පාට සේදුනු වත්සුණු – 23

නත්තසූරිය වැටට මත්තෙන් පෙනෙන බටහිර අහස හැන්දෑවට හරි ලස්සන ය. ඒ වර්ණ සංකලනයන්, දක්ෂ සිත්තරෙකුට වුව කළ හැකි දැයි, කොංක්‍රීට් බංකුව මත වාඩි වී අහස දෙස බලා ඉන්නා ගමන් මම සිතුවෙමි. සොබා දහම වූ කලී පුදුම අතරින් ද මහත් වූ පුදුමය යයි මම සිතමි. ඒ, සොබා දහම සියල්ල දන්නා නිසාවෙනි. සියල්ල නිර්මාණය කරන නිසාවෙනි. සියල්ලෙහි මැවුම් කරුවා වන නිසාවෙනි.

“මොකද භාවනාවකට සමවැදිල වත්ද..”

පිටුපසින් ඇසුණේ යුගාන්ත ගේ හඬ ය. මම හැරී බලා උරහිසට මත්තෙන් සිනහවක් තිලිණ කළෙමි. ඔහු වටෙන් ඇවිත් මා ඉදිරියේ වන අනිත් බංකුව මතින් හිඳ ගත්තේ ය. එදා මුල් ම වතාවට මා දකිත්දී යුගාන්ත ඉඳ ගෙන උන්නේත් ඔය බංකුවේ ම බව මට සිහි විය.

“හවස ගොඩක් සෙනග හිටිය නේද…”

“ඔව්. දැං පැළ හුඟක් අඩුයි. ආයෙ ගේන්න ඕනෙ”

“හෙට ඉරිදනෙ. ඕනනං යමු”

“අත්තම්මයි සීයයි කතා වුණා…අයියට කරදරයක්ද දන්නෙත් නෑ කියල”

“මට කරදරයක් වගේ දැනෙන දේවල් ළඟට වෙලා කරදර විඳ විඳ ඉන්න කෙනෙක් නෙවෙයි මං. ඉක්මනට ඒ දේවලිං ඈත් වෙනව මිසක්…”

ඔහු කතා කළේ ඇස් කවුළු වලින් හදවතට එබී ගෙන සේ මට දැනිණ. ඒ කතාවෙහි අරුත නො දැනුණ සෙයින් මම ඉක්මනට වෙනත් කතාවක් කීවෙමි.

“අම්මනං හිතං ඉන්නෙ මාව අසංකත් එක්ක යවන්න”

යුගාන්ත ගේ දෙතොලතරට සිනහවක් ආවේ ය. එය සමච්චල් සිනහවක් සේ මට වුව නො දැනුණේ, ඔහු වෙත වන අසාමාන්‍ය මිනිස් ගති නිසා විය යුතු ය.

“බාප්පනෙ ඉතිං”

මට සිනහ ගියේ ය. ඔහු මදෙස බලා උන්නේ නළල රැළි ගන්වා ගෙන, සිහින් ඇස් වඩාත් විවර කර ගෙන ය. ඒ බැල්ම ඔහු ට ලස්සනයි කියා හදිසියේ ම මට සිතිණ.

“එහෙනං හෙට යමුද අයියෙ…”

“මටනං ප්‍රශ්නයක් නෑ. ඔයාගෙ ගෙදර අයත් එක්ක අවුලක් නැත්තං යමු”

“අත්තම්මල කීයටවත් මාව අසංක එක්ක යවන්නෑ කියල මං දන්නව”

“එතකොට මං එක්ක යවන්නෙ…”

ඒ නම් කඩ ඉම් ප්‍රශ්නයකි. අපේ සිව් නෙත් අකුණක් පුපුරුවමින් එක ම රේඛාවක එකට ගැටිණ. මම තත්පර ගණනක් උත්තර නැති ව උන්නෙමි.

“අත්තම්මගෙං තමයි අහන්න වෙන්නෙ”

ඉනික්බිති මා කළේ ඒ ප්‍රශ්නය විහිළුවකට හරවා ගෙන උත්තර බඳින එක ය. මගේ ඉසිහින් සිනහවත් එක්ක යුගාන්ත හඬ නගා හිනැහුණේ ය. මම මොහොතකට ඒ පිරිමි පෞරුෂය තුළ අතරමං වී ගියෙමි.

“ගයා…ගයා…”

ගේ පැත්තෙන් අම්මා මා අමතනු ඇසුණේ ය. අපේ සිව් නෙත් යළිත් වතාවකට මුණගැසිණ.

“ඔයා යන්න”

ඔහු හෙමිහිට කීවේ ය. මම බංකුව මතින් නැගිට ගේ දෙසට දිව්වෙමි. යුගාන්ත බංකුවෙහි එලෙස ම හිඳ උන්නේ ය.

“ඇයි අම්මෙ…”

අම්මා හිටියේ දෑත් ඉණෙහි ගසා ගෙන ගේ දොරකඩ හිට ගෙන ය. ඇගේ මූණේ හොඳක් වූයේ නැත.

“ඇයි අම්මෙ…”

මම හති දමමින් ද කලබලයෙන් ද ඇසුවෙමි.අත්තම්මා ත් එතකොට ම ආලින්දයට ආවා ය.

“මාත් බය වුණානෙ කෑගැහිල්ලට…මොකද කෝසලා…”

“කෑගැහෙන්නැද්ද මේව දකිනකොට. මෙහෙට ආපු ටිකට ඔයා මෙච්චර නරක් වුණේ කොහොමද ගයා…ඔයා කොච්චර හොඳට හිටිය ළමයෙක්ද…”

චෝදනාව කෙළින් ම මට ය. මාතින් සිදු ව තිබූ වරද කුමක් දැයි නො දැන මම තුෂ්ණිම්භූතව බලා සිටියෙමි.

“ඇයි දැං මොකද්ද වෙලා තියෙන්නෙ…මොකද්ද ගයාත්මි කරල තියෙන වැරැද්ද…

මට දැන ගන්නට ඕනෑ කර තිබූ ප්‍රශ්නය අත්තම්මා වුව ඇසූ එක හොඳ ය.

“ඔයා ගෑනු ළමයෙක් නේද ළමයො…ලැජ්ජ නැද්ද ඔහොම කොල්ලොත් එක්ක තැං තැං වලට වෙලා කුටු කුටු ගගා ඉන්න…”

ඇත්තට ම මට ලජ්ජා හිතුණේ ඒ වෙලාවේ ය. අම්මා එහෙම කීමෙන් අනතුරු ව ය.ඇය ඒ කිව් ජුගුබ්සාජනක ආකාරය නිසාවෙනි.

“මං කුටු ගුටු ගගානං හිටියෙ නෑ. මං බංකුව උඩ ඉඳං ඉන්නකොට යුගාන්තයිය ආව. ඉතිං එයා එක්ක කතා කළා”

මා කීවේ තරමක් තදින් වන්නට ඇත. මගේ ඇස් රවන්නට ද ඇත. මිනිසෙකු ට චෝදනා ලැබිය හැකි සීමාවක් වන්නේ ය.ඒ සීමාව පන්වන්නට මට ඕනා වූයේ නැත.

“කොල්ලො රැකල ඉඳල පස්සෙං ඇවිත් කතා කළයි කියල කතා කරන්න යනවද වැදගත් ගෑනු ළමයි. ඔයා මීට කලිනුත් ඔය විදිහට හැසිරිල තියෙනවද ගයා…”

“ජරා කතා කියන්නෙපා අම්මෙ. ඔයා තමුංගෙම දුවට නේද ඔය විදිහට කතා කරන්නෙ…”

මගේ කෝපය ගිනි දලු නගමින් බුර බුරා නැංගේ ය. මීට පෙර කිසිදු දිනෙක මා අම්මා ට එහෙම කතා කර නැතිවා විය යුතු ය.

“කට කට. ඒ ගමන ඔයා මාත් එක්ක කට ගහගෙනත් එනවද…”

මා නිහඬ වූයේත් කේන්තියෙන් ම ය. අම්මා ගැබිණි කතකි. ඇය ගේ මනස නිරන්තර සන්සුන් ව තිබිය යුතු යයි ඒ අව් අස්සේත් මට කල්පනා විය.

“කෝසලා. දෙමව්පියො වැරදියි කියල පේන්න ගත්තහම දරුවො වුණත් නිශ්ශබ්ද ව ඉන්නෙ නෑ”

අත්තම්මා සූදානම් වූයේ ලොකු දේශනයකට විය යුතු ය. ඉවෙන් වාගේ එය දැනී දෝ අම්මා එරෙහි වූවා ය.

“අනේ මේ අම්මා කට වහං ඉන්න. අම්මල දැන දැනනෙ මේ කෙල්ලව අමාරුවෙ දාන්න හදන්නෙ. අර කොහෙද ඉන්න එකෙක්ව මෙහෙට ගෙන්නගෙන”

“උඹ හැම දේම දන්නව කියල හිතං ඉන්න එපා කෝසලා. ඒ ඉලන්දාරිය මෙහෙට ඇවිත් අපිත් එක්ක තේ එකක් බිව්වෙ…කෑම ටිකක් කෑවෙ…ගයාත්මි මෙහෙට එන්න හුඟක් කලිං ඉඳලයි. උඹ හිතන ජාතියෙ ඇඹලයෙක් නෙවෙයි ඒ ළමය. හැම පිරිමියම එහෙමයි කියල හිතෙනව ඇත්තෙ උඹේ අත්දැකීම් නිසා වෙන්න ඇති”

අත්තම්මා ඒ අන්තිම ටික කීවේ වඩාත් කේන්තියෙනි. එය ඇනුම් පදයක් සේ සැලකූ අම්මා ට පරල වන්නට ඒ හොඳටම ප්‍රමාණවත් විය.

“අම්මෙ මේ. ගයා කියන්නෙ මගෙ දුව. හරිද…එයා වැඩ කරන්න ඕනෙ මට ඕන හැටියට”

“අපොයි ඔව් දැං උඹත් වැඩ කරන්නෙ අම්මා වෙච්ච මේ මට ඕන හැටියටනෙ. අනේ නිකං දොඩවන්නැතුව හිටපං කෝසලා”

“පොඩි කාලෙ ඉඳල අමාරුවෙන් ඒකිව ලොකු මහත් කර ගත්තෙ මං තනියමනෙ. ඒකි හරිහම්බ කරන්න ගත්තට පස්සෙ මෙන්න ඕන තරං අයිතිකාරයො”

“අපොයි ඔව් නේන්නං. අපි මේ හදන්නෙ උඹේ දුවගෙං හම්බ කරං කන්නනෙ. මොකටද ඉතිං මගෙ කට”

“මොකද මොකද ආ මේ සද්දෙ…”

කියාගෙන සීයා එතනට නො එන්නට ඒ වචන හුවමාරුව තව බොහෝ සිත් රිදීම් ඇති කරවන්නට තිබිණි. බෝ නිශ්චලව පැවති සාමකාමී ඉසව්වක් වූ මෙහි දැන් මේ වගේ වචන හරඹ නැති දවසක් නැති තරම් ය.

“මෙයාගෙ දුවගෙං අපි හම්බ කරං කනවයි කියන්නෙ”

අත්තම්මා කේන්තියට වචන වලින් දමා ගැසුවා ය. සීයා ගේ ඇස් වල ගින්දර වූවත් ඔහු කතා කළේ බොහොම ඉවසීමෙනි.

“අනේ මේ කෝසලා. අපි බොහොම නිශ්ශබ්ද ජීවිතයක් ගත කරපු මිනිස්සු. ජීවිතේ මේ අන්තිම ටිකත් අපි දෙන්නට එහෙමම ඉඳල මැරිල යන්න ඕනෙ. උඹයි අයියයි දෙන්නම අපි ගැන නොබැලුවට කමක් නෑ. අපිට අපේ පාඩුවෙ ඉන්න දීපල්ල. වැඳල කියන්නං. ඔය ගෙනාපු ලට්ට ලොට්ට ටිකත් පටෝගෙන යන දිහාකට පලයල්ල. මට කනක් ඇහිල දෙයියනේ කියල වැටිල ඉන්න ඕනෙ මෙතන”

සීයා ඒ විදිහට කතා කළේ කිහිප දිනක් තිස්සේ මේ වහල යට සිදු වූ දේවල් දකිමින් අසමින් නිහඬ ව සිට අවසානයේ ය. සාමාන්‍යයෙන් අත්තම්මා ඔය විදිහට කතා කළත්, සීයා කෙනෙකු ගේ හිත රිදෙන යමක් නො කියන බව මේ ටික දිනට මම අවබෝධ කර ගෙන සිටිමි.

“මං අමාරුවෙ වැටිච්ච වෙලාවෙ පේනවද දෙමව්පියො වෙලා මට සලකන විදිහ”

කියමින් හැඬුම්බර ව අම්මා එතැනින් නික්මුණා ය. ඊළඟ හෝරා කිහිපය නිවස තුළ අරක් ගෙන තිබුණේ මහත් මූසල ස්වභාවයකි. සිදු වූ දේ ගැන මා තුෂී ට කීවේ වුව ඉතාමත් පහළ ස්වරයකිනි. අම්මා ඉන්නේ හඬන්නට ඇහැට ඇඟිල්ලෙන් අනිනා තුරු ය.

“අපි හෙට යං. මං දැං යුගාන්තයියට කෝල් එකක් දෙන්නං”

මම තීරණාත්මක ව තුෂී ට කීවෙමි.

“දැන් තියෙන තත්වෙත් එක්ක ප්‍රශ්නයක් වෙයිද…”

“මොනා වුණත් මං අම්මගෙ අතේ නැටවෙන රූකඩයක් වෙන්න ලෑස්ති නෑ තුෂී. ඇත්තටම අම්මා අතේත් නෙවෙයි. නූල තියෙන්නෙ අසංක අතේ කියල මට දැනෙනව. එයාගෙ නූල් සූස්තර වලට මං අහු වෙන්නෑ”

“ඇත්තටම මේ උඹද බං…”

තුෂී මගේ මූණට එබී සිනාසුණා ය. පෙර කිසි දාක දැනී නො තිබුණ ශක්තියක් මට මා තුළ දැනෙන්නට වූයේ ය. එළඹෙන හෙට දිනයේ මොන තත්වයකට මූණ දෙන්නට වෙත්දැයි සිතා ගත නො හැකි ය. කුමක් සිදු වුණත් මගේ ගමන යන්නට මම තදින් සිතා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content