මුලු නගරයම ගිනිගෙන දැවෙන්නාක් මෙනි. සැඩ හිරුගේ රශ්මිය වායු සමනය කළ සුඛෝපභෝගී මෝටර් රථය තුළ සිටින තමාට නොදැනුන ද, ගිනි ගත් වීදි ඔස්සේ හෙම්බත් මුහුණින් යුතුව ඇවිද යන මිනිසුන්ගේ මුහුණු වලින් පලවන්නේ විඩාපත් බව යයි උසාවියේ සිට කාර්යාලයට යමින් සිටින කවීන් සුරියබණ්ඩාරට සිතිණ. ඔහු යන්තමින් හිස හරවා තමා පසෙකින් හිඳගෙන සිටින මොනාලි දෙස බැලුවේය. ඇය රිය කවුළුවෙන් පිටත බලාගෙන ගැඹුරු කල්පනාවකය.
“මොනාලි…”
මොනාලි තිගැස්සී කවීන් දෙස බැලුවාය.
“මොකද කල්පනාව?”
කවීන් මුවගට සිනාවක් නගා ගත්තේය.
“මං කල්පනා කළේ අර මගේ ක්ලයන්ට් ගැන. ඒ මනුස්සයා හස්බන්ඩ්ගෙන් ඩිවෝස් වෙන්න කැමැත්තක් නෑ. දුක කිය කියා අඬපු තරමට මටත් අඬන්න හිතුනා.”
“එහෙම සංවේදී වෙලා මේ රස්සාව කරන්න බෑ මොනාලි.”
“ස්වාමි පුරුෂයා කියපු නිසා බැන්ද ගමන් කර කර හිටිය ජොබ් එකෙනුත් අයින් වුනාලු. කරන්න තියෙන යුතුකම් හැමදේම කරනවලු. දරුවො රැක බලාගන්නවලු. ඒත් ස්වාමි පුරුෂයා කැමති නෑ තවදුරටත් භාර්යාව එක්ක ජීවත් වෙන්න.”
“අනියම් සම්බන්ධයක්?”
කවීන් මොනාලිගේ මුහුණ දෙස බැලුවේය. මොනාලි යටි තොල පෙරලුවේ තමා ඒ පිළිබඳව නොදන්නා බව අඟවමිනි.
“ඒ ගෑනු මනුස්සයා එහෙම දෙයක් ගැන කියන්නවත් දන්නෙ නෑ. එයා කියන්නෙ මාස හයක හතක විතර ඉඳලා ස්වාමි පුරුෂයා වෙනස් වෙන්න ගත්තා කියලා. මට හිතාගන්න බැරි ගෑනු හැම යුතුකමක්ම කරද්දිත් පිරිමි හිත් වෙනස් වෙන්නෙ ඇයි කියලා.”
කවීන් පිළිතුරක් නොදුන්නේය. ඇගේ වදන් තුළ සියුම් සරදමක් රැඳී ඇතැයි ඔහුට සිතිණ. ඔහු නිහඬව රිය පැදෙව්වේය. පාර අයිනේ සරුවත් විකුණන මිනිසකු සරුවත් වීදුරුවක් පුරවා ගැහැනියකට දෙන අන්දම දුටුවද සැනෙකින් වේගවත් රිය ඔවුන් ඔහුගේ දර්ශන පථයෙන් ඉවත් කර දැමුවේය. සරුවත් වෙළෙන්දෙක් දකිද්දී තම ළමා විය මතකයට මතකයට නැගෙන්නේ අම්මා පිළිබඳ මතකය ද පෙරටු කරගෙනය. ගුරුවරියක වු අම්මා සමග පාසල් ගොස් පැමිණෙද්දී පාර අයිනේ සරුවත් විකුණන සරුවත් වෙළෙන්දා අසළ රැඳී සිටින්නේ පාට පාට සරුවත් දෙස ආසාවෙන් බලමිනි. සරුවත් රැගෙන දෙන තුරුම එතැනින් පියවරක් හෝ ඉදිරියට නොනගා සිටිද්දී අම්මා තමා දෙස බලන බැල්ම තවමත් මතකයෙහි රැඳී තිබේ.
“ගෙදර යන්නෙ නැද්ද?”
තමා කුඩය යටට ඇද ගන්නා අම්මා අසන්නේ මුවග සඟවාගත් සිනාවක් ද සහිතවය.
“නෑ. මට සරුවත් බොන්න ඕන.”
“මම ගෙදර ගිහින් රසට දොඩම් එකක් හදලා දෙන්නම්. හොඳ පුතා වගේ දැන් යමු.”
“බෑ… මට සරුවත් ඕන.”
තම පෙරැත්තය ඉවසා ගත නොහැකිව අම්මා සරුවත් වීදුරුවක් රැගෙන දෙන්නේ වටපිට බලමිනි. පාසලේදී සෞඛ්‍ය අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන තමා, තම දරුවාට පාර අයිනේ තබා විකුණන සරුවත් රැගෙන දීම වරදක් ලෙසින් ඇය සිතන්නට ඇත. එහෙත් තම පෙරැත්තය නිසාම සරුවත් වෙළෙන්දාගෙන් අම්මා රැගෙන දුන් කස ඇට යෙදූ සරුවත් වීදුරුව සෙමෙන් රස විඳින තමාට එහි වරදක් නොදැනිණ. එම සරුවත් වීදුරුවේ රසය තවමත් දැනෙන්නාක් මෙනැයි කවීන්ට සිතිණ.
“මොකද තනියම හිනාවෙන්නෙ?”
මොනාලිගේ හඬින් කවීන් අතීතයෙන් මිදුනේය.
“සරුවත්කාරයා දැක්කම පොඩි කාලෙ බීපු සරුවත්වල රහ මතක් වුනා.”
“ඊ… යා…”
මොනාලි මුහුණ හැකිලුවාය.
“මම නම් කවදාවත්ම සරුවත් බීලත් නෑ. බොන්න හිතෙන්නෙත් නෑ.”
“මිනිස්සු වුනාම අත්දැකීම් ලබන්න ඕන. පොළවෙ පය ගහලා ජීවත් වෙන්න ඕන. විශේෂයෙන් ලෝයර් කෙනෙක් වුනාම හොඳ ජීවිතාවබෝධයක් තියෙන්න ඕන. පාර අයිනෙ පෙට්ටි කඩේකින් වඩයක් කන්න ප්ලේන්ටියක් බොන්න වගේම තරු පහේ හෝටලේකින් කන්න බොන්නත් පුලුවන් වෙන්න ඕන.”
“අනේ මන්දා.”
මොනාලි රිය කවුළුවෙන් ඉවත බලාගත්තාය. බොහෝ දුක් විඳ අධ්‍යාපනය ලබා නීතීඥ වෘත්තියට පිවිසුනු ඇය ඉහළට යාමේ ආශාවකින් පසුවෙයි. තමා එයට ඉනිමගක් පමණක් බව අවබෝධ කරගෙන සිටියද, ඇගෙන් මිදී යාමේ සිතක් ඇති නොවන්නේ මන්දැයි කවීන් කල්පනා කළේය.
“ඔයාට වඩා ජීවිතේ ගැන අත්දැකීම් මට තියෙනවා කවීන්. උදේට බස් එකේ එන එකම හරියට පොතක් කියවනවා වගෙයි. හැබැයි….”
මොනාලි නැළවිලි ස්වරයෙන් පවසයි.
“හැබැයි… දැන් නම් මට බස් එකේ එන ගමන ඇති වෙලා. ඒ නිසාම ඉඳහිටලා ටුක් එකක ආවට ඒකට යන වියදම දරන්න බෑ කවීන්. මං හිතාගෙන ඉන්නෙ කාර් එකක් ගන්න.”
කවීන්ගේ මුවගට සිනාවක් නැගිණ. ත්‍රිරෝද රථයකින් පැමිණීමට මුදල් වියදම් වන බව පවසන මොනාලිට මෝටර් රියක් ගැනීමට මුදල් කොහෙන්දැයි ඔහු කල්පනා කළේය. මෝටර් රථයක් ගැනීමේ සිහිනය පිළිබඳව මොනාලි පවසන්නේ කලක සිටමය. තැන්පත් ධනයක් නොමැතිව වුව ද නිතර නිතරම ඇය ඒ පිළිබඳව පවසන්නේ තමා ඇයට මෝටර් රථයක් තෑගි කරනු ඇතැයි සිතා විය යුතුය.
“අරන් දෙන්න බැරිකමක් නෑ. ඒත් ඇයි මම එහෙම කරන්නෙ? අපි දෙන්නා අතර කිසිම ආත්මීය බැඳීමක් නෑ. මට තියෙන්නෙ කාන්සියක්. සුහර්ෂා මගේ ජීවිතෙන් ඈත් වීම නිසා ඇති වෙච්චි කාන්සියක්. එච්චරයි.”
කවීන් සිතිවිල්ලේම නීතීඥ කාර්යාල පිහිටා ඇති ගොඩනැගිල්ල ඉදිරියෙහි මෝටර් රථය නතර කළේය. මොනාලි පසුපස අසුනේ වු අත් බෑගය සහ ලිපි ගොනු කිහිපය ද රැගෙන ඉන් බැස ගත්තේ ඔහුගෙන් බලාපොරොත්තු වූ පිළිතුර නොලැබීම නිසා අඳුරු කර ගත් මුහුණින් යුතුවය.
*
පැය එකහමාරකට අධික කාලයක් තිස්සේ නවකතාව ලියමින් සිටි ආරාධ්‍යාට නිදිමතක් දැනිණ. ඇය ලියන ලද කඩදාසි සියල්ලම එකතු කොට ලිපි ගොනුව තුළට දැම්මාය. විවර වූ ජනෙල් කවුළු තුළින් කාමරය තුළට පතිත වන සැන්දෑ හිරු එළියෙහි තැඹිලි පැහැයක් තැවරී ඇතැයි ඇයට සිතිණ. තවත් ස්වල්ප වේලාවකින් මුහුදේ ගිලී යන්නාක් මෙන් දිස් වන බැස යන සූර්යයා දෙස බලා සිටීමට ඇය ආශා කළාය. ආරාධ්‍යා නැගිට ජනෙල් පෙළ අසලට ගියාය. බැස යන්නට ආසන්න වූ සූර්යයා දිස් වන්නේ රතු පැහැති ජපන් වෙසක් කූඩුවක් ලෙසිනි. මුහුද දෙස සිට තද සුළං හමා එයි. ඈත මුහුදු වෙරළේ සරුංගල් අරින දරුවන් කිහිප දෙනෙකු අහස දෙස බලා සිටින අයුරු ඇය දුටුවාය. තැනින් තැන පාට තැවරුවාක් මෙන් දිස් වන අහසේ ඉතා කුඩාවට දිස්වන්නේ ඔවුන්ගේ සරුංගල් විය යුතුය.
“බෙල්ල රිදෙන තුරු උඩ යවපු සරුංගල් දිහා බලාගෙන ඉන්නවා. මේකද සතුට කියන්නෙ?”
ඇයට සිතිණ.
“බේබි…”
ආරාධ්‍යා පසුපස හැරී බැලුවාය. කුඩා බන්දේසියක තබා තේ කෝප්පයක් රැගෙන පැමිණි රංජනී ද ජනෙල් පෙළ අතරින් මුහුද දෙස බැලුවාය.
“කීප සැරයක්ම තේ අරගෙන ආවා. බේබි වැඩ නිසා ආයෙම අරන් ගියා. ලියන වෙලාවට කරදර කරන්න එපා කියලනේ මට කියලා තියෙන්නෙ.”
“කමක් නෑ. දැන් තමයි තේ බොන්න හොඳම වෙලාව.”
ආරාධ්‍යා දුම් දමන තේ කෝප්පය අතට ගත්තාය.
“පොඩි බේබි තවම නෑ.”
බන්දේසිය මේසය මත තැබූ රංජනී පැවසුවේ දිග කතාවකට මුල පුරන්නාක් මෙනි.
“කොහෙද ඇත්තට මේ පොඩි බේබි හැමදාම යන්නෙ?”
“කවුද දන්නෙ රංජනී? ඇහුවට කියන්නෙත් නෑ. තරහ ගන්නවා. මං වුනත් ඉන්නෙ එයා ගැන හරිම හිතේ දුකෙන්.”
“අම්මට වගකුත් නෑ. තාත්තට වගකුත් නෑ. මට බය මේ දරුවා ඔය විදියට ගිහින අමාරුවෙ වැටේවිද කියලා.”
“නංගි මෝඩ නෑ රංජනී.”
“නිකා ඉන්න බේබි. ගෑනු දරුවෙකුට මෝඩ වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. හොඳින් ඉන්න වෙලාවක බේබිවත් අහලා බලන්නකො.”
“මං කොච්චර අහනවද? කියන්නෙ නෑ.”
රංජනී දිගු සුසුමක් හෙලුවාය. අම්මා තුළ දරුවන් කෙරෙහි නැති සෙනෙහසක් ඇය තුළ පැවතීමත් සතුටට කරුණක් නොවේදැයි ආරාධ්‍යා සිතුවාය.
“තව දෙයක් මම මේ කියන්නමයි හිටියෙ බේබි.”
හිස් තේ කෝප්පය බන්දේසිය මත තැබූ ආරාධ්‍යා රංජනී දෙසට හැරුනාය.
“මොකක්ද රංජනී?”
“මෙහෙම කිව්වා කියලා බේබි මා එක්ක අමනාප වෙන්න එපා. බේබි ටිකක් අර හසිත් සර්ගෙන් ඈත් වෙලා ඉන්න.”
“ඇයි ඒ?”
ආරාධ්‍යා ඇසුවාය.
“හේතුවක් ඇතිව කිව්වා නෙමෙයි. දන්නවනෙ අපේ මැඩම්ගෙ හැටි? අන්තිමේදි ඒ මනුස්සයගෙ රස්සාව විතරක් නෙමෙයි….”
රංජනී වදන් ගිල ගත්තාය.
“උදේට ගෙදරට ආවම මනුස්සකමට කතා බහ කරනවා මිසක් ඊට එහා දෙයක් නෑ.”
“මං දන්නවා බේබි. ඒ වුනාට….”
රංජනී වටපිට බැලුවේ කිසිවකු තමා පවසන වදන් අසා සිටීවිද යන සැකයෙන් මෙනි. ඇය වඩාත් ආරාධ්‍යා අසළට සමීප වූවාය.
“මැඩම් හැමදාම අහනවා බේබිලා හසිත් සර් ආවම කතා කරන්න යනවද කියලා.”
“රංජනී මොකද කියන්නෙ?”
“මම කියන්නෙ නෑ කියලා. අද වුනත් බේබි කරපු වැඩේ වැරදි කියලා හිතෙන්නෙ නැද්ද?”
“ඒ මොකක්ද?”
“බීච් එකට වෙලා හසිත් සර් එක්ක කතා කර කර හිටිය එක?”
“මොකක්ද ඒකෙ ඇති වරද?”
ආරාධ්‍යා රංජනීගේ දෙනෙත් දෙස සෘජුව බැලුවාය. රංජනී පිළිතුරක් දීගත නොහැකිව ඇඹරුණාය.
“ගෑනියෙක් පිරිමියෙක් කියලා හිතන්නෙ නැතිව අපි මිනිස්සු කියලා හිතන්න රංජනී. එහෙම හිතද්දි වැරැද්දක් කරා කියලා හිතෙන්නෙ නෑ.”
“ඇත්ත බේබි. ඒ වුනාට…”
රංජනී වදන් ගිල ගත්තාය. සරුංගල් අරිමින් සිටි දරුවන් අතරින් කෙනෙකු වැල්ලේ වාඩි වී සිටින අයුරු ආරාධ්‍යා දුටුවාය. නිසැකවම ඔහුගේ සරුංගලය කඩාගෙන යන්නට ඇතැයි ඇයට සිතිණ.
“පව්…”
ඇයට සිතුණද ඇය එම වදන් මුවින් පිට නොකළාය.
“මැඩම් වුනත් මොකක් නමුත් හිතේ තියාගෙන ඉන්නවා කියලා මට හිතෙනවා. සංවිධානෙ අයට එතන කෑම හදනවනෙ. හසිත් සර්ට විතරක් මොකක්ද විශේෂයක්? එතනත් කොච්චර හොඳට කෑම දෙනවද?”
ආරාධ්‍යා කිසිවක් නොපැවසුවාය. සංවිධානයේ සේවක සේවිකාවන් වෙනුවෙන් සපයා ඇති පහසුකම් පමණටත් වඩා වැඩි බව ඇය දැන සිටියාය. ඔවුන් වෙනුවෙන් වෙනම ගොඩනැගිල්ලක වායු සමනය කරන ලද කාමර සහිත නේවාසිකාගාරයක් තිබේ. උදේ දිවා සහ රාත්‍රී ආහාර ගැනීම සඳහා ආපන ශාලාවක් පිහිටා තිබේ. පිටින් පැමිණෙන අමුත්තන්ට පවා ආහාර පාන ගත හැකි වන පරිදි අලංකාර ලෙසින් සකස් කරන ලද ආපන ශාලාවෙහි තමා ද නංගී විහාරා ද එකල ආහාර ගත් අවස්ථා ආරාධ්‍යාගේ මතකයට නැගිණ.
“උදේට කැෆටේරියා එකේ කෑම කන්න එපා කියලා හසිත්ට අම්මා කියලා තියෙන්නෙ එයාට ගැස්ට්‍රයිටිස් නිසා.”
රංජනීගේ මුවගට උපහාසාත්මක සිනාවක් නැගෙන අයුරු ආරාධ්‍යා දුටුවාය. ඇයට ලජ්ජා සිතිණ.
“එතනත් තියෙන්නෙ මෙව්වම තමයි. බේබි හසිත් සර් එක්ක කතා කරනවා කියලා මම මැඩම්ට කියන්නෙ නෑ. ඒ වුනාට වැඩිහිටියෙක් විදියටයි මම කියන්නෙ, පරෙස්සමෙන් වැඩ කරන්න.”
“තෑන්ක් යු..”
ආරාධ්‍යා රංජනීගේ පිටට තට්ටු කළාය. තමා සහ රංජනී කතා කරමින් සිටි ඇසිල්ලේ සැන්දෑ අඳුර පැමිණ නිවසෙහි අහුමුලු වල ගුලි ගැසී ඇති බව ආරාධ්‍යා දුටුවාය. වෙරළේ සිටි දරුවන් ද දැන් නොපෙනේ. වීදියේ වූ පහන් කණුවක දල්වා ඇති විදුලි පහනෙන් විහිදෙන්නේ දුබල ආලෝකයක් බව ඇය දුටුවාය.
“මම යනවා බේබි. ගේ කලුවරේ. මැඩම් ආවොත් මට ඇති වෙන්න බනීවි.”
රංජනී හිස් කෝප්පයත්, බන්දේසියත් රැගෙන නික්ම ගියාය. කාමරයේ විදුලි පහන දල්වා යන්තමින් හිස පීරා ගත් ආරාධ්‍යා යහන මත වූ ජංගම දුරකතන අතට ගත්තේ පහත මහලට යාමේ අරමුණින් යුතුවය. ඒ හා සමගම කාමරයට කඩා වැදුන විහාරා ආරාධ්‍යාගේ යහන මත ඇද වැටුනේ බොහෝ විඩාපත් ලෙසිනි.