සඳ ගංතෙර – 41

“ඔයාව මුණ ගැහෙන්න විසිටර් කෙනෙක්”

සරසවියේ විවේකි හෝරාවක ඒ පණිවිඩය ආවේ අහම්බයකිනි. දුලන්‍යා පුදුම වූවා ය. කොහේ ඉන්නා ආගන්තුකයෙක් ද? පළමු වසරේ දුලන්‍යා සොයන්නට ඕනෑ කාටදැයි ඇයට සිතේ.

“ලේඩි කෙනෙක්”

පණිවිඩය ඉන් අනතුරුව එසේ කියවිණ.

“සඳරැස්ගෙ කලින්..”

නෙත්මි එහෙම ඇසුවේ කෝකටත් කියා ය. වෙන්නට බැරි දේවල් නැත. සඳරැස් හිත නිවී සැනසෙන ප්‍රේමයක හිඳීම දිරවා ගන්නට බැරි ගැහැනුන් ද සිටින්නට ඉඩ තිබේ.

“එහෙම කවුරුත් ආවොත් කලබල වෙන්නෙපා.”

නෙත්මි ඉල්ලා සිටියා ය.මිතුරිය ගැන හැබෑවටම බයක් දැනේ.

“කවුරු මොනවා කිව්වත් මට විශ්වාස එයාව.”

දුලන්‍යාගේ දෑස් දිලිසේ. සහස්ට ඇමතූ ආකාරය අසා සහස් හොඳටෝම බැන වැදුණේ අද උදෑසන ය. ඔහුට තිබූ ගැටළුව අම්මාට බැන වැදීම නොවේ.දුලන්‍යා වැනි කුඩා කෙල්ලක මේ කතාවට පැටලෙන්නට යාම ය.ඇය එතරම් පඬි වැඩ කරන්නට ඕනෑ නැත.

“කතා කරන්න එපා මාත් එක්ක. ඕනවට වඩා පණ්ඩිත කෙල්ලන්ට මාත් එක්ක කතා කරන්න දේවල් නෑනෙ.”

සඳරැස් අද උදෑසනම මුහුණ පුප්පා ගත්තේ ය. ඒ මුහුණ සිහි වෙද්දී පවා ඇයට සිනාවක් උපදී.

 දකින ආදරයත් පෙනෙන ආදරයත් අතරින් දැනෙන ආදරය තෝරා ගන්නට ලැබුණොත් මම තෝරා ගන්නේ මොකක්ද?

ඔබව!

ආදරය දකින්නටත් පෙනෙන්නටත් ඉඩ නොහැරියත් හිත පුරා දැනෙන්නට ඉඩ දෙන ඔබව!!

ඉතා සන්තෝසයෙන් ගෙවෙන දවස්, නපුරු මතක ඇහැරෙද්දී හඬා වැටෙමින් හිඳින දවස්, කිසිම විශේෂත්වයක් නැතිව ගෙවෙන දවස්, ඔබ ළඟ කිසිම ආදරයක් නැති බව හිතෙන දවස් ඒ වගේ දවස් ගණනාවක් හිරු වටා ගිහින් අවසන්.

ඒ හැම දවසකම මට කරන්නට හිතෙන්නේ එකම එක දෙයක් විතරයි.

ඔබට ආදරය කිරීම!

නොනවත්වාම බැඳෙමින් හිඳීම!

ලෝකයේ තියන ලස්සනම හිනාවේ හිමිකාරිය වීමේ ප්‍රහර්ෂය විඳ ගැනීම!

මල් පෙත්තකත්, මඳ පවනකත්,රළු පොළොවකත් හැඟීම එකවර දෙන්න පුලුවන් ආදරයට විතරයි. ජීවිතේ සෘතු එකින් එක ගෙවෙනවා.

අපි නරකම තත්පරවල පවා ආදරේ විතරක් ඉතුරු කර ගමුද?

දුලන්‍යා ඔහුට එසේ ලියා යවා තමන්ගේ පාඩුවේ හුන්නා ය. කෝපයෙන් කන් රතු කරගත් කොලුවා මේ සටහන කියවා හිනැහෙන්නේ නම් ඇයට ඒ ඇති ය.

එවැනි සිහින අතරමැද හිඳිය දී පැමිණියේ කවුදැයි ඇයට ආවේ පුදුමයකි. සැබෑවටම එන්නට ඇත්තේ කවුදැයි ඇය සිතුවා ය.

“වයසක කෙනෙක්.”

ඊළඟ ආරංචිය එහෙම එකකි. 

“අපේ බයෝ මැඩම් ද දන් නෑ.එයා වෙලාවකට කැම්පස් එනවා ගෝලයෝ බලන්න.”

දුලන්‍යාගේ සිනාව පිපී ආයේ ය. එහෙත් සිටියේ නාඳුනන ගැහැනියකි.

“දුලන්‍යා පුතා?”

දූලාට පුතා යැයි අමතන අයට දුලන්‍යා මනාප ය. අම්මා ඇයට සුදු පුතා කියන්නේ ඒක ය. ලොකු පුතා, සුදු පුතා සහ චූටි පුතා ඉන්නා පවුලක වඩා හුරතලිය වූ දුලන්‍යා දැන් අයියාගේ දූ අමතන්නේ සූකිරි පුතා කියමිනි.

“මං ඔයාගේ මදර් ඉන් ලෝ. පුතා කවුරු තෝරා ගනීද මං දන් නෑ. මං සඳරැස්ගෙ අම්මා..සහස්ගෙත් අම්මා.”

දුලන්‍යා කලබල වූවා ය. තමන් තාරකා අක්කාගේ අම්මා බව මේ ගැහැනිය පැවසුවානම් එකකි. නැත! ඇය තද තුරුම්පුවක් ගසන්නී ය. එක් අතකට මේ අර පුතුන්ගේ අම්මා ය.

“මට ඔයා එක්ක කතා කරන්න ඕන. අයියලා ගැන. අක්කා ගැන. ඔයා ගැන.”

දුලන්‍යාට බැහැයි කියන්නට ඕනෑ විය. තාරකා අක්කා සමාව දුන්න ද මැය සමඟ හාදකමට සඳරැස් සමාව දෙන එකක් නැත.

“මට මෙහෙම කතා කරන්න බෑ.”

චාන්දනී මුදු සිනාවක් නඟා ගත්තා ය. මෝඩ වැඩක් කරද්දී තාරකා අක්කා ද නඟන්නේ ඒ හිනාව ය.

“පුතාට පුලුවන්,පුතා කැමති දවසක අපි කතා කරමු.”

එය අමුතුම ජාතියේ ඉල්ලීමකි

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles