හදිසි අවස්ථාවක ගෙදරින් පිටවෙන්න බෑග් එකක් සූදානම් කර ගමු

හදිසි ත්‍රස්ත ක්‍රියා කිහිපයක් සිදු වුණේ අපි නොහිතන වෙලාවක. මහමඟ ගමන් කරමින් ඉන්න වෙලාවක වගේම නිවසේ ඉන්න වෙලාවක වුණත් ඔබට ත්‍රස්ත ප්‍රහාර ගැන හදිසි නිවේදන එන්න පුලුවන්.

ඔබ පදිංචි නගරාශ්‍රිතව නම් බෝම්බයක් ගැන ආරංචියට ඔබව නිවෙස් වලින් ඉවත් කරන්න ආරක්ෂක අංශ කටයුතු කරන්න පුලුවන්. එවැනි වෙලාවක ආරක්ෂාකාරී ස්ථාන වෙත යොමු වෙනකොට ඔබට රැගෙන යා හැකි කුඩා බෑගයක් සූදානම් කරගන්න හැකි නම් එය ඉතා ප්‍රයෝජනවත් දෙයක්. හදිසි නිවේදනයක් මත නිවෙස් වලින් ඉවත් වන්නට සිදු වුවහොත් ඔබට කිසිවක් සූදානම් කරන්නට වෙලාවක් නැහැ. ඒ නිසා මෙය සකස් කර තබා ගන්න.

අමතර ඇඳුමක් සහ යට ඇඳුම්, සුළු ප්‍රථමාධාර, සනීපාරක්ෂක තුවා, කුඩා තුවායක්, බෙඩ් ශීට් එකක්, සබන් කැටයක්, වතුර බෝතලයක්, මුදල්, ඔබේ අනන්‍යතාව තහවුරු කරන ලියවිලි, ඔබ හෝ නිවසේ අය යම් රෝගයකට ප්‍රතිකාර ගන්නවා නම් ඒ රෝග වාර්තා මේ මල්ලට අසුරා ගන්න. ඔබ කුඩා දරුවන් සිටින මවක් නම් ඩයපර් පැකැට්ටුවක් , නැපි කිහිපයක් අනිවාර්යයෙන් අසුරා ගන්න.

ඔබ ජීවත් වන ප්‍රදේශයේ පිපීරිමක් හෝ සැක කටයුතු යමක් නිසා ඔබට නිවසින් ඉවත්ව රැයක් හෝ දවසක් ගත කරන්නට සිදු වුවහොත් මෙවන් බෑගයක් සූදානම් කර තබා ගැනීම ඉතා වටිනා දෙයක්. ඔබට ඥාති නිවෙසක් වෙත යාමට හෝ කාලයක් නොමැති වුවහොත් තත්වය සමනය වන තුරු ජීවත් වන්නට සිදු වන්නේ සහන කඳවුරු වල. එනිසා කවුරුන් හෝ ඔබට අවශ්‍ය දේ ගෙන එනතුරු අත්‍යවශ්‍යම දෑ ඔබ ළඟ තිබීම ඇත්තෙන්ම වටිනවා.

මේ කලබලකාරී කාලය තව කොතරම් කලක් පැවතේද කියන්නට බැහැ. කාන්තාවක් ලෙස ඔබ සංවේදී හා ඉක්මන් නොවී සෑම විටම ඉතා කල්පනාකාරීව සහ ඉවසීමෙන් ක්‍රියා කිරීමයි ඇත්තෙන්ම වටින්නේ.

ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් අපි පෙර සූදානම් විය යුතුයි. මනසින් ශක්තිමත් විය යුතුයි. එය අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles