නිබ්බුත ගීත -13

අපි කඳුළු වල රසය නාඳුනන මිනිස්සු නොවෙමු. බොහෝ වෙලාවට අප හැඬුවා නොව අපට ඉබේට ම හැඬුණා කිව හැක. අප අවට එපමණට ම සිදු වූයේ හද පාරන හා අප අසරණ කරවනා දේ ය. ටික ටික ලොකු වෙත්දී ඒ වාගේ කාරණා වලට හැඬුවා කියා පලක් නැති බව අපි වටහා ගතිමු. කවුරුන්වත් අපේ කඳුළු පිහින්නට එන්නේ නැත. කවුරුන්වත් අපට අනුකම්පා කරන්නට එන්නේ නැත. දයා සිතින් ‘හඬන්නට එපා’ කියන්නට එන්නේ නැත. එතකොට ඇඬෙන්නට ආවත් නාඬා දරා ගත යුතු බව පසක් විය. මොන දේ සිදු වී ද අප වැනි මිනිසුන් ගස් ගල් සේ දරා ඉන්නේ එබැවිනි.

නමුත් ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන හෝ හඬන්නට සිත් වන කාරණා ද උදා වෙයි. අම්මා ගේ බොර පාට දුක් විඳි ඇස් වල අවන්ත හා විවාහ වන්න ය යනුවෙන් වූ ඉල්ලා සිටීම දුටු විට මට සිතුණේ ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන හෝ හඬන්නට ය. 

“අනේ අම්මෙ…ඉගෙන ගැනිල්ල මෙතනින් නතර කරල මං අර වසන්ති පුංචි කියනව වගේ රස්සාවක් හොයා ගන්නං. නෑ මට මෙඩිකල් ෆැකල්ටි යන්න ඕනම නෑ. එහෙම රස්සාවක් කරල අපි පොඩි කුලී කාමරයක් අරගෙන මෙතනිං පිට වෙලා යමු අම්මෙ. මට ඔය අවන්ත අයියව බඳින්න කියලනං කියන්න එපා. ඊට වඩා හොඳයි අම්මෙ මං අර වත්ත පහල තියන පාළු ළිඳට පැනල මැරෙනව”

ඒ ජීවිතයේ ප්‍රථම වතාවට මා වෙනුවෙන් මා කතා කළ අවස්ථාවයි. නැගී සිටි අවස්ථාවයි. පෙනී සිටි අවස්ථාවයි. සිද්ධ වෙන ඕනෑ ම දෙයක් දෙස ඔහේ බලා සිටිනවා වෙනුවට මට ඕනෑ ලෙස මගේ ඉරණම ලියා ගත යුතු බවට හැඟීමක් මුලින් ම මට දැනුණ  අවස්ථාවයි.

අම්මා අවතාරයක් දුටු කලෙක මෙන් ඇස් ලොකු කර ගෙන මදෙස බලා ඉන්නට වූවා ය. 

“ඇයි සුදූ…මොකද්ද ඒකෙ තියෙන වැරැද්ද…නෑ කමට ගත්තොත් ඇවැස්ස නෑනයි මස්සිනයි. අපි මෙහෙම දර මඩුව හරි අල්ලගෙන හිටියට දවසක් මං කතිකාචාර්ය නෝනගෙන් විස්තරේ දැන ගත්ත. කසාද උරුමෙට මහ ගෙදර ඉඩමෙන් බාගයක්ම අයිති වෙන්නෙ අපේ කුඩම්මටලු. ඉතුරු බාගෙ තමයි වසන්තියි සුනිමලුයි මායි අතරෙ බෙදෙන්නෙ. පස්සෙ කුඩම්ම එයාගෙ කොටහ දෙකට බෙදල එයාගෙ ළමයි දෙන්නට දෙයිලු. එතකොට අපිට ලැබෙන්නෙ මොන සොච්චමද බං. මේං මේ දර මඩු කෑල්ල තියන ටික විතරක් වෙයි. උං මේව බෙදල මායිං වෙන් කළොත් අපිට මිදුලෙවත් ඇවිදින්න නැතුව මේ හුණ්ඩුව ඇතුලට වෙලා ඉන්නයි වෙන්නෙ. සුදූ අවන්තව බැන්දොත් දෙයියනේ කියල ඒකිට අත පය දිගෑරල හුස්මක් අරං ඉන්නැහැකි. අපි මේ විඳින දුක් ඉස්සරහටවත් විඳින්නැතුව සුදූ දොස්තර විභාගෙට ඉගෙන ගනී එතකොට”

මල්ලී උස් හඬින් හිනැහෙන්නට ගත්තේ මා තිගැස්සවා ගෙන ය. ඒ සිනහව බෙහෙවින් කෘතීම එකකි. ඔහු ටික වෙලාවක් නතර නොකර ම, යළි යළිත් අලුත් කරමින් ඒ සිනහව පවත්වාගෙන ගියේ ය. 

“මොකෙක් වැහිලද මූට…”

අම්මා නො රිස්සුම පෑවා ය. 

“අර සිදුහත් කුමාරය බලන්න ආපු අසිත තවුස මුලින් හිනා වෙලා ඊළඟට ඇඬුවා වගේ.. මටත් හේතු කීපෙකට අම්මෙ හිනා ගියේ. එක. දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්නං ඊට පස්සෙ සුදූට මේව ගෙවල් ද අම්මෙ…ඉඩංද…මාසෙට ලක්ෂ ගාණිං පඩි. සුදූ එතකොට කලම්බු සෙවන් වලින්හරි ගෙයක් ගනී. අනිත් එක උන් හදන්නෙ මේ අපිට උදව් කරන්න නෙවෙයි සුදූගෙන් බබලන්න. අනික අපිට මෙච්චර කල් නැති උදව් මේ අන්තිම ටිකට…දොස්තර විභාගෙ කරන ටිකට විතරක් මොකටද අම්මෙ…ඊට පස්සෙ උන් ලකුණු දා ගනී අපිව මේ තත්වෙට අරං ආවෙ උන් තමයි කියල. බඩගින්නෙ බඩ පොත්ත පිට පොත්තට ඇලිල ඉස්කෝලෙ ගිය එවුං අපි. ඉස්සර සුදූ ඉස්කෝලෙන් දෙන බනිසයි කිරි පැකට් එකයි ගේනකල් මං බස් හෝල්ට් එකේ බලං ඉන්නව…ස්කූල් බස් එක ඈතට දකින එක තරං සතුටක් මට ඒ කාලෙ වෙන නෑ. ඒ කාලෙ නැති නෑයො නොනෑයො අම්මෙ. හරි නීතියෙං අපිට අයිති වෙන්නෙ එක බිං අඟලයිද ඒක උං අපිට දෙන්න ඕන. නොදුන්නොත් මරාගෙනයි මැරෙන්නෙ මං. නෑ සුදූ අවන්තව බඳින්නෙ නෑ. අම්ම ඒක කියන්න. ඊට පස්සෙ ඒගොල්ලන්ට මොනා හරි ප්‍රශ්න තියනවනං අපිත් එක්ක විසඳගන්න කියන්න”

මල්ලී බෙලෙක් පිඟාන සෝදා කළගෙඩියෙන් එයට ම වතුර නවා ගෙන බීවේ ය. අසරණ ව හිඳින අම්මා දෙස මම අනුකම්පා ඇස් දෙකකින් බලා සිටින්නට වීමි. 

“අනේ මන්දා බං. මං නූගත් ගෑනි..උඹල ඉගෙන ගත්ත ළමයි. මට වැඩිය උඹලට තේරෙනව. සුදූ අවන්තට කැමති නැත්තං මට බැරි කමක් නෑ ගෙහුං ඒක කියල එන්න. ඒත් ඊට පස්සෙ මොන සන්තෑසියක් වෙයිද කවුද දන්නෙ…උඹලගෙ ඉගෙනගැනිල්ල ඉවර වෙනකල් ඉහට වහළක් වෙන්න අපිට දර මඩුවක්වත් නැතුව ගියොත්…එදා ඉඳං අද වෙනකල් මේ හැටි දුක් විඳගෙන මං කරපු කැප කිරීම් ගඟට කපපු ඉණි වගේ අපතේ යයි දරුවනේ…”

“අම්ම…”

මම අම්මා ට ලං ව ඇගේ උරහිසට හිස බර කළෙමි. ඇය වූ කලී දරුවන් වෙනුවෙන් සිය ස්ත්‍රීත්වය පරදුවට තැබූ ගැහැනියකි. ඇගේ පපුවේ හැම මොහොතක ම පත්තු වුණ ගින්දර ගැන මල්ලී ට වඩා හොඳින් මම දනිමි. ඒ මා ද ගැහැනියක බැවිනි.

“අම්ම බය නැතුව ඉන්න. මෙච්චර කාලයක් වුණා වගේ…මේකටත් අපි තුන් දෙනාම එකට මූණ දෙමු”

ඒ ‘තුන් දෙනා’ කියත්දී මහිත තරමක් පසුබෑ බවක් දැනිණ. ලෝචන මගේ ඇස් ඉදිරියේ ඇඳී මැකී ගියේ ය.

“අම්ම බය නැතුව ගිහිං කියන්න ඒ යෝජනාවට සුදූ කැමති නෑ කියල”

මල්ලී වීරයා සේ එසේ කීව ද එය ඒ තරම් සරල ලෙස අතැර දැමෙනු නැති බව මම දැන සිටියෙමි. නමුත් අවසානය කුමක් වන්නට වුව දෙයක් ඇරඹිය යුතු ය. කෙසේ වෙතත් අම්මා නීලිකා නැන්දා ට එය දැනුම් දී තිබෙන්නේ සැර හොඳට ම බාල කොට ය. දැන් ම විවාහයක් ගැන මගේ අදහසක් නැතැයි ඇය කියා තිබේ. තමන්ට ද විවාහයක හදිසියක් නැති බව ද යෝජනාව ස්ථිර කොට තැබීමක් පමණක් අවැසි බව ද නැන්දා කියා ඇත.

“සුදූ කියනව අවන්ත ගැන අයිය කෙනෙක් විදිහට මිසක් වෙන විදිහකට හිතන්න බෑ කියල”

අවසාන වශයෙන් අම්මා කියා ඇත්තේ එසේ ය. ඒ වෙලාවේ නීලිකා නැන්දා ගේ මූණ නරක් වූ බව අම්මා මා හා කීවා ය.

“තරහ කාරයො ඇති කර ගන්න ඕන නෑනෙ සුදූ. මෙච්චර කල් මේ දර මඩුවෙ ගාල් වෙලා හිටිය එකේ…උඹල දෙන්නගෙ ඉගෙනීමේ වැඩ ඉවරයක් වෙනකල් මට මේ හෙවන තිබුණොත් ඇති”

අම්මා හිතන්නේ අප හිතනවාට වඩා කෙතරම් සියුම තැනක සිට ද කියා මට වැටහුණේ ඒ වෙලාවේ ය. ඇය පත් ව සිටියේ රැවුල ද කැඳද යන දෙක ම බේරා ගත යුතු තත්වයකට ය. 

මේ දින වල මධාරා අක්කා සිය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් සූදානම් වූවා ය. මා සිහිනයෙන් හෝ නො සිතූ ලෙස ඈ සිය දෙවන මනාලිය වශයෙන් තෝරා ගෙන සිටියේ මාව ය. මගේ සාරි හැට්ට මැසීමට මිමි දෙන්නට යන ලෙස ඇය මට කතා කළ වෙලාවේ ලෝචන පොඩි ළමයෙක් වාගේ මෝඩ කතාවක් කීවේ ය.

“මට බෙස්ට්මන්ට ඉන්න ඕන”

මධාරා අක්කා අත් දෙක සිය ඉණෙහි ගසා ගෙන ඔහු දෙස ඇස් පිය නො සලා බලා සිටින්නට වූවා ය. මම දෙතොල් තද කර ගෙන සිනහව යටපත් කර ගතිමි.

“ඒ ගමන මූ මොකාටද එන්න හදන්නෙ…”

“ඉතින් මෙයාට පුළුවන්නං බ්‍රයිඩ්ස්මේඩ් ට ඉන්න…මට බැරි මොකෝ…”

“පුළුවං ඕනනං තව බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක්ටම ඉන්නනං”

මගේ සිනහව පුපුරා ගියේ ඒ වෙලාවේ ය. ලෝචන මගේ කොණ්ඩයෙන් ඇද්දේ ය.

“නිකං ඉන්නව ඒ ළමයට රිද්දන්නැතුව. ඈ මෝඩයො…අක්කගෙ වෙඩින් එකේ මල්ලිව බෙස්ට්මන්ට ගන්නෙ මොන රටේද…ඔයාට පුළුවන් වෙන්නෙ නිශාන්ගෙ කකුල් හෝදන්න විතරයි. එයා පුළුවන් තරං තුනීවට මුද්දක් හදෝනව කිව්ව වතුර බේසමට දාන්න”

මැහුම් වලට මිමි දීමෙන් අනතුරුව ගෙදර මෝටර් රථයෙන් මධාරා අක්කා ගේ අවශ්‍යතා කිහිපයක් වෙනුවෙන් සාප්පු සවාරියේ යාම ද සිදු විය. රිය පැදවූයේ ලෝචන ය. සාප්පු ගානේ ඇවිදීම ගැන කන් කෙඳිරි ගෑව ද ඔහු සිටියේ නො කැමැත්තකින් කියා මම නො සිතමි. මහ ගෙදරින් පැමිණි යෝජනාවට මා අකමැත්ත ප්‍රකාශ කළ බව ඔහු මල්ලී ගෙන් දැන ගෙන තිබිණ. රිය පදවන ගමන් මේ කතාව ඇද ගත්තේ ද ඔහු ම ය.

“පුදුම මිනිස්සු නේ. ඔහොම තමයි. මැණිකක් කපල ඔප දාල ගත්තහම ඒකට අයිතිවාසිකං කියන්න මිනිස්සු ඕන තරං ඉන්නව. හැබැයි මෙච්චර කල් කණාල වගේ හිටියෙ”

පොළොවට පෑගෙමින් සිටි මට මගේ වටිනාකම පෙන්වා දී යා යුතු මග පෙහෙළි කළේ මධාරා අක්කා ය. මා මැණිකක් වන්නට නියමිත නම්, එය සොයා ගෙන කපා කොටා ඔප මට්ටම් කළේ ද ඇය ය. ඒ ගෞරවයට ඇය මිස මෙලොව වෙන කිසිදු ප්‍රාණියකු පාත්‍ර නොවන බව මම දනිමි. 

“අනිත් එක අවන්ත කියන්නෙ මොකෙද්ද අනේ…මහ ෆ්ලර්ටිව් මිනිහෙක්. මට වඩා බාල වුණත් ඒකා මාව පාරෙදි එහෙම දැක්කොත් ජරා හිනාවකින් මොකක් හරිම කියනව..මේ අහිංසක කෙල්ලව ඒ වගේ එකෙක්ට දෙන්න හිතන්නවත් පුළුවන්ද…මං කියන්නංකො නන්දනී අම්මට තේරුං කරල”

“හැබැයි මෙයානං අකමැතිමත් නෑ”

ලෝචන එසේ කීවේ රියෙහි පසුපස අසුනේ උන් මදෙස ඉදිරි කැඩපතින් බලමිනි. මම නෝක්කාඩු බැල්මකින් ඉවත බැලුවෙමි. මධාරා අක්කා ආදර බර සිනහවකින් මදෙස හැරී බැලුවා ය.

“නිබ්බුතාව මං දන්නෙ චූටි කෙල්ල කාලෙ ඉඳන්නෙ. හැබැයි මං නිබ්බුතාට ආදරේ කරන්න ගත්තෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා අපේ ඉස්කෝලෙටම යන්න ගත්තට පස්සෙ..ඇත්තටම මං ආදරේ කළේ ඔයාගෙ ඇස් වල තිබිච්ච ධෛර්යයට. මේ අන්තිම මොහොතෙ ඒක දිය කර ගන්න එපා කෙල්ල. කවුරු නැතත් ඔයා වෙනුවෙන් ඔයා සටන් කරන්න. ඔයාගෙ ජීවිතේ ඔයාට ඕන විදිහටයි ප්ලෑන් වෙන්න ඕන. ඒ ප්ලෑන් එක වෙන කාටවත් අඳින්න දෙන්න එපා. ඔයාගෙ ජීවිතේ ගැන අයිතියයි වගකීමයි දෙකම ඔයාගෙ අතේ ම තියා ගන්න”

මධාරා අක්කා ගේ ඒ වචන, සුරංගනා ලෝකයක සිට සුරංගනාවක කනට කොඳුරා කියූ රහසක් සේ මගේ හදවත තදින් බදා වැළඳ ගත්තේ ය.

 අප යළි මදුරාපුර මැදුරට එන විට අඳුර වැටී එමින් තිබිණ. අම්මා ගෙදර ගොස් තිබුණෙන් මධාරා අක්කා හා ලෝචන මා ගෙදර ඇරලනු වස් මගේ තනි නොතනියට පැමිණියහ. ඔවුන් එක්ක ඒ තරම් සුහද බැඳීමකින් එහි සිට පයින් ම ඇවිද එත්දී, අපේ ගෙදර සිට මදුරාපුර මැදුරට ඇති දුර ගැන කුළෑටි හැඟීමක් මා තුළ වූයේ ම නැත. අප පැමිණියේ මහ ගෙදර ගේට්ටුවෙන් නොව ගුරු පාර දිග විත් කම්බි වැටෙන් රිංගන්නට බලාගෙන ය. අපේ ගෙදරට ලං වන විට උස් හඬින් කෙරෙනා කතා බහක් ඇසෙන්නට විය. නීලිකා නැන්දාත් අවන්තත් ලෑලි බංකුවේ හිඳ සිටිනු ද අම්මා දොරකඩ බිම හිඳ සිටිනු ද  දැකිය හැකි විය. ලෝචන මඳක් හැරී මගේ මුහුණ දෙස බැලුවේ ය. ඒ අඩ අඳුරේ වුව ඔහු ගේ ඇස් වල වූ අඩමාන බැල්ම මට හැඳින ගන්නට බැරි වූයේ නැත.

“මොකද්ද දන්නෑ සද්දෙටම කියන්නෙ…”

ඔහු ඉතා හෙමිහිට කීව මධාරා අක්කාට වුව නෑසෙන්නට ඇතැයි නො සිතමි.

“හරි ලස්සනයිනෙ ගෑනු ළමයි ගෙදර එන වෙලාව. ඔහොම රස්තියාදු ගහන්න අරන්නං හරි යන්නෙ නෑ නිබ්බුතා. ඒ ලෙවල් කළා විතරයි ඒ ගමන ඔයා තනියම තීරණ ගන්නත් අරන්ද…”

මා දුටු වන නීලිකා නැන්දා කියවා ගෙන ගියේ නො රිස්සුම් බවකින් දමා ගසමිනි. මධාරා අක්කා හා ලෝචන එතැන සිටි නිසාවෙන් මා බිය වූයේ ඔවුන් ගේ සිත් රිදෙනු ඇත කියා ය.

“නන්දනී අම්ම ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද…මං නන්දනී අම්මට කියලනෙ නිබ්බුතාව එක්කගෙන ගියේ…”

මධාරා අක්කා කම්බි වැටෙන් රිංගූ ගමන් කෙලින් ම අම්මා ගෙන් ප්‍රශ්න කළා ය. ඇය නීලිකා නැන්දා ගේ වචන වලින් නො රිස්සුමට පත්ව ඇති බව මට වහා හැඳින ගත හැකි විය. අම්මා  නැගිට මධාරා අක්කාට එකත්පස් වූවා ය.

“අනේ නෑ ලොකු බබා…එහෙම කිසිම ප්‍රස්නයක් නෑ. අනික පිට කෙනෙක් එක්කයැ කෙල්ල ගියේ බබාල එක්කනෙ. මං මැරිල ඉපදුණේ නෑ බබා. මේ කෙල්ල අද තැනකට ඇවිත් ඉන්නවනං ඒ බබාල නිසා. එහෙම එකේ…බබාල එක්ක කෙල්ල කීයට ගෙදර ආවත් මට බයක් නෑ”

අම්මා ගේ ඇස් වලට කඳුළක් උනා දිළිසෙන බව මට ඒ අඳුරේත් හැඳිනිය හැකි විය. 

“නැන්දා මාර කතාවක්නෙ කියන්නෙ. එහෙම කීයට ආවත් කමක් නෑ කියල හරියනවද…කෙල්ලෙක්නෙ කොල්ලෙක් නෙවේනෙ”

අවන්ත අයියා කට දැම්මේ මගේ කේන්ති අවුස්සාගෙන වී ද ලෝචන ගැන හිතා මම ඉවසුවෙමි.

“අක්කල එහෙනං යන්න. අක්කගෙ ගමන් වලට ඕන වෙලාවක කතා කරන්න. මං එන්නං”

මා මධාරා අක්කා ගේ අතින් අල්ලා ගෙන එසේ කීවේ ඔවුන් මෙතැනින් නික්ම යා යුතු බව නො කියා කියමිනි. ලෝචන ගිනි පිට වෙන දෑසකින් අවන්ත දෙස බලනු ද අවන්ත ගේ ඇස් වරින් වර ලෝචන වෙත  යොමු වෙනු ද පෙනුණෙන් ඔවුන් දැන් නික්ම යාම මට අවශ්‍ය ම වූයේ ය. 

“මේ ටිකේම මගෙ වැඩ වලට මං නිබ්බුව ගෙන්නගන්නව නන්දනී අම්මා. අපි යනව නිබ්බුතා. කෝ රාහුල් නැද්ද…”

“කොල්ල කඩේට ගිහිං එන්න ගියා බබා. මගදි හම්බ වෙයි මගෙ හිතේ”

ඔවුන් දෙදෙන නො පෙනී යන තුරු ම මම ගුරු පාර දෙස බලා සිටියෙමි. අනතුරුව ගෙතුලට යන්නට හැරෙත්දී නීලිකා නැන්දා “නිබ්බුතා” යනුවෙන් තදින් ආමන්ත්‍රණය කළා ය. නතර වීම මගේ රුචිකත්වය හෝ තෝරා ගැනීම නොවුණත් මට නැවතෙන්නට සිදු විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles