මගේ උසස් පෙළ සාමාර්ථය නිමිති කොට ගෙන එදා දහවල සඳනි මා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණි. ඒ ඇගේ නිවසේ දී ය. කහ පාට මල් දමා සැකසූ මල් කළඹක් දී මා සිප වැළඳ පිළිගත් ඇය, කහ පාට දැවටුම් කඩදාසියකින් එතූ තිළිණයක් ද මා අත තැබුවා ය. කහ පාටට මා කොයි තරම් කැමති දැයි ඇය තරම් දැන උන් කෙනෙකු වෙන නැත. පසු ගිය වසරේ උසස් පෙළට ලියූ ඇය ප්‍රතිඵල එන්නටත් පෙර පෞද්ගලික අංශයේ රැකියාවකට ගියේ වැඩි දුර අධ්‍යාපනය ගැන උනන්දුවක් නොතිබූ බැවිනි. මා වෙනුවෙන් මේ දිනයේ ඇය නිවාඩු ලබා ගෙන ද, සුඛෝපභෝගී බොජුන් හලකින් කෑම ඇනවුම් කොට ද තිබිණ. ඇය රැකියාවට යන්නට පටන් ගැනීමත් මා උසස් පෙළ විෂය නිර්දේශය අතරේ කාර්ය බහුල වීමත් නිසා පසුගිය වසරේ දී අපට පෙරදී තරම් සමීප ව ඇසුරු කරන්නට ඉඩ හසර වෙන් වී තිබුණේ නැත. නමුත් ඉරිදා දින වල ඉඩක් ලැබෙන පරිදි අපි හමු වී කතා බහ කළෙමු. ඇය වැටුප් ලැබූ දිනයක් ආසන්නයේ වී නම් සඳනි මා අත මුදලක් මිට මොලවන්නට ද පැකිළුණේ නැත.
බෝ කලකින් වැඩි වෙලාවක් උනුන් ඇසුරේ ගැවසෙන්නට ලැබීම නිසා අපට කතා කරන්නට ගොඩක් දේ තිබිණ. ඇය පෙම්වතියක වී සිටියා ය. නමුත් සිය ප්‍රථම ප්‍රේමය වන ලෝචන මදුරාපුර තවමත් ඇගේ හිතෙන් පහ ව ගොස් තිබුණේ නැත.
“කොච්චර වුණත් මේක ඉස්සර ලෝචනව දකිද්දි වගේ පපුව ගැහෙන එකක් නෙවෙයි නිබ්බු. මන්දන්නෑ ඇයි ලෝචන මට කැමති නොවුණෙ කියල. එයා කැමති වුණානං මං කොච්චර වාසනාවන්ත කෙල්ලෙක්ද…”
මගේ පපුව පත්ලේ සිර වූ යමක් තිබිණ. මතුපිටට ගෙන බලන්නට හෝ ඇයට පෙන්වන්නට ඕනෑ නැති යමක් තිබිණි. එතැන රිදෙනු ද මට දැනුණේ ය.
“ඒ කියන්නෙ…මේ අෆෙයා එක ඔයාට සතුටක් නෙවේද…”
මා අසා ගත්තේ ඉතා අසීරුවෙනි. වරදක් නොකර තිබුණේ වී ද මට වද දෙන වරදකාර හැඟීම මා අඩපණ කොට තිබිණ.
“මන්දා නිබ්බා. එයා හරි හොඳයි. මට හරි ආදරෙයි. ඒත් හැම වෙලේම මට මොකද්ද මන්දා අඩුවක් දැනෙනව. ඒ අඩුව පුරවන්න පුළුවන් ලෝචනට විතරයි කියන එක යටි හිත කියනව වගේ දැනෙනව. ඒ වෙලාවට මං මාර අසරණයි. සමහර විට ඉසුරුට මගෙන් වෙන්නෙ වැරැද්දක් වෙන්නැති. මෙහෙම ගිහිං දවසක මාව එයාට එපා වෙයි කියලත් මට හිතෙනව”
මම සඳනි ගේ අතක් තද කොට අල්ලා ගතිමි. සීතල ව මිදී ගොස් තිබුණේ ඇගේ නොව මගේ අත ය. මගේ ළමා වියේ මිතුරිය ගැන උහුලා ගත නො හැකි දුකක් පුංචි හදවත බර කරමින් පැවතිණ. එය වචන කොට ඇයට කියන්නට කවදා හෝ මට හැකි වේද කියා නො දනිමි. නමුත් තවමත් බැරි ය. අද නොව පසුගිය දෙවසර තිස්සේ ම ලෝචන ගැන මගේ යෙහෙළියට කිව යුතු වූ යමක් මගේ පපුවේ හිර වී තිබුණේ ය. අද කියනවා හෙට කියනවා කියමින් සිතුව ද මේ වන තුරු ම එය කියා ගත නො හැකි ව හිතේ ම ගුලි ගැහී පවතියි.
සාමාන්‍ය පෙළ විභාගය අවසාන වී ද සති අන්ත ඉංග්‍රීසි පන්තියට දිගට ම එන්නයි මධාරා අක්කා කීවා ය. ඉංග්‍රීසි ඉගෙන ගත යුත්තේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පමණක් නොවේ යයි ඇය උදක් ම කියා සිටියා ය. තව දුරටත් මදුරාපුර මැදුරට යන්නට හේතුවක් ඉතිරි වී තිබීම ගැන මගේ යටි හිත රහසිගත සතුටක් ලැබුවේ ය. ඒ සතුටේ කොනක ලෝචන මදුරාපුර සැඟවී සිටි බව මා තේරුම් ගත්තේ තවත් කල් ගත වත්දී ය.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමෙන් පසු තව දුරටත් ලෝචන මගේ ගුරුවරයා වූයේ නැත. එය මට කෙසේ වී ද ඔහු ට පහසුවක් වූවා කියා සිතමි. ඒ ගණිතය ඉගැන්නිල්ල නිමා වීමෙන් පසු ඔහු දකින වතාවන් වල මම දෙතොල් තද කර ලැජ්ජාශීලී සිනහවකින් ඉවත් ව යමි. ඒ බොහෝ අවස්ථා වල ඔහු ඇස් වලින් කතාවක් කීවා කියා සිතමි. මට කිසි සේත් ඒ වටහා ගන්නට උවමනා වූයේ නැත. නො එසේ නම් මම හිතා මතා ම එය තේරුම් නොගන්නා අදහසක සිටියෙමි. ලැජ්ජාවත්, ගෞරවයත්, හෘදයාංගම බවත් රැඳි සිනා මුසු බැල්මකින් මා ඔහු වෙතින් මිදී යත්දී ලෝචන ගේ ඇස් බැල්මෙහි මා කාන්දමක් සේ ඇලී උන් බව නම් මම මැනවින් වටහා ගෙන සිටියෙමි. සමහර වෙලාවක ඔහු යන්තම් මගේ කොණ්ඩයෙන් ඇද්දේ ය. “මට ණයක් ගෙවන්න තියනවා” කියා තරවටු බැල්මක් ඇතිව කීවේ ය. නමුත් ඒ හඬෙහි කිසිදු තරවටුවක් නොවූ බව මම මැනවින් දැන සිටියෙමි.
මේ වෙත්දී මම පිළිවෙලකට ඇඳුම් ඇන්දෙමි. මධාරා අක්කා ගේ ඇඳුම් නම් ඇය මහණ මැෂිමෙන් සකසා දුන්නා ය. සඳනි දුන් ඇඳුමක් වී ද අතේ මහණ ඉඳිකටු නූල් වලින් මගේ සිරුරේ තරමට සකසා ගන්නට මම පුරුදු වීමි. ඇඳුම් කියන්නේ හැම විට ම අපේ ආත්ම විශ්වාසය දියුණු කරන්නා වූ හේතුවකි. පිළිවෙලට හැඳි පැළඳි විට තමන් ගැන හිතේ ඇති වන ප්‍රබෝධවත් සතුට ටික ටික මම වටහා ගන්නට වීමි. හැඩට ගවුමක් හැඳ කරලට හෝ දෙකරලට කොණ්ඩය ගොතා එහි තාරුකා මලක් දෙකක් ගවසත්දී මා දැන් නව යෞවනියක ය යන හැඟීම මා තුළ දෝර ගලන්නට ගනී. දිය නා ගත් වන වරල උනා දමා ඉංග්‍රීසි පන්ති යන්නට ද මම ආශා වීමි. එතකොට මධාරා අක්කා මගේ කොණ්ඩය සිය භාරයට ගෙන සැරසිලි කරයි. කොණ්ඩා මෝස්තර දමයි. මගේ දිගු ඝණ කෙස් කළඹ වාසනාවක් සේ ඇය සැලකුවා ය.
ලෝචන අපේ මල්ලී ව දැන හැඳින ගත්තේ එක්තරා විශේෂ සිදුවීමක් නිසාවෙනි. එදා මා මධාරා අක්කා ට කළ සිහින පෙරණය දුටු වෙලේ මල්ලී “මේව හැදුවනං විකුණන්න තිබුණනෙ” කියා කීවේ ය. ඒ වෙලාවේ කලබලයට මට එය අමතක ව ගියත්, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු කිසිදු වැඩක් නැතිව කාලය ගෙවී යත්දී මට එය සිහි විය. සඳනි ගේ අත් වැඩ පෙට්ටියේ ඉතිරි වී තිබූ ගෙතුම් නූල් යොදා ගෙන මා තවත් එවැන්නක් සාදමින් සිටි වෙලාවක නීලිකා නැන්දා වැටුණු පොල් හොයමින් අපේ ගේ ළඟින් ගියා ය. මිදුලේ පැදුරක් එලා ගෙන වාඩි වී මා ගෙතුම් කරනා සිහින පෙරණය දුටු ඇයට ද එවැන්නක් ඕනෑ විය.
“නැන්දා බඩු ටික අරන් දෙන්නකො. මං හදල දෙන්නං”
මම පැවසීමි. ඒ අනුව දවසක් ඇය මා ද කැටිව සාප්පුවකට ගොස් සිහින පෙරණ කිහිපයකට සෑහෙන තරම් බඩු අරගෙන දුන්නා ය. රටක් රාජ්ජයක් ලැබුණා සේ සතුටින් මම විවිධ මෝස්තර දමා ඒවා හදන්නට පටන් ගතිමි. අසල්වාසී කාන්තාවෝ කිහිප දෙනෙක් ම ඒවා මුදලක් දී ඔවුන් ගේ ගෙවල් සරසන්නට ගත්හ. අම්මා අතට යම් මුදලක් දී, බස් නැවතුම ළඟ මුස්ලිම් ගෙදර පසෙකින් කර ගෙන ගිය තොරොම්බල් බඩු කඩයෙන් මම ආයේත් ගෙතුම් නූල් ටිකක් ගතිමි.
“ඒකනෙ මං කිව්වෙ මේව විකුණන්න පුළුවන් කියල”
මල්ලී උද්‍යෝගයෙන් මා අස දැවටෙමින් වැඩි වැඩියෙන් පිහාටු හොයා දුන්නේ ය. මුදල් ඉපයීම කෙරේ ඔහු ගේ වන සියුම් ඉව ගැන මා මුලින් ම අවබෝධ කර ගත්තේ එතකොට ය.
කුඩා කල පටන් මල් එක්ක බැඳුණු මොකක්දෝ නෑදෑ කමක් මගේ තිබිණ. අපේ මිදුලේ තාරකා මල් පිපුණේ රෑ අහසේ තාරකා පිපෙනා තරම් මනරම් ව ය. මා කුඩා කල වසන්ති පුංචි ගෙන් ඉල්ලා ගත් බේබි රෝස අත්තක් ද අපේ ගේ අයිනේ පැළ වී සැම කල් හි මල් බර ව තිබුණේ ය. මග තොට කාණු අයින් වල වැවෙනා වල් පැළෑටි හා කැලෑ මල් කෙරේ මගේ ප්‍රේමය ද දුරාතීතයට අයිති එකකි. ට්‍රයිඩැක්ස්, මොණරකුඩුම්බිය වැනි කුඩා මල් වර්ග ද, වැටවල් රෝස පාට කොට මලින් බර වන ඇන්ටිගනන් මල් වැල් ද පාරට ගියොත් කඩා ගෙන ඒම මගේ සිරිත ය. බේබි රෝස පඳුරේ මලක් දෙකක් සමග මේ කුඩා කැලෑ මල් හා මීවන කොළ කිහිපයක් එක් කොට බේබි රිබන් එකකින් බෝ එකක් ගැට ගසා කුඩා මල් කළඹක් සාදා එය පොත් ඇතුළේ දැමීම මම ආශාවෙන් කළෙමි. ඒ මල් කළඹ පොත් ඇතුළේ ම වියළී ගිහින් හා වර්ණය වෙනස් වී අමුතු චමත්කාරයක් ඉතිරි කරන්නේ ය. පන්තියේ ළමයින් ගේ උපන් දින වලට සුබ පැතුම් පත් හදත්දී බොහෝ විට මා පාවිච්චි කළේ මේ වියළි මල් ය. බ්‍රිස්ල් බෝඩ් එකක් ගෙන එයින් කැබලි කපා ඒ මල් අලවා සුබ පැතුම් පත් කිහිපයක් ද බුක් මාක් කිහිපයක් ද මා සැකසූවේ දවස ගෙවා ගනු වස් ය.
“මං මේ ටික විකුණන්නං”
කියා මල්ලී කීවේ ය. ඔහු ඒවා ද සිහින පෙරණ දෙකක් ද සිලි බෑග් එකක දමා ගෙන ගියේ කාට විකුණන්නද කියා මා දන්නේ නැත..මල්ලී ව ඒ විදිහට මුදල් හොයන්නට යැවීම ගැන දෙගිඩියාවක් මා තුළ නොවූවා ම නොවේ. අනිත් අතට ඒ තරම් ලොකු කම් කාට නම් පාන්න ද කියාත් මම සිතුවෙමි. ගමේ සිටිනා දිළිඳු ම පවුල අප ය. ඒ බව සැඟවිය නො හැක. මුළු ගම ම එය දනී. මේ විදිහට මුදලක් උපයා ගෙන අපට අවශ්‍ය පොත පත හෝ මිල දී ගත හැකි නම් එය අම්මා ට සහනයකි.
මල්ලී යළි ආවේ හිස් අතිනි. ඔහු සිනහ වෙවී යම් මුදලක් මවෙත පෑවේ ය.
“ඔක්කොම විකිණුවද…”
මම තරමක මවිතයකින් ඇස් ලොකු කොට ඇසුවෙමි. මල්ලී ජයග්‍රාහී ලෙස සිනහ වූයේ ය.
“ඒකනෙ මං කිව්වෙ. අපිට මේක දිගටම කරන්න පුළුවන්. ඔයා හදන්න මං විකුණන්නං. ඕන්නං අර මුස්ලිම් කඩේ කතා කර ගන්නත් පුළුවන් මේව තියන්න. එතකොට එතනට එන මිනිස්සු දැක්කහම ගනීනෙ”
මල්ලී ට ලොකු ව්‍යාපාර සැලැස්මක් තිබිණ.
“කවුරු කවුරුද ගත්තෙ මල්ලි…”
“ඔක්කොම එකපාර සල්ලි දීල ගත්තෙ එක්කෙනයි. මේ..මං කිව්වටත් වැඩිය ගෙව්වා. අම්ම වැඩ කරන ගෙදර ලෝචන අයිය ගත්තෙ”
මගේ අභ්‍යන්තරයේ මොකක්දෝ කැළඹුමක් සිදු විය. යටි පතුල් පවා සීතල වූයේ ය. මල්ලී විස්තර කළ පරිදි ඔහු පාර පැත්තට යන විට පිරිමි ළමයි කිහිප දෙනෙකු කතා කරමින් සිට ඇත. මේ වන විට මල්ලී අට වසරේ පමණ සිසුවෙකු බව මා ඔබට කිව යුතු ය. නමුත් ඔහු ගමේ සියලු වයස් ඛාණ්ඩ වල පිරිමි ළමුන් ඇසුරු කළේ ය. පිට්ටනි වල ක්‍රිකට් ගසන්නට ගියේ ය. මල්ලී දක්ෂ ලෙස ක්‍රීඩා කළ නිසා වයසින් වැඩි පිරිමි ළමයින් පවා ඔහු කැටිව යන්නට එනු මම දැක ඇත්තෙමි.
ඒ වෙලාවේ පාරේ උන් පිරිමි ළමයින් අතරේ ලෝචන සිටින්නට ඇත්තේ අහම්බයකින් කියා සිතමි. ඔහු කිසිදු බේධයකින් තොර ව ගමේ ළමයින් හා සිනහ වී කතා කළ ද වැඩිපුර මිතුරු නඩ ඇසුරු කළ කෙනෙකු නොවේ.
බෑග් එක දිගහැර පෙන්වමින් එතැන වූ පිරිමි ළමුන්ගෙන් “ගන්නවද” කියා අසත්දී ලෝචන ගේ ඇස් ඒ සිහින පෙරණ වෙත යොමු වී ඇත.
“කවුද මේව හදන්නෙ…”
කියා ඔහු විමසා තිබේ.
අක්ක කියා මල්ලී කියන්නට ඇත.
“ඕගොල්ලංගෙ ගෙදර වැඩට එන නන්දනී ඇන්ටි ඉන්නෙ…එයාගෙ දුව..”
අප ව දන්නා කෙනෙකු එසේ කියන්නට ඇත්තේ අවඥාවක් ලෙස නොව අප ගැන ලෝචන ට හඳුන්වා දිය හැකි පහසු ම ආකාරය එය නිසා විය යුතු ය. මල්ලී ළඟ තිබූ සිහින පෙරණ දෙක ද සුබ පැතුම් පත් හා බුක් මාක් කිහිපය ද ඔහු ගේ භාරයට ගෙන ලෝචන එවෙලේ ම මල්ලී නියම කළ මිලට ද වඩා ගෙවා තිබේ.
“තව ටිකක් හදමු හොඳේ සුදූ. මං පිහාටු ටිකක් හොයන්නංකො”
සිය ඉපයීමෙන් මල්ලී උද්දාමයට පත් ව සිටියේ ය.
පසු දා හැන්දෑවේ මා බංකුව මත හිඳ සබන් කැටයක් වටා කහ පාට පබලු ඇල්ලූ අල්පෙනෙති ගසා කහ පාට පේපර් රිබන් වලින් ගොතමින් මල් වට්ටියක් සකසමින් සිටිනාතරවාරයේ “රාහුල් ඉන්නවද…” යන හඬ ඇසිණ. ගෙතුම කරමින් ම මම හිස නගා බැලුවෙමි. අපේ ගේ අයිනෙන් යන පාළු ගුරු පාරේ සිට ගෙන සිටියේ ලෝචන ය. මට බංකුවෙන් නැගිටවිණ.
“මල්ලි නැහැනෙ අයියෙ. ඔය කොහෙට හරි ගිහිං ඇති”
මහ ගෙදර වත්ත තුන් පැත්තකින් මායිම් කෙරෙන්නේ කම්බි වැටකිනි. කෙටි තාප්පයක් ගසා ගේට්ටුවක් දමා ඇත්තේ ඉස්සරහා මායිමට විතර ය. කම්බි වැට අතරින් රිංගා අතුරු පාරට පනින්නට අප පුරුදු ව සිටියෙන් එතැන කම්බි වැට පහත් වී තිබිණ. ලෝචන එතැනින් රිංගා කෙලින් ම මවෙත ආවේ ය.
“නිබ්බුතාගෙ මල්ලිව මං කලින් දැනං හිටියෙ නෑ”
සබන් කැට ගෙතුම අතේ ඇතිව ම මම මඳ සිනහවක් පෑවෙමි.
“දැං ඉගෙන ගෙන ඉවර වෙලාද ඔය බිස්නස් කරන්න පටන් අරං තියෙන්නෙ…”
ඔහු තරමක් දැඩි බවකින් මා විමසූයේ මගේ අතේ වූ ගෙතුම වෙතට ද ඇස් යොමු කරමිනි. ඒ මුහුණේ එක සිනා පොදක් වූයේ නැත.
“බිස්..නස්…”
මම අකුරු එකතු කළෙමි. ඔහු ගේ මූණේ වූ නපුරු පාට මා තුළ ගැස්මක් ඇති කරවනා හේතුවක් වූයේ ය.
“ඕලෙවල්ස් කළාම ඇති වගේද…එතනිං එහාට ඉගෙන ගන්න ඕන නෑ වගේද…අඩු ගානෙ රිසල්ට්ස් අවුට් වෙනකල්වත් ඉන්න බැරිද…”
මම යටි තොල සපා ගෙන බිම ද ඔහු ගේ මූණ ද මාරුවෙන් මාරුවට බැලුවෙමි. ඒ අතරේ මගේ හිත උණුහුම් වී ගෙන ආවේ ය. ලෝචන ලා දන්නේ නැති විදිහේ ජීවිතයක් අපි ගත කරමු. ඔහු ඔය කතා කරන්නේ ඔවුන් ගේ ජීවන රාමුව තුළ සිට ය. ඉන් එපිට ද ලෝකයක් තිබේ. සිදුහත් කුමරු සිය රාජධානියෙන් පිටත හැබෑ ලෝකය දැක ගිහි ගෙය ගැන කළකිරුණේ ය. අපේ ජීවිත වලට එබී බැලුවොත් ලෝචන ලා ට ද සසර කලකිරෙනු ඇත.
“එක අතකට ඒකෙ තියන වැරැද්ද මොකද්ද අයියෙ…කාටවත් අත පාන්නැතුව අඩු ගානෙ අපිට පොතක් පතක් ගන්න හරි කීයක් හරි අපි හම්බ කරගන්න හදනවනං…මොකද්ද ඒකෙ තියෙන වරද…ඔයාලට වගේ ඕන හැම දේම ඒ ඕන වෙන වෙලාවටම අපේ අතට ලැබෙන්නෑ. සමහර වෙලාවට පොතක් ඉවර වෙලා සති ගාණක් ගියාමයි ඒ වෙනුවට පොතක් ගන්න පුළුවන් වෙන්නෙ. මං සබ්ජෙක්ට්ස් කීපයක් එක පොතේ ලියල තියනව. පෑනක් ගන්න සල්ලි නැතුව පැන්සල් කොටේකින් ලියල තියනව. ඔයාට මේව කියන්න මට ලැජ්ජ වෙන්න දෙයක් නෑ අයියෙ. සඳනියි මධාරා අක්කයි නිසයි මට අඳින්න ඇඳුමක් හරි ලැබුණෙ. ඕගොල්ලො හැමෝටම පින් සිද්ද වෙන්න මං ඕ ලෙවල්ස් වලට ලියා ගත්තා. හැබැයි ඒ ගමන තාමත් මට හීනයක් වගේ..ඉස්සරහටත් ඒ හීනෙ එළි වෙන්නෙ නෑ. තව තව අමාරු වෙයි. ඉතින් මං මගෙ අත් දෙකෙන් මොකක් හරි කරල ඒක ගන්න කැමති කෙනෙක්ට විකුණල කීයක් හරි හොයා ගන්න එක ලැජ්ජ වෙන්න කාරණයක්ද…ලොකු බිස්නස් කරන අය ලොකුවට කරන්නෙත් ඒකම නෙවේද…ඕලෙවල් කරල ඒ ලෙවල් ක්ලාස් එක පටන් ගන්නකල් කම්පියුටර් ක්ලාස් යන්න පුළුවන් විදිහෙ මිනිස්සු නෙවේ අයියෙ අපි…”
නො හඬා කතා කරන්නට මම හැකි තාක් මහන්සි වූයෙමි. නමුත් අන්තිම හරියේ දී හඬ බිඳී ගියේ ය. මල්ලී පරෙවි පිහාටු ටිකක් හොයා ගෙන දිව ආවේ එතකොට ම ය.
“ආ රාහුල්. මං මේ ඔයාව බලන්න කියල ආවෙ”
කියමින් ලෝචන වහා මල්ලී වෙතට හැරුණේ ය. නමුත් මල්ලී මදෙස බලා සිටියේ ප්‍රශ්නයක් තැවරී ගත් දෑසිනි. ඇතැම් විට මා ආවේගයෙන් කළ කතාවේ අවසන් පේළි කිහිපය ඔහු ගේ සවන් වැකෙන්නට ඇත.
“යංකො”
ලෝචන කම්බි වැටෙන් රිංගා පාරට ගිය පසු මල්ලී ද එසේ කළේ ය. ලෝචන මල්ලි ගේ කරට අතක් දමා ගෙන අපේ ගේ පසු කොට ප්‍රධාන පාර දෙසට යන හැටි මම සංකාව පිරි හිතක් දරා ගෙන බලා සිටියෙමි.