සංඝයා වහන්සේ දන් වලඳා අවසන මතක පැන් වත්කර සුධාරකට පින් අනුමෝදන් කරන වෙලාවේ ඒ පැන් බඳුන පුරවන්නට තරම් මගේ නෙතින් ගැලූ කඳුලු සෑහෙන්නට ඇති. මා දොහොත්මුදුන් දී වැඳගෙන පැතුවේ එකම දෙයයි.
“මගේ රත්තරන් මහත්තයා.උප නූපන් ජාතිවත් මේ ආත්මයේ ඔයාට හමුවූ අසත්පුරුෂයන්ගේ හෙවනැල්ල වත් ඔයාට වැටෙන්න එපා.දරුදුක දරු සෙනෙහස අඳුනන වාසනාවන්ත මවු කුසක ඉපදිලා මටම ලැබෙන්න ඕන ඔයා”
කුඩා දියණිය පැන් කෙන්ඩියට අත ගසාගෙන මාවෙත හැරී බලමින් ඇගේ කුඩා අතින් මගේ දෙකොපුල් දිගේ රූරා හැලෙන කඳුලු පිසදැමුවේ ඒ කුඩා දෙනෙත් ද කඳුලින් පුරවගෙනයි.
සංඝයාවහන්සේ දන් හමාරකොට නැවත වැඩියාට පසු පැමිණ සිටි අමුත්තන් ට දිවා ආහාරය ගන්නට ආරාධනා කළ මා ඔවුන්ට රිසිසේ කැමති තරම් ආහාර ගන්නැයි ඉල්ලීමක් කළා. මම හිතන්නේ සහභාගී වුණේ කොතැනින්ද කාගේ පාර්ශවයෙන්ද නොතකා සියල්ලෝම හරි හරියට රංචු ගැසී කතාබහේ නිරතවෙමින් ඉතා සතුටින් දානයට සහභාගී වනු දැකීමම මට ගෙනාවේ නොසෑහෙන ප්‍රීතියක්.සුධාරක සිටියානම් ඔහුට දකින්නට අවශ්‍යත් මෙයමයි.තැන තැන රංචු රංචු මැද කෙරෙන කතාබහ ගැන මට කිසි සැකයක් බයක් තිබුණේ නැහැ.ඔවුන් හැමෝම අප ගැන හොඳින් දන්නා අයයි. හැමෝටම කියන්නට ඇත්තේත් එකම කතාවක්.එපමණක් නොවෙයි ඒ හැමෝම දන්න සත්‍ය කතාවම තමයි මම මේ ඔබට පවසමින් ඉන්නේ.මේ කතාවේ චරිත කළ කී දේ ස්ථාන වගේම කියූ දෙබස් පවා ගලකෙටුවා සේ මගේ ආත්මයේ ලියැවී තිබෙනවා. ඒ නිසා තව ආත්ම භවයක ඔබ මට මුණගැසුනත් මේ කතාව දශමයක් නොවැරදීම මා මෙලෙසම ඔබට පවසාවි. පුනුරුප්පත්තියකදී පවා මට පවසන්නට ඇත්තේ එකම කතාවක්.මම මතු භවයකදීත් මේ කතාව ගැන මෙලෙසම පවසාවි.දැන් ඒක ආත්මීය බැඳීමක් වී අවසන්.
ආහාර ගෙන අවසන්ව එකා දෙන්නා පිටවන්නට ලැහැස්ති වන විට මා දානය සඳහා නොයෙක් දෙනා නිවසට ගෙනැවිත් තිබුණු සහ එවා තිබුණු සීනි තේකොළ බිස්කට් කෙසෙල් පලතුරු කිරිහට්ටි වැනි දෑ සියල්ල එකක්හෝ නිවසේ තබා නොගෙන සියල්ලන්ටම බෙදා දුන්නා. කාමරයක් පිරෙන්නට ලැබී තිබුණු දේවල් ඉතිරිකරගන්නට තණ්හාවක් මට තිබුණේ නැහැ.දානය නම් දානයක් වියයුතුයි.දානයක් දී කුසල් වෙනුවට කෙලෙස් එකතුකරගන්නවා නම් ඒ දානයෙන් පලක් ඇතැයි මා සිතන්නේ නැහැ.එහෙම පලක් නැති දාන වලට මා ගිහින් තිබෙනවා.
අනන්ත දාන මාන වලට මා සහභාගී වී ඇතත් මගේ ධනයෙන් මම ම සංවිධානය කරගෙන දෙන්නට යෙදුණු ජීවිතයේ පළමුවන දානය මෙයයි.එයත් මට දෙන්නට සිදු වූයේ මගේ සුධාරක වෙනුවෙන් වීම හරිම දෛවෝපගතයි.ඉතින් මා දානය දෙන්නට පලමුව නිවසේ තිබුණු දේ හැරෙන්නට අනෙක් සියලුම දේ පැමිණ සිටි අයට සහ අසල්වාසීන් ට බෙදා දුන්නා.ඔවුන් සියලු දෙනාම සුධාරකට මහත් සේ පින් දී ඉතාම සතුටින් පිටවී ගියා.
නැවතත් මේ නිවසේ ඉතිරිවූයේ මමත් දියණියත් පමණයි. මහඟු පින්කමක් කරගන්නට ලැබුණා යැයි මා සිටියේ අපමණ සතුටකින්.එසේම මම කනකර සියල්ල ගලවා තබා ඔහු වෙනුවෙන් සුදු වත දරා හිඳිමියි අධිෂ්ඨානයෙන් මගේ ආයතන ප්‍රධානීන්ද අමතා හැකිනම් මා ඉදිරි තුන්මසට හෝ විශේෂ කිසිවකට යොමු නොකරන ලෙස ඉල්ලා සිටියා.මොකද රාජකාරියට හෝ පාට වස්ත්‍රයක් හැඳ නැවත සුදු ඇඳ සිටීම ප්‍රතිපත්තිය කැඩීමක් වන නිසා.ප්‍රතිපත්ති තිබෙන්නේ ලෝකයට පේන්නට කරන්නට නොවේ.ඒවා තමා හිතට එකඟව කල යුතු දේවල් වෙනවා.
මම මේ සියල්ල කරන අතරේ සුධාරක වෙනුවෙන් ඔහුගේ රෙජිමේන්තුව විසින් දිල්හානිගේ ගෙදර බණ කියා හීල් දානයක් දී තිබුණා.කොහොම වුණත් සුධාරකගේ වැඩි අයිතියක් තිබුණේ ඔහුගේ ආයතනයට බව මම හිතනවා.ඔහුට ඔවුන් ආදරය කලා සේම ගරු කළා.එනිසා පවූලේ මිනිසුන් අතින් විය යුතු දේ රෙජිමේන්තුව විසින් ඉටුකර තිබුණා ඒ යුතුකම් සඳහා වෙහෙසෙනවා වෙනුවට පවුලේ අයත් දිල්හානිත් කර තිබුණේ මම මොකද කරන්නේ,මම කී නමක් ද වඩමවන්නේ සහ පිරිකර ගොඩක් තිබුණද වගේ දේ සෙවීමයි.නමුත් ඒ ගැන හිතන්නට වත් මට කාලයක් තිබුණේ නැහැ.මා මේ දේවල් දැනගත්තේ ද දානය අවසන් වී දින කිහිපයකට පසුවයි. ඒත් මට දැන් ඔවුන් මොනවා කලත් ප්‍රශ්නයක් නැහැ.මගේ සුධාරක දැන් නැහැ.ඔහු ඔවූන්ගේ අඩස්සියේ නැතිවීමේ සතුට ගැන පමණක් මම සිතන්නට වුණා.
සුධාරක යන්න ගියා,දැන් සේරම ඉවරද?
ඔබට එසේ සිතෙනවා ඇති.නමුත් මා එසේ සිතුවේ නෑ.සුධාරක ඝාතනය කරන්නට බැරුවාට ඔහුගේ හුස්ම ටික නිකම්ම යන තැනට මේ පවුලේ අය වැඩ කල බව හැමෝම හොඳින්ම දන්නවා.සුධාරක ඇඳක් මත වැතිර සිටියත් ඔවුන් ඔහුට තිබුණේ පුදුම බයක්.”මේ මිනිහා බැරිවෙලාවත් නැගිට්ටොත් අපි ඉවරයි” ඔවුන්ට හැමදා ඒ සිතිවිල්ල වදදෙන්නට ඇති.ඒ නිසාමයි ඔවුන් ඔහූට යලි නොනැගිටින්නට බැරිවෙන සේ හිර කළ බව මම දන්නවා.ඔවුන් සුධාරක මිය යනතුරු ඇඟිලි ගනිමින් ඉන්නට ඇති. ඉන් අනතුරුව ඔවුන්ට කාරණා වඩා ලෙහෙසි කරගන්නට හැකිබව තරයේ විශ්වාසය තබා ගනිමින් ඉන්නටත් ඇති.
මරණ සහතිකය.!!
ඒ කපටි කෛරාටික මිනිස්සුන්ට අවශ්‍යව තිබුණේ සුධාරක ගේ මරණ සහතිකයයි.ජීවත්ව සිටි කාලයේ අනුරාධාට පණ සේ ආදරය කළ ඇයව රැකගත් සුධාරකගේ මරණ සහතිකය අනුරාධාට අවැඩක් කරයි ද?
ඒක වෙනමම කතාවක්.ඒ ගැන මම ඔබට හෙට සිට කියන්නම්.