සීත මාරුතේ -54

දහවල සිට ම මන්දාරම් ව තිබි අහස පිනි පොදයක් ඉහිරවන්නට පටන් ගෙන තිබුණේ ය. අදීශ් පණ්ඩිතරත්න පැමිණියේ ඒ පිනි පොදයෙන් මුවහ වෙන්නට සේ අතක් හිස් මුදුනේ තබා ගෙන මඳක් නැවී දිව ගෙන වාගේ ය. මවෙත පැමිණි විගස ඔහු කේක් එක මගේ අත පත් කළේ ය. 

“ඇයි මේ…”

මගේ ස්වරයේත් පෙනුමේත් වන්නට ඇත්තේ පුදුමයක් මිස අමනාපයක් නොවේ.

“නිකං අනේ. තේ බොනකොට කන්න”

“තැංකූ”

මම එහෙම ම එක අතකින් කේක් එක ගෙන අනිත් අතින් එහි පියන හැර බැලීමි. මුවට සිනහවක් පැමිණියේ නිතැතිනි.

“වාව්. පයිනැපල් ගැටෝ..මං ආසම”

“එහෙනං කමක් නෑ. මුණිවර”

මම හැරී බැලුවෙමි. ඇතුළත සිටි මුණිවර පිටතට එමින් සිටියේ ය. 

“කොහොමද මචං…මොකද මේ පැත්තෙ…”

“මන්දාකිණී අද වැඩ කිව්වනෙ..ඉතිං මෙතනිං යන ගමං පොඩ්ඩක් කතා කරල යන්න හිතුණා”

“හරි අදීෂ්..මං මේ පොඩි වැඩකට යන්න කියල. සෙට් වෙමු ආ”

කියාගෙන අදීශ් ගේ උරහිසකට ද තට්ටුවක් දමා ගෙන මුණිවර ඉදිරියට ඇවිද ගියේ ය. සැබවින් ඔහු අදීශ් කෙරේ ඒ තරම් මුදු මොළොක් ලෙස හැසිරීම ගැන මා තුළ ඇති වූයේ පුදුමය මුසු සැනසිල්ලකි. අදීශ් මා සමග මුණිවර ගැන බොහෝ දේ කතා කළේ ය. ඔහු මුණිවරට වඩා තෙවසරකට පමණ බාල බව පැවසිණ. 

“මොනා කරන්නද ඉතිං…මෙච්චර ගුරුතලාවට ආව ගියා…රන්මුතුගේ සර්ගෙ දුවව අපේ ඇස් ඉස්සරහට ගේන්න ඉරණම හිතා මතාම ලේට් වුණානෙ. එහෙම නොවුණනං මුණිවරයට චාන්ස් එක නො එන්න තිබුණා”

වරක් ඔහු සිනහ වෙවී කීවේ ය. මම ද සිනහවකින් ම ඔහු ට රවා බැලීමි.

“එන්නෙපා හරිද ඕන්නැති කතා කියන්න”

“සිරාවට කිව්වෙ”

අදීශ් හඬ නගා සිනාසුණේ ය. නමුත් ඔහු ගේ මුහුණ මත ලියැවී තිබුණේ අවංක හිතමිතුරු කමකි.

මට පාසල් සමයේ දී ද විශාල මිතුරු සමාගමයක් සිටියහ. නමුත් හොඳම යහළුවන් කියා ඒ අතරින් විශේෂ කෙනෙකු තෝරා ගන්නට මට හේතුවක් වූයේ නැත. අවස්ථානුකූලව මම ඒ කවුරුත් ඇසුරු කළෙමි. කඳුකරයට එත්දී අතැර එන්නට බැරි මිත්‍ර සමාගමයක් වූයේ ද නැත. ගුරුතලාවට පැමිණි පසු ද හොඳ මිතුරියන් දෙදෙනෙකු ම ලැබුණේ ය. කොළඹ දී යෙහෙළියන් කියා ඇසුරු කළ අය සමග කතා නො කළ තරම් පෞද්ගලිකත්වයට අදාල කාරණා අපි, නංගී, කසුනි, හංසිකා හා මා එක් වූ කල කතා බහ කළෙමු. ඒ කතා බොහොමයක් මුණිවර හා මා අතරේ මුල සිට ම හට ගත් වෙනස් සමාගමයෙහි ප්‍රතිඵල ලෙස ඇති වූ ඒවා ය. තරුණ වයසේ ගෑනු ළමයෙකු ලෙස පිරිමියෙකු ගැන වඩා විවෘත ලෙස හිතන්නටත් කතා බහ කරන්නටත් මා පෙළඹුණේ මේ මිත්‍ර සමාගමය තුළ ය. මිත්‍රත්වය කියන දේ සතුටේදීත් සන්තාපයේ දීත් කෙනෙකු ගේ ආත්මය ප්‍රීතිමත්වත් ශක්තිමත්වත් තබා ගන්නට කෙබඳු මෙහෙවරක් ඉටු කරන්නේදැයි මා ඉතා හොඳින් අවබෝධ කර ගත්තේ ඔවුන් වෙතිනි.

පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනා කාලයේ දී මට වැඩිපුර පිරිමි ළමයින් ඇසුරු කරන්නට අවස්ථාව උදා වූයේ නැත. පිරිමි යහළුවෙකු ජීවිතයට කවරාකාරයෙන් දැනෙන්නේ දැයි මට මීට පෙර අවබෝධයක් වූයේ ද නැත. නමුත් අදීශ් ගේ හමුවෙන් පස්සේ, ගැහැනු යහළුවෙකු හා පිරිමි යහළුවෙකු අතරේ දැනෙන්නා වූ වෙනස මම මොනවට විඳ ගතිමි. මුලින් ඔහු ගේ සිත මා පිළි ගත්තේ විහිළුවක් ලෙස ඔහු සඳහන් කළ ආකාරයෙන් වීද, පසුව මා වෙත දිගු කළ මිත්‍රත්වයේ සුරත ට මම වැඩියෙන් රිසි වීමි.

හදිසි වැඩක් යයි පවසමින් නික්ම ගිය මුණිවර විනාඩි ගණනක දී යළි පැමිණ සිටියේ ය. ඔහු සිය කුටියේ ඒ මේ අත නොසන්සුන් ලෙස සක්මන් කරනු ද ඉන් පසු ෆයිල් ගොඩක් ඇද ගෙන පෙරළනු ද මම අඩැසින් බලා සිටියෙමි.

“අරූ මට ගහල පන්නන්න පොල්ලක් තියන තැනක් ගැන හිතනව වෙන්න බැරිද…”

අදීශ් ඇසුවේ ය. ඊට මට සිනහව නතර කර ගත නො හැකි විය. දෑතෙහි මූණ ඔබා ගෙන මා සිනහ වනයුරු මුණිවර දුටුවා දැයි නො දනිමි.

“කෝකටත් දැන් මාරු වෙන එක හොඳයි වගේ. සීයූ ආ”

කියාගෙන නැගී සිටි ඔහු යන ගමන් මුණිවර ගේ දොරකඩ නතර වී අතක් වනා සමු ගත්තේ ය. මුණිවර කිසිදු වෙනසක් නැති සුහද සිනහවකින් ඔහු ට සමු දුන්නේ ය. හිත හෝස් ගා දැවී යනු මට දැනිණ.

තේ වෙලාවට පෙර කේක් එක කපා ලොකු තාත්තාට කැබැල්ලක් දුන් මම, මා වෙනුවෙන් ද කැබැල්ලක් තියා ගෙන ඉතිරි කොටස ගිනුම් අංශයට ගෙන යන ගමන් මුණිවර ට ද සංග්‍රහ කරනු වස් ඔහු වෙත එය ගෙන ගොස් පෑවෙමි.

“මං කේක් කන්නෑ”

මා මගහැර ඔහු සිය මේසය මත වූ ෆයිල් එක පෙරළුවේ ය. කර කියා ගන්නට යමක් නැතිව මම ආපසු හැරුණෙමි. 

ඒ අහංකාරකම නම් ඔහු ගේ ජාන සංයුතියේ ම ඇති දෙයක් වුව මනා ය. රිය අනතුරින් පසු එහි සාන්ද්‍රනය වැඩි වී ඇතිවා විය යුතු ය. මගේ හිතට දුකක් නො දැනුණා ම නොවේ. මා සිය පපුවට තුරුලු කොට ගෙන සිප ගත් එක ම පිටස්තර පිරිමියා ඔහු ය. මුණිවර ට ඒ බව අමතක වී ද මා මැරී ඉපදී ඇතිවා නොවේ. ඉතා තදින් ඔහු වැළඳ ඒ පපුවේ හිස හොවා ඉකි බිඳ හැඬීමේ උවමනාවක් ඇතැම් විට මට දැනේ. ප්‍රේමය අමතක වී ද ඔහු මට පෙම් කෙරුවා යි දැන් ඔහු දනී. නමුත් එහෙව් කෙල්ලක ගේ හද බිඳ දැමීම කෙතරම් සාහසික ද කියා තවමත් ඔහු නො දනී.

“ඒකා කේක් නොකෑවට මොකෝ අපි කනවනෙ”

ලොකු තාත්තා සියල්ල නිරීක්ෂණය කොට තිබිණ. 

“කේක් කන්නැතුව නෙවේ. තියන දුෂ්ට කමනෙ”

 මම තරහක් මවා ගතිමි. නමුත් මට කිසි දා ඔහු හා තරහා විය නො හැකි ය. ඔහු අරක් ගෙන සිටින්නේ හදවත ඉහළ ම මුළුවේ ය.

“දුෂ්ට කම නෙවේ කෙල්ලෙ ඊරිසියාව”

ලොකු තාත්තා සිනහ වූයේ ය. ඒ සිනහවේ වන්නේ අවංකකම පමණක් බව මැනවින් දකිත හැක. නමුත් මම ඔහු ගේ ප්‍රකාශය ගැන බොරුවට සැක කළෙමි.

“ලොකු තාත්තටත් ඉතිං එයා ලොකුයිනෙ. එයා කරන ඕන දෙයක් හරිනෙ”

එවර ඔහු හඬ නගා සිනහ වූයේ ය. මුණිවර අප දෙස බලනු මට පෙනුණේ ය. මම ද බොරුවට සිනහවක් නගා ගතිමි. ඔහු කේක් නොකෑවාට අපට කිසි වගක් නැතැයි හඟවන්නට මට ඕනෑ විය. 

මුණිවර සිටියේ නො සන්සුන් ව බව කිසියම් චිත්ත තරංග විශේෂයක් විසින් මගේ හදවතට දැනෙව්වේ ය. කෙසේ වෙතත් මෙම තත්වය ඔහු ට මතක අමතක වී ඇති බව දැන ගත් මුල් දින වල මා පෙළු තත්වයට වඩා යහපත් බව කිව යුතු ය. කඳුළින් වැසී ගිය එදා වූ ආදරය, ඒ කඳුළු වේල්ල සිඳී යාමෙන් පසු නැවත මතු වෙන්නට පටන් ගත්තා සේ ය. මුණිවර ගේ ගති ලක්ෂණ මම වඩාත් සියුම් ව නිරීක්ෂණය කරන්නට වීමි. ලොකු තාත්තා කියන ලෙස ඔහු ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා නම් ඊට හේතුව පරණ මතක අමතක වී ද අලුතෙන් හෝ හිත තුළ පිළිසිඳ ගත්තා වූ ප්‍රේමයයි. එය එසේ වී නම් ඔහු අදීශ් කෙරේ ඒ තරම් මිත්‍රශීලී ලෙස හැසිරුණේ කෙසේ ද? මුළු ලෝකයට ම ඔහු වූ කලී ඉතා ආචාරශීලී මිනිසෙකි. එසේ නම් එ් කේන්තිය පෙන්වන්නේ මට විතර ද? සියලු කෝපාවිෂ්ට වීම් පිට කොට හරින්නේ මා මතින් පමණ ද?

පසු දා හවස තේ පාණයට පෙර ප්‍රකට කේක් සමාගමක වෑන් රථයක් විත් කාර්යාල පරිශ්‍රය ඉදිරියේ නතර වූයේ ය. ඔවුහු විමසූයේ මා ව ය.

“කේක් වගයක් තියනව මිස් සයින් එකක් දාල ගන්න”

නිලධාරියෙකු මා වෙත රිසිට් පතක් පෑවේ ය. මා එහි අත්සන දැමූයේ කුතුහලයෙන් යුතුව ය. එක කේක් එකක් නොව කේක් පෙට්ටි විස්සක් පමණ ඔවුහු රියෙන් ගෙනවිත් මගේ මේස මත ගොඩ ගැසූහ. මගේ ඇස් ලොකු වී තියෙන්නට ඇත. අදීශ් කළා නම් මේ තරම් විකාර වැඩක් කරන්නට විදිහක් නැත. ඔහු ඒ වාගේ කෙනෙකු නොවේ. කෙසේ වෙතත් සියලු කේක් පෙට්ටි තුළ වූයේ පයිනැපල් ගැටෝ ය.

මා හැරෙන විට මුණිවර මගේ පිටුපස වූයේ ය. ඔහු ගේ තොල් කොනක සාවඥ සිනහවක් විය.

“පයිනැපල් ගැටෝ ආසමනෙ. ඇති වෙන්න කන එකයි”

මා යමක් කියන්නට තබා හිතන්නට ද කලින් ඔහු නික්ම ගොස් හමාර ය. ලොකු තාත්තා පේන්නට හිටියේ නැත. හිත තුළ හට ගත්තා වූ සිතිවිලි කුණාටුව කොයි අතකට හෝ ගසා ගෙන නො ගියේ වී නම් සිතිවිලි විනාශ වන්නට තිබිණි. ඒ නිසා මම ඉක්මනින් නංගී ට ඇමතුමක් ගතිමි. ඇය සිටියේ කසුනි හා හංසිකා සමග පාසලෙන් පසු පුහුණු කිරීමක් තුළ ය. කේක් සිදුවීම ඇසූ ඔවුහු නතර කර ගත නොහී සිනහ වන්නට වූහ.

“කොයි වෙලාවක හරි මුණිවර සිං රාජ්පුත් ඊරිසියාවට පුපුරල ඉඳී ගෙම්බෙක් වගේ”

“මට හිතා ගන්න බෑ මං හිනා වෙන්නද නැත්තං කේන්ති ගන්නද කියල. දැං මේ කේක් වලට මොනා කරන්නද…ලේබර්ස්ලට කපාගෙන කන්න කියල යවන්න වෙන්නෙ. මොන ජාතියෙ මනුස්සයෙක්ද කියල මට තේරෙන්නෑ”

“හරි ඉතිං…මතකෙ අමතක වෙලා ගියෙ ජූජකස්ගෙ වරදකින් නෙවේනෙ. ඒ කොල්ල මතක නැති කළා නෙවෙයිනෙ. කියා ගන්න බැරි ආදරේ අලුතෙන් ප්‍රකාශ වෙන විදි තමයි ඔය”

“මට ජෙලස්..මටත් ඕනෙ මුණිවර සිං රාජ්පුත් වගේ කොල්ලෙක්”

“අදීශ් පණ්ඩිතරත්න වගේ කොල්ලෙක්ටනං වේකන්සි එකක් තියනෝ”

ඒ කතා බහ මා සැහැල්ලු කළේ ය. දුරකතන සංවාදය නිමා වන විට ධාරා මා ඉදිරියේ ය. ඇය කේක් දෙස බැලූයේ විශ්මයෙනි.

“ඇයි මේ…”

මම දෙ උරහිස් හැකිළුවෙමි. 

“මිස්ට මුණිවර ඕඩර් කරල තියෙන්නෙ. මං හිතන්නෙ වර්කර්ස්ල ඔක්කෝටම බෙදන්න”

ධාරා ගේ සිත නො රිදිය යුතු යයි මට ක්ෂණිකව සිතිණ. තනිව ම බදා ගන්නට හදනා ප්‍රේමයකට වඩා සම සේ විඳ ගන්නට හිතනා හැඟීමක් හදවතට සුව ගෙන දෙන්නේ ය. ඇය මා ඉදිරියේ අසුන් ගනිමින් මගේ දෑස් විනිවිද බැලුවා ය. 

“ඊයෙ අදීශ් ඔයාට පයිනැපල් ගැටෝ එකක් ගෙනාව නිසා වෙන්නැති”

ඇය එසේ කීවේ ශෝකී බවකිනි. එක අතකට අප දෙදෙනා ම සිටින්නේ එක ම බෝට්ටුවක යයි මට සිතිණ. එක ම පිරිමියෙකුට පෙම් කරමින් අප දෙදෙනා ම ඔහු නිසා සැනසීම අහිමි ව සිටිමු. ඇයට වඩා මා හෝ මට වඩා ඇය හෝ අසරණ යයි මිනුම් කළ නො හැකි ය. ඔහු පෙම් නොකළා ට ධාරා මුණිවර ට පෙම් කළා ය. මා පෙම් කළාට දැන් ඔහු ට එවන් ප්‍රේමයක් මතක නැත. ඉතින් ඇයත් මාත් වෙනස් යයි කෙසේ නම් තර්ක කළ හැකි ද?

ධාරා ගේ ඇස් වලින් කඳුළක් ගිලිහී වැටුණේ ය. 

“එයා ආයෙ අලුතෙන් ආදරේ කරන්නෙත් ඔයාටයි මන්දාකිණී”

ඇය වහා අසුනෙන් නැගිට කාර්යාල පරිශ්‍රයෙන් ඉවතට දිව ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles