක් දෙන්න. අම්මත් බොනවද කියල අහල දෙන්න හොඳේ”

කියමින් මම මුළුතැන්ගෙයින් නික්මුණෙමි.

“ඇයි ඇයි…ඔයාට බැරිද අපිට තේ එකක් හදල දෙන්න…”

අසංක ගේ හඬ මා පසු පසින් ආවේ ය. ඔහු ‘අපිට’ කියන වචනය වඩාත් බර කොට කීවා සේ මට දැනිණ. මා මේ තේ එක ගෙන යන්නේ යුගාන්ත වෙනුවෙන් බව ඔහු දැන ඉන්නට ඇත.

තේ එක ගනිත්දී මගේ හා යුගාන්ත ගේ ඇස් අතර හමු වීමක් සිදු විය. සමහර ඇස් ඒ විදිහට වෙනස් ව දැනෙන්නේ මන්දැයි සිතන්නට මට ඕනෑ වූයේ ය.

“ශාන්තිගෙ තේ එකනං නෙවෙයි මේ”

එක ම තේ උගුරක් බීමෙන් පස්සේ යුගාන්ත කීවේ ය. මම යටි තොල රිදෙන්නට සපා ගතිමි. මට දැනුණ හැඟීම නො තේරුණත්, එය තේරුම් ගැනීමේ උත්සාහයක් ගන්නට මට ඕනෑ විය.

“මෙච්චර වැඩ තියෙන අස්සෙ අපරාදෙනෙ ඔයා තේ හදන්නත් මහන්සි වුණේ”

මම ඔහු දෙස බලන්නේ වත් නැති ව බිම බලා ගෙන සිටියෙමි. අම්මලා ආවාට පස්සේ මගේ කර මත පැටවී ඇති අමතර වැඩ ගැන අත්තම්මා යුගාන්ත සමග පවසමින් හිඳින්නට ඇත. මා එහෙම කළේ ඇයි දැයි මමත් නැවත සිතුවෙමි. ශාන්තිට කීවා නම් තේ හදන්නී ය. ඕනේ නම් එය ගෙනැවිත් යුගාන්ත ට පිළිගන්වන්නට මට තිබිණි. නමුත්, වෙහෙස දැනෙමින් තිබුණත් මට ඕන වුණේ මගේ අතින් ම එය කරන්නට ය. ජීවත් වෙත්දී මෙබඳු දේවල් ඕනෑ තරම් සිදු වේ. ජීවත් වෙනවා ය කියන්නේ එවැනි සිදුවීම් ජාලයකට ය. නමුත් ඒ සිදු වෙන දේවල් දෙස අප නිකමට හෝ අවධානයෙන් බලනවාද? එදිනෙදා කටයුතු සේ සලකා අපි ඒවා කරගෙන යන්නෙමු. විශේෂ කල්පනාවකින් බැලුවොත් හැම දේ ම සිද්ධ වෙන්නේ කිසියම් සැලැස්මකට අනුව යයි පෙනෙන්නට ගනී. ඒ සැලැස්ම අදෘෂ්‍යමාන ය. නමුත් එය දැනෙන්නේ ය. දැනෙන්නේ අපට එය දැනගන්නට ඕනා වුණොත් ය.

යුගාන්ත මගේ තේ එකේ රසය හඳුනන්නේ ය. ඒ රසයට ඔහු කැමැත්තේ ය. ඔහු වෙනුවෙන් තේ හදන්නට මා පෙළඹවූයේ ස්පර්ශ කළ නොහැකි සිතිවිලි පරම්පරාවක මැදිහත් වීමෙනැයි මම පසක් කොට ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content