නිබ්බුත ගීත -22

මධාරා අක්කලා මීගමුවේ හෝටලයෙහි රාත්‍රියක් ගත කොට පසු දා සිංගප්පූරුව බලා නික්ම ගියේ සතියක මධු සමයක් වෙනුවෙනි. ඔවුන් ගේ දෙවන ගමන පැවතියේ ඉනික්බිති වන අතර, මම මුලින් ම ඊට සහභාගී වීම ප්‍රතික්ශේප කොට සිටියෙමි. ඊට හේතුව මධාරා අක්කා නොමැති විට ඒ ගෙදර මට කිසිදු පහසුවක් නො දැනීම ය. මදුරාපුර යුවළ ළමා වියේ පටන් මා දන්නා හඳුනන අය වී ද ඔවුන් අස කවදත් මා පෙළු හීනමානය වෛද්‍ය පීඨයට අනුයුක්ත වූවා කියා පහ ව ගියේ නැත. ලෝචන මා කෙරේ පෑ ළෙංගතුකම රහසිගත එකක් වන නිසාවෙන්, මදුරාපුර නෑසියන් සමගින් ඒ ගමනට හවුල් වීමේ ආත්ම ශක්තියක් මට තිබුණේ ම නැත.

“එහෙනං නිබ්බුතා අපේ මල්ලත් එක්ක දවසක අපේ ගෙදර එන්න”

මා ඒ ගමනට සහභාගී වීම කණස්සල්ලෙන් මුත් ප්‍රතික්ශේප කළ වෙලාවේ මධාරා අක්කා මගේ තත්වය වටහා ගෙන කීවා ය. නමුත් එක පිට එක සිදු වූ ගැටළු සහගත තත්වයන් නිසා මට ඇය ටික දවසකින් දැක ගත හැකි වූයේ නැත. ආයේ අප හමු වූයේ ඇය මව් පියන් දකින්නට ගෙදර ආ දවසේ ය.

එදා මම අම්මා එක්ක මදුරාපුර මැදුරට ගොස් ඔවුන් වෙනුවෙන් විශේෂ කෑම වේලක් පිළියෙල කරන්නට වෙහෙස වුණෙමි. පසු ගිය ටිකේ ම මා ගෙවල් අස් කොට අතු ගා පිළිවෙලකට තැබූ නිසා අමුතුවෙන් පිරිසිඳු කිරීම් කළ යුතු ව තිබුණේ නැත. ශනිදාවක් වූයෙන් ලෝචන ද ගෙදර සිටියේ ය. නමුත් මම අම්මා ගේ අත් අඩංගුව මත කුස්සියෙහි රැඳවියක් වූයෙමි. කෙසේ වෙතත් මධාරා අක්කා ගෙදර විත් මව් පියන් සමග කතා බහ කළ වහා ම මා සොයා ගෙන කුස්සියට ආවා ය.

“මොකද අනේ මෙයා දන්නැති ගෙදරක වගේ කුස්සියට රිංගගෙන ඉන්නෙ”

එහෙම කියා විත් ඇය මගේ අතින් අල්ලා ගත්දී ඇස් දෙක පැලී යන විදිහේ හැඬුමක පෙර ලකුණු මට දැනිණි. නමුත් මම ඇස් පිරෙන්නට සිනහ වීමි.

“යං යං ඉස්සරහට”

“අක්..කෙ”

“යං අනේ විකාර නැතුව”

ඇය මා අතින් අල්ලා ඇද ගෙන ආලින්දයට ම ගියා ය. එහි මදුරාපුර දෙමහල්ලන් ට අමතරව නිශාන් අයියා හා ලෝචන ද අසුන් ගෙන සිටියහ. ඒ සියලු ඇස් මා වෙත යොමු වී ඇතැයි මට දැනුණේ එවැන්නක් දුටු නිසා ම නොවේ. මම ලැජ්ජාවේ ඇස් බිමට හරවා ගතිමි.

“අපේ චූටි ඩොක්ටර් කුස්සියට වෙලා ඉන්නව. මං ඉතිං ළඟටම ගියා. යශෝදරාව බලන්න බුදු හාමුදුරුවො සිරි යහන් ගබඩාවටම ගියා වගේ”

“එහෙම තමයි නේද නිබ්බුතා…වටිනාකමක් තියනවනං ළඟටම එන්න ඕන…”

ඒ නිශාන් අයියා ය. මම ඔහු දෙස ඇස් ඔසවා බලා සිනහවක් තිලිණ කළෙමි. ලෝචන ගේ ඇස් මවෙත දැල්වීගෙන ම තිබෙනා බව දැනුණත් ඔහු දෙස නො බලන්නට මා වග බලා ගන්නට ඇත.

“වටිනාකමක් විතරක් නෙවේ. ආදරයක්. මගෙම නංගිට වගේ මං මේ කෙල්ලට ආදරෙයි…පොඩි කාලෙ ඉඳන්ම…ඉතිං ඉතිං…මොනාද නිබ්බුතා විස්තර…”

කියමින් ඇය මා කැටිව ඇගේ කාමරය වෙත ගියා ය. මට පහසුවක් දැනිණ. මේ ලෝකයේ මට වඩාත් ම සුවයක් දැනෙනා තැන මධාරා අක්කා ගේ කාමරය ය. මදුරාපුර මැදුරේ නිරන්තර දැනෙනා ලැවෙන්ඩර් සුවඳ විහිදුවන හඳුන්කූරු වල පුසුඹ සැම දා මා තුළ ශාන්තියක සමාදාන සුවයක් දැනවී ය. දැන් හදවතේ මතු මහලේ ලොකු ම ඉඩක් ලෝචන ගේ ප්‍රේමය විසින් වෙන් කර ගෙන තිබේ. ඒ අනුව මගේ දිවියෙහි මට වඩාත් සමීප තැන අපේ ගෙදරටත් වඩා මදුරාපුර මැදුර ය.

“මට මල්ලා කිව්ව සිද්ද වෙච්ච දේවල්. අපි ඉවසීමෙන් වැඩ කරන්න ඕන නිබ්බුතා. මං කල්පනා කළේ ඔයා සයන්ස් ටියුෂන් එකක් වගේ පටන් ගත්තොත් හොඳයි කියල. ඔයාගෙ ටොප් රිසල්ට් එක නිසා කවුරුත් කැමති වෙයි. ෆැකල්ටි පටන් ගත්තට පස්සෙ වුණත් ටයිම් එක මැනේජ් කර ගෙන කරන්න පුළුවන්නෙ. ඒකෙන් ඔයාට පොඩි හරි ඉන්කම් එකකුත් එනව. ඒකත් වටිනවනෙ”

අලුත් ඉරක් පෑයුවා වන් ප්‍රබෝධයක් මට දැනිණ. විශ්ව විද්‍යාලයීය කටයුතු ඇරඹෙන්නට තව මාස කිහිපයක් ගත වනු ඇත. ඒ අතරේ කෙටි කාලීන රැකියාවක් ගැන හෝ සිතිය යුතු යයි ඒ වෙලාවේ මම තීරණයකට ආවෙමි. 

මධාරා අක්කා පිටත්ව යාමට පෙර ම එදා මා ගෙදර අවේ ඈ නික්ම යත්දී දැනෙන්නට නියමිත සංවේගයෙන් දුරස් වී හිඳිනු වස් ය. එතකොට යන්නේ ඈ නොවේ. මා ය. දුක හිතෙන්නේ යන කෙනාට නොවේ. ඉන්නා කෙනාට ය. නතර වන කෙනාට ය! 

අනිත් අතට ලෝචන ගෙදර සිටින නිසා මා මදුරාපුර නිවස මගහැර සිටින එක අම්මා ගේ හිතටත් හොඳ ය.  එය කාගේත් ඇඟට ද ගුණ ය. 

මදුරාපුර නිවසට තවමත් අප දෙදෙනා ගැන සැකයේ සේයා පහළ නොවීම ගැන හිතේ වන්නේ වචන වලට පෙරළිය නො හැකි සැනසිල්ලකි. ඔවුන් අප කෙරේ, විශේෂයෙන් ම අම්මා කෙරේ තැබූ විශ්වාසය බිඳ වැටුණ බව දැන ගත හොත් මදුරාපුර මැතිණිය කෙසේ හැසිරෙනු ඇත්දැයි මට සිතා ගත නො හැකි ය. ඒ ඇය ගේ හැඟීම් ප්‍රකාශනය ගැන කිසිදු අදහසක් මට නැති නිසාවෙනි. එදා මධාරා අක්කා මනාලියක වී ඇගෙන් සමු ගත්දී වුව දුව මෙන් අම්මා හඬා වැටුණේ නැත..ඇය යන්තම් කඳුළක් පිස ගත්තා පමණකි. එද මධාරා අක්කා ගේ හැඬුම දෙස බලා සිටිය නො හැකි ව බොහෝ අයගේ ඇස් තෙත් වූවා සේ ය. මදුරාපුර මැතිණිය ගුප්ත චරිතයක් වී ද මධාරා අක්කලා ගේ පියා එවැන්නෙකු නොවේ. ඉතා වැදගත් හා උගත් බුද්ධිමත් මහත්මයෙකු වූ හෙතෙම ප්‍රසන්න සිනහවකින් නිතර මුව සරසා ගෙන සිටියේ ය. ඒ සිනහව තත්වය තරාතිරමකින් තොර ව කාටත් එක සේ ලැබුණේ ය. මා ශිශ්‍යත්ව විභාගය සමත් වූ වෙලාවේ හෙතෙම, 

“නිදහස් අධ්‍යාපනේ කියන්නෙ මේ වගේ රටක මිනිස්සුන්ට පුදුම සහනයක්. ඕනකම තියන මිනිහෙක්ට එතෙර වෙන්න තියන පාලමක්. මේ ළමයා ඒකෙං ප්‍රයෝජන අරං ගමනක් ගියොත් ඉතිං හොඳයි”

කියා කියනු මට මතක ය. එදා ඒ වචන වල කිසිදු තේරුමක් මා දැන සිටියේ නැත ද මා සමත් වූ එක ගැන මහ ගෙදර ඇත්තන් සේ ඔහු ගේ අකමැත්තක් නැති බව වටහා ගන්නට මට හැකි විය. ඉන් පසු මදුරාපුර මැදුරේ දී මා බිම අතුගෑම වැනි වැඩක් කරමින් මැදුරේ සිරි නරඹනු දුටු වෙලාවක හෙතෙම කරුණාවන්ත සිනහවකින් මා පසු කොට ගිය හැටි මතක ය. මඳ පමණින් පෑදුණු තට්ටය ද තරමක් මහත සිරුර ද පිළිවෙලට ඇඳුම් කැඩුම් කරනා විලාශය හා ඒ කරුණාවන්ත සිනහව ද නිසා හැම දාමත් ඔහු මගේ හිතේ මවා තිබුණේ ඩිස්පැන්සරියේ වෛද්‍යවරයාට සමානත්වයකි. ඔවුන් ඉදිරියේ අප වූ කලී නො සලකා හළ හැකි තරම් කුඩා මිනිසුන් වීද, මදුරාපුර මහතා ගේ මඳහස් වත දකිනා කල අප දෙගොල්ලන්ගේ ලෝක අතරේ ඒවා යා කරන පාලමක් සේ මට ඒ සිනහව දැනී තිබේ.

ඒ වාගේ උගත් යුවළක් සිය එක ම පුතු වශයෙන් ලෝචන ගැන තබා සිටිත හැකි බලාපොරොත්තු ඉදිරියේ මා කුහුඹු අඬුවක් බව නො කිවමනා ය. ඒ නිසා අප ගැන පුවත් ඔවුන් ගේ සවන් වැකෙතැයි සිතීම පවා මට බියකටත් වැඩි ලැජ්ජාවකි. මා මගේ තරම නො දැන කටයුතු කළා යයි ඔවුන් සිතීම යනු මා ඔවුන් ට කළ මදිපුංචි කමකි. ඒ අනුව මට ඕනෑ වූයේ කවදාවත් ඒ ආරංචිය ඔවුන් ගේ සවන් වෙතට නොයන්නට ය. එය මගේ අහිංසක හිතේ අවිනිශ්චිත පැතුමක් ව තිබුණේ ය.

“ළමයි හොයාගන්න බැරි වෙන්නෙනං නෑ. ඒත් කොහෙද අපි පන්තියක් කරන්නෙ…”

මධාරා අක්කා ගේ අදහස ගැන කී විට මල්ලී කීවේ ය. නිතර ම මා නොදකින දුරක් දැකීම දැන් දැන් මා මල්ලී වෙතින් දකිනා ලක්ෂණයකි. එතකොට ඔහු ඉදිරියේ මා නොතේරුම් කෙල්ලකි.

“මෙතන අපේ ගේ ඉස්සරහ පන්තියක් කරන්න හරි කෝ මේස පුටු…ළමයි ඉඳගන්නෙ කොහෙද…”

ප්‍රායෝගික ජීවිතය කොයි තරම් වියරුවෙන් අප ඉදිරියට පැමිණෙන්නට නියමිත ද කියා හරියට ම දැනෙන්නේ ඒ වගේ තර්ක හමුවේ ය. ගෙවල් වලට ගොස් උගන්වන්නට පුළුවන් යයි අවසාන වශයෙන් අපි තීන්දු කළෙමු. අඳුරට ශාප කරනවාට වඩා එක පහනක් හෝ දල්වා ගන්නා එක සැසීමක් බව මා හා මල්ලී තේරුම් ගෙන තිබුණේ මීට කලකට පෙර බුක් මාක් සාදා විකුණත්දී ය.

“සතියකින් ගේ දෙන්න වුණොත් අපි කොහෙද මල්ලි යන්නෙ…”

ටික දිනෙක සිට හිත පාරමින් තිබෙනා ප්‍රශ්නය මම හෙමිහිට පිටතට දැම්මෙමි.

“කොහෙ යන්නද…අපි එහෙම යන්නෑ. මේවෑ අපිටත් අයිතියක් තියනව”

ඔහු ලොකු මිනිසෙකු සරින් කීවද මගේ හිතේ වූයේ බියකි. අයිතිවාසිකම් වෙනුවෙන් අප කෙසේ සටන් කරන්නද? අපි කිසි දාක අපේ ගෙදර වාඩි වෙන්නට පුටුවක් නො තිබූ මිනිසුන් වෙමු.

එදා හැන්දෑවේ ලෝචන අපේ ගෙවල් පැත්තට ආවේ ය. බංකුවේ දෙපැත්තේ වාඩි වී අපි ටික වෙලාවක් කතා කරමින් සිටියෙමු. ජීවිතය සැබෑ ස්වරූපයෙන් අප ඉදිරියට එමින් සිටියේ ය. 

“නෑ නෑ ගෙවල් වලට ගිහිං ටියුශන් කරන්න හදන්නෙපා. අපි වෙන විදිහක් බලමු”

ඔහු කල්පනාකාරීව කීවේ ය. 

“මං හාමුදුරුවොත් එක්ක කතා කරල බලන්නං. පන්සලේ පන්තියක් කරන්න බැරිද කියල”

“අයිය අහන්න ගිහිං…”

“හාමුදුරුවො ඉතින් මොනා හරි හිතා ගනී”

“මැඩම්ගෙ කනට මේක ආරංචි වෙන දවසක් කියන්නෙ…මගෙ ලෝකෙම කුඩු පට්ටං වෙලා යන දවස වෙයි…මට බයයි. එක පැයකින් හරි ඒ දවස පස්සට දා ගන්නයි දැන් මට ඕනෙ”

“ඕව ගැන හිතන්නැතුව ඉමු. ඒ වෙලාවට බලමු කරන්නෙ මොකද්ද කියල.. මොනා වුණත් මං ඔයාට නැති වෙන්නෑ කියල මං කියලනෙ තියෙන්නෙ..අවන්තල ඊට පස්සෙ මුකුත් ප්‍රශ්නයක් දැම්මෙ නෑනෙ…”

“ම්හු”

“ඔෆිස් එකේ හිටියත් මට මතක් වෙන්නෙ ඕකමයි. අනේ පරිස්සමෙං ඉන්න නිබ්බුතා. අවන්තල වගේ උන්ට කරන්න බැරි ජරා වැඩක් නෑ”

ඔහු එදා නික්ම ගියේ බංකුවෙන් නැගිටින්නට මොහොතකට පෙර මගේ කොපුලක් යන්තමින් සිප ගනිමිනි. චමත්කාරයක් හිත මත මල් ලියකම් අඳිමින් තිබිණ. මම ගැඹුරු ළිඳෙන් වතුර ඇද තාරුකා මල් ගාල නැහැවූයෙමි. පහන් පැලෙහි මල් තියා පහනක් දැල්වූයෙමි. එක පැතුමක් කියා දෙයක් හිතේ තිබුණේ නැත. හරියට ම කුමක් දැයි කිව නො හැකි අවිනිශ්චිත බවක් දැනී නො දැනී යන්නට විය.

රාත්‍රිය උදා වුණේ හෙමිහිට ය. අඩ සඳක එළියෙන් මහ ගෙදර වත්තේ කෑලි කැපිය හැකි ඝණඳුර තුනී ව තිබිණ. හුඟක් රෑ වන තුරු මම මිදුලේ බංකුව මතට වී කකුල් දෙක පද්දමින් අහස දෙස බලා ගෙන සිටියෙමි. “නිදියන්නැද්ද සුදූ” කියා අම්මා විමසූ නිසා පැදුරට වැටුණා මිස මට නිදිමතක් වූයේ ද නැත. 

ගැඹුරට නින්ද නො ගියා වී ද එහෙම ඇස් පියා ගෙන සිටියදී අපි හීන ලේකයකට යන්නෙමු. ඇතැම් විට පියවි ලෝකයේ දී නො සිදු වූ දේ පවා ඒ සිහින ලෝකයෙහි පෙනෙයි. අප සරන්නට ආශා ලෝකය එය කියා මම සිතමි.

මා ඒ ලෝකෙයෙහි සරමින් නින්දත් නො නින්දත් අතරේ සිටියදී අමුතු සිහින් හඬක් ඇසෙන්නට විය.  එය මට නුහුරු හඬක් ම නොවේ. ඇස් පියාගෙන ම මා සිතුවේ ඒ හඬ කුමක් ද කියා ය. පොල් කොළ පත්තු වෙන හඬ! වහා ම මගේ ඇස් හැරිණ. එසැනෙන් මා පැදුර මත හිඳවිණ.

“මල්ලි”

මට කෑ ගැසුණේ වහලේ හිදැස් අතරින් දුටු රතු පාට එළි නිසාවෙනි.

“මල්ලි අනේ නැගිටින්න…අම්මෙ…ගින්නක්…”

අප නැගී සිටියේ අසරු වේගයෙනි. 

“අනේ දෙයියනේ මොකද්ද මේ වෙන්නෙ…”

අම්මා ගේ මිමිණීම අතරින් මල්ලී ඉක්මන් කොට දොර හැරියේ ය. මම මේසය මත වූ ඔහු ගේ පොත් ටික දෑතින් තුරුළු කොට ගතිමි. 

“ඇඳුම් පෙට්ටි දෙක ගන්න මල්ලි”

ගින්නකින් රැක ගන්නට අපට වෙන සන්තකයක් නැත්තේ ය. උප්පැන්න සහතික හා අපේ වේලපත් කඩ දැමූ පරණ ෆයිල් එක තිබුණේ පොත් ගොඩට යටින් ම මේසය උඩ ය.

අප පිටතට පැන ගන්නා විටත් පොල් අතු කුස්සිය ගිනිබත් ව අවසන් වෙමින් තිබිණ. කාමර කෑල්ලේ වහලට ඒ ගින්න ඇවිලෙන්නට වූයේ ය. එහි සෙවිලි කොට තිබූ වත්තේ ගස් වලින් ම කපා ගන්නා ලද දැව කාලයක් පැරණි වී පුළුන් මෙන් ගින්දරට සංවේදී ව තිබුණෙන් වහ වහා ගින්න වැළඳ ගන්නා ලදී. දිරා ගිය ටකරන් ඇඹරී කඩා වැටෙන්නට විය. මට පුදුම අප තිදෙනා ගේ මුවින් සුසුමකුදු පිට නොවීම ගැන ය. චිත්‍රපට දර්ශනයක් මෙන් පොත් ගොඩ ද ඇඳුම් කැඩුම් දැමූ කාඩ් බෝඩ් පෙට්ටි ටික ද තුරුලු කර ගෙන, අපට විසි වසරක් තිස්සේ සෙවන දුන් දර මඩුවේ වහලට මත්තෙන් ගින්න බුර බුරා නැගෙනා හැටි අපි ඔහේ බලා සිටියෙමු. අපේ හදවත් ගිනි සෑ මෙන් ඇවිළෙමින් තිබි බව සහතික ය. නමුත් ඇස් වල කඳුළු ඒ ගිනි රස්නයට වාෂ්ප වී යන්නට ඇත. 

“වතුර ගහල නිවන්න බෑ. වහලෙ ලී පොල්කොළ වගේ පත්තු වෙනව”

ටික වෙලාවකට පස්සේ මල්ලී ගැඹුරු නිවුණු හඬකින් කීවේ ය. මම පහන් පැළ දෙස බැලුවෙමි. ඇස් තෙත් වී ගෙන ආවේ ඉනික්බිති ය. එක තුවාලයක් හෝ නොවී අප තිදෙනා ගේ ජීවිත බේරා දීම ගැන විශ්වයට ස්තූතිවන්ත විය යුතු ය!

“දැන් අපි මොකද්ද පුතේ කරන්නෙ…”

හරියට ප්‍රශ්නය අප ඉදිරියට ආවේ අම්මා ගේ ඒ බිඳුණු හඬත් එක්ක ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles