වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා පැලයක් වී මල් පුබුදවමින් වසන්තයේ ප්‍රේමණීය බව විඳ ගත යුතු බව ලාවන්‍යා වටහා ගන්නට පටන් ගත්තා ය. විසිතුන් හැවිරිදි කාලයේ සිට ජීවිතය අත් මිටෙන් ගිලිහී ගියේ ස්වල්ප ලෙස නොවේ. ඈ ඒ මඟ හැරුණු හැම දෙයක්ම වඩවඩා ආදරයෙන් සොයන්නට පටන් ගත්තා ය.
“වැඩක් නීට් එකට වගකීමෙන් කරන මිනිස්සුන්ට මං පුදුම විදියට කැමති. “
වැඩසටහන් මාලාව සඳහා යූ ටියුබ් අවකාශයේ ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙද්දී තේජ ලාවන්‍යාට පැවසුවේ ඉතා සන්තෝසයකිනි. කාර්යාල කටයුතු ඉතා හොඳින් සිදු වීම ඔහුව ආහ්ලාදයට පත් කරන වග අනුත්තරා ද පවසා තිබිණ. හොඳ ප්‍රතිචාර සිය ගණනක් ලැබෙන වග ඇත්තකි. නමුත් ලාවන්‍යා තුටු වූයේ ඔහුගේ ප්‍රතිචාරයට ය. ඔහු ඇය ගැන පැහැදීමකිනි.වැඩසටහන් මාලාවේ ප්‍රගතිය විස්තර කරන අතර තේජ හුන්නේ සිනාසීගෙන ය.”ඔබෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර” කවි පදය ලාවන්‍යා රහසේම සිහි කළා ය.නිවී යන්නට හැකි අන්දමේ සිනාවක් ඇති මිනිසෙකු ඈ අපේක්ෂාවෙන් බලා සිටින වගක් ඇයට දැනෙයි.නමුත් රිදී ගිය සිතක් රැගෙන ඔහු වෙත ගොස් ඔහුට රිදවුම් ඇති කිරීම අසාධාරණයක් නොවේදැයි ලාවන්‍යා කල්පනා කරන්නට වූවා ය.වසන්තයක් වෙත රිදී තැවෙන හදවතක් රැගෙන ගොස් පලක් නැති බව සිතමින් ඇය මිනිත්තු කිහිපයක් ම ගෙවා දැම්මා ය.
“මේ මොන ජාතියෙ හීනයක්ද?”
ඇය ඊටත් පසු කල්පනා කළා ය. ඔහු වචනයකින්වත් ඇයට ප්‍රේමය සම්බන්ධ ඉඟියක්වත් දී නැත. එහෙම මොහොතක සිහින දැකීම කියන්නේ තේරුමක් ඇත්තේම නැති වැඩකට ය.
“ලාවන්‍යා, ඔයා ඇත්තටම දක්ෂයෙක්. ගිරව් වගේ කියෝන එෆ් එම් කාරයෝ මැද්දේ ඔයා වටින ළමයෙක්. අපි එක්ක දිගටම වැඩ කරත් නැතත් ඔයාගේ ටැලන්ට්ස් නම් නැති කරගන්න එපා.”
තේජ එහෙම කියද්දී ලාවන්‍යා හිනැහිණ. ඇයට ඔහු සමඟ දිගටම කතා කරන්නට ඕනෑ විය.
“හිතේ මොනවාහරි ප්‍රශ්නයක් තියන වෙලාවට ඔයාට අනුත්තරා හරි අනිත් යාලුවෝ හරි එක්ක කතා කරන්න පුලුවන්. ඒ හින්දා හැම වෙලාවකම ඕකේ වෙන්න. වැඩවලට ෆෝකස් වෙන්න.”
ඒ යාළුවන් තරමටම යාළුකමක් දෙන්නට තමන්ට ද හැකි බව ඔහු පැවසුවේ නම් කදිම ය. නමුත් ඔහු එහෙම කතාවක් පැවසුවේ නැත.
ඒ වාගේ කතාවක් මාස කිහිපයකට පෙර නිර්වාන් නම් පැවසූ වග ලාවන්‍යාට සිහි විණ.
මට සෙනුරි කිව්වා ඔයා ටිකක් අවුලින් කියල..ඕන අවුලක් ඕනෑ වෙලාවක කියන්න හොඳේ. මං එහෙම කියන්නේ හොඳ යාලුවො උනාම කරදර වෙලාවට එපැයි ළඟ ඉන්න..”
නිර්වාන්ගේ හඬ ගලා ආවේ ගීතයක් සේ මියුරුව වග ඇය සිහි කළා ය. සිතා බලා කතා කරන තේජට ළතෙත් කටහඬක් වූයේම නැත.
“හොඳ යාලුවො කියල මට ඉන්නේ මේ හතර දෙනා තමයි නිර්වාන්. මේ වෙලා තියන දේවල් නිසා මෙතනින් එහාට යාලුවෙක්ට ළං වෙන්න මම බයයි. “
ලාවන්‍යා පැවසුවේ ළතැවිලි හඬකිනි.
“ඉතිං අපිට පුලුවන් හොඳ යාලුවො වෙන්න..”
නිර්වාන් සැහැල්ලුවෙන් කියද්දී බොහෝ කාලයකට පසු පිපෙන සුන්දරම සිනාවක් ලාවන්‍යාගේ මුව මත පිපිණ. ඔහු එහෙම හිනා අඳින්නට හපනෙකි. නමුත් ඔහුව දික්කසාද ගැහැනියකට අයත් නොවිය යුතු බව ලාවන්‍යා තවමත් සිතයි. ඒ හන්දා නිර්වාන්ට හොඳම යාලුවෙකු වෙන අයිතියවත් තවම නැත.
“මට ඔයාව හොඳටම තේරෙනවා මැණිකේ. නිර්වාන් ඔයාට දුර වැඩී කියලා හිතුවට ඔයා හිතනවා තේජ ඔයාට ළඟයි කියලා. මොකක් හරි කාරණාවකින් ඔයාලා දෙන්නා සමානයි කියලා ඔයාට හිතෙනවනෙ”
තේජගේ ඇගයීම් ගැන තුටු වූ හදවත පාරමී ඉදිරිපිට දිග හරින්නට ලාවන්‍යා තීරණය කළා ය. ඇය අසා සිටි පාරමී පැවසුවේ එහෙම කතාවකි. නමුත් බරපතලම ප්‍රශ්නය ඉනික්බිතිව ය.
“මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා. කාටහරි ළං වෙන්න ඔයා ඇත්තටම ලෑස්ති කියලා ඔයාට හිතෙනවද? ඒ ළං වෙන්නේ කාට වුණත් ඒ කාගෙන්වත් භවන්ත දකින්නනම් එපා.මොකද භවන්ත කියන්නේ ස්ට්‍රෙස් එකක්නෙ.”
භවන්ත! ඔහු සහමුලින්ම වේදනාවකි.
ස්ට්‍රෙස් එකක් නෙවෙයි පාරෝ ඒ මනුස්සයා වේදනාවක්.මරණීය වේදනාවක් කියල පොත්වල තියෙන්නෙ මෙහෙම ඒවට වෙන්න ඇති..”
ලාවන්‍යාට අඬන්නට ඕනෑ විය.නමුත් ඇය නාඬා හිඳින්නට උත්සාහ ගත්තා ය.
“මං මේ රස්සාව නිසා ඉහේ කෙස් ගාණට දැකල තියනවා ගෑනු අයගෙ ප්‍රශ්න.හස්බන්ඩ්ගේ ජරා වැඩ නිසා දුක් විඳින අය, රේප් උනු ගර්ල්ස්ලා. ඒ හැමෝටම උදව් කරාට අපි ඔයා අපායක ඉද්දී ඔහේ ඇස්කන් පියාගෙන හිටිය.අපි ඒ කරගත්තු අපරාදෙට මටම මගෙන් සමාවක් නෑ…”
නැත!
මිතුරියන්ට කරන්නට දෙයක් නැත!
භවන්ත ගැන සියල්ලම සැඟවූයේ ඇය ය. එහෙම හංගමින් ජීවිතයේ හොඳම කාලය නාස්ති කර ගත් බව කියද්දී ලාවන්‍යාගේ ඇස අගින් කඳුලක් ගලා ගියේ ය. පාරමී වහා මිතුරියගේ අතකින් අල්ලා ගත්තා ය.
“ඔයා එහෙම හිතන්න එපා ලාවි.ඔයා දරුවෙකුත් ලැබෙනකන් ඉවසුවනම් තමා මේක අපිට විසඳන්න ඇත්තටම පරක්කු කාරණාවක් වෙන්නේ.දැන් අපි කොහොමහරි මේක ලෙහා ගත්තනෙ.ඔක්කොම දේවල් දරුවො එක්ක දරා ගන්න තැනකට ඔයා වැටුණනං..සමහරවෙලාවට ඔයා ජීවිතේ ගැන නරක තීරණ පවා ගන්න ඉඩ තිබ්බ.දැන් තියෙන්නෙ හෙමින් හිත හදා ගන්න..ඒ හිත හදා ගන්න එකට ඔයාට තේජගේ හරි නිර්වාන්ගේ හරි උදව් ඕනනම් ඒක ගන්න දෙපාරක් හිතන්න එපා”
ලාවන්‍යා කඳුළු පිස ගනිමින් මිතුරියට සවන් දුන්නා ය.ඒ කතාව සත්‍යයකි.මේ ඉවසීම නොකඩවා පවත්වා ගත්තානම් සියදිවි නසා ගැනීමෙන් මෙපිටට තමන්ට තීරණයක් නැතැයි ඇයට සිතිණ.
“අනික ඔයා කොහොමද ඔයා පරක්කුයි කියන්නෙ.අපි කිසිම කෙනෙක් අලුත් අඩියක් තියන්න මොනම වෙලාවකවත් පරක්කු නෑ.අපි හරිම තීරණ ගන්නව නම් ඒක මැරෙන්න මොහොතක් තියල හරි කරන එක තමයි දිනුම කියන්නේ..”
පාරමී කියන්නේ ඇගේ නව වෘත්තීය පිවිසීම් ද ඉගෙනුම් අවස්ථා ද නැතහොත් තේජ සහ නිර්වාන් අතර දෝලනය වන හිත ගැන ද යන්න ලාවන්‍යා කල්පනා කළා ය.
(ඇත්තටම ඔයාලාගෙ මනාපේ තේජට ද? නිර්වාන්ට ද?)