(අ)හිමි සිහින -181

Roller Coaster එකක ගමනක් බඳු ජීව්තයක්!

ජීවිතය පැහැදිලි දිය පොකුණක් නොවන බව ඇත්ත.නමුත් රෝලර් කෝස්ටරයක ගමන ද පහසු වන්නේ නෑ.අප තෝරා ගන්නා දේ නිසා ද දෛවය තීරණය කරන දේවල් නිසාද අපට සමහර දේවල් දරාගන්නට ම සිදු වෙනවා.මම එවැනි දේ දරා ගනිමින් සිටියා.වසරක් තිස්සේ ඔබ මේ කතාව කියවමින් හැඳිනගත් අනික් මිනිසුන් ද විවිධ ආකාරයෙන් මේ කතාවේ හිස්තැන් පුරවමින් සිටියා.

මේ සියලු දේ පිටත ලෝකයේ සිදුවෙමින් පවතිද්දී තමන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් තම සමීපතමයන් හොඳම දේ කරනවාද නැද්ද හෝ නොදැන සුධාරක තනිව රෝහල් සහනයක් මත ජීවත්වීම උදෙසා දැඩි සටනක නිරතවී සිටියා.සතුරන් හමුවේ අභීතව නැගී සිටි රටක ඒකීයභාවය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා නොබියව ඉදිරියට ගිය අභීත රණවිරුවෙකු මාරයාට ද යටත් නොවී බෙලසුන් ගතකින් වුව විශාල සටනක් තනිව කරමින් සිටියා. 

යුධ හමුදා රෝහලට සුධාරක ගෙන ආවාට පසු දින සති මාස වී ඉතා හෙමින් ගත වී යන බව මට දැනුණා.අප විශාල පීඩාවකින් ජීවත් වෙද්දි තත්පර කටුව පවා පැය ක වේගයෙන් කැරකී යන නිසා ඒ කාලයේ මට පැය විසි හතරක් දැනුණේ කල්පයක් තරම් කාලයකින්.  ඔහුගේ තත්වය දිනපතා සොයා බලන්නටත් ඔහුට කළ හැකි සුදුසුම ප්‍රතිකාරයක් ගැන සොයා බලන්නටත්  ඔහු මෙසේ හිර කරගෙන තබාගැනීමට එරෙහිව කළ හැකි නීතිමය තත්වයන් ගැන සොයන්නටත් මගේ දවසේ පැය විසි හතරම මා කැප කරමින් සිටියා. 

ඔබ ජීවිතයේ පිළිකුල් කළ එසේම ඔබට කිසිදු ආදරයක් සෙනෙහසක් විශ්වාසයක් නොතිබූ ඔබ ඔබේ ජීවිතයෙන් දුරස් කළ මිනිසුන් ඔබ රෝගී ව සිහි නොමැති විටකදී ඔබේ අයිතිය කියාගනිමින් ඔබ වටා සිටියොත් ඔබට කුමක් සිදුවේවිද?

ඇත්තටම අපි එහෙම දෙයක් හිතන්නවත් කැමති නෑ නේද? ඒත් මේ සියල්ල සුධාරක වෙනුවෙන් සිදුවෙමින් පැවතියා.

දිල්හානි දිගින් දිගටම ලියුම් පිට ලියුම් එවමින් කෙටි පණිවිඩ ඊමේල් එවමින් සුධාරකට ඇති අයිතිය කියාපාමින් ඉහළනිලයන්ට බලපෑම් කරමින් සිටින අතර සුධාරකගේ මව සහ පවුලේ අය එය දඩමීමා කරගෙන රෝහලේ තත්ත්වය තව තවත් ව්‍යාකූල කරමින් සිටියා.

“අපිට මේ නිලධාරියාට නිසි ප්‍රතිකාර කිරීමට පවා හරි අපහසුයි ඒතරමටම පවුලේ බලපෑම් වැඩී.අද දෙන ලියුම නෙවෙයි හෙට.ඒක එපා …මේක එපා..එපා…එපා..එපා.එච්චරමයි.මේ ජීවිතය ගොඩදාගන්න මේ මිනිස්සුන්ගේ කිසිම උත්සාහයක් නෑ”

පාලන අධිකාරියේ ඉහල නිලධාරීන් පවා එසේ කියන්නට පටන්ගත්තා.ඒත් ඒ සියලු නොසිදුවිය යුතු දේ සිදුවෙමින් පවතිද්දී කිසිදු අයිතියක් නැතැයි කී මම බටහිර වෛද්‍ය විද්‍යාව ද දේශීය වෛද්‍ය විද්‍යාව ද ගැන සොයා බලන්නට වුණා.ආගමික වතාවත් හෝ මොනයම් දෙයකින් හෝ නැවතත් ඔහු යථා තත්වයට පත්කරගැනීමට කළ හැකි සියලු දේ කරමින් සිටියා.සමහර අවස්ථාවලදී මා සාර්ථක වුණත් ඒ හැම තැනදීම විවාහ සහතිකය හරස්වී මඟ ඇහිරුවා.

ඔව්!

හිතක් පපුවක් සෙනෙහසක් ගෑවිලාවත් නොතිබූ බිරිඳක් ළඟ නීතියේ අයිතිවාසිකම තිබුණා.ඔබ සිතන්නේ එය කුමන තත්වයක්ද?කරුමය ද? ලබා උපන්හැටිද? වෙන්න තිබුණු හැටිද? නැත්නම් නීතිය තුළ වුවත් සංශෝධනය විය යුතු තැන් ඇති බව ද? 

මේ අතර මට තවත් කාරණාවක් සිහියට නැගෙනවා.මේ කතාව කියවන බොහෝ අයට ගැටලුවක් තියෙනවා.ඒ සුධාරක සහ මම නැවත විවාහ නොවුණු හේතුව.එයට හේතුවක් තිබෙනවා.ඒ අප දෙදෙනා නැවත එක්වූ කාලය පුරාම සතුට වගේම කරදර බාධක ද සමබරව විඳින්නට සිදුවීම.දිල්හානි විසින් දමන්නට යෙදුණු බොරු පැමිණිලි බොරු නඩු මෙන්ම නඩත්තු නඩු ආදිය සියල්ල වෙනුවෙන් කාලයත් මුදලුත් විශාල වශයෙන් වැයකරන්නට සිදු වුණා.මේ සියලු දේට වඩා දේශපාලන රැකවල් පතා එංගලන්තයට පැනගොස් සරණාගත කඳවුරක වෙසෙන දිල්හානිට දික්කසාදය සඳහා සිතාසි යැවීමට ලිපිනයක් අපට සොයාගත නොහැකි වුණා.

සුධාරක දිල්හානිට එරෙහිව දික්කසාදයක් නිතීඥ මහතෙකු ලඟ ගොනු කර තිබුණත් ඇයට සිතාසි යවාගත නොහැකිවීම යන කාරණය හමුවේ එය නෛතික වශයෙන් ක්‍රියාත්මක කරගන්නට අපට නොහැකි වුණා.සියල්ලටම වඩා මෙවනි ව්‍යසනයකට අපට මුහුණ දෙන්නට සිදුවේ යැයි අප කෙදිනක වත් සිතුවේ නැහැ. එසේ සිතුවා නම් සුධාරක විසින් සිය අත්සන යොදා මට ලබා දී තිබුණු හිස් කඩදාසි ගොඩෙන් එකක් හෝ මට ඉතිරි කරගන්නට තිබුණා 

ඔව්!! 

ඔහුගේ අත්සන යොදා මට ලබාදුන් හිස් කඩදාසි.එය ඔබ නොදන්නා එහෙත් ඔබ දැන ගත යුතු කතාවක්.

මම ඒ ගැන හෙට ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles