මුතු බෙලි හදවත – 10 වන කොටස

“අම්ම ඉන්නව ආදිත්‍යා”

දුමාල් ඒ වචන ටික කීවේ සුසුමකිනි. ඒ සුසුම තුළ තැවරී තියෙන්නේ ශෝකයක් ද සතුටක් ද සැනසීමක් ද කියා වෙන් කොට හැඳින ගන්නට ආදිත්‍යා ගේ හිතේ නිරවුල් බවක් වූයේ නැත.

“අම්ම කඩේ වැඩ කරන්න පටං ගත්තට පස්සෙ අපේ ජීවිත ටික ටික වෙනස් වෙන්න පටං ගත්ත. අපේමයි කියල අටෝගත්ත පැල් කොටයක් හරි තිබුණ නිසා මට එක තැනක ඉඳං පොතක පතක වැඩක් කර ගන්න පුළුවන් වුණා. ඉස්කෝලෙ යන කාලෙ මං ලොකූ දක්ෂයෙක් නෙවෙයි. හැබැයි මහන්සි වෙලා වැඩ කළා. අම්ම කිව්වෙ මට ගොඩ යන්න පුළුවන් එකම පාර ඉගෙන ගැනීම කියලයි. ඉතිං කොහොම හරි ඒ පාරෙ යන්නයි මට ඕන වුණේ. අම්මා මුලින් වැඩ කළේ සිල්ලර කඩේක. ඒ මුදලාලි ටික ටික දියුණු වුණා. හාඩ්වෙයර් එකක් පටං ගත්තා. සිල්ලර කඩේ ලොකු කරල හදල සුපර් මාකට් එකක් පටං ගත්තා. අම්ම තමයි මුදලාලි ට හිටිය පරණම සේවකය. අම්මා විශ්වාසවන්ත සේවකයෙක් විදිහටත් මුදලාලි ගෙ හිත දිනං හිටියෙ.  කොහොමහරි මං ඉස්කෝලෙ අට නමය පන්ති වලදි මුදලාලි ගෙ නෝනා මැරුණා. ඒ කිට්ටුවම එයාගෙ ළමයි දෙන්නත් බැන්දා. මට තේරුණා මුදලාලියි අම්මයි අතරෙ ටිකක් කිට්ටු ආශ්‍රයක් තියෙනවයි කියල. මුදලාලි අම්මට බඳින්න යෝජනා කරල තියෙනව කියල මට කිව්වෙ අපේ ඇල අයිනෙ ගෙවල් පේලියේ ගේක ගෑනු කෙනෙක්. ඒත් අම්ම එහෙම කරන බවක් පේන්න තිබුණෙ නෑ. මට අම්මත් එක්ක ඒ වගේ දෙයක් ගැන කතා කරන හයියක් තිබුණෙත් නෑ. ඔය විදිහට දවස් ගෙවිල ගියා. මං ඕලෙවල් ඒ ලෙවල් කරල කැම්පස් සිලෙක්ට් වුණා. ඔය වෙද්දි ඇල අයිනෙං අපිව අයිං කරල ඇල පළල් කරන ප්‍රොජෙක්ට් එකක් පටං අරං තිබුණා. එතන හිටිය මිනිස්සුන්ට වන්දියක් ගෙව්ව. අපි කුළියට ගෙයක් ගත්තා. අම්මා දිගටම මුදලාලි ගෙ බිස්නස් වලට උදව් කළා. කැම්පස් සිලෙක්ට් වෙලා හොස්ටල් නතර වුණාට පස්සෙ මට අම්ම ගැන අලුතෙං හිතෙන්න ගත්තා. එයා මුළු ජීවිතේ ම කැප කළේ මං වෙනුවෙන්. මාව පාරට විසි කරල දාන්නෙවත් අනාත නිවාසෙකට දාන්නෙවත් නැතුව එයාගෙ ආදරේ දීල මාව උස් මහත් කරන අරමුණෙන්. ඒත් අම්මා හැමදාමත් හිටියෙ තනිකමක. කැම්පස් යද්දි අන්න ඒ මනුස්ස ආත්මෙක යටි හිතට දැනෙන තනිකම ගැන මං අමුතු හැඟීමකයි හිටියෙ. අම්මත් සතුටෙන් ඉන්න ඕනෙ. එයාටත් ඒකට අයිතියක් තියනව. අම්මා මුදලාලිගෙ යෝජනාව ට එකඟ වෙන්න නැත්තෙ මං නිසා. මං වගේ ඉලන්දාරියෙක් ඉන්න අම්ම කෙනෙක් ආයෙ කසාද බඳිනව කියන එකෙං මට ලැජ්ජාවක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි කියලයි අම්ම හිතුවෙ. මං වුණත් එච්චර කාලයක් අම්ම ගැන ඒ පැත්තෙන් නොහිතා හිටියෙ ආත්මාර්ථකාමී කමටනෙ. පස්සෙ මං හිතුවා අම්ම මං ගැන එච්චර කැප කිරීම් කළා නං ඇයි මට බැරි අම්ම වෙනුවෙන් පොඩි දෙයක් කරන්න කියල. ගෙදර ගිහිං අම්ම එක්ක කෙලිංම මං මේ ගැන කතා කළා. අම්ම මුදලාලිව බඳිනවනං මං හුඟක් කැමතියි කියලත් කිව්ව. ඔයා දන්නවද ආදිත්‍යා…ඒ වෙලාවෙ අම්මගෙ ඇස් දිළිසුණා. ඒ වගේ සතුටු ඇස් දෙකක් ඊට කලිං මං අම්මගෙං දැකල තිබුණෙ නෑ”

මේ මොහොතේ දුමාල් ගේ ඇස් වලින් ද ඒ සතුට ම දැකිය හැකි ය කියා ආදිත්‍යා ට සිතිණ. ඔහු වගේ පුතෙක් ලද මවක් නිවුණා වෙයි. දුමාල් කියන්නේ නිබ්බුත පද කිව යුතු ආකාරයේ පුත්‍ර රත්නයකි!

“ඉතිං අම්ම මුදලාලිව බැන්දද…”

“ඔව්. දැං ඒ දෙන්නම ජීවිතේ මේ වයසෙ සතුටෙන් සැනසීමෙන් ඉන්නව මං හිතන්නෙ”

“ඉතිං ඔයා අතන රෙන්ට් එකට ඉන්නෙ…අම්ම එක්ක ම ඉන්න තිබුණනෙ”

“මුදලාලිත් මට කීප සැරයක් කිව්ව ඒගොල්ලො එක්ක ඉන්න කියල. ඒත් මං හිටියනං අම්මට ඒ ජීවිතේ සතුට ඒ විදිහටම විඳගන්න බැරි වෙයි කියල මට හිතුණා. මං ඉන්න තැනක එයා හරි ලැජ්ජයි. ඒකයි…”

ආදිත්‍යා මුව මඳක් අයා හුස්මක් ගත්තා ය. ඊළඟට මින්දුල ව තුරුලු කර ගත්තා ය.

“ඉඳ හිට ගිහිං මං අම්මව බලල එනව. එයා හොඳිං ඉන්නව කියල දන්නවනෙ. ඒක මට සැනසීමක්”

දුමාල් මින්දුල ගේ හිස මත අතක් තබා ඔහු ගේ මූණට එබුණේ ය. දරුවා සිය මව් ගේ ළමැදෙහි හිස සඟවා ගත්තේ ය. අනතුරුව දුමාල් ආදිත්‍යා ගේ කොළ පාට ඇස් දෙස බැලුවේ ය.

“මින්දුලව කොහොම හරි සනීප කර ගන්න. එයාට ජීවිතයක් හදල දෙන්න. මගෙ අම්ම වගේ දුප්පත් නූගත් ගෑනියෙක්ට ඒක කරන්න පුළුවන් වුණානං ඔයාට බැරි වෙන්නෙ කොහොමද…ඔයා ඒක කරයි”

ආදිත්‍යා ගේ හිතට සතුටක් දැනිණ. දිරියක් ලැබිණි. ඇගේ දෙතොල් අතරට මඳහසක් ආවේ ය.

“ඔයා දන්නවද ආදිත්‍යා…ඔටිසම් බබාලව හරියට ට්‍රේන් කළොත් එයාල දක්ෂ ළමයි කරන්න පුළුවන්. අපේ වගේ රටවල් ඒ වගේ අයගෙන් ප්‍රයෝජන ගන්නව අඩුයි. ඒත් දියුණු රටවල එයාල ගැන විශේෂ අවධානයක් යොමු කරල තියෙන්නෙ. මැත්ස් වගේ සබ්ජෙක්ට්ස් වලට ඒ ළමයි දක්ෂයි කියල මං අහල තියෙනව. සමහර ගණිතඥයන්ට විද්‍යාඥයන්ට ඔටිසම් තිබිල තියෙනව කියල දැං හොයං තියෙනව. පුතාගෙ අත අත්අරින්න එපා ආදිත්‍යා…එයාව ඉස්සරහටම අරං යන්න. දවසක ඔයාට ආඩම්බර අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. මගෙ අම්ම වගේ”

දවසක මින්දුල දුමාල් වාගේ හැඟීම්බර මිනිසෙකු වුණොත් ඇති යයි ආදිත්‍යා සිතුවා ය. ඔහු පිළිබඳව ටික වෙලාවකට කළින් හිතේ වූ නො රිස්සුම පහව ගිය සෙයක් ඇය ට දැනිණ. එදා ඇය යළි විකුම් පායට පැමිණියේ තව දුරටත් දැඩි කර ගත් සිතිනි.

ආදිත්‍යා කාමරයේ ඇඳ යටින් පොල්ලක් තියා ගත්තා ය. මෙට්ටය යට උල් පිහියක් හැංගුවා ය. වෙනදා සේ ඔහේ ඇඳට නො වැටී, දොරගුළු දමා ඇත්දැයි කිහිප විටක් විමසා සැක හැර දැන ගත්තා ය. මහ රැයේ විකුම් එන හඬ ඇසුණත් ඇය දොර හැරියේ නැත. නමුත් උදෑසන ඇය විකුම් ගේ කාමරයට ගියා ය. ඇගේ මුව මඳහසකින් සැරසී තිබිණි.

“මොකද…මොකක් හරි තෙරපි එකකට යන්න කතා කරන්නද…අනේ මේ ආදි…වැඳල කියන්නං..”

“නෑ නෑ විකුම්….කලබල වෙන්න එපා. මං ඔයාට කතා කරන්න ආවෙ වෙන දෙයක් ගැන කියන්න”

ආදිත්‍යා විකුම් නිදමින් උන් යහන කොනක හිඳ ගත්තා ය.

“මං ඊයෙ ගූගල් සර්ච් කරල බැලුව. ඔටිසම් හැදිල හිටිය බබාල ලොකු වෙනකොට හොඳ තත්ව වලට ගේන්න පුළුවන් කියල එවිඩන්ස් එක්කම තියනව විකුම්. මෙහෙ නැතත් වෙන රටක හරි දවසක අපේ පුතාට හොඳ ජොබ් එකක් එක්ක හොඳ ජීවිතයක් හදල දෙන්න පුළුවන්”

ආදිත්‍යා ගේ ඇස් වල බලාපොරොත්තුවේ දීප්තිය සිනහ වෙමින් තිබිණි. විකුම් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“ඉතිං මට පාන්ද…”

ආදිත්‍යා ගැස්සී ගියා ය. ඇය ට ඇහුණේ විකුම් කී දේ වෙනස් ලෙස වන්නට පුළුවන් යයි ඇය සිතා ගත්තා ය. අනික වචන පස්සේ එල්ලී ගෙන යනවාට වඩා ලොකු අභියෝගයක් ඈ ඉදිරියේ වන්නේ ය.

“මෙහෙම ළමයි මැත්ස් වලට මියුසික් වලට එහෙම හුඟක් දක්ෂ වෙනවලු. ටික දවසක් විශේෂ ළමයි එක්ක තියල ඉගැන්නුවත්…ඉක්මනට ඩිවෙලොප් වෙන දක්ෂ ළමයින්ට සාමාන්‍ය ළමයි ඉන්න පන්තියකට එන එක අමාරු නෑලු. අපිට තියෙන්නෙ අපේ පුතා ගෙ දක්ෂතා තේරුං අරගෙන එයා ට උදව් කරන එක”

“ආදිත්‍යා. මං විකුම් විජයවික්‍රම. සේනක විජයවික්‍රමගෙ පුතා කියන එක අමතක කළත් හෙට අනිද්දට මාත් ඇමති කෙනෙක් තමයි. ඔයා තේරුං ගන්න මං මේ රටට මූණ දෙන්න ඕන කියන එක. මට ඔටිසම් ළමයෙක් ඉන්නව කියල මිනිස්සු දැන ගන්න එකම ඇති මගෙ ඡන්ද කැඩෙන්න”

ආදිත්‍යා මුව අයා බලා සිටියා ය. දෙමව්පියන් ට දරුවන් තමන්ගේ කිසි දේකට වඩා දෙවැනි විය නො හැකි යයි ඇය තදින් සිතුවා ය.

“මට තේරෙනව ඔයා පව් කියල. ඒත් මගෙ තීරණේ වෙනසක් වෙන්නෙ නෑ”

ආදිත්‍යා යහන මත හිඳ සිටියදී ම විකුම් නැගිට නාන කාමරයට වැදුණේ ය. ප්‍රතික්ෂේප වීම පිළිබඳ ව ඇය යළි යළිත් සිය හදවතින් පහර කමින් සිටියා ය.

විකුම් දිය නාමින් සිතුවේ අනාගතය ගැන ය. ඔහු ක්‍රියාකාරී දේශපාලකයෙක් වශයෙන් ගත කරනා ජීවිතයේ දී, පුත්‍රයා ලෙස මින්දුල ව ලෝකයට හඳුන්වා දෙන්නට බැරි බවක් ඔහු ට දැනුණේ ය. මින්දුල ව පවුලෙන් අයින් කොට නිරෝගී දරුවන් ගැන සිතන්නට අවශ්‍ය කො වන්නේ නම් ආදිත්‍යා ව ද සිය ජීවිතයෙන් ඈත් කරන්නට බැරි කමක් ඔහු ට නැත. කොහොමටත් ඇය වූ කලී ඔහු කැමති විදිහේ ස්ත්‍රියක නොවේ. ලස්සන හැරෙන්නට ඇය සන්තක වන වෙනත් කිසිවක් නැත!

“ආදිත්‍යාව මගෙ කරේ එල්ලුවෙ අම්මනෙ. මට කරන්න දෙයක් නෑ”

සඳසීලී ඔවුන් ගැන කතා කරන්න ට තැත් කළ අවස්ථාවේ විකුම් අම්මා ගේ මූණ ට ම කීවේ ය.

“එයාට ඕන නං මං ඩිවෝස් වෙන්න කැමතියි. එයා ඩිවෝස් එකට අකමැතියිනං ඔහොම හිටපුදෙං. මට කිසි ප්‍රශ්නයක් නෑ”

“තාත්ත වගේ ම මිනිහෙක් වෙන්න හදන්න එපා පුතා. ගෑනු කියන්නෙ බෝනික්කන්ට නෙවෙයි. ආදි නිසා ඔයාගෙ ජීවිතේ යන්තං පිළිවෙල වී ගෙන ආව විතරයි”

විකුම් හඬ නගා හිනැහුණේ ය. සඳසීලී අපේක්ෂා භංගත්වයට පත් වූවා ය.

ආදිත්‍යා විකුම් ගැන අකම්පිත ව මින්දුල ගැන වෙහෙසෙන්නට සිතුවා ය. දරුවා සුව අතට හැරෙත්දී සැමියා ඔහු ව සිය පුතා වශයෙන් පිළිගන්නට කැමති වනු ඇත ය යන අහිංසක බලාපොරොත්තුව ඇය ට විය.

දුමාල් ද ඔටිසම් ගැන වැඩි අවධානයක් යොමු කළේ ය. අන්තර් ජාලයේ සැරිසරමින් බා ගත කර ගන්නා ලද පුවත් ඔහු ආදිත්‍යා ගේ දුරකතනයට යොමු කළා ය. වැඩි දිනක් නො ගොස් ඔවුන් දෙදෙනා එක අරමුණක් වෙනුවෙන් එක ගමනක යෙදෙනා දෙදෙනෙකු බවට පත් වූ සේ ය.

හැන්දෑවට මින්දුල ගෙන උද්‍යානයට යාම ආදිත්‍යා පුරුද්දක් කර ගත්තා ය. බැංකුවේ වැඩ නිම වී දුමාල් එහි එන එකත් පුරුද්දක් වූයේ ය. නිවාඩු ලබා ගත හැකි වූ දාක ඔහු සායනික ප්‍රතිකාර සඳහා මින්දුල කැටිව යන්නට ද ඉදිරිපත් වූයේ ය.

“ඔයා කරදර වෙන්න ඕන නෑ දුමාල්. මට පුළුවන් කර ගන්න”

ඇය බෙහෙවින් විනීත ස්වරයකින් පවසයි. දුමාල් ඒ කතා ගැන ඒ හැටි උනන්දුවක් දක්වන්නේ නැත.

“ඔයා මෙහෙම මින්දුලට උදව් කරනව කියල ගෙදර අය දැන ගත්තොත් ඔයාටත් කරදර වෙන්න වෙයිද කියලයි මට බය”

ඈ සිය අවංක සිතිවිල්ල ප්‍රකාශ කළා ය. දුමාල් මන්දහාසයක් පෑවා විනා ඒ ගැන කලබල වූයේ නැත.

“මං හොඳට කරදර වලට මූණ දීල පුරුදු මිනිහෙක් ආදිත්‍යා. කරදර වලින් ම ඉපදිලා කරදර වලින් ම ජීවත් වෙලා කරදර නිසා ම යකඩයක් වගේ හයිය වෙච්ච මිනිහෙක්. දැං කරදර කියන්නෙ මට අමුතු දෙයක් නෙවෙයි. අපි හොඳ පුරුදු කාරයො”

ඔහු ප්‍රශ්න දෙස බැලූ සැහැල්ලුව ආදිත්‍යා ට අලුත් පාඩමක් විය. ඔහු ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇය ට තිබිණි. නමුත් දුමාල් ට ඕන වූණේ ජීවිතයෙන් ඔහු ඉගෙන ගත් යමක් වී නම් එය මින්දුල ට උගන්වන්නට ය.

විජයවික්‍රම පවුලේ ඥාති නිවසක විවාහ මංගල උත්සවයක් සඳහා ඇරයුම් ලැබුණේ මේ අතරේ ය. එය පවුලේ සියලු දෙනා වෙනුවෙන් කළ ආරාධනාවක් නිසා ආදිත්‍යා කල් ඇතිව ම මින්දුල ටත් එක්ක ම ඇඳුම් පැළඳුම් සූදානම් කළා ය. සෙනග වැඩිපුර ගැවසෙන තැන් වලදී මින්දුල අපහසුතාවට පත් ව ආක්‍රමණශීලී ලෙස හැසිරීමේ ප්‍රවණතාවයක් තිබුණත්, ඔහු ට කෙසේ හෝ සමාජ ජීවිතය හුරු පුරුදු කිරීමේ අභියෝගය ආදිත්‍යා ඉදිරියේ විය.

විවාහ උත්සවය දිනයේ, ගෙදර කාන්තාවන් හැඩ ගැන්වීම සඳහා පැමිණ තිබූ රූපලාවණ්‍ය ශිල්පිනිය ලවා ආදිත්‍යා ද හැඩ වැඩ වූවා ය. කැඩපත තුළින් තමන් දුටු ඈ පවා පුදුම වූයේ ඒ තරම් ලස්සන රුවක් එහි සනිටුහන් වී තිබූ නිසා ය.

“කොහෙ යන්නද මේ…”

මින්දුල ද ගෙන පහළ මහලට ආ ඇය ගෙන් විකුම් ප්‍රශ්න කළේ ය. ආදිත්‍යා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

“කොහෙ යන්නද අහන්නෙ….වෙඩින් එකටනෙ…”

“මේ ළමයවත් අරං…”

ආදිත්‍යා ගේ සියොළඟ සීතල වී ගියේ ය.

“අනේ ඇයි විකුම් එහෙම කියන්නෙ…මේ දරුවව දාල යන්න බෑනෙ”

“මේ…බැරිනං තමුනුත් ගෙදර නතර වෙන්න”

දරුවා ගේ තාත්තා එසේ කීව එකටත් වඩා ආදිත්‍යා ගේ හිත රිදුණේ විකුම් ගේ සොයුරිය විජිනි ඒ වෙලාවේ හෙලූ සමච්චල් සිනහව නිසාවෙනි.

“විකුම්. මේක වෙඩින් එකක්. ෆැමිලි එකටම ඉන්වයිට් කරල තියෙන්නෙ. පිස්සුද ඔයාට…මොනාද මේ කියවන්නෙ…”

සඳසීලී සිය ලේලිය වෙනුවෙන් පෙනී සිටියා ය. ආදිත්‍යා ට දැනුණේ මහත් අසරණ හැඟීමකි. මේ ඇමති මන්දිරය ඇතුළේ ඇය ට හිමි වී ඇත්තේ මොන තරම් අංශු මාත්‍රික ඉඩක් දැයි ඇය කම්පාවෙන් යුතු ව සිතුවා ය.

“හැබැයි ඔය ළමයව අරං යනවනං මං වෙඩින් එකට යන්න එන්නෑ අම්ම. දැට්ස් ඉට්”

විකුම් සිය තීන්දුව දුන්නේ ය. ඔහු ගේ අය අතරේ දී ඇය ව හා දරුවා ව ඔහු විසින් පයට පාගා චප්ප කොට දැමුවා සේ ඇයට දැනෙන්නට ගත්තේ ය. මෙතෙක් ඇය වෙනුවෙන් කතා කළ සඳසීලී ට පවා, විකුම් එසේ කියත්දී කළ හැකි යමක් වූයේ නැත.

මින්දුල ව වඩා ගත් ආදිත්‍යා සාරිය පැටලි පැටලී, හඬමින් ම පිය ගැට පෙළ දිග දුවන්නට වූවා ය. ඒ තරම් ආත්ම වේදනාවක් ඇයට කිසි දා දැනී නොමැතිවා විය යුතු ය.

උදේ රැකියාවට යාම සඳහා දොර වසමින් සිටි දුමාල් හැරී බැලූයේ, ආදිත්‍යා කෑ ගසා හඬා ගෙන සඳැල්ලට එනු දුටුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles