ඈත දුර ආකාසේ -33

ඔරලෝසුවේ කටු කරකැවෙන්නේ බොහෝ වේගයෙනි.ඉතා වේගයෙන් කාලය ගෙවී යන්නේ බොහෝ සිදුවීම්වලට සිදු වී අහවර වන්නට ඉඩ ඉතිරි කරමිනි.
තුරුලිගේ ජීවිතය වඩා නිස්කලංකව සහ කාර්යබහුලව ගෙවී යමින් තිබූ කාලයක ඈ අවන්හලකට වී බලා හුන්නේ අරුණි සමඟ ය;අමුත්තෙකුගේ බලාපොරොත්තුවකිනි.

ආදිත්‍ය පැමිණියේ පුරුදු අහංකාරයෙන් නොවේ.කෝල බවකිනි.බොහෝ කාලයක් පාගාගෙන චන්ඩිකම් වලින් මට්ටු කරමින් හුන් යුවතියට අද වචනයක්වත් කියන්නට නොහැකි බව ඔහු දැන සිටියේ ය.මේ ගමන නොඑන්නට හේතු දක්වමින් ඔහු රොෂේන් සමඟ බොහෝ වාද පැවැත්වූවේ ය.

“මාස හතරක් පහක් හිරේ ඉඳල යන්තං උඹ එළියට ආවෙ ඒකිගෙ හිත හොඳ නිසා.ඒ මිනිස්සු ඔය සිද්ධිය අතාරින්න තීරණේ නොකළනම් උඹට වෙන දේ උඹවත් දන් නෑ..”

රොෂේන් බැන වැදුණේ ය.මේවාට තමන් ද නොපැටලවී මේ තරමින් හෝ අහවර වීම ගැන ඔහුට තිබුණේ සතුටකි.

“ආදිත්‍ය මල්ලි, තුරුලිට ටිකක් කතා කරන්න ඕන කීවා.ඔයා ටිකක් කතා කරන්න.රොෂේනුයි මායි එහා ටේබල් එකකට යන්නං..”

අරුණි ඔහු එසේ පිළි ගත්තේ ය.ආදිත්‍ය ඔබමොබ බැලී ය.විවාහ යෝජනාවකින් මනාලියක බලන්නට ගොස් මනාලිය සමඟ කතා බහ කරන්නට දෙමාපියන් මෙහෙයවූ තරුණයෙකු මෙන් ඔහු උඩබිම බලන්නට ගත්තේ ය.පස් වසරකට අධික කාලයක් තමන් නිසා මහත් චිත්ත පීඩා විඳි තරුණියගේ මුහුණ දෙස කෙලින් බලන්නට බැරිකමක් ඔහුට දැනිණ.

“දැන් මොනවද ආදිත්‍ය කරන්න හිතන් ඉන්නෙ?”

තුරුලි එසේ අසද්දී ආදිත්‍යට දැනුණේ ඇය තමාට අතුල් පහරක් එල්ල කළ තරමට ලැජ්ජාවකි.ඇය කෙදිනකවත් තමන් කරන දෑ ගැන ප්‍රශ්න නගා නැත. “බබා කෑවද” ඇසූවද “ඇයි තමුසෙ සේරම වැඩ දාලා ඇවිල්ල මට කවන්නද” වැනි රළු වචන වලින් ඇයට දමා ගැසීම එකල ඔහුට තිබූ සතුට ය.

“තාම මොකුත් හිතුවෙ නෑ..”

ආදිත්‍යට වචන පටලා ගන්නට දැඩි වෙහෙසක් ගන්නට වන ආකාරය තුරුලි අඩ සංවේදී කමකින් බලා සිටියා ය.

“මොනවහරි පටන් ගන්න.බිස්නස් එකක්වත්.බිස්නස් ලෝන් ගැනනම් මටත් හොයලා දුන්නැකි.නැත්තං මොනව හරි ඉගෙන ගන්න පටන් ගන්න..”

මෙවැනි යෝජනා වලදී ඇයට අපහාස කළ දවස් ඉතා දුර අතීතයකට එකතු වී අවසන් ය.ආදිත්‍ය නිහඬවම අසා සිටියේ ය.

“ඔයා..දැන්ම මැරි කරනවද තුරුලි?” අනතුරුව ඔහු වචන සොයා ගත්තේ ය.

“මැරි කරන්න හදිස්සියෙ බෑනෙ ආදිත්‍ය.මියුරුගෙ ස්ටඩීස් ඉවර වෙන්න තව අවුරුදු දෙකකට වඩා තියනව.කාලේ නාස්ති වෙලා වෙලා මං ඉගෙන ගන්න පටන් අරගෙනත් මාස කීයද..ඔක්කොටොම වඩා ලෝකෙ හරි නිදහස් කියන හැඟීම ටිකක් වැඩියෙන් විඳින්න මං ආසයි..”

ආදිත්‍ය තුරුලි දෙස බලා සිටියේ ය.ඇය කෙටි ගවුමක් හැඳ ළඟදී සැකසූ වරල මුදා හැර සිටිද්දී කොපමණ සුන්දරදැයි ඔහු සිතන්නට ගත්තේ ය.දිග ගවුම් අන්දාගෙන වරල බැඳ හිඳින්නට තමන් ඈ මෙහෙයවූ අන්දම ඔහු සිහි කළේ ය.මෙතරම් හැඩ කෙල්ලක අතේ එල්ලාගෙන ගෙවන්නට තිබූ සුන්දරම දවස් මඟ හැරී අවසන් ය.

“මං ඔයාට එන්න කිව්වෙ මං ඔයා එක්ක කිසිම තරහක් නෑ කියන්න.හොඳින් හරි නරකින් හරි අපි කාලයක් ජීවිතේ බෙදා ගත්තනෙ.පොලිසි උසාවි ගාණෙත් යන්න උනාට මං ඔයා එක්ක තරහ නෑ.මඟ ඇරිච්ච කාලේ කොච්චර නරක උනත් ඔයා නිසා මියුරු වගේ හොඳ කෙනෙක් තේරුම් ගන්න මට ලේසි උනා.ඉතිං මට ඒ ගෙවුණු කාලේ ගැනත් දුකක් නෑ.අපි හතුරො වෙන්න ඕන නෑ ආදිත්‍ය.යාලුවෝ වෙන්න බැරි උනත් හතුරො නොවී ඉන්න එක ලේසියි..”

ජීවිතයට සිදුවන්නට තිබූ හොඳම යහපත ඉතා අමනෝඥ ලෙස අහිමි කරගත් ආදිත්‍ය තුරුලිගෙන් සමුගෙන පිටව ගියේ බර කර ගත් හදිනි.ඔහු පිටව යන අන්දම තුරුලි හිස් දෑසකින් බලා සිටියා ය.

“දැන් හිත නිදහස් කියල නංගට හිතෙන් නැද්ද?” අරුණි සිසිල් බීම වීදුරු දෙකක් ද රැගෙන තුරුලි වෙත ආවේ එසේ අසමිනි.

“අක්කි කීව නිසා මිසක් මට ඔහොම අයිඩියා එකක් තිබ්බෙම නෑ.කමක් නෑ අක්කා.දැන් හිත නිදහස්නෙ.ඔයා කීවා හරි..”

අරුණි මොහොතක් නිහඬව ගෙව දැම්මා ය.අනතුරුව තුරුලිගේ අතකින් මෘදුව අල්ලා ගත්තා ය.

“මගෙ පුතාගෙ තාත්තා වෙන කෙල්ලක් එක්ක ඉඳල අහු උනේ අපේම ගෙදර.පුතා මේ ලෝකෙට එන්න දවස් ගාණක් තියෙද්දින් මං එයාව අතෑරියේ.සමාව දීලම අතෑරියම හරි පහසුයි නංගා.හරිම පහසුයි.අපි නිදහස්..”

අරුණිට පවසන්නට තවත් දේ විණි.

“අපි ගෑනු අය අතින් වෙන ලොකු වැරැද්දක් තමයි නංගි,ජීවිතේ අපි එක්ක ඉඳල යන්න ගිය පිරිමින්ට යන්න දුන්නා කීවට අපි ඒ මිනිස්සුන්ව දිගටම කර තියන් ඉන්නව.අඩුම තරමේ පොඩි මතකයක් හරි දවසකට පාරක් මතක් කරනවා. අපි හිතට කරදර දෙන සම්බන්ධතා වලින් අයින් උනා කීවට හරියට බලනකොට අයින් වෙලා නෑ.ශරීරවලින් ඈත් උනාට මතක හිතේ තියන් ඉන්නවනෙ.තරහ අරන් වෛර කර කර ඉන්න ගියාම සැනසීම ඈතයි.සමාව දීලා අතෑරියම අපිත් නිදහස්.ඒ මිනිස්සුත් නිදහස්. “

මියුරු නිසා සිදු වූ බොහෝ යහපත් දේ අතර ජීවිතය කියා දෙන වැඩිමහල් සොහොයුරියක හිඳීම ඉහළම අංකයට දැමිය හැකි බව තුරුලි සිතුවේ ආදරයෙනි.

අක්කා පවසන්නේ සත්‍යයකි.ආදිත්‍ය යළි සිහියට නොනැඟිය යුතු අතීතයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles