ඒ වචන මා තුළ තිගැස්මක් ඇති කළ බව ඇත්තකි.නමුත් පිරිමියෙකු දරා ගැනීම සහ ඔහුගේ සිත නොරිදවා විසීම “පුනුරුත්ථාපනය කිරීමක්” ලෙස අරුත් ගන්වන්නට මට සිත් නොවිණ.එය එසේ වන්නේ නැත.කෙනෙකුට ආදරය කිරීමට එවැනි අරුත් ලබා දිය යුතු නැතැයි මම සිතීමි.
“ඌට මොකද ඔයා තට්ටේ ගෑවත්..”
විවාහ මංගල්‍යය අතරතුර මගේ කතාව අසා හුන් උවනි පරල වූවා ය.
“මං උන්නට වඩා කැත ඇති..”
මම එසේ මිමිණීමි.සංගීත නාදය අතර ඒ මිමිණුම නෑසුණු හන්දා උවනි එය යළිත් ඇසී ය.අනතුරුව මගේ පිළිතුරට රවා බැලුවා ය.
“අනේ මේ..අපිටයි ආන්ටිලට අයියලටයි ඔක්කොටොම ලස්සනට පේන දෙයක් එයාට කැතයි.අනික කොණ්ඩයක් හදන එක නරක් විල්ලක්ද? මොන කෝලමක්ද?”
ඔහුගේ අතීත තුවාලය උවනිට කියන්නට මට සිතක් නොවිණ.නමුත් මම කිසිවක්ම නොපැවසූයෙමි. උවනි මදෙස කෝපයෙන් බලමින් මඳ වෙලාවක් ගෙවා දැම්මා ය.මට කියන්නට අපමණ දේ තිබුණ ද ඒවා පිට කරගන්නට තරම් සිතක් තිබුණේ නැත.හදවත ගල් ව තිබුණේ ආදරය නිසා ද අනාගතය ගැන අවිනිශ්චිත භාවය නිසාදැයි මටම පැහැදිලි නොවේ.
අහඹු සිදුවීමක් සිදු වූයේ ඒ මොහොතේ ය.තරුණ යුවලක් අප ආසන්නයට වී ගැටුමක් ඇති කර ගත්තේ අප ඉන්නා බව ද නොසලකා ය.
“මට දැන් ඒක නොකර ඉන්න බෑ සංක..”
යෙත්මිගේ අක්කා වූ නෙත්මි අක්කාගේ මිතුරියක බව හැඟෙන අක්කා කෙනෙකු එසේ කියද්දී ඇගේ ආදරවන්තයා බලා සිටියේ ගිනි පුළිඟු විසි වෙන දෑසකින් ය.
“ඔයා ඒක කරන් නෑ එච්චරයි..”
එතැන හුන්නේ අපත් ඔවුනුත් පමණි.දුරකථන වලට ඇස් අලවා ගනිමින් ද සෙල්ෆි ඡායාරූප ගනිමින් ද ඔවුන් ගැන නොතකන බව පෙන්වූව ද අපේ ඇස් ද කන් ද ඔවුන් වෙත යොමුව තිබිණ.
“මට කලින් කිව්වනම් මේ ප්‍රශ්න ඉවරනෙ..”
නොදන්නා තරුණයා ආවේගයෙන් කියයි.බොහෝ යුවතියන් ප්‍රේමවන්තයා හා ගැටුම් ඇති කරගන්නේ ඔහුගෙන් දේවල් සැඟවීම නිසා බව සිතමින් මම එදෙස බලා හුන්නෙමි.
“කිව්වේ නැත්තේ කාරණා දෙකකට.එකක් ඔයා මට යන්න දෙන් නෑ.අනිත් කාරණාව ඒක සර්ප්‍රයිස් ඩාන්ස් එක.ඔයාට කියලා ඔයා කසුන්ට කිව්වම එතන සර්ප්‍රයිස් එකක් තියද?”
පෙම්වතාට එසේ එකටඑක කියන ඇය ආදරවන්තියකදැයි මට සැක සිතිණ.
“නටන්න ගියොත් එතනම ගහනවා..”
ඔහු තර්ජනය කළේ ය.මගේ විලාසිතාව දැක දෙනෙත්ගේ දෑසට ආ අප්‍රසන්න බැල්ම ද මෙයට සමාන බව මට සිහි විණ.
“ඔයාට එහෙම පුලුවන් නන් කරන්න.ඊටපස්සෙ මං කරන දේත් බලන්න..”
අඩිය සහිත පාවහන් පැළඳීම නිසා පාදයේ ආබාධයක් ඇති බව හෝ හිස රුදාවක් ගැන හෝ පවසා නැටුමට සහභාගී නොවී ඉන්නට ඒ අක්කාට නොහැකියාවක් නැත.නමුත් ඇයට පෙම්වතාගේ හිතේ සැනසීම බිඳුවකුදු නොවටිනා හැඩකි.
“මෙතන කීදාහක් මිනිස්සු ඉන්නවද? කීදෙනෙක් ඕවා එෆ්බී ලයිව් දෙයිද? තමුන්ව එහෙම පිට මිනිස්සු දකිනවට මං ආස නෑ..”
උවනි නම් කට කොණකින් සිනාසෙන අන්දම මට පෙනිණ.නමුත් මට ඒ තරුණිය ගැන තරහක් ද ඉපදිණ.
“ඉතිං? මොකද වෙන්නේ..අපි සාරි කරට අරන් නටන් නෑ.මෙතන කාටවත් බලන් ඉන්න බැරි නැටුම් නටන්නෙත් නෑ..”
යුවතිය යන්නට හැරෙද්දී තරුණයා ඇගේ වැලමිටෙන් අල්ලා ගත්තේ කෝපයෙන් දිලිසෙන දෑසකිනි.කියන දෙයක් නාසන ගැහැනුන්ට බැන වැදීම නරකක් නොවන බව මා සිතුවේ දෙනෙත් හැරගිය පෙම්වතිය ගැන තරහක් අලුතින් උපද්දා ගන්නා අතර ය.
“අද ඔතන නැටුවොත් මං තමුසෙව අත් අරිනවා..”
එහෙත් ඇය එයට සසැලුණේ නැත.ඇගේ දෙතොල් මත සිනාවක් පවා ඇඳිණ.
“අත් අරින්න.මටත් මේ මානසික වදේ දැන් හොඳටම ඇති..”
ඔවුන් දෙදෙනා දෙපසකට යන්නට ගිය අතර මගේ හදවතට දැඩි පීඩාවක් දැනිණ.ඒ තරුණයාගේ දෑස් මට දෙනෙත්ගේ බලාපොරොත්තු කඩ වූ දෑස් සිහි කළේ ය.
“ඇයි ඒ අක්කට කියන දේ අහන්න බැරි වුණේ..”
මා එසේ කියන්නට ඇත්තේ දෙනෙත්ගේ පෙම්වතිය ගැන විය යුතු ය.නමුත් උවනි මෙතැන වූ කෝලාහලය ගැන සිතා පිළිතුරු දුන්නා ය.
“නියම කෙල්ලක්.නිකන් අදාළ නැති විකාරවලට වලි අල්ලන මිනිහෙක්ට සලකන්න ඊට වඩා විදියක් නෑ..ඩාන්ස් එකකට ගියා කියලා පැත්තක් පාත් වෙනවද? අනේ කොන්ඩේ කපන්න බෑ කොන්ඩේ එයාගෙ.පාර පනින්න බෑ එයා පාරේ මේ පැත්තෙන් යන්න කියන්නෙ, මං අඳින්නෙ ගවුම් එයා ට්‍රවුසර් අඳිනවට ආස නෑ ගාන කොල්ලො ගැන මට පුදුම තරහක් තියෙන්නෙ..”
උවනි කියවමින් සිටියා ය.ඇයට පාසල් ප්‍රේමයක අත්දැකීම් ඇත.මනෝමය ප්‍රේමයක් මිස ප්‍රේමය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා මම ඇයට එරෙහි වූයෙමි.
“ඉතිං..ආදරේ කරන කොල්ලට තරහ යන දේවල්ම කරන එක ආදරේද?”
උවනි මගේ මුහුණ දෙස බලා උරහිස් ගස්සා හිනැහුණා ය.
“නිකං විකාර නීති දාන එකට කියන්නෙ ආදරේද? මං ඔයාට ආයෙත් කියනව..ඔයා හරි නිදහස් ගෙදරක හැදුණු ළමයෙක්.ෂෝක් අයියෙක්ගෙ නංගියෙක්.ඒ සේරම තියාගෙන දැන් අර මෙතන යකා නටපු කොල්ලා වගේ විකාරකාරයෙක් ඈඳා ගන්න එපා..හසරැල්ල කඳුලැල්ල වෙනවා..”
මා කඳුළු බිංදුවක වන්නේ ඔහුගේ දෑසට මගේ ප්‍රේමය නොවැටහුණු විට පමණක් බව දන්නේ මා ය.මගේ අයියාගේ රැකවරණයට මැදිව ජීවත් වෙන මට ඔහු නීති දැමීම මහා ගැටළුවක නොවේයැයි මම සිතීමි.මට ප්‍රේමය අත්හදා බලන්නට ඕනෑ නැත.ජීවිතය පුරා ඔහුට ප්‍රේම කරන්නට ඉඩ ලැබීම ප්‍රමාණවත් ය.
“මං ඔයාට බඩ්ඩක් කියන්නං..ඔයා දෙනෙත් එක්ක යාළු වෙන්නකො..ඕකට ඉස්සරලම බාල්දිය දාන්නෙ හසරැල් අයියා..ඕං බලන්න..”
උවනි එසේ කියා යෙත්මි සොයා යන්නට ගියා ය.මහ සෙනඟක් මැද මගේ හදවතට අමුතු පාළුවක් දැනෙන්නට විය.