සැරිසරන්නී – 9

මම ඉක්මනට යහන මත හිඳ ගනිමින් දුරකතනය සවනට ගතිමි.

“කියන්න ලොකු අයියෙ”

නමුත් එහා ඉමෙන් ලොකු අයියා කතා කළේ නැත. පසුබිමෙන් අපැහැදිලි හඬවල් ගණනාවක් ඇසෙමින් තිබිණි.

“හෙලෝ”

මම ඔහු ගේ අවධානය මවෙත යොමු කර ගන්නට උත්සාහ කළෙමි.

“ලොකයියෙ…හෙලෝ…කතා කරන්නකො අප්ප. වෙන වැඩ කර කර ඉන්නනං මොන එහෙකටද මට ඇහැරෙව්වෙ…හෙලෝ…ලොකූ…”

නමුත් මා තනිව කියවූවා පමණකි. ඉතින් මා යහනෙන් නැගිට පාරට බැස ලොකු අයියා වේ දැයි බලන්නට සිතුවෙමි. අඩියක් දෙකක් තබා යත්දී, කණ්ණාඩි මේසයේ කැඩපතින් මා දුටුවේ සැබවින් මා ව නොවේ. එහි වූ ඡායාව හිස කේ අවුල් වූ ඇස් ඉදිමුණ, මුහුණ තඩිස්සි වුණ කෙනෙකි. මම එහෙම ම නතර වී කැඩපතින් පෙනෙන ඒ රුව දෙස බලා ඉන්නට වීමි. මගේ ඇස් වල වන ශෝකය කුමක්ද? සිත්හි ගැස්මක් ඇති විය. සිදු වූ දෙයක් හෝ වෙන්න යන දෙයක් සිතා ගන්නට මා සමත් වූයේ නැත.  පෝනිටේලයක් වන්නට දමා තිබූ බූල් බෑන්ඩ් එක ගලවා නැවත හිස කේ එක් කරමින් හිස් මුදුනට වන්න බෝලයක් කොට එය දමා ගන්නා ගමන් මම ලොකු මාමලා ගේ ගෙවල් පැත්තට යන්නට වීමි. ලොකු අයියා පාරේ හිටියේ නැත. තවමත් දානය නිමා වී නැති සෙයින් කට්ටිය තැන් තැන් වල රොක් වී සිටිති. මම ලොකු මාමලා ගේ මිදුලට ම ගියෙමි.

“ලොකු අයියේ”

රවීන් පිටත කාමරයේ සිට මිදුලට එමින් සිටියේ ය. මම ඔහු නොදුටු ගාණට නැවත ද ලොකු අයියා ට හඬ ගසමින් ගෙතුළට  ගියෙමි. නෑනලා රංචුව සාලයේ ඕපාදූප කතාවට වැටී සිටියහ.

“ආ…නැගිටල තියෙන්නෙ ගෑනු ළමය”

එක නැන්දා කෙනෙක් කීවා ය.

“දවසම නිදා ගත්තා නේ…අම්මෝ කොහොම නිදියනවද මන්දා එහෙම. මටනං කොච්චර නිදි මැරුවත් දවල්ට නිදා ගන්න බෑනෙ”

“මටත් එහෙමයි. ඇඳට වෙලා පැය ගාණක් හිටියත් ඇහැ පියවෙන්නෙ නෑ. ආයෙ රෑටම තමයි අරකත් අල්ලල නින්ද යන්නෙ”

“ඒකටත් එක්ක අපේ දුවට. නිදා ගනී එක දිගට දවස් පහක් වුණත්. නින්ද තරං සැපක් නෑ ඔය ළමයට…වැඩ ඇරිල එන්නෙත් ඇඳ දිහා බලා ගෙනමනෙ”

අම්මා මගේ නින්දට වන ඇබ්බැහිය ගැන හඳුන්වා දීමක් කළා ය. පවුලේ අයට මා නින්දට දක්වන රුචිකත්වය ගැන අලුත් හඳුන්වා දීමක් අවශ්‍ය නැත. ඒ ගැන හැම කෙනෙක් ම දනිති.

“එහෙම තමයි හිතේ ප්‍රශ්න නැතුව සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සුන්ට ඕන තැනක කරදරයක් නැතුව නිදා ගන්න පුළුවන්”

 රවීන් ඇහෙන මානයක ඉන්නා බව දන්නා නිසා මම හඬ ද මඳක් උස් කොට කීවෙමි.

“තව කී දවසක් එහෙම නිදා ගන්නද අනේ. කසාද බඳිනකල් විතරනෙ ඔය නිදහස”

මා කෙරේ පතල මහා අනුකම්පාවකින් සේ තවත් නැන්දා කෙනෙක් කීවා ය.

“ළමයි හම්බ වුණහම නිදියන්න කියලද…ඒ නිදි මැරිල්ලනං මාර දුකක් නේ…”

“අයියෝ…මේගොල්ලො මේ ළමයි හම්බ විල්ලක් ගැන කතා කරනව. මට මේ බඳින්නවත් එකෙක් නැතුව ඉද්දි”

මා එසේ කීවේත් රවීන් ට ඇසෙන සේ ය.

“ඇයි අර හොඳ කොල්ලෙක් ඉන්නෙ…සුනෙත්..හානේ…ඇයි සනූ ඔයා කිරි දානෙට සුනෙත්ට එන්න කිව්වෙ නැත්තෙ…”

නයනා නැන්දා මගේ පපුවට බෝම්බයකින් දමා ගැසුවා ය. සුනෙත් ට කිරි දානයට එන්න නොකියන්නේ මන්දැයි සිකුරාදා දවසේ ම මම කල්පනා කළෙමි. සාමාන්‍යයෙන් අපේ පවුලේ ඕනෑ ම දේකට ඔහු එන්නේ ය. අපේ මුළු පවුලේ ම හිතවතෙකු ගේ තත්වයට දැන් සුනෙත් පත් වී තිබේ. නමුත් මම කිරි දානය ගැන සඳහනක් හෝ ඔහු ට නො කළෙමි. ඒ, ඔහු ආවොත් මට රවීන් ගේ නෙත් මානයේ දැනිය හැකි නිදහස අහිමි වන නිසා ය කියා සිතමි. රවීන් කියන්නේ විවාහකයෙකු බව දැන ගත්තා ට පස්සේ සුනෙත් උත්සාහ කළේ ඔහු ව මගේ  හදින් ඈත් කොට තබන්නට ය. නමුත් මට එසේ කළ නො හැකි බව මම ඉඳුරා දැන සිටියෙමි. අනාගතයේ දී මුහුණ දෙන්නට වන ප්‍රශ්න ගැන කියන්නට මම නො දනිමි. මා දන්නේ මේ මොහොතේ මට මේ හැඟීමෙන් දුරස් විය නො හැකි බව පමණකි.

“මට අමතක වුණා අනේ කියන්න. ඊයෙ අපිට මාර බිසී දවසක් වුණානෙ”

මම අර්ධ සත්‍යයක් පැවසීමි. කොයි තරම් කාර්ය බහුල වී ද සුනෙත් ට දානය මතක් කරන්නට බැරි කමක් වූයේ නැත.

    “ආ කොටා…මොකෝ..”

මිදුල දෙසින් ලොකු අයියා ගේ හඬ ඇසිණ. හැරී බැලූ මම, අයියා පිටත සිටිනවා දැක නැවතත් මිදුලට ගියෙමි.

“මොකද අනේ රිං කරල කතා නොකර ඉන්නෙ…”

මා ඔහු ගේ ඇඟට ගොඩ වූයේ ඔහු බරපතල වැඩ ඇති ව සිර ගෙදරට නියම විය යුතු වරදක් කළා මෙනි.

“මොකක්…”

“මොකක් තමා. මට නිදා ගන්නත් නෑ වදේ. උවමනාවකටනං කමකුත් නෑ. නිකං බොරුවට. අපරාදෙ මගෙ නින්ද කැඩුව”

“මේකිට පිස්සුද බං…හීනයක් දැකල නැගිටල ඇවිත්ද…බලපං උඹ තාම නිදිද කියල. හිටපං වතුර එකක් ගහල බලන්න”

“මේ ලොකු අයියෙ එන්න එපා හරිද බොරු කියාගෙන. මෝඩය. අපරාදෙ මගෙ නින්ද”

ලොකු අයියා කාමරය ට ගියේ ‘මගෙ ෆෝන් එක තාම කාමරේ ඇත්තෙ’ කියා ගෙන ය. රවීන් මා ළඟ ම සිටියේ ය. මම හිතා මතා ම ඔහු දෙස බලන්නේ හෝ නැති ව ආපසු ගෙදර යන්නට හැරුණෙමි.

“මදිද ඉතිං ඔය නිදා ගත්තා…”

රවීන් ගේ මන්ද්‍ර ස්වරය නැගුණේ මා අඩියක් පෙරට තබන කොට ම ය. දෙපා එතැන එහෙම ම ගල් ගැසිණ. දෙපා පමණකුදු නොව මා මුළුමනින් පාෂාණිභූත වූවා ද කියාත් මට නො සිතුණා නොවේ. උගුර කට ඇසිල්ලකින් වියළී ගියේ ය. මම අමාරුවෙන් කෙළ බිඳක් ගිල උගුර තෙත් කොට ගතිමි.

“අනිත් එක ගෑනු ළමයි ඔහොම නිදියන්න හොඳද..”

හිත නම් ලොකු තර්කයකට සූදානම් වූයේ ය. නිදන්නටත් ලිංග බේධය බලපානවා ද? ගෑනු ළමයින් වැඩි වෙලා නිදන්නට හොඳ නැත ය පිරිමි ළමයින් කොපමණ නිදා ගත්තත් කම් නැත ය කියා තියෙන්නේ මොන පොතේ ද? නමුත් ඔය ඔක්කෝම කතා තිබුණේ හිතේ විතර ය. මම මුවින් ගොළු වී සිටියෙමි.

“නැද්ද මලිත්…මං ඇහුවෙ ගෑනු ළමයි ඔහොම නිදා ගන්න හොඳද කියල”

යළි කාමරයෙන් පිටතට එමින් සිටි ලොකු අයියා දෙස බලා රවීන් කීවේ ය.

“නැත්තං. බලපං උඹල දැන් කසාද බඳින වයසෙ නේද…යකෝ මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නෙ ඔහොම නිදා ගෙන”

“හරි හරි මං ඒක බලා ගන්නංකො”

“එදාට බලා ගන්න බෑ. දැංම තියා පුරුදු වෙන්න ඕනෙ. හරි..පුරුදු වෙන්නත් එක්ක තේ එකක් හදමුකො අපි දෙන්නට බොන්න…නේ රවීන්…”

රවීන් සිනහවක් පෑවේ ය.

“අනේ මේ මට බෑ”

මම කේන්තියකට ආරූඩ වෙමින් කීවෙමි.

“යකෝ…මේකි…”

“ඇයි තමුන්ට නංගි කෙනෙක් ඉන්නෙ. අර චමත්කා ඉන්නෙ කියනවකො. අපි තේ හද හද ඉන්න ඕනෙ. ඒගොල්ලො ඉන්නෙ නෝනා හාමුලටද…”

සියල්ල පුපුරා ගියේ ය. උදේ සිට ම හිතේ හංගා ගෙන උන් ඊර්ෂ්‍යාව ලෝකය ඉදිරියේ නිරුවත් වූයේ ය. රවීන් ඉවත බලා ගෙන මඳහසක් පානවා මගේ රවන ඇස් දෙකට වහං වූයේ නැත.

“මේ මේ…ඔයා ඉතින් දන්නවනෙ සුදු නංගි…ඒ නෝනා හාමුල එක්ක මගෙ එච්චර ඇයි හොඳයියක් නෑ කියල…ඔයා ඉතිං මගෙ චූටි නෑනානෙ”

ලොකු අයියා මගේ කරට අත දමා ගනිමින් මාව ඔහු වෙතට සමීප කර ගනිමින් ම පාරේ පහලට ඇවිදින්නට වූයේ ය. රවීන් ද අප සමග පෙළට වැටී සිටියේ ය. ලොකු අයියා ගේ බරට මට දැනුණේ මගේ උරහිස ළඟින් පාත් වී ඇතිවා මෙනි.

“මගෙ උරිස්ස කැඩෙයි දැං. එහාට වෙනවකො”

මම ඔහු ගෙන් මිදුණෙමි.

“අපරාදෙ මගෙ නින්ද. දැන් ආයෙ මුල ඉඳල නිදියන්න එපැයි”

මම කන්කෙඳිරි ගෑවෙමි. මට ඕනෑ වූයේ රවීන් ට වඩා මට නින්ද වැදගත් බව ඔහු ට හඟවන්න ද? මම නො දනිමි.

“ආයෙ මුල ඉඳං නිදියන්න…මරනව උඹව. හදපං තේ”

ලොකු අයියා ආදරණීය ලෙස තර්ජනය කළේ ය. උදේ පෑරුණ හද දුක අලුත් වෙනවා සේ මට දැනිණ.

පහළ ප්‍රධාන පාරේ ඇවිද ගිය තරුණයෙක් නතර වී ලොකු අයියා ට අත වැනුවේ ය. ‘හිටපං රවීනය පොඩ්ඩක්’ කියා ගෙන ලොකූ පල්ලම් බැස්සේ ය.

මා රවීන් සමගින් අපේ ගේ දොරකඩ පාරේ තනි වී තියේ. මම ඉතාමත් හෙමිහිට ඇස් ඔසවා ඔහු දෙස බැලුවෙමි. මෙතෙක් වරින් වර මා දුටු සිනහව ඔහු ගේ මුහුණෙන් අතුරුදන් ව තිබිණි. මගේ බැල්ම ඒ සිනහ නැති මුහුණේ ගැඹුරු දුකක් නිදන් ගත ව ඇති ඇස් වල පැටලිණ. පපුවේ රිදුමක් දැනී නො දැනී ගියේ ය. ඔහු ඉන්නේ දුකෙන් ද? තවමත් ඔහු ඉන්නේ දුකෙන් ද? ඔහු ගේ පතිණිය ගැන දැන් ඔහු ගේ තීරණය කෙබඳු ද? මට ඒවා දැන ගන්නට ඕන වුණේ ය. ඒ කොපුල් තලා මත්තේ අපිළිවෙලට වැවී ඇති රැවුල් කොට විසින් නො කියා කියන්නේ ඔහු සන්තාප සාගරයක ගිලී ඇති බවට කතාවක් නොවේ කියා සිතිය හැකි නම් මා කැමති ය. නමුත් එසේ නොවේ කියා කියන්නේ කෙසේ ද?

මා ගැන ඔහු කොහොම හිතනවාද කියා කියන්නට මම නො දනිමි. දුටු මතින් පිරිමියෙකු කෙරේ ආකර්ෂණය වූ බොළඳ කෙල්ලක ගේ තාවකාලික හැඟීම් සමූහයක් සේ කෙනෙකුට මෙය දැනෙන්නට පුළුවන. නමුත් මට මෙය වූ කලී එවන් බොළඳ දියාරු සිතිවිල්ලක් නොවේ. මට මෙය මගේ ජීවිතය තරම් වටිනා හැඟීමකි.

රවීන් ට මම ආදරය කරමින් හිඳිමි. එය වයස දහ අටක කෙල්ලක ගේ සීනි බෝල ආදරයක් නොවේ. ජීවිතේ ගැන අවබෝධයක් සහ දැක්මක් ඇති වයස විසි පහක් පැන්න කෙල්ලකගේ හදවතේ ගැඹුරු ඉසව්වක ඉපදුණා වූ ගැඹුරු හැඟීමකි.

මගේ බැල්ම තව දුරටත් දරා ගත නො හැකිව ද මන්දා රවීන් මගෙන් හෙමිහිට මුදා ගන්නා ලද දෑස් පාරේ පහල ලොකු අයියා ඉන්න දෙසට පා කළේ ය. මගේ හද සුසුමකින් බර විය.

“අයියෙ”

මම ඒ සුසුම පිට කොට හරිමින් ඔහු ඇමතුවෙමි. මා පාලනය කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් මට දැනුණේ නැත. රවීන් තිගැස්මක හිඳින බව ද මගේ ඉවට දැනෙමින් තිබිණි. ඒ ගැන ද මගේ ගැහැනු හිතුවක්කාරකමෙහි කිසිදු වගක් නොවිණි.

“දැන් අයියගෙ වයිෆ් කොහෙද ඉන්නෙ…”

ඔහු මගේ මුහුණ බලා බිම බැලුවේ ය. ඒ ඇස් මුල් රතු වූයේ මගේ ඇස් පනාපිට ම ය.

“එයා ගිය කෙනා එක්ක”

ඔහු කතා කළේ උගුර යටිනි. ආත්මයේ රිදුම් දෙන පත්ලක තැවරී ඒ වචන පිටතට ආවා සේ ය.

“එතකොට ඉතිං…ඔයා මොනාද කරන්න ඉන්නෙ…”

“එයාට ඕනෙ ඩිවෝස් එකනෙ. මං ඒක දෙනව කියල ලෝයර්ට කියල තියෙන්නෙ. ඉක්මනට එයා නීතියෙන් නිදහස් වෙයි”

රිදුණේ මට ය. ඔහු වෙනුවෙන් මගේ පපුව පැළෙන්නට ආවේ ඇයි කියන්නට මම නොදනිමි. ඇස් වලට තෙතමනයක් කාන්දු විය. මම ඉක්මන් ඇස් පිය සලමින් බිම බැලුවෙමි.

ආදරේ කියන්නේ කොහොම දෙයක් ද? ආදරේ කියන්නේ මෙහෙම දෙයක් ද? රවීන් ව තදින් වැළඳ ගැනීමේ ලොකු අවශ්‍යතාවයක් හදවතට දැනිණ. ඔහු ව සනසන්න ද නැත්නම් මට ම සැනසෙන්නට ද කියා නො දනිමි. කොහොම වුණත් ආදරය ට ඕනා ආදරයෙන් ම සැනහෙන්නට බව මම ඉගෙන ගනිමින් සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles