“තාත්තා, මන්දාරා මගෙන් නිතරම අම්මා ගැන අහනව..”
ශාක්යා පැවසුවේ සති අන්තයකදී තාත්තා සමඟ මුළුතැන්ගෙයට වැදී උයමනේ යෙදෙද්දී ය.ගෘහ සේවිකාව සති අන්තයේ නිවාඩු යවන ශාක්යා තාත්තා සමඟ උයන්නට ඒ දවසේ ඉතා සතුටින් පෙළඹී සිටියා ය.
“මන්දාරා කියන්නේ අම්මගෙ සිද්දියෙදි අම්මා තරමට අසරණ වුණු කෙනෙක්.පුතා ඔය ලසන්තිකා එක්ක තියන තරහවල් මන්දාරා පිටින් යවන්න එහෙම එපා..”
ශාක්යා සුද්ද කරමින් සිටි ඉස්සන් වෙතින් හිස ඔසවා තාත්තා දෙස බැලුවා ය.
“අම්මා නැති වුණේ ලංකා ලසන්තිකා කාලෙද තාත්තේ..”
ඉද්දමල්ගොඩ මහතා එළවළු කපන්නේ වේගයෙනි.ඒ වේගය තරමක් වැඩි වූ බව ශාක්යාට සිතිණ.
“ඒ මනුස්සයගෙ බිස්නස් නමනෙ පුතේ ඒක.මට අතීතෙ හාරවුස්සලා ඔයාගෙ ඔලුව නරක් කරන්න ඕන නෑ.රහල් හොඳ මනුස්සයෙක්.මන්දාරා කියන්නෙත් හොඳ දරුවෙක්..ලසන්තිකා නම් ඔයා ඔය සුද්ද කරන ඉස්සා වගේ.ඔලුවෙත් අසූචි පුරෝගත්තු මනුස්සයෙක්”
ශාක්යා තාත්තාගේ වචන දිගේ තරහ නොසිතා ඉන්නට වෙනත් කාරණාවක් සිහි කළා ය.
“හිමංගිත් හරිම හොඳයි තාත්තා.රහල් සර්ගේ දැන් වයිෆ්.මට වඩා අවුරුද්දක් වගේ බාලයි.ඒ උනාට ඉතින් සර් වගේම බුද්ධිමත්..”
ශාක්යා එසේ කියන්නේ හිමංගි ගැන සැබැවින්ම උපන් ගෞරවයකිනි.හිමංගි සහ රහල් අතර විවාහයට රාගය නොව අවබෝධය සහ ආදරය හේතුවක් වී ඇතැයි ශාක්යා වටහාගෙන සිටියා ය.එනිසාම ඇය ඒ දෙස අපුලෙන් බැලුවේ නැත.
“මට හිතෙනව අපේ අම්මට වගේම හිමංගිටත් මොකක් හරි මානසික හිරිහැරයක් කරන්න තමයි කට්ටිය ලෑස්ති වෙන්නේ.අපේ ස්ටාෆ් එකේ විදුරගෙන් ලංකා මැඩම්ගෙ යාලුවෙක් වෙච්ච මොරීන් අහල තිබ්බා හිමංගි සෙක්සි කෙල්ල නේද කියල..”
ඉද්දමල්ගොඩ මහතා සුසුමක් හෙළී ය.බිනරි හඬමින් බිරාන්ත වෙමින් සසැලුණු කාලය ඔහුට සිහි විණ.තමන් සැබෑ පිරිමියෙකු ලෙස ඒ මොහොතේ ඇය සමඟ සිටියේදැයි ඔහු තවම තමන් සමඟ තර්ක කරමින් සිටියි.
“අම්මා නැති වෙන්න දවස් දෙකකට කලින් ලසන්තිකා අපේ ගෙදරට කෝල් කරා.අම්මා වචනයක්වත් නොකියා ඔහේ අහන් හිටියා.ඒ ෆෝන් කෝල් එක අම්මට නොදෙන්න තිබ්බ.නැත්තං මට ඒකට මැදිහත් වෙන්න තිබ්බා.ඒ මිනිස්සුන්ගෙ බ්රේන් වොෂ් කොච්චරද කියනවනම් අම්මා නැති වෙන්න කලින් ලියපු ලියුමෙ තිබ්බෙ එයා හොඳ මනුස්සයෙක් නෙවෙයි කියල.ඒ මනුස්සයා ඒ අපහාස අහන් දවස් දෙකක් විඳවලා මැරෙනකම්ම මම ඔහේ බලන් ඉඳලනෙ.”
ඉද්දමල්ගොඩ මහතාගේ වචන සසැලෙන්නට පටන් ගත්තේ ය.ඔහු වයසට වඩා මහළු වී ඇතැයි ශාක්යාට සිතිණ.ඇය තාත්තාව වැලඳ ගත්තා ය.
“සියදිවි හානි කරගත්තු අම්මට තවත් සසර දික් කරන්නෙ නැතුව ඉමු තාත්තා අපි.මට මේ වෙලාවෙ ඕන එක දෙයයි.අතීතෙ ආයෙම වෙන්න යන්නෙ.මට ඕනෑ ඒක එහෙම නොවෙන්න දෙන්න.මෙයාලා හිමංගිටත් ජීවිතේ එපා කරයි.ඒත් මං ඒ වෙනුවෙන් ඉන්නව..”
ශාක්යා එපමණකින් කතාව අවසන් කරන්නට සිතී ය.එහෙත් තාත්තාගේ මුහුණේ අඳුරු වළාකුළු පලවා හරින්නට සරදමක් කරන්නට අනතුරුව ඇයට සිත් විණ.
“මං මේ හිතුවේ තාත්තේ..”
ඉද්දමල්ගොඩ මහතා දියණිය දෙස බලන්නේ කුතුහලයෙනි.
“රහල් සරුත් ආයේ මැරි කරපු එකේ තාත්තාත් ආයේ මැරි කරමුකො..”
ඉද්දමල්ගොඩ මහතා දියණියට සියුම් පහරක් එල්ල කළේ ය.ඇය මේ තනන්නේ තමා හිනැස්සවීමට බව ඔහු දනියි.
“ඔන්න කිව්ව.මම නෙවෙයි.ජනිත්ට කතා කරන්න ඕන.මේ හාට් කේස් එක වැඩි වෙලා මට මොකක්හරි වෙන්න කලින් ඔයා බඳින්න ඕන..”
වයසට වඩා මහලුව ගිය තාත්තා දෙස ශාක්යා බලා සිටියේ ආදරයෙනි.
“මේ ෆෝන් එක ලෙට් මී ලව් යූ ගගා දැන් හෙන වෙලාවක් වැලපෙනව.හිමාක්කා මෙතන ඕපාදූප කිය කිය ඉන්න.”
මෙවන් සඳැල්ලට එබුණේ එසේ කියාගෙන ය.හිමංගි හිනැහී දුරකථනය අතට ගත්තා ය.එය සාලයේ කොතැනකද අමතක කර දමා විත් මන්දාරා සමඟ කියවමින් හුන් නිසා මෙවන් සරදම් කරන බව ඇය දනියි.
“පොඩි මාමගෙ දුව..”
ඇය දුරකථනයේ මඟ හැරුණු ඇමතුම් පිරික්සූවා ය.ඒ සියල්ල ගමෙන් ය. හිමංගි පෙරළා ඇමතුමක් ගත්තේ හදවතට අනියත බියක් දැනෙන්නට ගත් නිසා ය.
ඇමතුමෙන් පසු පෙරළා මෙවන් සහ මන්දාරා වෙත ආවේ මුහුණ නරක් කරගත් හිමංගි කෙනෙකි.ඇගේ දෙතොල් සසැලෙමින් තිබිණ.තමන් පෙළෙන්නේ වේදනාවකින් දැයි පවා ඇයට අපහැදිලි ය.
“කිරියම්ම නැති වෙලා..”
මන්දාරා එසේ පවසා ඈත ආකාසය දෙස බලා හුන්නා ය.
“අනේ හිමා..”
මන්දාරා මිතුරියගේ උරහිසකින් අල්ලා ගත්තා ය.හිමංගි කිසිවක්ම නොකියා නිවස තුළට ගියා ය.ඇයට උවමනා තනි වෙන්නට බව වටහා ගත් මන්දාරා
ඇය වෙත ගියේ නැත.
“අක්කා..”
මෙවන් මන්දාරා ඇමතුවේ යමක් පවසන්නට ය.අක්කා මල්ලි දෙස බැලුවේ විමසුම් නෙතකිනි.
“ඔය ෆියුනරල් එකට හිමාක්කගෙ අම්මා නෑවිත් ඉන්නෙකක් නෑ නේද?
ඒ නිගමනය බොහෝ දුරට සාර්ථක වන බව මන්දාරාට ද සිතිණ.හිමංගිගේ අම්මා ජීවතුන් අතර නම් තමන්ගේ මවගේ මළගම මඟ හරින්නට ඇයට නොහැකි වනු ඇතැයි මන්දාරා සිතුවා ය.