“ටිමී ටිමී ටිමී”කුසලා උදේ ඉඳන්ම ටිමීව හොයනවා.ඒත් ටිමීගෙ හාවක් හූවක් නැහැ.පාරටවත් ගියාද බලන්න කියලා රංගව පාරට යැව්වත් ටිමීව දැකපු කෙනෙක් නැහැ.ටිමීට මොකද වුණේ කියන ප්‍රශ්නයට මැදිවුන කුසලාට උදේට කෑම හදන්නත් අමතක වුණා.චූන් පාන් වෑන් එකෙන් මාලු පාන් දෙකක් අරන් උදේ වේල ශේප් කරගත්ත කුසලා ආයෙමත් ගේ පුරාම සෝදිසි කළා.ඇඳන් යට,පුටු යට විතරක් නෙවෙයි ෆ්‍රිජ් එක ඇතුලෙ,වොශින් මැශින් එක ඇතුලෙ පවා ටිමීව හොයන්න කුසලා වෙලාව ගත්තා.
“මේක නම් වෙන්න බැරි වැඩක් අනේ.ටිමීට මොකද වුණේ,කවුරු හරි ටිමීව හොරකම් කලාද?”
කුසලා රංගගෙන් ඇහුවෙ ඇඬුම ආයාසයෙන් නතර කරගෙන.ටිමී නැති ජීවිතයක් රංගට කොහොම වෙතත් කුසලට නම් හිතා ගන්න අමාරුයි.
“ඔව්,මේකා ඕන එකෙක් එක්ක යාලුවෙනවනෙ.
“ඒත් ගේටුවත් වහලනෙ තිබුණෙ,කාටවත් එන්නත් බැහැනෙ”
රංග කලබලේ වැඩට යන්න සූදානම් වුණා.කුසලා නම් අද වැඩට යන්නෙ නැහැ හිතුවා.ටිමී නැතිව මොන වැඩද?අනික හිත එකලස් කරගෙන වැඩක් කරන්නෙත් කොහොමද?ගෙදර කොහේවත් නැති තැන පාරට බැහැලා ටිමීව හොයන් යන්න කුසලා තීරණය කළා.ටිමීගෙ ෆොටෝ කිහිපකුත් අරගෙන කුසලා පාරට බැස්සෙ ටිමීව හොයන් මිසක් ආපසු ගෙදර එන්නෙ නැහැ කියලා හිතාගෙන.කෝකටත් පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න ඕනවුනොත් කියලා සයිඩ් බෑග් එකත් හරහට එල්ලගෙන වතුර බෝතලේකුත් ඒකට දා ගත්තා.රංග වැඩට යාම ගැන හිතේ අමනාපයක් මෝදුවෙමින් තිබ්බ නිසාම රංග යන්නත් කලින් කුසලා සමුනොගෙනම එලියට බැස්සා.
පාර දිගේ අසල්වාසීන් නම් ටිමීව අඳුනනවා.කුසලා බොහෝ සවස්වරු වල ටිමීව ඇවිදවන්න යන නිසා.ඒ කිසිවෙක් ටිමී ගැන කිසිම හෝඩුවාවක් දැනගෙන සිටියේ නැහැ.කරන්නේ මොනවද කියලා කිසිම අදහසක් නැතිව කුසලා පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා.උදෑසන රාජකාරීවල කලබලයෙන් සිටින මිනිස්සුන්ට ටිමී ගැන හෝඩුවාවක් කියන්න හෝ හිතන්න තරම් ඉස්පාසුවක් තිබ්බෙත් නැහැ.ටිමී මෙච්චර කලකට නම් තාප්පෙන් පැනලා ගම වටේ ඇවිදින්න ගිහින් නැහැ.ඒත් දැන් නව යෞවන වයසේ නිසා කෙල්ලක් පස්සේ ගියාවත්ද ?කුසලා කල්පනා කළා.
පාර දිගේ ටිමීගෙ ෆොටෝස් පෙන්වමින් ඇවිදගෙන ගිය කුසලා ඉදිරිපිට එකවරම බ්රේක් කර නැවතුවේ නවීන පන්නයේ වාහනයක්.කලු විදුරුව විවර වී පිටතට එබුන මුහුණ දැක්කම කුසලාගෙ ඇස් උඩ ගියා. “අසංක” කුසලාට නිකන්ම නම කියවුණා.වෙන්වීමෙන් පසු මගතොටදී දුටුවත් දෙදෙනා කවදාවත් එකිනෙකා සමග කතා කලේ නැහැ.
මොකෝ මේ කොණ්ඩෙත් අවුල්කරගෙන කලබලේ කියලා අසංක අහද්දි තමා කුසලාට මතක් වුනේ තමන් කොන්ඩෙ නොපීරපු බවත් ඇදෙන් නැගිට්ට ගමන් කොන්ඩෙ ක්ලිප් කල විදියට ඉන්න බවත්.මුහුණ රතු කරගත් කුසලා සිද්ධිය අසංකට කිව්වෙ ඇඬුම අපහසුවෙන් නවතගෙන.අසංක ටිමීව දන්නවා.ටිමී අසංකගෙ තෑග්ගක්.ඒ කුසලා සමග ඔහු ගතකල අවසාන මාස කිහිපයේදී.පාසල් ප්‍රේමයක් වුණ දෙන්නා අතර දිගු කාලින ප්‍රේම සම්බන්ධය නොසිතූ විදියට ඉවර වුණා.අසංක සම්බන්ධ මතක ඔක්කොගෙන්ම ඈත් වුණාට ටිමීව නම් කාටවත් දෙන්න කුසලා කැමති වුණේ නැහැ.ඉතින් රංග එක්ක ඉක්මන් විවාහයෙන් පසු ටිමී කුසලා ගාවට ආවා.රංග පරණ කතාව දන්න නිසා ඉඳ හිට කුසලාට විහිලු කරන්නත් පුරුදු වුණා.
“කුසලා හරිම වැඩේනෙ,මම උදේ බලද්දි ටිමී අපේ ගේට්ටුව ගාව.එයා ඉස්සර වාර දෙක තුනක්නෙ අපේ ගෙදර ගියේ.මට පුදුමත් හිතුණා.ඔයා මේ ටිමීව හොයන්න නේද යන්නෙ.අනේ මම හදිසි මීටිමකට යන ගමන්.නෝනයි බබයි ගෙදර.ඔයා ටිමීව අරන් ටැක්සියක දාන් පරිස්සමින් යන්න.මම එයාලට කෝල් කරන්නම්.අපේ හුටපට මුකුත් මාලිකා දන්නෙ නැහැ ඔන්න”
අසංක වාහනේ වීදුරුව වහලා ඉගිලුණා.කුසලා වුණේ මොකද්ද හිතා ගන්න බැරුව මඳක් නැවතිලා ඉඳලා කකුල් වලට පුලුවන් උපරිම වේගෙන් අසංකගෙ ගෙවල් පැත්තට ඇවිදින්න ගත්තා.
කුසලා යද්දි ටිමී රජෙක් වගේ සෝෆාව උඩ ඉන්නවා.අසංකගේ පෙනුම තියෙන ලස්සන කෙලි පැටික්කියක් ටිමීගෙ ඔලුව අතගානවා.මාලිකා කියලා කුසලා අනුමාන කල සුන්දර ගැහැනියක් ටිමීට මොනවද කවනවා.
කුසලා දැක්ක ගමන් මාලිකා සිනාසෙමින් ඉස්සරහට ආවෙ “ඔයා නේද කුසලා” කියාගෙන.ඒ මිත්‍රශීලී බව නිසා කුසලාට හරිම පහසුවක් දැනුණා.ටිමී කුසලාව දැකලා සතුටින් ලඟට දුවන් ආවා.කුසලා ටිමීව වඩා ගන්න හැදුවත් ටිමී ඉඩ දුන්නේ නැහැ.ටිමී ආපහු පුංචි ගැහැණු ළමයා ගාවට දුවන් ගියා.
“අනේ ආන්ටි මට අදට විතරක් මෙයාව දෙන්න.තාත්ති ආවම මම ගේන්නම්.එයා අද මෙහෙ ඉන්න වගේ කැමති”
“මෙයා මීට කලිනුත් මෙහෙ එනවද පුතේ”
“ඔව් ආන්ටි.දවල්ට එනවා.මම හිතන්නෙ ඔයාගෙ ගේට්ටුවෙන් පනිනවා.”
ටිමී හොර වැඩක් අහුවුණ කෙනෙක්ගේ බැල්මක් කුසලාට දැම්මා.කුසලා අමාරුවෙන් හිනාව නවත්වගත්තා.කොහොම වුණත් ටීමී එයාට ආදරේ කරන අය එක්ක ඉන්න එක කුසලාට සතුටක්.ටිමී වාහනේක හැපිලද,සතෙක් එයාව කාලද වගේ සිතුවිලි තමා කුසලාගෙ ඔලුව වටා කැරකුණේ.මාලිකා තත්පර කිහිපයකින් උණු තේ එක්ක ගෙදර හදපු පෙනුමක් තියෙන උණු රෝල්ස් කිහිපයක් අරන් ආවා.අසංක ඇත්තටම කොච්චර වාසනාවන්තද කියලා කුසලාට හිතුණා.මාලිකා හරිම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්.
ඔයා අසංකගෙ ස්කූල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නේද?අසංක කිව්වා මට විස්තර කලින් දවසකත්.ඉතින් එහෙනම් ඔයාට පුලුවන් නම් පැය කීපයක් මෙයාව තියල යන්න.මම හවස අසංක ආවම ගේන්නම්.මෙයා ඉඳහිට මෙහෙ එනවා.මම හිතන්නෙ ඔයාලා ඔෆිස් ගියාම.අපි ඔක්කොටම වඩා අසංකට ආදරෙයි.එයාව බලන්න එන්නෙ.මම ඒත් හිනාවෙනවා ඔයාගෙ මලගිය නෑයෙක්වත් ද කියලා”
මාලිකා එක හුස්මට හිනා වෙමින් කියවාගෙන යනවා.කුසලා ත් සිනහා වෙනවා.ටිමී පුංචි දැරියගේ ඔඩොක්කුවේ හිස තබාගෙන සැනසිලි සහගත නින්දක.කුසලා තේ බොමින් මාලිකාගේ ඉල්ලීමට එකඟ වී හිස සෙමින් සොලවනවා.අලුත් කතාවක්,අලුත් යාලුවන් සහිත වෙනස් පරිච්ඡේදයක් ටිමී සිය ජීවිතයට රැගෙන ආ බව සිතමින් කුසලා කිසියම් කල්පනාවලියක ගිලෙනවා.