නිලැසි -22

“තාත්තා ඔයාට හරිම කැමතියි..”

නිලැසි එසේ පැවසුවේ එරන්දගේ අතක වෙලී මුහුදු රළ පාගමිනි.ඔහු කිසිත් නොකියා බැස යන හිරු දෙස බලමින් හුන්නේ ය.රත්පැහැ ආකාසය තරමට රත් පැහැ ගැන්වුණු කම්මුල් ඇති නිලැසි මොනතරම් රූමත් දැයි ඔහුට සිතේ.එහෙත් ඒ ලස්සන සදාකල් ළඟ තබා ගන්නට තරම් දොළක් ඔහුට නොවේ.

“සර්ට මං වගේ වොයිස් එකක් මුණ ගැහුණමයි කීවා..”.

එරන්දගේ හඬ ඇසුණේ සන්තෝසයේ එතෙමිනි.

රාජේන්ද්‍ර වැනි ප්‍රවීණයෙකු එසේ පැවසූ නිසා ඔහු සිටියේ සතුටිනි.රාජේන්ද්‍ර මුණ ගැසී දින කිහිපයක්ම ගෙවී තිබුණ ද තවමත් එරන්දට ඔහුගේ අගය කිරීමේ සන්තුෂ්ඨිය දැනේ.

“දැන් ගොඩක් ඉන්නෙ රියැලිටි කොල්ලොනෙ බබා.උන් මෙලෝ රහක් නෑ..”

නිලැසි එසේ පවසා කුඩා දැරියක මෙන් රළ මත සෙල්ලම් කරන්නට පටන් ගත්තා ය.ඈ කවුරුන් හෝ හඳුනා ගන්නට ද තිසරුට ඒ බව පවසන්නට ද ඉඩ ඇති බව නිලැසි දන්නී ය.නමුත් ඇයට එහි වගක් නොවේ.

“මගේ එක්සිබිෂන් එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් හදන්න ටෙනාල්ට දෙන්න හිතුවේ.ටෙනාල්ගේ මියුසික් වලට පපුව කඩාගෙන යනවනේ..”

නිලැසි එසේ කියද්දී එරන්ද ඈ දෙසට අහිතවත් බැල්මක් විසි කළේ ය.නිලැසිගේ ඡායාරූප සහ චිත්‍ර ප්‍රදර්ශනය ඉතා කතාබහට ලක් වන්නක් බව ඔහු දනියි.වික්‍රමාරච්චි පවුලේ ඕපාදූප මාධ්‍යයට රහ කටගැස්ම ය.ඒ ප්‍රදර්ශනයේ සංගීත අංශය තමන්ට පැවරේයැයි එරන්දට විශ්වාසයක් තිබිණ.නමුත් දැන් එය එසේ නොවේ.

“නිම්නට නොදෙන්නෙ ඇයි?”

ඔහු ඇසුවේ ඒ අහිතවත් හඬිනි.

“එයා දැන් මාව හලලනෙ.තාත්තා හරියන් නෑ මට මේ වැඩේට..”

නිලැසි එසේ කියද්දී එරන්ද මුහුදු රළ බිඳෙන හඬට වැඩි වේගයකින් හිනැහෙන්නට ගත්තේ ය.

“ඊට පස්සෙ ඔයාගේ මාරම මාර තේරීම ටෙනාල්ද? ඇයි ඒ?”

තරුණ සංගීතඥයන් අතර බොහෝ දෙනා හොඳ මිතුරන් වුව ද මල්ලි මඟ හැර ඔවුන්ව තෝරා ගැනීම ගැන ඔවුන්ට සංකා මතු වන්නට ඉඩ ඇතැයි නිලැසි පැවසුවේ බැගෑබර ස්වරයකිනි.

“ටෙනාල් ඒ ගැන්සිවල වැඩිය නෑනෙ.තාත්තට සලකලයි මල්ලිගෙ යාලුකම් හින්දයි අනිත් අය ඕක රුපියලක්වත් නොගෙන කරයි.ඒත් ටෙනාල් මට ලොකු බජට් එකක් කීවේ..”

එරන්ද උමතු මිනිසෙකු මෙන් හිනැහෙයි.ඔහු ඒ සිනාවෙන් ම ඇගේ දෑසට එබුණා ය.

“මගේ අන්තංපුරේ කසාද බිරින්දෑවරුන්ට ඉඩ තියේ බබී.ඒත් ඒ තමන්ගේ කසාද පුරුසයට අයිති වෙලා මට හදවත පූජා කරනවනං විතරයි.තව තව ප්‍රේමවන්තයො හොයනවනම්, මල් යහනෙන් බැස පලයං ප්‍රභාවතී තමයි..”

නිලැසි මහත් වියවුලෙන් එරන්දගේ අත අල්ලා ගත්තේ ය.ඔහු එය ගසා දැම්මේ ය.

“ටෙනාල්ට ආදරේ හිතෙනවනම් වහාම මගෙ දෑහට නොපෙනී යන්න නිලැසි..”

ටෙනාල්ට ආදරය කරන්නට හේතුවක් නැති බවත් නව පරපුරේ දක්ෂ සංගීතඥයෙකුගේ උදව් ගැනීම ඔහු සමඟ ප්‍රේමයෙන් වෙළීම නොවෙන බවත් එරන්දට පවසන්නට නිලැසිට බොහෝ වෙලා ගත විය.නමුත් ඔහු සිටියේ නෑසු කන්ව ය.

“කසාද මිනිහා තියාගෙන මගේ බෝඩිම් අස්සෙ රිංගපු ඔයා මට ආදරේ ඔප්පු කරන්න කියවන එක ලෝකේ තියන ලොකුම විහිළුවනෙ නිලැසි නෝනා.ඔයාට පුලුවන් නේද තිසරු වගේම මාවත් රවට්ටන්න..”

ඔහු අසයි.සැබෑවටම එරන්දට නිලැසි එක ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තයන් දහ දෙනෙකු සොයා ගත්ත ද කිසිම හැඟීමක් නොවේ.නමුත් ඔහු ජනප්‍රිය වන්නට මාන බැලූ කාර්යයක් නිලැසි වෙනත් මිනිසෙකුගේ අත තැබීම ගැන ඔහුට දැන ඊර්ෂ්‍යාවට සීමා නොවේ.

“මොනවද එරන්ද මේ කියන්නේ?”

නිලැසි දරා ගත නොහැකි ශෝකයෙන් ඇසුවා ය.ඇගේ හදවත කැබලි දහසකට පිපිරී යමින් තිබිණ.

“මම ඒ වැඩේ එයාට දුන්නේ ඒ මනුස්සයා එක්ක සම්බන්ධයක් හදා ගන්නයැ.මං කොයි කාලෙක ඉඳන්ද ටෙනාල්ව දන්නේ..මං එහෙමයි කියලා ඔයා කොහොමද කියන්නේ?”

ප්‍රේමය නිදහස් හැඟීමක් බවටත් ප්‍රේමයට නිදහසේ හැසිරෙන්නට ඉඩ දිය යුතු බවටත් මන්තරයක් සේ පවසන එරන්දගේ පරස්පර හැසිරීම ගැන පුදුම වෙමින් නිලැසි පැවසුවේ ශෝකයෙනි.නමුත් ඒවා අසන්නට තරම් එරන්දට උනන්දුවක් නොතිබිණ.නිලැසිගේ දුර්වලම නිලයට පහර දීම ඔහු එකම සොම්නස කර ගත්තේ ය.

“අච්චර කෝටිපති මිනිහෙක් බැඳල ඉන්න ගමන් මගේ මැසේජස් වලට දැපනෙ වැටුණු ගෑනි ඊළඟ සතියෙම මාව හොයන් කැන්ඩි ආවා.මට ඇනෙක්ස් එකක් අරන් දීලා මාව මෙහෙ නවත්තා ගත්ත.මං ආස්සරේ කරපු කිසිම ගෑනියෙක් මං ඉස්සරහ එච්චර උමතු වෙලා නෑ.එහෙව් එකියක් මට කියනව විශ්වාස කරන්නලු..”

එවන් පරිත්‍යාග කිරීම ම තමන්ගේ ආදරය ඔප්පු කිරීම නොවන්නේදැයි නිලැසිට සිතිණ.ඇය හඬමින් ද සුසුම් ලමින් ද එසේ අසද්දී එරන්ද මුහුද හා එක් වී නිලැසිට උස් හඬින් හිනැහුණා ය.

“පුලුවන් තරම් තිසරු රවට්ටන ගෑනියෙක්ට මාව රවට්ටන්න බැරිද?”

නිලැසිට දැනුණේ කාන්තාරමය හැඟීමකි.තමන් අතරමං වී ගිය හැඟීමක් ඈ වෙළා ගත් අතර ඈ එරන්දගේ අපහාස විඳිමින්ම ඔහුට බැගෑපත් වූවා ය.නමුත් එරන්ද ඒවා නෑසුකන්ව හුන්නේ ය.

“වැද්දට කඩුව දෙන හැම කුමාරිටම අයිති ඉරණම මේකද එරන්ද?”

හද බිතු ගැළවී එන ශෝකය වචනවලට පෙරළමින් ඈ ඇසුවා ය.මේ ප්‍රේමය දිනක අවසන් වී යන බව නිලැසි නොදන්නවා නොවේ.නමුත් ඒ එරන්දගේ දරුණු සැකයට භාජනය වීමෙන් අනතුරුවයැයි ඇය මොහොතකටවත් සිතා තිබුණේ නැත.

“අමන ගති ඇති මෙවැනි අඟනන්

ම වැනියන් හට කුමන සරණද!”

මනමේ නාට්‍යයේ වැදි රජු ගයන ගී පදයක කොටසක් නිලැසිට සිහි වූයේ අහම්බයකිනි.එරන්ද ද දැන් හිඳින්නේ එවැනි අදහසක ය.නමුත් මනමේ කුමරිය මෙන් “නැද්ද සිතේ අනුකම්පා” යැයි අසන්නට තරම් තමා අසරණ ව නැතැයි නිලැසිට හදිසියේ සිහි විණ.

දෙකොපුල් මත රූරා වැටෙන කඳුළු පිස දමමින් ඈ එරන්ද හැර එන්නට ආවා ය.ඔහු මුහුදු වෙරළේ කළුවර අතර අතැර දමා නික්ම එද්දී ආපසු නොබලන්නට පවා ප්‍රවේසම් වූවා ය.

නමුත් ඈ සිතන තරමට සියල්ල පහසු නැතැයි ඈ ඒ මොහොතේ නොදැන සිටියා ය.ඒ නිලැසි හොඳින් දන්නා දෑසක් ඈ ලුහු බඳිමින් තිබූ නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles