පාට සේදුනු වත්සුණු -25

අසංක ගේ මෝටර් රථය මූල්‍ය සමාගමෙහි වාරික නො ගෙවීම මත ඔහු ගෙන් ලබා ගෙන තිබිණි. සීයා එය ඇසූ කල කට කොනකින් හිනැහෙනු මම දුටිමි. අත්තම්මා නම් කම්මුලක අතක් තබා ගෙන අනේ අපොයි යයි හැඟවූවා ය.

“බලන්න අනේ කොච්චර නරකයිද එහෙම කරන එක…අපිට එක වාරිකයයිනෙ ගෙවාගන්න බැරි වුණේ…නේද…ඔය මිනිස්සුනං…”

අම්මා ගේ රංගනය, මට නම් සියල්ලට වඩා සිනා ගෙනෙන සිද්ධිය විය.

ඉනික්බිති අසංක ගෙදර රැඳෙන කාලය වෙනදාට වඩා වැඩි වූයේ ය. මට නම් වැඩි ම කරදරය වූයේ එයයි. ඔහු දැවටෙමින් වෙළෙමින් මා පසුපස ම වීම ගැන අම්මා කතා කළේ ආඩම්බරයෙනි.

“අසංක දැං වැඩිපුර ගෙදර ඉන්න නිසා ගයාට ඕනතරං උදව් ගන්න පුළුවන්”

නමුත් ඔහු පළ කළ ඉඟි හා පෙන්වන්නට වූ මනමාල හැසිරීමෙහි වූයේ බාප්පා කෙනෙකු ගේ සහයෝගී බව නොවේ. මට ඒ බව දැනුණත්, මා ඔහු ව පිළිකුල් කළත්, අම්මා කිසි සේත් එවැන්නක් පිළි නො ගන්නා බව මම දැන සිටියෙමි. ඒ නැතත් ඒ බවක් ඇයට කියා ඔවුන් ගේ යුග දිවි සතුට පළුදු කර දමන්නට හෝ අම්මා ඉන්නා තත්වය මත ඇයට අනවශ්‍ය හිත් පීඩනයක් ඇති කරවන්නට මට ඕනා වූයේ නැත.

“මං එහෙම වුණානං උඩ පැනලයි ඔය මනමාලයගෙ කන අතගාන්නෙ”

තුෂී කෝපයට පත් ව සිටියා ය.

“එහෙම වුණොත් වෙන්න ඕන නැති දේවල් ගොඩක් සිද්ද වෙයි තුෂී. මට ඕන නැහැ මේ කුණු ගොඩ තව තවත් ගඳ ගස්සවන්න”

“ඇත්තට ජීවත්වෙන ටිකට සතුටෙන් ඉඳල මැරිල යන්නැතුව මිනිස්සු මොන මොන විකාර කරනවද නේ…”

“ජීවිතේ කියන්නෙ තණ කොලේකට වැටිල තියන පිනි බින්දුවක් වගේය කියන එක අපි වුණත් දන්නව වුණාට තාම හොඳටම දැනිල නෑනෙ”

“ඒත් අපි ජීවිතේ විකාරයක් කර ගෙන නෑනෙ”

“දඟලන්නෙ ජීවත් වෙන්නනෙ කියල හිතල අපි අනුකම්පා කරමු”

“හැබැයි ඔය කුකුළාගෙං පරිස්සං වෙලා ඉන්නව”

යුගාන්ත වෙනදාටත් වඩා, දිනපතා ම වාගේ අලුත් ගේ හදන තැනට ආවේ ය. මුලදී ගෙයි කටයුතු නිම කරන්නට නො තිබි හදිසියක් මේ වෙත්දී මට දැනෙන්නට වූයේ ය.

“යුගාන්ත පුතා ගෙයි වැඩ ඉක්මන් කරනව වගේ”

අත්තම්මා ටත් ඒ බව දැනී තිබිණි. එදා ඉරිදාවක් වූයෙන් අප සමග තුෂී ද මිදුලේ බංකු වල හිඳ තේ බොමින් සිටියා ය.

“මනමාලි කැන්දගෙන එන්න හදිස්සි ඇති”

තේ උගුරක් බොමින් ම තුෂී උගුරට පවා නො දැනෙන්න කීවා ය. මා ඇදෙස රවා බැලුවත්, ඕ වැරදීමකින්වත් මදෙස නො බලන්නට ප්‍රවේසම් වූවා ය.

“ඔව් ඉතිං ඒවත් කලට වෙලාවට සිද්ද වෙන්න එපැයි. නැද්ද පුතා..”

“ඒකනෙ සීයා. අපිව බලාගන්නත් ඉතිං කවුරුහරි ඉන්න ඕනනෙ”

මගේ ඇස් ක්ෂණික ව යුගාන්ත වෙත දැල්වුණේ කිම දැයි නො දනිමි. ඒ මොහොතේ ඔහු ගේ දෑස් යොමු ව තිබුණේ ද මවෙත ය. ඇස් මුදා ගන්නට මම තරමක් පමා වීමි. එහිදී තුෂී මගේ අත් ගොබයට ඇඟිල්ලෙන් ඇන්නා ය. ඇගේ ඇස් වල වූයේ ‘ඇයි’ කියන ප්‍රශ්නයයි. මුළු සිරුර පුරා සංසරණය වූ රුධිරය එකවර මුහුණෙහි රොක් වූ සෙයින් මගේ කම්මුල් රතු වන්නට ඇත. මම යළි යාන්තමින් යුගාන්ත දෙස බැලීමි. ඔහු ගේ දෙතොල් මත දඟකාර සිනහවක් විය. අපේ ඇස් කතන්දර ගැන අත්තම්මා ට ඉව වැටේවියි ක්ෂණික බියකින් මම ගැස්සී ගියෙමි.

“නැත්තං නැත්තං පුතා. පිරිමියෙක් මොන තරං දේවල් හරි හම්බ කරල තිබුණත් වැඩක් නෑ ඒ පිරිමියගෙ ජීවිතේ ගෑනු පරානයක් නැත්තං”

සීයා ගේ කතාවට තුෂී හොට දැම්මා ය.

“ගෑනු අපේ අගේ තේරෙනවනෙ…නේද අත්තම්ම…”
අත්තම්මා කෝපි මල් සිනහවකින් වත සරසා ගත්තා ය. ඕ තොමෝ සීයා දෙස බැලුවේ හුඟක් පරිණත වූ, හුඟක් හුරු පුරුදු වූ, ඒත් කිසි සේත් පරණ නොවූ ආදරයකිනි.

“ඇත්තටම ළමයිනේ…අපි අපේ ජීවිත වලට ලං කර ගන්න ඕන අපේ ජීවිතේට සැනසීම ගේන සහකාරයෙක් සහකාරියක්. අපේ ගින්දරත් නිවන්න පුළුවන් කෙනෙක්. එහෙම නැතුව අර අපේ කෝසලා වගේ නැති ප්‍රශ්න ගොඩක් ඔළුව උඩින් ගෙනත් තියන කරදරකාරයෙක් නෙවෙයි”

සීයා කියන්නේ මොන තරම් සත්‍යයක් ද? අම්මා අසංකට ඔය තරම් කැමති වූයේ ඇයි කියා මම ත් ඇතැම් විට සිතා ඇත්තෙමි. ඔහු ගේ සැබෑ මූණ විවාහ වෙන්නට පෙර අම්මා ට නො පෙන්වූවා විය හැක. ඒ වුණත් මේ දේවල් සිද්ධ වෙමින් තිබියදී වුව ඈ ඔහු ව තේරුම් නො ගන්නේ කිම?

පවුලේ ම ගමන් බිමන් ගැන සිතා වාහනයක් ගමු යයි අම්මා සීයාගෙන් නිතර නිතර ඉල්ලා සිටින්නට වූවා ය.

“ගයාගෙ බිස්නස් වැඩ වලටත් හොඳයිනෙ වාහනයක් තියන එක. පිට මිනිස්සුන්ට බාල්දු වෙන්න ඕන නෑනෙ”

නමුත් සීයා නෑහුණ කන් ඇති ව සිටියේ ය.

සතුටු වන්නට කියා මට තිබුණ එක ම දේ මල් පැළ ව්‍යාපාරය දිනෙන් දින ම දියුණු වීමයි. කුසල් මේ වෙත්දී මගෙන් නික්ම ගොස් තිබීම මට තිබි සැනසුමක් විය. යුගාන්ත ගේ ඇස්, මගේ හිත් පත්ලට කතා කරනවා සේ දැනුණත්, ඒ ගැන වැඩි දුර සිතීමෙන් මම වැළකී සිටියෙමි. ප්‍රේමය නිසා මා ඉගෙන ගත් පාඩම ආත්ම ගණනකට ප්‍රමාණවත් ය.

“ඔයාගෙ කුසල්…දැං මොකද තත්වෙ…”

දවසක් මා පැළ තවානේ සිටියදී එහි ඇවිත් වල් පල් දොඩමින් සිටි යුගාන්ත කඩඉම් ප්‍රශ්නයක් නැගුවේ ය. හදවත භූමි කම්පාවකට පත් සසල බවක් මට දැනිණ.

“ම…ගෙ…”

මම යන්තම් කොඳුරා ගතිමි.

“අයිය දන්නවද…ආදරෙං වචනයක් කතා කළොත් කෙල්ලො හොල්මනකට අවතාරෙකට වුණත් ආදරේ කරයි කියල කතාවක් තියෙනව. ඒක ඇත්ත. ඒක නරකක් නෙවෙයි. හැම කෙල්ලෙක්ම හොයන්නෙ ආදරේ. හුඟක් පිරිමි ඒක වැරදියට තේරුං ගන්නව. එයාල ආදරේ කියල ආපහු දෙන්නෙ ආදරේ නෙවෙයි. හුඟක් ගෑනු ළමයි එතනදි කර කියාගන්න දෙයක් නැතුව අසරණ වෙනව. කීප දෙනෙක් වාසනාවකට වගේ එතනිං ගැලවී ගන්නව….”

මම හුස්ම අල්ලා ගෙන කියාගෙන ගියෙමි. ඒ හිතේ හිර කර ගෙන උන්, නමුත් කාට ම හෝ ඇති සැටියෙන් කියා ගන්නා තෙක් දුක් විඳිමින් උන් කතාවකි.

“මං හිතන්නෙ නරකක් වෙන්න කලින් මටත් ගැලවෙන්න පුළුවන් වුණා. සමහර විට සසර පිනක් නිසා වෙන්නැති”

මල් පැළ අසුරා තබන රාක්ක මත හිඳි පිපුණු කුසුම් සිනහවකින් මදෙස බලා සිටින්නා සේ ය මට දැනුණේ. බොහෝ ගැහැනු ළමයින් ජීවිතය හරි හැටි අවබෝධ කර ගන්නේ ආදර කතා දෙක තුනකින් මට්ටු වූ පසු ව බව මම අසා ඇත්තෙමි. නමුත් වාසනාවකට පිරිමි අත් කිහිපයකට මාරු නොවී එය පසක් කර ගන්නට මට හැකි විය.

“ගයා…නංගි…”

යුගාන්ත කතා කළේ මදෙස බලා ගෙන නොව නත්තසූරිය මල් වැට දෙස බලා ගෙන ය.

“ආදරේ ගැන කටුක අත්දැකීමකින් හිත පාරගෙන කාලයක් ම දුක් වින්ද කෙනෙක් මමත්”

ඒ අලුත් ම කතාවකි. ඔහු ගේ ඇස් වල ජයග්‍රාහී දීප්තියක් මම දුටිමි.

“මං හිත හදා ගත්තෙ පුළුවන් තරං වැඩ කරල. ගෙයක් හදන්න මහන්සි වෙලා. වෙන අරමුණකට වැටුණහම තේරෙන්න ගන්නව අපිට ආදරේ නැති අය වෙනුවෙන් නාස්ති වෙලා යන එක මොන තරං විහිළුවක් ද කියල”

“ඒකනං ඇත්ත”

මගෙන් සුසුමක් ගිළිහිණි.

“මං දන්නව ආදරයක් බිඳිල ගියාට පස්සෙ තවත් ආදරයක් ගැන විශ්වාසයක් ඇති කර ගන්න එක ලේසි නෑ. ඒත් ඔයාගෙ අකමැත්තක් නැත්තං…අපිට පුළුවන් නේද මැරි කරන්න…මං හිතන්නෙ මන්නං දැනටමත් ඔයාට ආදරේ කරන්න පටං අරගෙන. ඒත් ඔයාට පුළුවන් ඒකට ඕන තරං කල් ගන්න. අපි මැරි කළාට පස්සෙ…හෙමිහිට ඔයා මට ආදරේ කරයි”

“අයි…යෙ…”

“ඔයා ටිකක් හිතල බලන්න”

“ඒත් මං වගේ කෙනෙක්…අයියට මොන අඩුපාඩුවක්ද…ඒක නිසා මේ මං වගේ කෙල්ලෙක්…”

“පිරිමියෙක්ට ඕන තරං දේවල් හම්බ කරන්න පුළුවන්. ඒකට ඕනවටත් වඩා ශක්තියත් පිරිමින්ට තියෙනව. ඒත් මතකද සීයා කිව්ව…ඒ කොයි දේ කළත් ගෑනු ළමයෙක් ජීවිතේ පැත්තකිං නැත්තං ඒ පිරිමියා අසම්පූණයි. ඒ හිස්කම ගැන කියල දෙන්න වචන නෑ නංගි”

ඒ අන්තිම ටික කියත්දී යුගාන්ත කතා කළේ උගුර යටින් සේ දැනිණ. අප කාගේත් හදවත් ඇතුළේ හංගා ගත් අප්‍රකාශිත වේදනාවක් තියේ. අප ඒ එළියට දමන්නේ කෙනෙක් අපට ඉතාමත් විශ්වාසවන්ත සේ දැනුණ විටෙක පමණි.

යුගාන්තට මා එහෙම සමීපව දැනුණා කියා තවමත් මම විශ්වාස කර ගත නො හැකි ව සිටියෙමි.

“මං කිව්වෙ නැද්ද හමිං බර්ඩ් ඇහැ දාන්නෙ නත්තසූරිය වැටෙං මෙහා පැත්තෙ පිපිච්ච මලටයි කියල”

යුගාන්ත ගේ ප්‍රේමාරාධනය ගැන දැනගත් වෙලේ තුෂී මා දැඩි ව වැළඳ ගෙන කීවා ය.

“ඒත් මං එහෙම දේකට හිත හදාගන්නෙ කොහොමද තුෂී…”

“ඇයි බැරි…”

ඇගේ දෑස් හි වූයේ අභියෝගයකි. ඊට මූණ දිය නො හැකි ව මම බිම බලා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ) හිමි සිහින -148

අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය...

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content