“අම්මා ආවද හිමාල්?”
දිග නින්දකට පස්සේ අවදි වුණු දිගැසි ඇහුවේ චූටි දූගේ තොටිල්ල ගාව වාඩි වෙලා ඇස් පිය නොහෙලා ඒ දිහා බලා ඉන්න සැමියාගෙන්.අලුත උපන් පුංචි බබෙක් දිහා කොච්චර බලන් හිටියත් මදි.හිමාල් දිගැසි දිහා බැලුවේ එහෙම හිතන ගමන්.
“අපේ අම්මද දිගැසි? ඔයාට සුප් එකක් එහෙම අරන් එන්නම් කියලා දැන් ගියේ.මඟ එනවත් ඇති.මං කෝල් කරන්නද?”
දිගැසි සුසුමක් හෙළමින් නැගිටින්න උත්සාහ කළා.සිසේරියන් සැත්කමකට මුහුණ දීලා පැය කිහිපයක් හින්දා එයාට තවම ශක්තිය මදි.හිමාල් දිගැසි ළඟට ආවේ ආදරයෙන්.
“අපේ අම්මා ගැන ඇහුවේ හිමාල්..”
හිමාල් දිගැසිගේ හිස පිරිමැද්දේ ආදරයෙන්.මේ දිගැසි හිත කරදර කර ගන්න ඕනෑ වෙලාවක් නෙවෙයි.
“අම්මා එයි සුදූ..හොස්පිටල් ගානේ එන්න කරදරයිනෙ.ගෙදර එයි හොඳේ..”
පසු ප්‍රසව විශාදය පවා පැමිණිය හැකි මොහොතක් නිසා හිමාල් කතා කළේ හරිම පරිස්සමින්.දිගැසි තොටිල්ල දිහා බැලුවා.පුංචි දූ සනීපෙට නිදි.
“අපේ අම්මා අපි එක්ක නවතිනවනෙ.ඔයාට මෙයාව නාවා ගන්න එහෙම අම්මා කියා දෙයි.”
නැන්දම්මා කෙනෙක් නොවී අම්මා කෙනෙක් වෙන හිමාල්ගේ අම්මා ගැන දිගැසිට එන්නේ ආදරයකට වඩා ගෞරවයක්.ඇය මේ මාස නවය දරා ගන්න උදව් කරපු හැටි දිගැසි සිහි කළේ පුදුමාකාර ආදරයකින්.
“ඔයාගේ අම්මා මටත් අම්මා කෙනෙක්..”
එහෙම කියලා දිගැසි ආයෙම හිනා වුණා.
“එක අතකට මං අම්මා කෙනෙක්ගෙ ආදරේ ගැන දන්නේ නෑනෙ හිමාල්.
සමහරවිට මේ හොඳ නැන්දම්මා කෙනෙක් ආදරේ කරන විදිය වෙන්න ඇති..”
හිමාල් මොකුත්ම නොකියා දිගැසිගේ හිස අතගෑවා.නින්ද නොගියට ඇස් පියා ගත්තු දිගැසි අතීතයේ ඇවිදින්න පටන් ගත්තේ දුකකින් වගේම කේන්තියකින්.
“මේ කෙල්ලගෙන් පුදුම මල කරදරයක් තියෙන්නෙ.ආ කනවා..”
අම්මා පුංචි කාලේ බත් නොකෑවත් ගුටි අනින හැටි දිගැසිට මතකයි.ආදරය ගැන නොදැනම උස්මහත් වුණු හැටි මතක් වෙනකොට දිගැසිට දැනෙන්නේ දුකක්.කෝපයක්.අම්මා එකම එක මොහොතක් තමන්ට ආදරය කළානම් ජීවිතය මීට වඩා ලස්සන වෙයි කියලා දිගැසි මේ මොහොතේ පවා හිතනවා.
“ඔය මෝඩ ගෑනි ඔයාව නැති කරන්න ඕන කියලා හත් අතේ දිවුරනකොට මට ඉඩ අරින්න තිබුණේ මගෙ පුතේ..
හේතුවක් නැතුවම අම්මාගෙන් ගුටි කාපු දවසක අත්තම්මා දිගැසිගේ පිටේ තෙල් ගෑවේ එහෙම කියන ගමන්.එදා දිගැසි තිගැස්සුණු හැටි ඇයට තාමත් මතකයි.ඉපදෙන්නත් කලින් තමන්ව මරාගන්න අම්මා හිතුවනම් ඇය ඇත්තටම අම්මා කෙනෙක්ද?
“දරුවට වෙනස්කම් කරන තමුසෙ අම්මා කෙනෙක්ද?”
තාත්තා එහෙම අහන්නේ කලකිරීමෙන් කියලා දිගැසි සිහි කළා.ඒත් අම්මා ඒ කිසිම දෙයක් මායිම් කළේ නැහැ.
“අපි මැරි කරාට දරුවෙකුට වඩා අම්මාට ඕනෑ වුණේ එයාගේ අරමුණු වලට යන්න.එයා කැනඩාවේ යුනිවර්සිටි එකකට සිලෙක්ට් වුණු දවස්වල ඔයා නිසා ප්‍රෙග්නන්ට් වුණේ. “
තාත්තා ඒ කතාව දිගැසිට කිව්වේ බොහොම මෑතකදි.
“අම්මා හැදුවේ ඔයාව නැති කරන්න.ඉගෙනගෙන ඇවිල්ලා දරුවෙක් හදන්නම් කියලා එයා මාත් එක්ක රණ්ඩු කරා.ඒත් තිබ්බ රස්සාවත් බොහොම හොඳ එකක්නෙ.මං ඔයාව නැති කරන්න එයාට ඉඩ දුන් නෑ.ඒක තමයි මං කරපු වරද..”
තාත්තා ඒ ගැන කිව්වේ බොහොම හිත් වේදනාවෙන්.තාත්තා හෘදයාබාධයකින් මිය යන්න පවා හේතු වුණේ ව්සි හත් වසරක් දරාගෙන හිටිය ඒ වේදනාව වෙන්න ඇති කියලා දිගැසි හිතන්නේ දුකින්.
“අම්මා හිටියේ වෙන අරමුණක නම් එයාට ඔයාව වදයක් වෙන්න ඇති දිගැසි.ඒක හරි සාමාන්‍ය කාරණාවක්.කසාදයක් ඇත්තටම ඕනෑද කසාදයක් බැන්දත් දරුවෙක් ඕනමද වගේ කාරණා මිනිස්සු හරියටම පැහැදිලි කරගන්න ඕන ඔන්න ඕක නිසා.හස්බන්ඩ් දරුවන්ට ආස වුණාට වයිෆ් ළමයි හදන්න අකමැති නම් එතන සාර්ථක පවුල් ජීවිතයක් නෑ.කරන්න තියන හොඳම දේ ඕවා කසාදෙට කලින් කතා බහ කරන එක.අදහස් නොගැළපෙනව නම් දෙන්නා යන්න කැමති පාරවල් වෙනස්නම් ආදරේ කරන කාලෙම වෙන් වෙන එක තමයි කරන්න ඕන..”
හිමාල් ඒ කතාව අහගෙන ඉඳලා කිව්වේ ඒ වගේ දෙයක්.වෙන්න තිබුණෙත් ඒ දේ කියලා දිගැසිට හිතුණා.
“ඔයාට ඔය ළමයා ඕනෑ නිසා නේද හැදුවෙ..”
ගර්භනී වීමේ සුබ ආරංචිය අම්මාට කිව්වාම අම්මා අහපු කාරණාව දිගැසි සිහි කළා.හිමාල්ගේ අම්මාට ඒ ආරංචිය සන්තෝසයෙන් ඉපිලීමක් වෙනකොට දිගැසිගේ අම්මා ඇහුවේ එපමණයි.ඒ දෙන්නා ඒ ආරංචිය දිහා බලන්නේ තමන්ගේ කෝණයෙන් කියලා හිමාල් පැහැදිලි කරපු හැටි දිගැසිට මතකයි.
“මෙයාට බඩගිනි වෙලා..”
දිගැසි පියවි ලෝකයට ආවේ හිමාල්ගේ කටහඬින්.පුංචි දූ කට උල් කරමින් අඬනවා.එයාගේ පුංචි මුහුණ ළයට ළං කරගන්න ගමන් දිගැසි ආයෙමත් සුසුමක් හෙළුවා.
“මං මෙහෙම කිරි බොනකොටවත් අම්මාට අර ස්කොලර්ෂිප් එක අමතක කරන්න බැරි වුණේ ඇයි හිමාල්..”
හිමාල් දිගැසිගේ උරහිසක් පිරිමැද්දේ ආදරයෙන්.
“සාහිත්‍ය පොත්වල සින්දුවල තියන තරමටම බැඳීම් සෞන්දර්යාත්මක නෑ දිගැසි.අපි කවුරුත් මිනිස්සු.ප්ලෑන් කරලා හොඳට හිතලා හදපු දරුවෙක් වුණාට මෙයාව වුණත් ඔයාට කරදරයක් වෙන දවස් එයි.එතකොට ඔයාටත් කේන්ති යයි.ඒත් එයා මේ ලෝකෙට ආවේ අපි නිසානෙ.ඒ නිසා අපේ කේන්තිය, දුක, තරහව එයාගෙන් පා නොකරන එක අපේ වැඩක්..”
හිමාල්ගේ ජීවිතාබෝධය ගැන දිගැසිට තියෙන්නේ පුදුම සතුටක් වගේම සැනසීමක්.දුක සහ බිය පිරුණු ළමා කාලයක කළු සුදු මතක අමතක කරලා වර්තමානය දේදුන්නක් තරමට වර්ණවත් කරන්නේ හිමාල්ගේ ආදරය බව දිගැසි හොඳින්ම දන්නවා.
“මං මේ ලෝකේ ඉන්න හොඳම අම්මා වෙනවා.ඔයාලගෙ අම්මා මට ඒකට උදව් කරයි..”
දිගැසි චූටි දූගේ නළල සිපගත්තේ එහෙම කියමින්.හිමාල් අලුත් අම්මා සහ දියණිය දිහා බලාගෙන හිටියේ ආදරෙන්.
“දූට ආදරේ කරන ගමන් මට අපේ අම්මාට සමාව දෙන්නත් හිත හදා ගන්න පුලුවන් වෙයි නේද හිමාල්..”
දිගැසි අහන්නේ බලාපොරොත්තු පිරුණු ඇස් දෙකකින්.ජීවිතය කියන්නේ පාඩම් ඉගෙන ගනිමින් සමාව දෙමින් යන ගමනකට.අතීත වේදනා අමතක කරන්න ලස්සන වර්තමානයත් පැහැබර අනාගතයත් දිගැසිට උදව් වෙයි.
හිමාල් හිතුවේ සැනසීමෙන්.