එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා ගෙන ගියා ය. උදේ වරුවේ ඇගේ වැඩ ටික කඩියෙකු සේ හමාර කොට එසඳි ව පෙර පාසලෙන් ගෙන ගෙදර ආවා ය. තව දුරටත් කරන්නට වැඩ තිබුණොත් එසඳි ව ගෙන නැවතත් කාර්යාලයට ම ගියා ය.
හැන්දෑවට දියණිය සමග කොහේ හෝ ඇවිදින්නට ගියා ය. නමුත් ශරදාකාසයට නො ගොස් සිටියා ය. ආකාස ඇවිත් එසඳි සමග දිනපතා සන්ධ්‍යාවේ හෝරා කිහිපයක් ගත කොට ගියේ ය. ශාරද ලා නිරුපද්‍රිත ව ගොඩ බට බව පමණක් ආකාස නිශාමනී ට කීවේ ය. ඇය කිසිත් විමසුවේ ද නැත. ඇය ට කිසිත් දැන ගන්නට ඕනා වූයේ ද නැත.
දුකෙන් හෙම්බත් වූ විට එවන් ගල් ගැසීමක් සිදු වේ. නිශාමනී ට ඇති ව තිබෙන්නේත් එවන් තත්වයක් යයි ආකාස සේ ම පිලපිටිය යුවල ද සිතූහ. ආකාස නිහඬ ව සිටියේ ඇය යථා තත්වයට පත් වන තුරු ය.
“හොඳ ප්‍රපෝසල් එකක් බලමු. එතකොට ඔය සේරම හරියයි”
සුජාතා පිලපිටිය සැමියා ට කීවා ය. නමුත් ඔහු ඉක්මන් පිළිතුරකට නොයා ඉවසිලිවන්ත කල්පනාවක පසු වූයේ ය.
සැබවින් කවුරුත් සිතනාකාරයේ දරා ගන්නට බැරි කිසිවක් තමන් තුළ නො වන බව නිශාමනී දැන සිටියා ය. දියණිය ට සෙල්ලම් බඩු ටිකක් දමා දී හැන්දෑවට ඇඳට වැටී උඩ බලා ගෙන සිටීම ඈ නො වරදවා කළ දෙයකි. ශාරද කියන්නේ යෞවනයේ ඇය වසඟ කළ තරුණයා ය. ඒ යුග දිවිය ද අඩ දබර වලින් තොර සාමකාමී එකක් වූයේ ය. එහෙව් එකේ ඔහු ගෙන් මිදුණ පසු මේ විදිහට සන්සුන් වන්නට හැකි වූයේ කෙසේ දැයි ඇය තනි ව සිතුවා ය. මේ දැනුත් නො හැඬෙන සේ ඇස් වියළී ගියේ කෙසේ ද?
නිශාමනී ශාරද ගේ අතැඟිල්ලේ පැළඳූ ප්ලැටිනම් මුදුව දුටු වේලේ ඇය වියවුල් ව ගියේ ය. නමුත් ඒ කඳුළු හුදු ගැහැනු කමට වැටුණ ඒවා යයි දැන් ඇය ට සිතේ. ඔහු ඇය ට හැරෙන්නට තවත් ගැහැනියකට පෙම් කරනා බව දැන ගැනීම නිසා ඉනු කඳුළු! දෙවැනි වීමක් ගැන හැඟීමකින් උපන් කඳුළු !!
නමුත් ඉනික්බිති ඇය ට ඒ තරම් පහසුවෙන් හිත සවිමත් කර ගත හැකි වූයේ කෙසේ ද? ඒ ද ගැහැනු ගතිය යයි කිව හැකි ද? ඒ හිස් කම කවර හේතුවක් මත කවර දා ක උපන්නක් ද?
“නිශා…පුතේ…”
එක රාත්‍රී භෝජනයකින් පසු පිලපිටිය මහතා නිශාමනී ට කතා කළේ ය. ඔහු ගේ වදන් ස්වරයෙහි දිගු කතා බහකට වන ඇරයුමක් ඇය හැඳින්නා ය. නිශාමනී බරාඳ පුටුවකට බර වූයේ නිශ්චිත අදහසකින් තොරව ය. තාත්තා ට ඇය හා කතා කරන්නට තිබෙනා බරපතල මාතෘකාව ගැන දැන සිටියත්, ඊට ඇගේ වන සූදානම ගැන ඇය ට අදහසක් වූයේ නැත.
“ගිය දේවල් ගියා. වෙන්න තිබුණ දේවල් වුණා. හැබැයි එතනින් ජීවිතේ ඉවර නෑ. දැන් ඔයාගෙ බලාපොරොත්තුව මොකද්ද…”
නිශාමනී අන්ධකාර ගෙමිදුල දෙසට සුසුමක් පා කොට හැරියා ය. විදුලි පහන් දැල්වෙන්නේ බරාඳයේ පමණකි. ගෙමිදුල අඳුරේ සලු පොරවා ගෙන සැනසිල්ලක සුව විඳියි. කණාමැදිරි එළි කිහිපයක් තැන තැන පා වෙනවා පෙනෙයි. මේ වගේ නිහඬ නිසසල සුව දායක බවක් ජීවිතයට ද අවැසිව ඇති බව පමණක් නිශාමනී ට දැනෙයි.
“මේ විදිහට ජීවත් වෙන්න තාත්ත. හැලහොල්මනක් නැතුව…”
ඇය අසීරුවෙන් කොඳුරා ගත්තා ය.
“එහෙම ඉඳල කොහොමද…ඔයා තරුණ ගෑනු ළමයෙක්නෙ. කසාදයක් අසාර්ථක වෙනවයි කියන්නෙ ගෑනියෙක්ගෙ මිනිහෙක්ගෙ ජීවිතේ එතනිං කෙලවර වෙනවයි කියන එක නෙවෙයි”
“ආයෙ කසාදනං ඕන නෑ තාත්ත”
ඇය උගුර යටින් කියා ගත්තා ය.
“හිතේ තියෙන තුවාලෙ නිසා ඔයාට දැන් එහෙම හිතෙනව ඇති. ඒත් ජීවිතේ කියන්නෙ එක රෑක දකින එක හීනයක් නෙවෙයි පුතා”
නිශාමනී කිසිත් කියන්නට ගියේ නැත. විවාහය කියන්නේ ඕනෑ ම මොහොතක බිඳී යා හැකි ඉසියුම් පළිඟු බඳුනකැයි දැන් ඇය ට සිතේ. ඒ වාගේ යමක් රැක ගන්නා එක පහසු කටයුත්තක් නොවේ. ශාරද හා බැඳුණු විවාහය දික්කසාදයකින් කෙලවර වීමේ වගකීම ඕනෑ ම කෙනෙකු ශාරද වෙත පවරන්නට පුළුවන. පංචලී අශ්ලීල අසංවර ගණිකාවක් සේ කෙනෙකු විසින් හංවඩු ගසන්නට පුළුවන. නමුත් ශාරද එතැනට පත් වීමේ වගකීම දැරිය යුත්තේ තමන් විසින් බව දැන් නිශාමනී ඉඳුරා දනී. ඇය ට ඒ ඥාණය පහල වූයේ ශාරද දිවයිනෙන් නික්ම ගියාට ද පසු ය. නැතහොත් ඉතා තදින් වසා ගෙන උන් හද දොර ඈ විසින් විවර කොට බලනු ලැබූයේ ඔහු ගේ සෙවනැල්ලක් හෝ පතිත විය හැකි සීමාවකින් ඈත් ව ගිය කල ය.
“ඔයා ලස්සන තරුණ ගෑනු ළමයෙක්. අපි කවුරුත් මිනිස්සු. අපි කවුරුත් ආදරේ බලාපොරොත්තු වෙනව. රැකවරණය බලාපොරොත්තු වෙනව. විශේෂයෙන් ම තරුණ ගෑනු ළමයෙක් ට ආදරේ නැතුව ඉන්න හරි අමාරුයි. පුළුවන්…බෑ නෙවෙයි. ඩිවෝස් වුණ හුඟක් ගෑනු ළමයි එයාලගෙ දරුවො හදාගෙන ජීවිතේට මූණ දෙනව අපි දැකල තියෙනව. හැබැයි තමුන්ගෙ අවංක හැඟීම් මරා ගෙන එහෙම ගස් ගල් වෙලා තේරුමක් නෑ. අම්ම කෙනෙක් ලස්සනට දරුවො හදා ගන්න ඕන තමයි. තාත්ත කෙනෙක් නැතුවත් එහෙම කරන්න අම්ම කෙනෙක්ගෙ හිත් හයියයි තමයි. ඒත් තමනුත් ගෑනියෙක් කියන ඇත්ත මරල දාන්න ඕන නෑ පුතේ”
සිහින් ව හදවත හීරෙනා සෙයක් නිශාමනී ට දැනිණ. ආදරය ගැන ගැඹුරෙන් අර්ථකතන දෙන්නට ඇය දන්නේ නැත. නමුත් ආදරය කියන්නේ ඕනෑම හදවතක ඕනෑ ම මොහොතක ඕනෑ ම කෙනෙකු අරබයා ඇති විය හැක්කක් බව දැන් ඇය දනී.
“අර ආකාස ළමය නරක ඉලන්දාරියෙක් නෙවෙයි කියල මටත් තේරිලයි තියෙන්නෙ. එක අතේ වුණත් ඇඟිලි පහම එක වගේ නෑනෙ. ශාරද නරක එකෙක් වුණත් ආකාස හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. එයා එසඳි ට හැබෑවටම ආදරෙයි. පුතා ගැන වුණත් ඒ ඉලන්දාරියගෙ හිතේ සොෆ්ට් කෝනර් එකක් තියෙනව කියල මට දැනිලයි තියෙන්නෙ”
නිශාමනී ගේ පපුවේ අනියත ගැස්මක් ඇති විය. ඇය ට තාත්තා ගේ මූණ දෙස බැලීමේ අපහසුවක් දැනුණ සෙයකි.
“ඒ ළමය ගැන ඔයාගෙත් අකමැත්තක් නැත්තං…එසඳිගෙ පැක්තෙන් එයාට ලැබෙන්න පුළුවන් හොඳම තාත්ත තමයි ආකාස. හැබැයි එසඳි නිසා විතරක් ඒ වගේ තීරණයක් ගන්නත් එපා. මොකද ඔයා හැඟීම් දැනීම් නැති ගෑනියෙක් නෙවෙයිනෙ. එක සැරයක් වැරැද්දක් වුණා නං අපි බලන්න ඕනෙ ඊළඟ වතාවෙදි ඒ වැරැද්ද හදා ගන්න. හදා ගෙන ඉස්සරහට යන්න. ජීවිතේ කියන්නෙ එක තැන නතර වෙලා ඉන්න තියන දෙයක් නෙවෙයි දරුවො. අපි හැම මොහොතකම ඉස්සරහට යන්න ඕන. ඔයා කල්පනා කරල බලන්න”
පිලපිටිය මහතා එසේ කියා ගෙන අසුනෙන් නැගිට ගත්තේ ය. නිශාමනී තව දුරටත් ඈ ඉදිරියෙහි වන අඳුරු කැටිය දෙස බලා ගෙන නිසල ව සිටියා ය. හුස්ම හිර වී ඇත්දැයි ඇය තදින් හුස්මක් ගෙන බැලුවා ය.
“මේ ප්‍රශ්නෙදි මිස්ට පිලපිටිය ඕපන් මයින්ඩඩ් වුණ එක ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕන ශමී. හැබැයි ආකාස ඔයාට ආදරේ වුණයි කියල ඔයාට එයා ගැන කිසිම ෆීලින් එකක් නැත්තං ඒ ගැන හිතන්න එපා කියලයි මං කියන්නෙ. මොකද ඔයා තරුණ ගෑනියෙක්. එසඳිට තාත්ත කෙනෙක්ගෙ ආදරේ දෙන්න ආකාසට පුළුවන් තමයි. හැබැයි දෙවෙනි සැරේටත් ඔයා හැඟීම් දැනීම් නැති ජීවිතයක් ගත කරන්න යනවට මන්නං කැමති නෑ”
චේතනා ගේ තීරණය එය විය. නිශාමනී හිස් දෑසකින් ඇදෙස බලා සිටියා ය. නමුත් ඇගේ හදවත හිස් ව පැවතියේ නැත. එහි චණ්ඩ මාරුතයක් හමා යමින් තිබිණ. කාටවත් නොකී, කවුරුවත් නො දන්නා හුඟක් දේවල් සිය හදවත නමැති රහස් ගුහාවෙහි සැඟව තිබෙන බව ඇය දනී. ඒ වූ කලී ඇය වුව මෙතෙක් එබිකම් කොට බලන්නට මැළි වූ හෝ බිය වූ රහස් ගුහාවකි.
හැන්දෑවේ නිශාමනී එසඳි ද රියෙහි නංවා ගෙන ශරදාකාසයට ගියා ය. ශාරද ලංකාවෙන් නික්මුණ පසු ඇය මේ නිවසට ගියේ ම නැත. ශරකාකාසය ගැන සිතත්දී පවා ඈ තුළ ඇති වූයේ කුමක් දැයි හරියට ම විග්‍රහ කළ නො හැකි ගැස්මකි. ඒ ගැස්මෙන් ඈත් වී හිඳිනු වස්, එසඳි කෙතරම් ඇවිටිලි කළ ද නිශාමනී එහි නො ගියා ය.
ඔවුන් යන විට ආකාස කාර්යාලීය ඇඳුම් ඉවත් කොට, දිය නා ගෙන සැහැල්ලු ඇඳුම් හැඳ ගෙදොර වසමින් සිටියේ ය. නිශාමනී ගේ රිය දුටු ඔහු ගේ ඇස් සිහින් වී දීප්තිමත් විය. එසඳි දිවවිත් ආකාස ගේ අතට පැන්නා ය.
“මං මේ ඔයා බලන්න යන්නනෙ හැදුවෙ”
“මං ආව මගෙ ගෙදර”
දැරිය හුරතල් බස් දොඩමින් ඇගේ කෙළි බඩු සොයා දිව ගියා ය.
“මං ඔයාට තේ එකක් හදන්නං”
ආකාස ඉස්සර වෙන්නට හැදුවත් නිශාමනී ඈ වැළකුවා ය.
“මං හදන්නං”
විද්‍යුත් කේතලයේ පේනුව ගසා ඇය කෝප්ප ටික සේදුවා ය. මේ තමන්ගේ හැඟීම ඇය ට ඈ උපන් දා සිට ජීවත් වූ නිවසේදීවත් දැන් නො දැනෙනා බව නිශාමනී පිළිගත යුතු විය.
“හරියට සුළි සුළඟක් ඇවිත් ගියා වගේ. හිතා ගන්නත් බෑ වෙච්ච දේවල්…”
ආකාස දෑත් පපුවෙහි බැඳ පැන්ට්‍රි කබඩ් එකට හේත්තු වූයේ ය. මේ නිවසෙහි, මේ මුළුතැන්ගෙහි කෙතරම් වාර ගණනක් ඇය ට ඔහු හමු වන්නට ඇත්දැයි නිශාමනී සිහිපත් කළා ය. සිහින් දීප්තිමත් ඔහු ගේ ඇස්, ගැඹුරු පිරිමිකාර ඔහු ගේ හඬ කෙතරම් වාර ගණනක් ඇය සසල කොට තිබේ දැයි ඇය සිහිපත් කළා ය. නමුත් ඒ ගැස්ම හෝ ඇය සිය හදවතින් පිටතට දැම්මේ නැත. සියල්ල වූයේ ඇගේ රහස් හද ගුහාවේ ය.
“පංචලී ගැන මුලදි නොදැනුණ කේන්තියක් මට දැන් දැනෙනව. එයාට එහෙම නොකර ඉන්න තිබුණා”
“මතුපිටින් පිටින් පේන වරද අල්ලගෙන ඒ ගෑනිට දොස් කියන්න ඕන මෝඩයෙක්ට පුළුවන්. ඒත් ඒ ගෑනි මොකද්ද කළේ…ආදරේ කරපු එක. කාටද…ආදරයක් හොයපු මිනිහෙක්ට. එතකොට වැරදි පංදලීද…නැත්තං ශාරදද..”
“ඔයා කවදාවත් අයියට සමාවක් දෙන එකක් නැද්ද…”
“සමාව දෙන්න එයා නෙවෙයි වැරදි. මමයි වැරදි”
“ඒ කිව්වෙ…”
උතුරන වතුර කේතලය ගෙන නිශාමනී තේ කොළ සහිත ජෝගුවට වත් කළා ය. අනතුරුව එය වසා තබා කෙළින් ම ආකාස ගේ මූණ බැලුවා ය. ඇතැම් විට ඔහු ට ඒ බැල්ම දරා ගත නො හැකි වන්නට ඇත.
“මේ හැම දේම මේ විදිහට කෙළවර වුණේ ඔයා නිසයි ආකාස”
“ආ..”
ඔහු ගේ දිගටි ඇස් තවත් කුඩා විය. එය වූ කලී බරපතල චෝදනාවකි. නිශාමනී ගේ ඇස් වල කිසිදු පසුබෑමක් නොවී ය. ඇය තමන් කියන්නට යන දේ ගැන දැඩි විශ්වාසයකින් යුතු ව සිටියා ය.