හැමදාම මට ඔබට කියන්න තියෙන්නෙ දුකම බව ඔබ හිතෙනවත් ඇති.මම කලින් කිව්වා වගේ ගෑණු අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වශයෙන් තිබෙන්නේ කඳුල සහ සිනහවයි.ඒත් ඒ සියල්ල තුලින් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනයාම තමයි ජීවත්වෙනවා කියන්නේ.සමහරවිට මගේ කතාවටත් වඩා ඉතා දුක්බර කතා සමාජයේ ඕනෑතරම් තිබෙනවා.ඒත් ඔබ මේ කතාවෙන් ගත යුත්තේ දරුණු කඩාවැටීම් අභියසදී වුණත් කලබල නොවී දරාගෙන ඉදිරියට යාමෙන් ඔබ ජයගන්න බවත් හදවතට එක්ව ගන්නා තීරණ කවදා හෝ ඔබේ මානසික සුවය සඳහාම බවත්.කියා මා සිතනවා. මේ සියලු ගැටලු හමුවේ මා ජීවිතය වරද්දාගත්තා නම් අයාලේ ගියා නම් හෝ දිවි නසාගත්තා නම් මේ කතාවේ ඔබට ගන්නට දෙයක් ඇත්තේම නැහැ.ඒත් අද වනවිට මේ සියලු ගැටලු නින්දා අපහාස හමුවේ අභීතව නැගී සිටිමින් සාර්ථකව ජීවිතයට මුහුණ දෙන ගැහැනියක් ලෙස මගේ කතාවේ ඔබට ගන්නට බොහෝ දේ ඇති.
ජීවිතේ දුක් වේදනා ගැටලු ගැන මගේ වෘත්තිය පැත්තෙන් ගෙන බැලුවොත්.මට එය මෙසේ විග්‍රහ කල හැකියි.දුක් කම්කටොලු බලාපොරොත්තු අරමුණු හා සිහින කියන්නේ ජීවිතය ඉදිරියට තල්ලුකරන දේවල්.ජීවිතය නමැති හොද්ද රසකරන තුනපහ ලෙස මම ඒවා දකිනවා.තුනපහ නැති හොද්දක් රස නෑ වගේම ගැටලු නැති ජීවිතයකිනුත් වැඩක් නෑ.ඒ තුනපහ කළමනා ඔක්කොම හරියට සමබරව තබාගෙන හැදුවොත් තමයි ජීවිතය නමැති හොද්ද රස වෙන්නේ.හැබැයි එකක් මතකතබාගන්න.ඔබේ ජීවිතය නමැති හොද්දේ පදම තිබෙන්නේ ඔබේ අතේ.ඔබ එය හැඳිගාන විදියට තමයි එහි නියම පදම එන්නේ.ඒ නිසා ඔබේ ජීවිතය නමැති හොද්ද අනුන්ට හැඳිගාන්නට නොදෙන්න වග බලාගන්න.එවිට පදම තරමක් වැරදුනත් ඔබට එය අනුභව කරනවිට බැන බැන දුක්වෙවී කරන්නට අවශ්‍ය වන්නේ නෑ.මම කළෙත් එයමයි.ඒ නිසාම අතීතයට මම වෛර කරන්නේ නෑ.මගේ අතීතයට මම හරි ආදරෙයි.මාව ශක්තිමත් ගැහැනියක කලේ වර්තමානය නොවෙයි අතීතයයි.
ජීවිතේ සමහර තැන්වලදී මම ගතයුතු තීරණ මට වැරදුණා. නමුත් ඒ කාලයේ හා අවස්ථාවේ හැටියට මම ගත්තේ මට ගතහැකිව තිබූ හොඳම තීරණයි.ඒ තීරණ මගේම වූ නිසා මා අදටත් ඒවා ගැන පසුතැවෙන්නේ නැහැ.මොකද අප අවට ඉන්න බොහෝ මිනිසුන් වරදක් දුටුවිට අවංකව එය පෙන්නා දෙන්නෙත් නැහැ.වැරදුනු විට බොහෝ අය පවසන්නේ ” මං හිතුවා ඕක ඔහොම වෙයි කියලා” හිතූ දෙය කීවානම් මොනතරම් වටිනවාද? කෙනෙකුට විපතක් අයහපතක් වේ යැයි හිතනවානම් එය කියන්න එවිට. ඒ මොහොතට ඔබ වරදකාරියක සේ පෙනුනත් ඔබේ යුතුකම ඔබ ඉටුකොට තිබෙනවා.
මීට දශක දෙකකටත් එපිට මම මගේ හොඳම යෙහෙලියක් ඇගේ විවාහ ආරාධනාව මා අත තබා කියූ කාරණා අසාසිට ඒ විවාහය සිදු නොකරන ලෙස පැවසුවා යැයි කීවොත් ඔබ විශ්වාස කරනවාද? මංගල්‍යයකට ආරාධනාවක් කරනකොට ඒ විවාහය කරන්න එපා යැයි කවුරුවත් කියන්නේ නැහැ.නමුත් මගේ ජීවිතයේ අත්දැකීම් තුලින් මා විඳිමින් සිටි දේවල් වලින් මම අනුමාන කළා. ඇය කියූ දේවල් වලින්ම ඒ විවාහය සාර්ථක නොවන බව මම හිතුවා.
ඒත් ඇයට එය නොකරසිටින්නට හැකියාවක් තිබුණේ නැහැ.එයට බලපෑවේ සමාජයට ඇති බිය “නෑයෝ හිනාවෙයි,මිනිස්සු කතන්දර හදයි,දැන් බෑ කිව්වොත් ලැජ්ජ වෙයි” නමුත් ඇයට ඒ විවාහයේ ඉන්නට පුලුවන් වූයේ වසර එකහමාරක් පමණයි. දැන් ඇයට ඒ නෑයන්ම සමාජයම හිනාවෙන්නේ “අරයගෙ කසාදෙ කැඩුණානෙ,අපි හිතුව ඕක වෙයි කියල,මහලොකු මගුලක් ගත්ත මදැයි” ඒ නිසා ඔබ තීන්දු තීරණ ගැනීමේදී සමාජය ගැන ඕනෑවට වඩා හිතන්නට නොයා ඉඳීම ඔබේම සැනසීමට සහනයට කවදාහරි හේතු වේවි.සමාජයට අවැඩක් හෝ සමාජයට හානියක් ඔබ නොකරනවා නම්.ඔබේ ජීවිතය ඔබට රිසිසේ ගෙවා දමන්න. මගේ ඒ යෙහෙළිය අදටත් මගේ හොඳම යෙහෙළියක්. ඇය වෙනුවෙන් මගේ යුතුකම මා ඉටු කළායැයි මටද ඇත්තේ සහනයක්.
මා මේ කතාව අස්සේ මේ දේවල් කියන්නේ ඔබට ජීවිතයේ මඟ හැරුණු ඇති තැන් තිබේනම් ඒවා ගැන දෙවරක් සිතන්නටයි.මේ කතාව කියවා මා කවුදැයි සොයාගෙන මට කතාකරපු කාන්තාවන් බොහොමයක් ඉන්නවා.ඔවුන්ටත් ජීවිතයේ ගැටලු තිබෙනවා ඒත් ඔවුන් ඒවාට මුණදෙන්න ධෛර්යය නැති තැන් වලදී මගේ කතාවෙන් ආදර්ශයක් අරගෙන තිබෙනවා.මට ඒත් හොඳටම ප්‍රමාණවත්.
“කසාද තුනක් බැඳපු අනියම් සම්බන්ධයක් තියාගෙන හිටපු ගෑනියෙක්ගෙන් මොන ආදර්ශද.මොකද එයා පත්තිනි අම්මද?”
ඔබ අතුරෙන් සමහර දෙනා එසේ සිතනවාත් ඇති. ඒත් මම ඒවාට ශෝක වන්නට හෝ කෝප ගන්නට අවැසි සීමාව පසු කරගොස් බොහෝ කලක් වෙනවා.වැරදුණු කෙනෙකුට උපදෙසක් දෙන්නට හැක්කේ ම වැරදුණු තැනින් නැගිටගත් කෙනෙකුට පමණයි.විවාහයක් තුළ සිදු වෙන කිසිම දෙයක් ගැන සහතිකයකින් දැනුම ගන්නට බැහැ. ඒ තුළ ජීවත් වී පදම් වුණු කෙනෙකුට ඇති අත්දැකීම් අවිවාහකයෙකුට කොයින්ද?ඒ හැරත් විවාහ දහයක් කරගත්තත් ඒවාත් එකින් එකට වෙනස් වෙන්නට පුලුවන්.හැමදේම එකම තැනින් එකම පුද්ගලයාගෙන් ම ලැබෙන වාසනාව හිමිවන්නේ ඉතාම වාසනාවන්ත කාන්තාවකටයි.ඒ තරම් වාසනාවන්ත කාන්තාවන් අති දුර්ලභයි.ඉතින් ඔබත් එසේ වාසනාවන්ත කාන්තාවක් නම් ඒ වාසනාව විඳගන්න හැබැයි ඔබ ඉන්න මිම්මෙන් අනෙක් අය මනින්නට යන්න එපා.මේ සමාජයේ වැඩිපුරම සිදුවන්නේ ඒකමයි.කාන්තාවකට වැඩිපුරම පහරගහන්නේ කාන්තාවන් මයි.
සුධාරකගේත් මගේත් බැඳීමට “අනියම්” කියන ලේබලය සමාජයෙන් ලැබෙන්න පුළුවන් ඒත් මගේ හෘද සාක්ෂියට එය එසේ නොවෙයි. හොර වැඩක් කියන්නේ හැංගී සිට කරන දෙයක්. සමාජයට නොබියව සමාජයක් ඉදිරියේ එකිනෙකා වෙනුවෙන් නැඟී සිටිමින් කැප වුණු ආදරයක් කළ අපි දෙන්නාගේ ඒ බැඳීම මට නම් මානුෂික බැඳීමක්. ඔහුගේ විවාහක බිරිඳ ලේබලය තිබෙන කාන්තාව අදටත් හැංගී සිටීමයි මට ඇති ගැටලුව.සමාජයේ බාෂාවෙන් “හොර ගෑණි හරි ගෑණි වී හරි ගැණි හොර ගෑණි සේ ඉන්නවා” මා මේ දැක්කාමයැයි කීවොත් ඒක තමයි සත්‍යයයඒ නිසා ම මට සුධාරකගේත් මගේත් සම්බන්ධය අනියම් සම්බන්ධයක් වූයේ නෑ.
ජීවිතය මෙසේ දෝලනය වෙමින් තියෙන අතරතුර සුධාරක රෝහලේ අසරණව ඉන්න කාලයත් දින සති මාස වෙමින් කෙමෙන් ගෙවී යමින් තිබුණා.කරන කරන කිසිම දෙයක් හරි නොයන විට කෙනෙක් හෙම්බත් වී එතැනින් එහා අත්හරින්න සිතනවා.හැමදේම දෛවයට බාරදෙනවා.ඒත් මම එසේ කළේ නැහැ.මට එසේ කරන්නට බැහැ.සුධාරක මගේ ප්‍රාණ සරි ආදරය,ඒ හැරත් ජීවිතයක් සුවපත් කරගන්නා සටන මට නවත්වන්නට බැහැ.
වලක වැටී සිටින ඇතෙකු ගොඩ ගන්නට තවත් ඇතෙකු එක පැත්තකින් ඇද්දාට වල් අලි තුන් හතරදෙනෙක් ඌ වලටම අදිනවිට ඇතෙකුගෙ ශක්තිය වුණත් වල් අලින්ට පරදිනවා. මටත් සුධාරකටත් ඒ දේ වෙමින් තිබුණා.මම කරන හැමදේම සාර්ථකත්වයට පත්වූවත් එහි අග්‍ර ඵලය ලබන තැනදී සියල්ල සුධාරක ගේ පවුලේ අය නිසා විනාශ වී ගියා.
මේ කාලය වනවිට සුධාරක ළඟට යන්නට කිසිවෙකුටත් බැහැ.ඔහු සිටිය රෝහල් කාමරය තුල සිටියේ ඔහු ලඟ සිටි ලමයින් නොවෙයි.ඒ තබා ඇඳේ පවුලේ අය විසින් බෝඩ් එකක් පවා එල්ලා තිබුණා.
“ළඟට එන්න එපා,ජායාරූප ගන්න එපා,කතාකරන්න එපා” ලෙස එහි ලියැවුණා
එයට ඔවුන් නිදහසට ගෙනාවේ කොවිඩ් වසංගතයයි.ඒත් ඔවුන්ගේ අරමුණ වූයේ වෙනත් දෙයක්.ඒ නිසා පසු කාලීනව සුධාරක බලන්නට කිසිවෙකුටත් යන්නට පුළුවන්කමක් තිබුනේ නැහැ.
“හාමුදුරුවන්ගේ තෙල් බෝතලය මට කලින් වගේ හොරෙන් ගාවන්න තිබුණා නේ?”.යැයි ඔබ අසා තිබුණා. ඒත් මේ කාලය වනවිට ඔහු ළඟ තබා තිබුණේ සුධාරකගේ පවුලේ අයට සහ දිල්හානිට කේලාම් කියන අය දෙදෙනෙක්.ඔවුන් අපේ කතාවේ අගක් මුලක් දන්නා අය නොවෙයි.ඒ නිසා ඒ තෙල් බෝතලය තබා මට දේශීය වෙදමහතුන් හා බොහෝ ස්වාමීන්වහන්සේලා ලබාදුන් තෙල් හෝ පිරිත් පැන් වැනි දේ පවා ඔහුට ලබාදෙන්නට හැකියාවක් තිබුණේ නැහැ.
මේ සිදුවීම් සිදුවන අතර මගේ උපන්දිනයෙන් පසු තවත් මාසයක් එකහමාරක් පමණ ගෙවී තිබුණා.දරුවෙකු සේ කවා පොවා මා රැකගත් මගේ ආදරය රෝහලක ඇඳක් මත මරණය සමග පොරබදන විට ඔහු නොදැක දවසක් හෝ ගෙවන්නේ කෙසේදැයි ඔබට සිතෙනවා ඇති.මම ඒ හැම තත්පරයකම පිච්චුණා.ඒ හැඟීම මේ යැයි මට විස්තර කරන්නට බැහැ.මම කුමක් හෝ ආත්මයක කරන්නට ඇති අකුසලයක් ගෙවමින් සිටියා. දිල්හානි හා සුධාරකගේ පවුලේ මිනිසුන් ඊට වඩා දහස්ගුණයක පවු කන්දරාවක් මේ ආත්මයේදීත් එක්රැස් කරමින් සිටියා.මට සුධාරක බලන්නට තිබුනු ලෝභකම ඉවසාගෙන ඉන්නට බැරිම තැන මම නැවතත් ඔහුගේ උසස්ම නිලධාරියාට කතා කළා.
“සර් මට සුධාරකව බලන්න ඕනෑ. මේ වනවිට මම ඔහුව අවසානයට දැකලා දවස් හතලිහකටත් වැඩියි”
ඔහු මට ඊට පසුව දා සුධාරක බලන්නට යන්නට අවසර දුන්නා.මම ඊට පසුදා ඔහු බලන්නට ගියේ අප්‍රමාණ සතුටකින්.
දවස් 199ක් පුරා ආදරයක මහත් වේදනාව මම ඔබ සමඟ බෙදා ගත්තා.ඔහු දකින්නට ගිය ඒ ගමන සහ දරා ගත නොහැකි කතාවක් පැමිණෙමින් තිබූ අන්දම මම හෙට ඔබට කියන්නම්