මල් තුහින -29

රුවිනිගේ දෑස් බැල්ම මලිතිට නවතින්නට හේතුවක් විය. ඇය එහෙමම ඉඳ ගත්තේ හිතකින් නොවේ. ශේන්යාගේ අම්මා යැයි වෛද්‍යවරුන් කියවා ගන්නා තරමට ඇය කැළඹී සිටින බව ඇය දන්නීය. නමුත් අයිතියක් නැති තැනක අයිතියක් ඇති අයුරින් රැඳීම වේදනාව උරුම කරන්නක් මිස අන් කිසිවක් නොවන බව රුවිනි හොඳින්ම දැන සිටියා ය.

ශේන්යා රැක බලා ගත යුතු අන්දම ඇගේ අත්තම්මාටත් තාත්තාටත් විස්තර කරන්නට වෛද්‍යවරු වග බලා ගත් හ. ශේන්යා අසල රැඳෙන්නට අත්තම්මා සහ තුහිනගේ නැගණිය සිටිනා බැවින් ආපසු යා යුතු මොහොත එළඹ ඇති බව සිහි කළේ ද රුවිනි ය.   

“මං ඔයාට ආයේ මතක් කරනව. උත්පලාට කියන්න දරුවා අසනීපෙන් කියලා. ඔයාට බැරිනම් නංගිට හරි අම්මට හරි පුලුවන් නේද ඒක කියන්න.”

රුවිනි යන්නට පෙර තුහිනට සිහි කළා ය.

“දරුවව හරියට බලා ගත්තෙ නෑය කියන්නෙ එයාට දරුවා එයා ගාවට ගන්න හොඳ අවස්ථාවක්.”

තුහින කරදර හඬකින් කියයි. නමුත් සමහර දේවල් සැඟවීම අපහසු බවත් සත්‍යයට මුහුණ දෙන්නට සිදුවන බවත් රුවිනි කියද්දී මලිති ඇගේ අතක් මිරිකුවා ය. තුහින සිටින්නේ කරදරයෙනි. ඔහුව තවත් පාරන්නට ඇයට සිත් නොදේ.

“තුහින බබෙක් නෙවෙයිනෙ. එයා ඇත්තට මූණ දෙන්න ඕන. අනික ඔය වගේ අසනීප වෙලාවට දරුවෙක්ට අම්මෙක් ඕනේ. ඒ දරුවා වටේ අපි දාහක් දෙනා හිටියත් නම් අම්මා ඇවිල්ල තුරුල් කරගත්තම දරුවට සැනසීමක් දැනෙන්න පුළුවන් නේද?”

රුවිනිගේ තර්කය මලිති බැහැර කළා ය. ඇය එපමණකට ආදරය කරන අම්මා කෙනෙකුනම් ශේන්යා හැර යන්නේ නැත.

“කරුණාකරලා පිට ඉඳලා අනුන්ගේ ජීවිත දිහා බලන එක නවත්තපං. අපි ඇත්තටම උත්පලාගෙ පැත්තෙ කතාව තාම දන්නේ නෑ කියලා අමතක කරන්න එපා. ඔච්චර තඩි හෑල්ලක් ෆේස්බුක් එකේ ලියල උත්පලා තුහිනට අපහාස කරලා තමයි. ඒත් ඒ උත්පලාගෙ දරාගැනීමේ සීමාවේ අන්තිම තැන ද කියන්න අපි දන්නෙත් නෑ. ඒ හින්දා කරුණාකරලා ඒ කතාව ගැන ජජ් කරන්න යන්න එපා.”

රුවිනි තරමට සර්ව සාධාරණීකරණය වන්නට නොහැකි නිසා මලිති නිහඬවම හිඳින්නට තීරණය කළා ය. සැබෑවටම උත්පලා නිවැරදි බව ඇයට නොසිතේ. අඩුමතරමේ නිවසින් පිටව යද්දී ඇයට ශේන්යා රැගෙන යන්නට තිබිණ.

“ඔයා ඉන්නේ තුහිනට ආදරෙන්. එතකොට තුහින කරන කියන දේවල් ගැන ඔයාට දුරක් දිගක් පේන්නේ නෑ. ඒ නිසා ආදරේ පැත්තකින් තියලා ඒ ප්‍රශ්නෙ දිහා බලන්න.”

රුවිනි එසේ කියද්දී මලිති සිතුවිල්ලේ නිවසට එන්නට ආවා ය. ලෙයින් වැකී ගිය ඇඳුමින් සේවා ස්ථානයේ හිඳින්නට නොහැකි ය. කිසිම දැනුම් දීමක් අවශ්‍ය නැති බවත් නිවසට ගොස් විඩා නිවා ගන්නා ලෙසත් රනුක පැවසූ හන්දාම ඇය නිවසට ආවා ය. ශේන්යාගේ වේදනාවෙන් පීඩිත මුහුණ සිහි වෙද්දී කෑම කන්නට පවා අසීරු බව දැනෙද්දී මලිති කෝපි කෝප්පයක් හදා ගත්තේ සිතුවිල්ලෙන් බරව ය. තුහිනට ඇමතුමක් දී දියණිය ගැන විමසන්නට ඇයට ඕනෑ විය. වෙලාව තවමත් හැන්දෑවේ හය පසු වී නැත. රාත්‍රියේ දියණිය බලන්නට යන තද උවමනාවක් මලිතිට දැනෙන්නට විය.

ඇය තුහිනට ඇමතුවේ ඒ  හන්දා ය. තුහින වහා ඇමතුම විසන්ධි කළේ ය. ප්‍රතිකාර ලබා දෙන සහ බෙහෙත් පොවන අවස්ථාවල ශේන්යා පෙරළි කරන්නී ය. මේ එවැනි මොහොතක් බව සිතූ මලිති නැවත විනාඩි කිහිපයකින් ඔහු ඇමතී ය.නමුත් තුහින දිගින් දිගටම ඇමතුම ප්‍රතික්ෂේප කළේ ය.

“කෝල් කරන්න එපා. වැරදිලාවත් අද හවස එන්නෙත් නැත්නම් හොඳයි. රුවිනිටත් කියන්න.”

ඒ කෙටි පණිවිඩය පැමිණ තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි.ඒ හන්දා එය ඔහු කලබලයෙන් ලියා එවූ බව මලිති තීරණය කළා ය. කොහොමටත් රුවිනිට ඔහු අමතන ඉඩ අල්ප ය. ඒ පණිවිඩය රුවිනිට කියන්නට අමතක කළ ඈ රෑට කන්නට මොනවා හෝ රැගෙන එන්නැයි නවීන්ට පණිවිඩයක් තබා සයනයෙහි වැතිරුණා ය. එහෙත් ඒ කෙටි නින්ද තිබුණේ ස්වල්ප වෙලාවකට ය. ඇයට ඇමතුමක් පැමිණියේ ය.

රනුක!

සේවයේ යෙදෙන අය දවසේ පැය විසිහතර පුරාම සේවය කළ යුතු බවත් සෑම විටම ආයතනය සහ එහි ව්‍යාපෘති ජ ජීවිතයේ අංක එක කරගත යුතු බවත් අදහන්නේ රංගනී ය.අන් අයගේ පෞද්ගලික ජීවිත වලට පවා මැදිහත් වෙමින් සෑමවිටම හොඳම ප්‍රතිඵල ඉල්ලා සිටින්නී ඇය වුවත් රනුක සහමුලින්ම එහි විලෝමය විය.

“මේ නාකි ගෑනි රනුකට කම්පැනි එක දීලා යන්න යනවනම් මෙතන වැඩ කරන්න පුළුවන් තැනක් බං.”

රුවිනි සෑම විටම එසේ කියන්නේ රනුක තරමට හොඳ මිනිසකු වූ නිසා ය. ආයතනයෙන් පැමිණි පසු ඇමතුම් දීම් කොහොමටත් ඔහු සතු පුරුද්දක් වූයේ නැත. කෙනෙකුට පෞද්ගලික ජීවිතයක් ද තිබිය යුතු බව රනුක තරයේ විශ්වාස කළේ ය.

“සමහරවිට මං ෂොක් වෙලා ගෙදර ආව නිසා වෙන්නැති.”

මලිති එසේ සිතමින් ඇමතුමට සම්බන්ධ වූයේ ය.තනිව ගෙදර යන්නට හැකිදැයි ගෙනගොස් ඇරලන්නට උවමනාදැයි පවා රනුක ඇසූ බව ඇයට මතක ය.අනෙක් අතට ඈ එන්නට ආවේ පරිගණකය පවා ක්‍රියාත්මකව තිබියදී ය. හදිසි කාර්යාල කටයුත්තකට රනුකට ඔහුගේ ප්‍රතිපත්ති බිඳින්නට වූවා වන්නට ද පුලුවන.

“මලිති, මම හරිම පර්සනල් දේකට ගත්තේ. කතා කරන්න පුලුවන්ද ඔයාට?”

රනුකගේ ආචාරශීලී කටහඬ ඇසී මලිති අන්දමන්ද වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles