“ඔයා මේඝත් එක්ක ඇති කරගෙන ඉන්න සම්බන්දෙ ගැන මට කතා කරන්න ඕන දුව..”
එවැනි වාක්‍යයකින් අරඹා ලක්ෂි කියන්නට යන්නේ ඒ හිතවත්කම නැවතිය යුතු බව බව ආරණ්‍යා දන්නී ය.ඇය එයට පෙර කතා කළා ය.
“මම මේඝත් එක්ක ලොකු හිතවත්කමක් තාමත් නෑ ආන්ටි.අපේ පවුල්වල තියන ප්‍රශ්නත් එක්ක මම කැමතියි එයා අමතක කරන්න.ආන්ටි සනීප වෙන්න.ඒ ගැන හිතන්න එපා.”
ආරණ්‍යා තම හඬ බිඳෙන්නට නොදී හුන්නා ය.හඬ බිඳෙන්නට ඉඩ දීම ම ඇය වේදනාවෙන් බව ලක්ෂිට හඟවන්නකි.ඒ හැඟීමට ආරණ්‍යා නොකැමති ය.
“ආදරයක් එහෙම අමතක කරන්න ඔයාට පුලුවන්ද?”
ලක්ෂි ඇසුවේ කඩයිම් ප්‍රශ්නයකි.ආරණ්‍යා ඒ ප්‍රශ්නයට තිගැස්සුණා ය.
“මං මගේ අම්මා වගේ සදාකාලික වේදනාවකට ලෑස්ති නෑ ආන්ටි.මට මේඝ අමතක කරන්න වුණොත් මම ඒක කරනවා.කරලා හිත හදා ගන්නවා.”
ආරණ්‍යාගේ කටහඬ සහ මීට වසර ගණනාවකට පෙර තමන්ගේ ප්‍රේමය උදුරා නොගන්නැයි තමන් ඉදිරියේ හඬා වැටුණු මේකලාගේ කටහඬ ලක්ෂි සසැඳුවා ය.ආදරය වෙනුවෙන් ජීවිතය අතැර ගන්නට අම්මා එදවස උත්සාහ කළා ය.දියණිය එසේ නොවේ.
“මම මේඝ නිසා හිතින් වැටෙන්නෙ නම් නැහැ ආන්ටි.මගේ අම්මා එහෙම වැටුණු නිසා ඔයාටවත් මහේන් අංකල්ටවත් රිදුණේ නෑනෙ.රිදුණේ අම්මටමයි.මං එහෙම වෙනවට ආස නෑ.”
ලක්ෂි මේ යුවතියගේ ධෛර්යය ගැන විමතියට ද පුදුමයට ද පත් වූවා ය.ඇය කතා කළේ වෙනත් කාරණයක් වෙනුවෙන් ය.නමුත් ආරණ්‍යා ඉතා ආත්ම විශ්වාසයක් ඇතිව කතා කරන්නී ය.
“දුව,මං කතා කළේ ඔයාට මේඝ දෙන්න.ඔයාලා ඔයාලට ආදරේ නම් ඒ සම්බන්දෙ අරගෙන යන්න.මේඝ කියන්නේ මහේන්වත් ඔයා කියන්නේ මේකලාවත් නෙවෙයිනෙ.ඒ දෙන්නා කරපු වැරදි ඔයාලා නොකර ඉන්න.”
වරද ඒ දෙදෙනාම අත නොවන බවත් ඇය අත බව ද දන්නා මුත් ලක්ෂි එසේ කීවා ය.මේකලා සහ මහේන්ගේ අතීතය නැවත ප්‍රතිනිර්මාණය නොවීම ඇත්තේ මේඝත් ආරණ්‍යාත් අත බව ඇය සිතුවා ය.
“මහේන් ගැන මම බලාගන්නම්.දුවගේ තාත්තටත් මං කතා කරන්නං..”
ලක්ෂි එසේ පිළිණ දුන්නා ය.
ආරණ්‍යා ඒ ඇමතුම මහත් සැනසීමෙන් ද සතුටින් ද බාර නොගත්තා ය.සමහර ගැහැනුන්ගේ උගුල් තෝරා ගත නොහැකි තරමේ ඒවා බව ආරණ්‍යා ඒ කෙටි ජීවිතය තුළ ඉගෙන ගෙන තිබුණා ය.ඈ ඉතා හොඳින් ඒ කතාබහ අධ්‍යනය කළා ය.
“ලක්ෂි අසනීප නිසා එයා අන්තිම මොහොතෙ සතුට හොයනව වෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් මේක මහේන්ටයි මේකලා නැන්දටයි රිද්දන හොඳම පාරක් කියල එයාට හිතුණා වෙන්නත් පුලුවන්..”
එසේ කියමින් මෝක්ෂ ඒ කතාව දෙස සම සිතින් බැලී ය.
“ආරණ්‍යා එක්කන් එන්න මට එයාව බලන්න ඕන..”
ලක්ෂිගේ ඒ ඉල්ලීම එනතුරුම ආරණ්‍යාට අම්මා හිත රිදෙන දෙයක් කියන්නට ඇතැයි මේඝ සිතා හුන්නේ ය.ඔහු විමතියෙන් අම්මා දෙස බලා සිටියේ කියන්නට දෙයක් සිතා ගත නොහැකිව ය.
“හැමදාම පසු තැවෙන්න ඕන නෑනෙ.ඔයාලා හරි කියලා හිතෙන දෙයක් කරන්න.”
ලක්ෂි එසේ කියා නෙත කොණක රැඳුණු කඳුලක් පිස ගත්තා ය.ඇය අතීතය ගැන පසුතැවෙන බවක් මේඝට දැනේ.තමන්ගේ ආකර්ෂණය හිමි වූ තරුණයා කෙසේ හෝ හිමි කරගත්තද අම්මා සතුටින් නොවන බව සිතෙද්දී මේඝ ඇගේ හිස පිරිමැද්දේ ය.
“මං ආරණ්‍යා එක්ක ටිකක් කතා කරන්න ඕන අම්මෙ.කතා කරලා මං එයාට කියන්නම් ඔයාව මුණ ගැහෙන්න කියලා.”
අම්මාට එසේ පිළිණ දී රෝහල් කාමරයෙන් පිටතට ආ මේඝ දුරකථනය අංකනය කළේ ය
ගත යුතුම ඇමතුමක් තිබේ.