එ් බොජුන් හල මීගමුව පැත්තේ පිහිටි සුවිශේෂ එකකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් භෝජන හා යටිතල පහසුකම් ද වෙරලබඩ උද්‍යානයක් ද ඊට තිබේ. පසෙක අයිස්ක්‍රීම් අංගනයකි. එය වර්ණ හා රසයන් අති විශාල පරාසයක අයිස්ක්‍රීම් වලින් සමන්විත ය. ජීවිතයේ සතුට වෙනුවෙන් මිනිසුන් කෙතරම් ප්‍රණීත වූ දෑ සොයා ගෙන තිබෙනවා දැයි ඒ අයිස්ක්‍රීම් අංගනය දුටු විට සිතේ.
ඇනවුම් කළ භෝජන මේසයට එන තෙක් සසංක නැගිට අයිස්ක්‍රීම් අංගනය වෙත ගියේ ය. අපරාජිතා ට ඒ කුමන රස වලින් අයිස්ක්‍රීම් තෝරා දෙන්නද යන මිහිරි සිතිවිල්ල අධිවේගී මාර්ගයේ රිය පදවත්දීත් ඔහු වෙත විය. කාන්තාවෝ තිදෙන ඈත මේසයක හිඳ ඒ පිරිමි පෞරුෂය දෙස බලා සිටින්නට වූහ. ප්‍රේමයෙන් අසීමිත ව පිරුණා වූ මිනිසුන්ට ප්‍රේමය අකැප වී තියෙන්නේ ඇයිද යන්න අපරාජිතා ට සදාකාලික පැනයකි. ළඟ ම උදාහරණය ඇය ම ය. දේශිකා ය. දැන් සසංක ය.
දෙමිතුරියන් ට සිතා ගන්නට හෝ ඉසිඹුවක් නොවූ නිමේෂයක අසුනින් නැගිට ගත් අනන්‍යා සසංක වෙත දිව ගියා ය.
“අ…ර…”
දේශිකා නො රිස්සුම් වූවා ය.
අනන්‍යා දිව ගියත් සසංක ගේ ඇඟේ නො එල්ලෙන්නට වගා බලා ගත්තේ අම්මා මෙන් ම දේශිකා ව ද සිහි වී ය. අම්මා ටත් වඩා දේශිකා ඇය සසංක ගෙන් ඈත් කොට තබන්නට වෙහෙසෙන බවක් මේ හෝරා කිහිපයට ඇයට දැනී තිබේ.
“මට මේ ඔක්කොම ජාති වලින් ස්කූප් එක ගානෙ දාල ලොකූ බෝල් එකක් පිරෙන්න අයිස්ක්‍රීම් ඕනෙ”
සසංක ගේ මුහුණට සිනහවක් නැගුණේ ය. අනන්‍යා ඒ සිනහවෙහි මංමුලා වන්නට ගොස් අමාරුවෙන් පාර හොයා ගත්තා ය.
“ශෝක් එකට තියෙයි. මං අහගෙන උදෙත් අම්ම කියනව…සෙම වගේනං උණු වතුර බොන්න කියල”
“අනේ ඉතිං”
“දරුවෝ…හරි අම්මගෙන් අහන්නකො. එයා කියන දෙයක් තමයි”
“මං ලොකු ළමයෙක්නෙ අනේ”
අනන්‍යා තව දුරටත් හුරතල් වූවා ය. හිතෙහි තුනී ලෙස පා වෙමින් තිබූ ඊර්ෂ්‍යාකාර හැඟීම ගැන අදහසක් හෝ අවබෝධයක් ඇයට වූයේ නැත.
“සර්ගෙ දුවද…ලොකු වුණාට තාම හුරතලේ නේ…තාත්තලට හුරතල් වුණාට දූල අම්මලට බයයි”
අයිස්ක්‍රීම් අංගනයේ සේවිකාව කලබල වැඩ අතරේ ම ඔවුන් දෙස බලා හිනැහී කීවා ය. මූණ නරක් කර ගත් අනන්‍යා සසංකට විතරක් ඇහෙන්නට කුටු කුටු ගෑවා ය.
“පිස්සුද මන්දා…තාත්තයි දුවයි කියන්නෙ. ලංකාවෙ මෝඩ මිනිස්සු…”
ඇය මුමුණා කීවාට සසංක ඊට හඬ නගා සිනහ වූයේ ය. ඒ සිනහව සිය හදවත තුළ කුමක්දෝ කැළඹීමක් ඇති කරනවා අපරාජිතා ට දැනිණ. ඇය ඉවත බලා ගන්නට හැදුවද දේශිකා ඉස්සර වූවා ය.
“යනව අතන්ට”
“හරි නෑනෙ එහෙම..”
“මගුලක් කතා කරනව. මැනර්ස් මේන්ටේන් කරනවකො එහෙනං ලෝකෙට පේන්න”
සසංක සිනහවේ අග හිස හරවා අපරාජිතා ඉන්නා ඉසව්ව බැලුවේ ය. ඒ දුර ඈත, ඇගේ ඇස් වලට ඔහු ගේ ඇස් වල පැටලී ඉන්නට අවකාශයක් හදා දුන්නේ ය. සසංක ඒ බැල්මෙන් ම හිස මඳක් සලා අපරාජිතා ට එතැනට එන සේ හඟවමින් හිස වැනුවේ ය. ඒ කෙටි දුර තත්පරයකින් සියයකින් එකක් තරම් කෙටි කාලයකදී තරණය කළා සේ ය අපරාජිතා ට දැනුණේ.
“මේ දුව ඔක්කොම අයිස්ක්‍රීම් ජාති වලින් ස්කූප් එක ගානෙ දාල ඉල්ලන්නෙ. මං කිව්ව ඔයාගෙං අහන්න කියල”
අපරාජිතා යමක් කියන්නට පෙර ම අනන්‍යා එතැනින් නික්ම සිය අසුන වෙත දිව ගියා ය. සසංක මොහොතකින් ඒ සිදුවීම අමතක කර අපරාජිතා වෙතට යොමු වූයේ ය. ඇස් වලින් අයිස්ක්‍රීම් වල සුන්දරත්වය විඳින ඇය දෙස මොහොතක් ඔහු නිදහසේ බලා සිටියේ ය.
“මටනං කන්න හිතෙන්නැති තරං ලෝබයි. ශෝක් නේ…”
අවසන ඇය මඳහසකට පිපෙන්නට හැර මිමිණුවා ය. සැබවින් පිරිමියෙකුට ලෝභ හිතෙනා සුකොමල බව වූයේ ඇය වෙත ය.
“ඔය දෙන්නට එච්චර ලොකු දුවෙක් ඉන්නව කියලනං හිතන්න බෑ. මගෙ දුව ඒ තරං වෙනකොට මටත් මැඩම් වගේ ඉන්න තිබුණොත් වෙන මොනාත් ඕන්නෑ”
වැඩ අතරේ ම වෙළෙඳ සේවිකාව යළිත් කීවා ය. එක මොහොතකට සසංක ගේ හා අපරාජිතා ගේ දෑස් පැටළිණ. එවර ඇස් මුදා ගත්තේ සසංක ය. නැගෙන්නට ආ සිනහව ඔහු ඉවත බලා ගෙන හිර කර ගත්තේ ය.
“සොරි”
ආපසු හැරෙමින් අපරාජිතා බිම බලා ගෙන මිමිණුවා ය. සමා යදින්නේ ඇයි දැයි ඔහු ට අසන්නට ඉඩක් ඇය තැබුවේ නැත.
“මිනිස්සු හිතන්නෙ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකට දැක්කහම බෝයි ෆ්‍රෙන්ඩ් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල. නැත්තං හස්බන් ඇන්ඩ් වයිෆ් කියල. මල්ලි එක්ක කොහෙට හරි ගියාමත් එහෙමයි. එයා මැරි කරන්න කලින් සමහර දාට මට කියනව තමුසෙ එක්ක ගමං යන්න බෑ මිනිස්සු වයිෆ් කියල කියනව කියල”
සසංක ගේ මුහුණේ පිරිමිකම උතුරන ලා හසරැල්ලක් විය. ඔහු පිය තැබුවේ ඉතාමත් හෙමිහිට ය. අපරාජිතා බිම බලා ගෙන මුදු ලෙස දෙඩුවා ය. ඔවුන් මේසය වෙත ඇවිද එන අතර වාරයේ දේශිකා ගේ සේ ම අනන්‍යා ගේ ද දෑස් යොමු වී තිබුණේ ඔවුන් වෙතට ය. කෙතරම් පෑහෙන ජීව රසායනයක් ඔවුන් අතරේ වෙත්දැයි දේශිකා සිතුවා ය. තාත්තා එක්ක ගමනක් ගිය කිසිම දිනෙක ඔවැනි සුකොමළ සිනහවක් අම්මා ගේ මූණ හැඩ කොට නෑ නේද කියා අනන්‍යා සිතුවා ය. ක්ෂණිකව ඇසිත් හි නැගුණේ නොරුස්නා බවකි. අම්මා සතුටෙන් සිටියා නම් අදටත් තාත්තා ඇගේ නොවේද යන සිතිවිල්ල ඒ නො රිස්සුමට හේතුවයි. එසැනෙන් යළිත් ඇය අම්මා ට අනුකම්පා කළා ය. මෙවැනි සිනහවක් සිය තුරුණු විවාහක ජීවිතයේ දී අහිමි කර ගෙන ඇය කෙතරම් සන්තාපයක් හදින් දරා ඉන්නට ඇත්දැයි ඇය ට සිතිණි.
“අයිස්ක්‍රීම් ලන්තයක්”
දේශිකා සිය යෙහෙළිය ගේ සතුට හැඳින්නා ය. එය ඇයට සැනසුම ගෙනාවේ ය.
“මෙන්න මේකිට කාල මැරෙන්න හරි කියල ඕනතරං අයිස්ක්‍රීම් අරං දෙමු. කෑවට පස්සෙ ඕන්නං උණුවතුර කල්දේරමක බස්සල ගමු”
අඳුරු වලා පහ කරමින් අනන්‍යා ට සිනහ ගියේ ය.
“හරි ඉතිං ලන්ච් අරං ඉමුකො. ඕන දෙයක් අරං දෙන්නං”
සසංක එසේ කීවේ පීතෘ භාෂිතයකින් වාගේ දැනුණේ ඇයි දැයි අපරාජිතා නො දත්තා ය. කෙසේ වෙතත් ඇය සතුටෙන් සිටියා ය. ජීවිතය කියන්නේ මේ මොහොතට ය කියා විශ්වාස කරන්නට පටන් ගෙන ඇති ඇය, මේ මොහොතේ සතුට ගැන විතරක් සිතුවා ය.
අරවින්ද හිටියේ තැවුළේ ය. දියණිය ගේ ලෝකයෙන් පිටමන් වන්නට ඔහු ට ඕන කර තිබුණේ නැත. අනන්‍යා ට තරමට ඔහු වෙන කිසිවකට හෝ කිසිවෙකුට ආදරය කොට නැත්තේ ය. සදහට ම ඇය ඔහු ගෙන් දුරස් වන්නට යනවා කියා සිතන්නේ කෙසේද? ඇය උපන් දවසේ දැනුණ හැඟීම් සිහිපකර ගත නො හැකි වී ද ඒ සතුට ඔහු ට තවම මතක ය. ඈ ඉපදීමෙන් පස්සේ ඔහු ට ගෙදර වූයේ අනන්‍යා ය. ගෙදරින් පිටත කවර රහස් ජීවිතයක් ගෙවී ද ඔහු ගේ හදවතේ හැම මොහොතක ම ඇගේ ළදරු සුවඳ තිබුණේ ය. උසස් පෙළ පන්තියේදීත් ඈ ළඟින් හැමුවේ ඒ ළදරු සුවඳ ය. අපරාජිතා දියණියගේ මුහුණ අත පයේ බේබි ක්‍රීම් ගැල්වූවා ය. උදේට පාසල් යන්නට කොණ්ඩය ගොතත්දී ඕඩිකොලෝන් ගැල්වූවා ය. හැන්දෑ වී හෝ රෑ බෝ වී හෝ ඔහු ගෙදර එන තෙක් අනන්‍යා බලා සිටියා ය. ඇයට ඔහු හා කියන්නට දවසේ කතා මල්ලක් තිබුණේ ය. අම්මා තරවටු කළ එකක් ගැන පවා ඇය තාත්තා හා කේළාම් කීවා ය. ඔහු පමි වුණොත් ඇය කිහිප වර ඇමතුම් ගත්තා ය. අරවින්ද ගේ ලෝකය සමනල පාටින් දේදුනු ඇඳ හැඩ කළේ ඈ ය. ඇය ගේ ලෝකයේ වීරවරයා ඔහු පමණක් වූයේ ය.
“මොකද…”
යහන මත හිඳ දෑතින් හිස බදා උන් ඔහු දැක රොෂෙල් ඇසුවා ය. අරවින්ද අසරණ දෑසකින් ඇදෙස බැලුවේ ය.
“මාත් එක්ක ලන්ච් එකකට කතා කළත් අනන්‍යා බෑ කිව්ව”
රොෂෙල් හෙමිහිට ඔහු සමීපයේ හිඳ ගත්තා ය. ඔහු ගේ උරහිසක් මත සිය අතක් තැබුවා ය.
“බබා ඉපදුනාම ඔයාට ඔය සාංකාව දැනෙන එකක් නෑ”
“මගුලක් කියවන්නෙපා ඕයි”
සියලු පීඩනයන් පිට ව ගියේ ඇය මතිනි. එසැනෙන් ඔහු පසුතැවිලි වූයේ ය.
“ඔයාට තේරෙන්නෑ රොෂෙල්. ඒ මගෙ දුව. වෙන ළමයෙක් හම්බ වුණා කියල ඒ ළමයව අමතක කරන්න පුළුවන් ද තාත්ත කෙනෙක්ට…”
“තාත්ත විදිහට කරන්න තියන යුතුකම් කළාම ඉවරනෙ”
“ඔයාට තේරෙයි ඔය ළමය හම්බ වුණ දාක”
“එහෙනං ඉතිං ඩිවෝස් නොවී ඉන්නනෙ තිබුණෙ”
අරවින්ද යහන මතින් නැගී සිටියේ මඳ කෝපයකිනි. ඇය ඔහු ගේ මානසික තත්වය වටහා ගන්නේ නැත්තේ ඇයි දැයි අරවින්ද ට නො තේරේ. මේ මොහොතේ ඔහු ව වටහා ගෙන හිත හෙමිහිට පිරිමැදීම වෙනුවට රොෂෙල් කරන්නේ එල්ලි එල්ලී කියවන්නට බලා හිඳිනා එකයි.
මතක අමතක කරන්නට වන එක ම බෙහෙත මධ්‍යසාර ය. මේ විදිහට මත් වන එක අරවින්ද ගේ අලුත් පුරුද්දකි. ඇතැම් විට අනන්‍යා ගැන මතක වලින් ගොඩ එන්නට රොෂෙල් ගෙන් ආදරණීය අත්වැලක් ලැබුණා නම් ඔහු මතට නොව තව දුරටත් ඇය ට ලොල් වන්නට තිබිණ.
රොෂෙල් අරවින්ද කෙරේ බැඳුණේ ඔහු ගේ මුදල් බලය නිසා ම ය. නීත්‍යානුකූලව ඔහු හිමි කර ගැනීමෙන් පසු ඇය අසහනයට පත් වූයේ ඔහු තව දුරටත් අපරාජිතා හෝ අනන්‍යා ගැන වද වෙත්දී ය. දික්කසාදය කියනා දේ ලැබුණ පමණින් වසර දහ අටක් වූ ජීවිත බැඳීම් හැව හැර යා නො හැකි බව ඇය දැන සිටියේ නැත. අරවින්ද මේ තරමට අනන්‍යා කෙරේ වන බැඳීම සිය කුස ඔත් දරුවා නිසා බිඳී යනයුරු දකින්නට ඇය පුන පුනා බලා සිටියා ය. අපරාජිතා එක්ක නොව ඇගේ තරඟය වූයේ අරවින්ද ගේ දුර්වල තැන වන අනන්‍යා එක්ක ය.
පසු දා අපරාජිතා ට ගුවන් විදුලි නාලිකාවේ නාට්‍ය හඬ ගැන්වීම් යෙදී තිබිණ. සසංක උදේ ම නික්ම යනු ඇය දුටුවා ය. කවුරුවත් ගෙදර නැති නිසා අනන්‍යා තනිව දමා යන්නට බැරි කමක් නැත. නාලිකාවට පැමිණ හඬගැන්වීම් නිම වන තුරු සිටීම මුලදී ම අනන්‍යා ප්‍රතික්ෂේප කළා ය.
“මං ඉන්නං. අම්මි ගිහිං ඉක්මන්ට එන්න”
අපරාජිතා නික්ම ගියේ සම්පූර්ණ හඬගැන්වීම් නිම වන්නට පෙර, ටිකක් කලින් ගෙදර එන අදහසිනි.
උදේම වෙළෙඳ දැන්වීමක රූගත කිරීම් යෙදී තිබුණෙන් සසංක ඒ කටයුත්තට වෙහෙසුණේ ය. එය අවසන ඔහු ගෙදර එන්න ආවේ බලන්නට අලුත් චිත්‍රපටයක් තිබූ නිසාවෙනි. ජය පාරේදී ඔහු ගේ රිය ඉදිරියට අනන්‍යා ඇවිද එමින් සිටියා ය.