තනි වීම තුළ සුව වීමක් ලද හැකි බව පසු ගිය ජීවිත කාලීන අත්දැකීම් තුළ සන්තුෂී උගත් පාඩමකි. පුද්ගලයාගෙන් පුද්ගලයා ට එය වෙනස් විය හැකි වී ද, හිත කැළඹුණ බොහෝ අවස්ථා වල තනි වීම තුළින් ඇය නම් කිසියම් සන්සුන් බවකට එළඹියා ය. එය වනාහි බොර වූ දියක් නිසල වීම තුළ යළි පෑදි දිය බවට පත් වන්නා සේ ය. අධිවේගී මාර්ගයේ මඳ වේගයකින් රිය පදවා යාම තුළ ඉක්මන් සුවයක් උදා කර ගත හැකි බව දැන් සන්තුෂී දනී. ඉතා තදින් තුවාල වූ විට ද තමන් ව සුව කර ගැනීමට තරම් බුද්ධිමත් විය යුතු යයි දැන් ඇය සිතයි.
උදේ කල්ප සමග වූ තුවාල පාරා ගැනීමේ කතා බහෙන් පසු මඳක් තනි වී සමාදාන සුවයට එළඹ ‘සැලෝන් සන්තු’ ඉදිරියේ රිය නතර කරන ගමන් යළිත් ඇය නො සන්සුන් වූයේ, මෙතැනින් පිට ව යත්දී මග හරස් කොට නැවතී තිබි රිය තවමත් එතැන තිබෙනු දැකීමෙනි. රියෙන් බසිනා ගමන් අවු කණ්ණාඩි ගලවා හිස මත රඳවන අතරේ ඇය ඇස් කුඩා කොට එකී රියෙහි රියදුරු අසුන දෙස බැලුවා ය. ඇය ව හඳුනා ගත් රියදුරා නො සැලකිලිමත් ලෙස ඉවත බලා ගත්තේ ය.
“ය…කූ…මාව ගණං ගන්නෑ වගේ අහක බලපු හැටි විතරක්”
තමන්ට ම එසේ කියා ගත් ඕ රිය අගුළු ලමින් ම ඉක්මන් ගමනින් සැක සහිත රිය වෙත ගියා ය.
“ඇයි ඔයා තාමත් මෙතන ඉන්නෙ…”
ඇය එසේ විචාලේ අත් දෙක ඉණෙහි තබා ගනිමිනි.
“ඇයි අහන්නෙ…”
ඔහු කිසිදු ගරු සරුවක් නැති පිළිතුරක්, ප්‍රශ්නයකින් ම ලබා දුන්නේ ය. සන්තුෂී ට දැනුණේ ඉහ මොළ කළඹාන එන විදිහේ කේන්තියකි. නමුත් ඇය තමන් ව පාලනය කර ගත්තා ය. අදාල නොවන මිනිසුන් නිසා සිය ආත්මීය ශාන්තියට පළුදු ඇති කර ගත යුතු නැති බව, දැන් ඇය සිය ජීවිතයේ තේමාව බවට පත් කොට ගෙන සිටී.
“අහන්නෙද…මේක අපේ සැලෝන් එකනෙ…අපේ කස්ටමර්ස්ලට කා පාක් එක විදිහට තමයි මේ පොඩි ස්පේස් එක වෙන් කරල තියෙන්නෙ”
“හරි ඉතිං මං ඔයාගෙ කා පා එකේ පාක් කරල නෑනෙ. මං පාක් කරං ඉන්නෙ පාර අයිනෙ. ඒකට ඔයාගෙන් පර්මිශන් ගන්න අවශ්‍ය නෑනෙ…”
“අපේ එන්ට්‍රන්ස් එකට ඩිස්ටර්බ් ඔයා ඔහොම ඉන්න එක”
සන්තුෂී ට රවමින් වාගේ පැති වීදුරුව ස්වයංක්‍රීයව ඉහළට එසවූ ආගන්තුකයා රිය පණ ගන්වා ගෙන පවනට බඳු වේගයෙන් එතැනින් නික්ම ගියේ ය.
“ඔහොම ගිහින්නං වැඩි දුරක් යයි කියල හිතන්න බෑ. කොහෙ හරි ඇන ගෙන මැ රෙ න් න හිතිලද කොහෙද…අපිට පව් දෙන්න මෙතන්ට ඇවිත්”
සන්තුෂී සැලෝන් එක ට යා යුතු පටු පිය ගැට පෙළ නැංගේ තනිව එසේ මුමුණමින් බැණ වැදෙමිනි. සැලෝන් එකේ වීදුරු දොර අරිත්දී ද ඇය සිය බැණුමේ අග කොටසෙහි සිටියා ය. ඒ වෙලාවේ පාරිභෝගිකයෙකු නොමැති බැවින් තරුණියන් දෙදෙනා සිටියේ ඉදිරිපස සෝෆාවෙහි හිඳ බිත්තියේ සවි කොට තිබූ රූපවාහිනියේ චාට් ශෝ එකක් නරඹමිනි. එහි සන්තුෂී කැමති ම චිත්‍රපට ගීතයක් වන ‘අහසින් එහා තරු මං දිගේ’ ගීතය විකාශය වෙමින් තිබිණ.
“සිතිවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ…ඔබගේ හඬින් විවරන අරන් ජීවිතය ගීයක් වුණේ…”
“පිස්සෙක්”
ඒ අන්තිම වචනය කියන්නට ඉතිරි වී තිබි නිසාවෙන් ඇය ට රූපවාහිනී තිරය දෙසට ඇස් අලවා ගෙන, වෙනම ම ලොවකට ඇය ගෙන යන ඒ දර්ශනය දෙස බලා සිටිනා ඉස්පාසුවක් වූයේ නැත. ප්‍රේමයේ ගැඹුරු ම සංවේදනයක් ස්පර්ශ කරනා ගී හඬ හා සම වැදීමේ ඉස්පාසුවක් වූයේ නැත. තරුණියන් දෙදෙනා ගෙන් කෙනෙකු වහා දුරස්ථ පාලකය ගෙන රූපවාහිනිය වසා දැමුවා ය.
“ඇයි මිස්…”
සන්තුෂී සෝෆාවෙහි අසුන් ගත්තා ය.
“කවුද මනුස්සයෙක්…බීලද මන්දා…මං යනකොට අපේ එන්ට්‍රන්ස් එක කවර් කර ගෙන කා එකක් පාක් කරං හිටිය. මං හෝන් කරල කරල බැරි තැන ළඟටම ගිහිං කෑ ගහලයි වාහනේ ඉස්සරහට කළේ..දැන් එනකොටත් මෙතන”
“ආ…ඉතිං කස්ටමර් කෙනෙක් ආවෙ නෑනෙ අපිට”
“දැං මගෙන් අහනව පාරෙ පාක් කරන්න මගෙන් පර්මිශන් ගන්න ඕනද කියල”
“මාර මනුස්සයෙක්නෙ”
“හුළඟ වගේ ගියා. කොහෙ හරි වද්දගෙන මැ රෙ යිද දන්නෙත් නෑ”
ඒ කතා බහ එතෙකින් සමාප්ත කරන්නට සිදු වූයේ පාරිභෝගිකයෙකු පැමිණි නිසා ය. නමුත් විටින් විට කිහිප වරක් ඒ රුව සන්තුෂී ගේ සිත්හි ඇඳී මැකී ගියේ ය. ඒ මිනිසා කවුරුන්ද? ඔහු ට වූයේ තරුණ පෙනුමකි. නමුත් ඇස් වලත් මුහුණේත් කියවා ගත නො හැකි ශෝකයක සෙවනැලි වැතිර ගෙන තිබිණ. ඇස් වල වූ රත් පැහැයේ හැටියට ඔහු බීමත් ය කියා සිතන්නට සන්තුෂී කැමති වූවා ය. දින කිහිපයක් තිස්සේ නඩත්තු නො කිරීම නිසා අපිළිවෙලට වැඩුණ රැවුල් කොට, ඒ ශෝකී පෙනුම තව දුරටත් තීව්ර කරයි. වැළමිට සන්ධිය තෙක් අත් නැවූ සුදු කමිසයක් ඔහු හැඳ සිටි බවක් ඇය ට යන්තම් මතක ය.
“අපිට පව් පුරවන්න මෙතන්ට ඇවිත්…”
ඇය ඔහු ගැන අවසාන වශයෙන් සිතුවේ එවන් සංවේගී තානයකිනි.
එදා තරමක් රෑ වන තුරු සන්තුෂී සැලෝන් එකේ සිටියා ය. ඒ රැකියාවකට යන තරුණියකගේ කොණ්ඩයක් සැකසීම වෙනුවෙනි. ඇය ට සති අන්තයේ ද පැය කිහිපයක් ඒ කටයුත්තට වෙන් කළ නො හැකි වූ නිසා තරමක් රෑ වන තුරු ඇගේ අවශ්‍යතාවය වෙනුවෙන් එහි රැඳෙන්නට සිදු විය. එවන් හදිසි වැඩක් වැටුණ දාක සන්තුෂී අංජලී ව පමණක් රඳවා ගෙන ලයංගි ව පිටත් කර හරින්නී ය. ඒ ලයංගි විවාහක තරුණියක නිසා ය.
“සල්ලි හම්බ කරන්න ජොබ් එකක් කරන්න ඕන තමයි. ඒත් ගෙදරක පවුලක මැරේජ් එකක යුතුකං කවදාවත් අමතක කරන්නවත් මගාරින්නවත් හොඳ නෑ”
ඇය රූපලාවන්‍යාගාරයේ රැඳෙන්නම් කියන විට සන්තුෂී අනිවාර්යෙන් කියන්නී ය. මුදල් ඉපයීම අරමුණු කර ගත් සැමියෙකු, මුදල් නිසා බිරිඳ ගැන සංවේදීතාවන් ගිලිහී යන්නට ඉඩ දුන් සැමියෙකු ගැන අත්දැකීම් ඇය ට වන නිසා ය. පවුලක් යනු තනි පුද්ගලයෙකු නොවේ කියා අදටත් සන්තුෂී විශ්වාස කරන්නී ය. පවුලක් රැක ගැනීමේ වගකීම බොහෝ මිනිසුන් විසින් ගැහැනිය ගේ බිරිඳ ගේ උර මත පටවන්නට උත්සාහ කළ ද සන්තුෂී කිසි සේත් ඒ මතය පිළි ගන්නා තැනැත්තියක නොවේ. පවුලක් රැක ගැනීමේ වගකීම බිරිඳ ගේ සේ ම සැමියා ගේ ද උර මත එක සේ පැටවී ඇති බවක් ඇය විශ්වාස කරයි. එක උරයකින් එය දරා ගෙන සිටියා වූ කාලය තුළ දැනුණා වූ වෙහෙස හා අසරණ හැඟීම ඇයට කිසි දා අමතක කළ නො හැකි ය.
එදා රෑ වී ගෙදර යන විට කල්ප පැමිණ සිටියේ ය. ඇය දුටු ඔහු ගේ මුහුණ සමච්චල් සිනහවකින් විරූපී විය.
“නෝනා දැන් ගෙදර එන්නෙ හිතුණ හිතුණ වෙලාවට රෑ වෙලා එහෙම නේ…”
‘මහත්තයත් එහෙමනෙ…නෝනා ප්‍රමාද වෙන එක ගැන විතරක් කතා කරන්න මතක් වුණේ ඇයි දන්නෑ’ යනුවෙන් සිතුණ සිතිවිල්ල ඇය වචන වලට පෙරළෙන්නට ඉඩ නොදුන්නා ය. එකක් දැන් ඇය ට හොඳට ම වෙහෙස ය. දිග කොණ්ඩයක් සකසා අයන් කිරීම යනු පැය හතර පහක් එක හුස්මට වෙහෙස වන්නට සිදු වන කටයුත්තකි. නමුත් අසීමිත දුෂ්කර ක්‍රියාවක් කොට දරුවෙකු බිහි කරන අම්මා කෙනෙකුට බිළිඳු මුහුණ දකිනා පමාවෙන් සියල් වෙහෙස අමතක වී යන්නා සේ, ස්ත්‍රියකගේ රූප ශෝභාව වඩාත් අලංකාර කිරීමේ ලා වෙහෙසක් දරනා ශිල්පිනියකට අවසන් ප්‍රතිඵලය දකිත්දී එකී වෙහෙස අමතක කොට සතුටු සිනහවක් නගා ගන්නට පුළුවන.සන්තුෂී ගෙදර පැමිණියේ පමා වී වෙහෙසින් වී ද ඒ සතුට හද දරා ගෙන ය.
“අද බත් නෑ…”
එන ගමන් ගෙන ආ කොත්තු එක දිග හැර මේසය මතින් පිඟන් දෙක තබත්දී කල්ප නොරිස්සුම් ව සිටියේ ය. තුන් වේලට බත් ම තම්බමින් ගෙදරට වී සිටි විසි වසරක කාලය ගැන සන්තුෂී ට සිහි විය. අවසාන වසර දහය යනු ඈ පිසූ බත් වැඩි පුර ම කුණු කූඩයට දැමුණ යුගය ය. කල්ප ගේ රාත්‍රී ආහාර වේල මේසය මත පිළුණු වී උදේට කුණු බක්කියට දමනා හැම වතාවක ම සන්තුෂී ගේ පපුවට දැනුණ දැවීමේ සංවේදනය මේ දැනුත් නොවෙනස් ව ඇය ට සිහි කර ගත හැක. නමුත් දැන් ඇය ඒ වාගේ දේවල් මත සිත් රිදවා ගන්නට යන්නේ නැත. හේතු සහිතව ඒ මුළු කාලය පුරා දිය වී ගිය ඇස් ගැන ඇය ට මතක ය. කඳුළු පිස දමා සිනහ වෙන්නට හේතු සොයා ගත යුතු යයි අවසාන වශයෙන් ඇය තීරණය කළා ය. දැන් ඇයට සිනහ වෙන්නට හේතු තිබේ.
“අද හරි ටයර්ඩ්. ඇවිත් උයන්න හිතුන්නෑ ඉතිං. අනිත් එක දැන් මං රෑට බත් කන එක අඩු කරන්නයි හිතන් ඉන්නෙ. තරුණ කාලෙ කිසි ගාණක් නැතුව ඔහේ අතට අහු වෙන දෙයක් කාල ගස් ගල් වගේ හිටියට මැද වයසෙදි එහෙම බෑ. තමංගෙ බොඩි එක ගැන ස්පෙශල් අටෙන්ශන් එකක් දෙන්න ඕන”
“අනේ මේ සන්තු. මගෙ යකානං අවුස්සගන්න එපා හොඳේ”
කේන්තියෙන් කොත්තු ටිකක් බෙදන්නට ගොස් කල්ප එය මේසය මතත් ඉහිරවා ගත්තේ ය. සන්තුෂී සිනහව ඔහුට නො පෙන්වන්නට වග බලා ගත්තා ය.
“හරි ඉතිං මං උයල තිබ්බත් ඔයා ගෙදරින් කෑම කන්නෙ කීයෙන් කී දවසද…කී දවසක් මං පිළුනු බත් විසි කරන්න ඕනද…”
“විසි කරන්න හරි උයල තියනව. මට මේ කඩේ ජරාව කන්න බෑ..නැහිල නැහිල ගෙදර ඇවිත් කන්න බත් ටිකක්වත් නෑනෙ”
ඔහු සිතන්නේත් කතා කරන්නේත් කොයි තරම් ආත්මාර්ථකාමී ලෙස දැයි ඇය ට සිතිණ. එක අතකට එය අලුත් යමක් නොවේ. හැමදාමත් ඔහු සිතුවේ තමන් ගේ පැත්ත ගැන විතර ය. තමන් ගැන විතර ය.
“හරි ඉතිං මෙහෙම කරමු. ඔයා වේලාසන ගෙදර එන මං රෑ වෙලා ගෙදර එන දවසක් තිබුණොත් ඔයා රෑට උයන්න”
ඇදෙස රවා බැලූ කල්ප හැන්ද හඬ නැගෙන සේ පිඟාන මත අත් හැරියේ ය. ‘බකස්’ ගා සිනහ නැගේවියි බියෙන් ඇය පිඟාන දෙසට ම ඇස් බර කොට ගත්තා ය.
“මොකද…ඔයා වගේම තමයි. මාත් වැඩ කරල මහන්සි වෙලා ගෙදර එන්නෙ. සමහර විට…ඔයාට වඩා මං මහන්සි වෙනව ඇති. දවසෙන් වැඩි කාලයක් කකුල් රිදෙනකල් හිටගෙන…සමහර වෙලාවට අත් දෙක කැඩෙන්න වගේ…”
“ඉතිං ගෙදර නතර වෙනව…ඔය ම ගු ල වහල දාල. මං කිව්වෙ නෑනෙ ඔය තරං මහන්සි වෙලා ඕව කරන්න කියල. ගෙදර වියදං මං දෙනවනෙ”
“ගෙදර වියදං දුන්නට මගෙ ජීවිතේට සතුටක් දෙන්න ඔයාට කවදාවත් ඕන කමක් තිබුණෙ නෑනෙ කල්ප. මගෙ ජීවිතේට වටිනාකමක් දෙන්න ඔයා හිතුවෙවත් නෑනෙ. ඔයාට ඕන වුණේ ගෙදර වැඩ කරල ළමයි බලා ගන්න සර්වන්ට් කෙනෙක් මිසක් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න වයිෆ් කෙනෙක් නෙවේ. ඔයා ඉස්සර හරියට එළියෙ වැඩ කරන ගෑනු අගය කළා නේද මාත් එක්කම කිය කිය. ඔයාගෙං නිකං කකා බිබී ඉන්න මාව දූවිල්ලක් තරමට දාල…දැන් මාත් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් කල්ප. මගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්. මට හුඟක් මහන්සි දවසට උයන්න වෙන්නෙ නෑ. මං ගේන දෙයක් කන්න බෑ වගේනං අනිත් දවස් වලට වගේම එදාටත් ඔයා කැමති තැනකිං කැමති දෙයක් කන්න. එතකොට ප්‍රශ්නයක් නෑනෙ”
ඉස්සර වාගේ රණ්ඩුවට යන්නේ නැති ව සන්සුන් ස්වරයකින් එසේ කියන්නට හැකි වීම ගැන ඇය තමන්ට ම ස්තුතිවන්ත වූවා ය.
ජීවිතය අයැද සිටි යුගයක් සන්තුෂී ට තිබිණ. ඔහු ගේ ජීවිතයෙන් ඈ ගිලිහී යත්දී කල්ප සිටියේ කිසිදු වගක් නැතිව ය. එසේ නම් ඒ අයැද සිටීම නවතා දමන්නට ඇය තමන් වෙනුවෙන් තීරණයක් ගත්තා ය. තමන් විනාශ වී යත හැකි අවස්ථා වලදී තමන් වෙනුවෙන් ආත්මාර්ථකාමී වීමේ අයිතියක් ඕනෑ ම මිනිසෙකුට ඇතැයි සන්තුෂී විශ්වාස කරන්නී ය.
උදා වූ ශනිදාවේ ඇය රූපලාවන්‍යාගාරය බලා ගියේ වැඩ බහුල දිනයකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි. සති අන්තය වෙනදාට වඩා කාර්ය බහුල ය. සන්තුෂී ගේ හැඩගැන්වීම් ගැන ප්‍රසාදය එන්න එන්න ම පැතිර යන්නට වූයෙන් දැන් දැන් ඇය කොහොමත් කාර්ය බහුලත්වයක් අත් දකිමින් සිටියි. මේ උදයේ ඇය රූපලාවන්‍යාගාරය ඉදිරියේ රිය නතර කරත්දීත් නාඳුනන පුද්ගලයා පාර අයිනේ රිය නවතා ගෙන බලා සිටියේ ය. සන්තුෂී ඔහු දෙස බැලුවේ තියුණු ඇස් දෙකකිනි. එක තත්පරයකට ඇගේ ඇස් වල ගැටුණ ඇස් ඔහු සරල ලෙස මුදා ගත්තේ ය. සන්තුෂී පිය ගැට පෙළ දිග දිව ගෙන වාගේ ගොස් සැලෝන් එකට ගොඩ වූවා ය.
“අර මනුස්සය අදත් කා එක නවත්තං ඉන්නව පහළ. මොකද්ද මේ ය කා ට වෙලා තියෙන්නෙ…කවුද මේ…කාගෙ හරි ඔත්තු කාරයෙක් නෙවේනං මේ ලේඩීස් සැලෝන් එකක් ඉස්සරහ පිරිමියෙක් මොන එහෙකටද බලං ඉන්නෙ…අපි පොලිස්සියට කෝල් කරමුද…”
ඉතා ඉක්මනින් ඇය කියා ගෙන ගියා ය. තරුණියන් දෙදෙනා ගේ ඇස් ප්‍රශ්නාර්ථයෙන් විසල් වී තිබිණ.