දුලනි ළමා ගායිකාවක ලෙස කළ එළි බැස්සා ය.ඇය ජානක සෙනෙවිරත්නයන්ගේ ළමා චිත්‍රපටියේ ගී ගැයීම වෙනුවෙන් පුරුදු පුහුණු වූයේ ආශාවෙනි.රට පුරා රසිකයන්ගේ ආදරය සමඟ ඉදිවෙමින් පැවති නිවස ඇගේ කුඩා ජීවිතය සතුටින් පුරවමින් තිබිණ.
“අමන්දී..ජානක සර්ට දුලනි ගැන යෝජනාවක් තියනව.”
ඉඳුවර එසේ කියන්නට අමන්දී ඇමතුවා ය.දුලනි අගනුවර ඉහළම බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන්නට ඉඩ හසර සලසා දෙන්නට ජානක මහතා ක්‍රියා කරමින් හිඳියි.ඒ ගැන දුලනිගේ භාරකාරත්වය විමසන්නැයි ඔහු ඉඳුවරගෙන් ඉල්ලා තිබිණ.
“ඒ මගේ ඉස්කෝලෙ.පුතා යන්න කැමති ද?”
සංගීත ටීච කොළඹ පාසලක් පෙන්වා ඒ ඇගේ ඉස්කෝලේ බව කී අන්දම දුලනි සිහි කළා ය.ඇයට ගේට්ටුවෙන් ඇතුළත පෙනුණේ අමුතු සුරංගනා ලෝකයක් පරිද්දෙනි.ඒ ලෝකයට දොර විවර වීම ගැන දුලනිට මහත් සතුටක් දැනිණ.
“කොළඹ ගිහින් අපිට ඕවා කරගන්න බෑ නෝනේ..කෙල්ල මෙහෙ හිටියාවෙ.”
දුලනිගේ තාත්තා අමන්දිගෙන් අයැදුවේ ය.එදා වේල වෙනුවෙන් වෙහෙසෙන ඔහුට ගමේ පාසලට එන දුලනිට සහ ඇගේ සහෝදරයා වෙනුවෙන් පවා වෙන් කරන්නට මුදල් හදල් තිබුණේ නැත.කොළඹ පාසලක වියදම් ඔහුට දැනුණේ බියකරු සිහිනයක් ලෙස ය.
“නිදහස් අධ්‍යාපනයක් තියනවයි කීවට ළමයින්ට ලැබෙන්නේ ඉස්කෝලෙයි පෙළ පොත් ටිකයි විතරනෙ අමා.එතකොට ඉතින් එතැනින් එහා දේවල් කරගන්න එක ගැන අම්මලා තාත්‍තලා බය වෙනව..”
ආලෝක පැවසුවේ සිතිවිල්ලේ ය.ශිෂ්‍යත්වය සමත් කර එක දරුවෙකු හෝ නගරයට යවන්නට සිහින දකින ඔහු ප්‍රශ්නයේ තවත් පැතිකඩක් දුටුවේ දුලනි හරහා ය.
“දුලනිට හොස්ටලුත් ලැබෙනවනෙ.ඉතුරු වියදම් මම කරන්නං..ඒ මගෙ හොඳම ගෝලයෙක්.එයාගෙ අම්මටයි තාත්තටයි ඔයාටයි තරම්ම එයා මටත් අයිතියි..”
ඉඳුවර දුන්නේ බොහෝ සැහැල්ලු විසඳුමකි.
“කොහොමත් දුලනිට ගයිඩ් එකක් ඕන.මං ආස නෑ එයා තරුවක් වෙනවට.එයා ගායිකාවක් වෙන්නයි ඕන..”
අමන්දී පැවසුවේ ඇයට ඇගේ දැරිය ගැන තිබූ සත්‍යය හැඟීම ය.
“ඔයාට මතකද අපේ පොඩි කාලේ තිබ්බ හපන් පැදුර.මුතුහර.ඒවයින් ආවේ ගායකයෝ ගායිකාවෝ.දැනුම එක්ක බිහි වුණු අය.ඒත් ඉඳුවර මේ තරු තරග ඇත්තටම ඒක කරන් නෑ..මට ඒක ගැන විශ්වාසෙකුත් නෑ.”
ඉඳුවර ඇගේ කතාවට එරෙහි වූයේ නැත.
“මං බලන්නේ ස්ටාර් කෙනෙක්ට පේන ලෝකේ වුණාට ඔයා බලන්නේ ගුරුවරියකට පේන ලෝකෙනෙ.ඇත්ත පේන්නෙ ඔයාට වෙන්න ඇති..”
අතීතයේ මෙන් පරස්පර අදහස් මතු කරමින් වාද කරන්නට තිබුණා නම් හොඳ බව අමන්දී සිතුවා ය.නමුත් දැන් සරසවියේ හුන් කෙළිලොල් තරුණයා ද දඟකාර යෞවනියද නොවේ.තමන්ගේ සිසුන්ට වඩා යහපත් හෙට දවසක් තනන්නට කැප වූ ගුරුවරුන් දෙපලක් ඉතිරිව හිඳියි.
“දුලනි ඉගෙන ගනියි..ඔයා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..”
ඉඳුවර දුලනිට පැවසූයේ අවංක හැඟීමකිනි.තාරකාවක් ව බැබළෙන තමන් සහ කුඩාවුන්ගේ යහපත වෙනුවෙන් කැප වෙන අමන්දී අතරින් දිනුම හිමි කරගත්තේ කවුරුන්දැයි සොයන්නට හිත සමඟ තර්ක කළ පලක් නැතැයි ඔහු සිතුවේ ය.
ජය ගෙන ඇත්තේ අමන්දී ය.ඇගේ අත ගෙන ජීවිතය දිග ආවානම් තමන්ට ද සැහැල්ලුවට බර සතුටකට හිමිකම් කියන්නට නොහැකි වේදැයි ඔහු සිතී ය. නමුත් සිහින හිත තබාගෙන ඒවා ඉටු කරගන්නට නොහැකි වූ වේදනාව විඳ ගත යුතු නැති බව ද ඔහු දැන සිටියේ ය.තාරකා සිහිනයට පිවිසෙන්නට නොදෙන අමන්දීට ළං වී සැහැල්ලුවෙන් ජීවත් වූවානම් ඉටු නොවූ සිහිනය ජීවිතය පුරා වේදනාවක් වන්නට ද තිබුණු බව ඔහු සිතී ය.
ඕනෑම දෙයක් ඕනෑවට වඩා සිතන්නට යාම ඵලක් නොවේ.මේ ජීවිතය ලබා දෙන දේ අනුව ජීවත් විය යුතු බව ඉඳුවරට වැටහී යමින් තිබිණ.
එහෙත් අමන්දීගේ ක්‍රියා කලාපය ගැන නොසතුටු වන්නියක වූවා ය.ඒ ඇගේ අම්මා ය.
“අර පොඩි උන්ව ඔයා හදන්න ඕන නෑ.සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවනෙ..”
අමන්දී ඇමතූ ඇය නයනිගේ දරුවන් සම්බන්ධයෙන් බැන වැදුණා ය.
“එක්කෙනෙක්ට විතරක් වගකීම් ගන්න බෑ අම්මා.ඒ අපේ ළමයිනෙ..”
අමන්දී අම්මාට එරෙහි වූවා ය.
“එක කාලයක් අර ඉස්කෝලෙ කෙල්ලක් තරගෙකට උස්සන් ආවා.අන්තිමට ඒකි දිනුවෙත් නෑ.දැන් අම්මා අප්පා නැති කෙල්ලො දෙන්නෙක් අල්ලන් නටනව.ඔය ළමයි අවිශ්කට ඕනවට වඩා ළං කරන්න එපා.තියන ඉඩමක් කඩමක් උන්ට ලියයි.තමන්ට දරුවෙක් හදා ගන්න උවමනාවකුත් නෑනෙ..”
විශාල දේපල ප්‍රමාණයක් හිමි තැනකට දියණිය විවාහ කර දුන් අම්මා ඒ ඉඩකඩම් ගැන ඇස ගසාගෙන හිඳීම අමන්දීට ගෙන ආවේ සිනාවකි.
“හොඳට කාලා ඇඳල ඉන්න තැනකට යැව්ව.දැන් අර හිඟන ඉස්කෝලෙක ටීච වෙලා.මොකක්ද ළමයො ඔයාට වෙලා තියෙන්නෙ..ඔහොම වෙන්නද අපි ඔයාව හැදුවෙ?”
අමන්දී සිනාසුණා ය.
“අම්මා..මම බලෙන් අවිශ්ක එක්ක ආවේ නෑනෙ.මේ අම්මලා හොයල දුන්නු ලෝකයක්.මං ඒ ලෝකෙ මට පහසු විදියට හදා ගත්තා.එච්චරයි.”
අමන්දීට තව කියන්නට බොහෝ දෑ මුවඟට පැමිණි නමුත් ඇය සිටියේ තර්ක නොකරන මානසිකත්වයක ය.ඇය අම්මාගේ වචන පවා සිනාවකින් දරා ගත්තා ය.