යුවතියන්ගේ සිහින් කිච්බිචිය කුමක් අරඹයා දැයි නිලුපුලීට වැටහීමක් නැත.නැතුවාම නොවේ. ඒ ඇයට වග ඇය දනියි. නමුත් මෙවර ඒ කුමන හේතුවකටදැයි ඇයට සැක ය. ඈ නෙත් කොනින් වටපිට බැලුවා ය. අඩුම තරමේ මේ වතාවේ කුමන කාරණාවකටදැයි දැන ගන්නට තිබුණානම් අපූරු ය. නමුත් ඇයට ඕවා කියන්නට කෙනෙක් නැත.
ඇලකන්ද වත්තේ කෙල්ලක් ලිලී ෂේඩ්ස් ආයතනයේ සේවිකාවක වීම ම පුදුමයකි. මේ එතරමට නවීන පන්නයේ ආයතනයකි. මල් සැකසුම් සම්බන්ධයෙන් මේ වෙද්දී රටේ වැඩිපුරම කතා බහ කෙරෙන ආයතනයකට පැමිණීම ම ඇයට මහමෙර අල්ලා ගත් බඳු හැඟීමක් ගෙන ආයේ ය.
“අර අහස්යාගෙ මිනිහගෙ නේද ඔය මල් කඩේ”
අසීරුවෙන් සුදුසුකම් ලද රැකියාව මල් සැකසුම් ශිල්පිනියක වීම ද නොවේ. නිලුපුලී මෙතැන සහකාර ගිණුම්කරණ නිලධාරිනිය ය. එවැනි රැකියාවකට සුදුසුකම් ලැබූ දිනයේම අම්මාට අසන්නට තිබුණේ එහෙම ප්රශ්නයකි.
“ඒක මල් කඩයක් නෙවෙයි. මල් මාල හදලා අර ජෝසේ ආච්චි වගේ විකුණන තැනක් කියලා හිතුවද? අනිත් එක අහස්‍යා අහස්‍යා ගාන්න එපා. ඒ මගේ ලොක්කගෙ නෝනා. ඒ මනුස්සයා ගායිකාවක් වුණයි කියලා නම කියලා කතා කරන්න අපිට බෑනෙ.”
නිලුපුලී අම්මාගේ ඇඟට ගොඩ වූවා ය. වේල්ල වත්තේ කුණු ගඳ මිසක මල් සුවඳ නැත. එහෙව් පරිසරයක උපන් ඇයට නිලුපුලී යැයි නමක් තැබීමම විහිළුවක් බව නිලුපුලී සිතයි. නමුත් අම්මා කියන පරිදි ඒ නම දී ඇත්තේ වාට්ටුවේ දොස්තර නෝනා ය. තාත්තා කවුදැයි නොදන්නා කෙල්ලකට නමක් තැබීම ගැන ඇය නොදන්නා වෛද්‍යවරියට ස්තූතිවන්ත වූවා ය.
“උඹේ මල් කඩේ රස්සාව කොහොමද කෙල්ලෙ?”
ගෙවල්වල වැඩක් කර කීයක්ම හෝ හොයාගන්නා අම්මා තමන්ගේ රැකියාව පහත් කිරීම නිලුපුලීට උහුලා ගන්නට අපහසුම කාරණාවකි. මේ සවන් දෙන අම්මා කෙනෙකු වූවානම් කියන්නට ඕනෑතරමට දේ තිබේ. ආයතනයෙන් සපයන ලද ටී ෂර්ට් නොවන්නේ නම් අඳින්නට තරම් ඇඳුමක්වත් නැත. සෙසු කෙල්ලන් මේකප් දමද්දී ඇයට ලිප්ස්ටික් කූරක්වත් තිබුණේ ද නැත. හැම දෙයක් ම අවසන් වන්නේ නැත යන අර්ථයෙනි. නමුත් සියල්ලටම වඩා වේදනාවක් දැනුණේ ඊයේ ය. උසස් පෙළ අවසන් කළ පසු ගෙදරක බබෙකු බලා ගන්නට ගොස් ලැබුණු වැටුපෙන් ඉතුරු කරගත් මුදලෙන් ඇය ජංගම දුරකථනයක් මිලට ගෙන තිබුණා ය. ෆේස්බුක් ගිණුමක් සාදා ගත්තේ ද වත්තේ මලයෙකුගේ කීමට ය. ෆේස්බුක් තුළ කාන්තා සමූහ ඇති බවත් ඒවාට එකතු වීම දැනුම ලැබීමට අපූරු මාර්ගයක් බවත් ලිලී ෂේඩ්හි උමයංගා නිලුපුලීට පැවසුවා ය. දැන් කාර්යාල කටයුතුවලට ලැබුණු අළුත්ම ජංගම දුරකථනයක් ද වේ. නිලුපුලී SmartLady සමූහයට එක් වූයේ ඒ හන්දා ය. උමයංගාගේ නිර්දේශයෙනි.
උමයංගා පැවසූ දේ ඇත්ත බව සිතමින් ඇය ස්මාට්ලේඩි සමූහයේ නිර්නාමික ගැටළු කියැවූවා ය. දරුවෙකුගේ කුඩා වෙනසකට පවා කම්පිත වෙන අම්මාවරුන්ට ආදරය කරන්නට ගත්තා ය.ඇගේ අම්මා “අප්පා නැති මූසලී” යැයි ඈට බනිද්දී පියවරු නැති දියණියන් ඇතිදැඩි කිරීම තෝරා ගත් තරුණ ගැහැනුන් වීරත්වයෙන් දකින්නට ඇය පුරුදු වූවා ය. සමහර ගැටළු දෙස සානුකම්පිතව බලන්නට පටන් ගත්තා ය. එසේ හිඳින්නට ලැබුණේ දවසක් පමණි.
“අපේ ඔෆිස් එකට අලුතින් ගෑනු ළමයෙක් ආව. එයා ළඟින් මාර දාඩිය ගඳක් එන්නේ. දාඩිය ගඳද වෙන මොකක්ද අනේ මන්දා. වැඩ කරන්න හරිම අපහසුයි. ස්මාටීස්, කොහොමද ඒක කියන්නේ”
ඒ නිර්නාමික පණිවිඩය නිලුපුලීට ඒ තරමට නොදැනෙන්නට තිබිණ. කාර්යාලයේ සියලුම කෙල්ලන් එතැනට එකිනෙකා මෙන්ෂන් කරගන්නට පටන් ගෙන තිබිණ. ඉනික්බිති එවැනි ගැටළුවක් ඇති බව කියන්නියන් ද විය. එතැන අදහස් ප්‍රකාශ කර නොතිබුණේ උමයංගා පමණි.
ඉතින් ඒ කාගේ ලියමනක්දැයි නිලුපුලීට වැටහේ.
ඔවුන් පීඩාවකින් බව සත්‍යයක් විය හැකි නමුත් මෙසේ සැලසුම් කර පීඩාවට පත් කිරීම මොනතරම් නින්දිතදැයි නිලුපුලී සිතුවා ය. එහෙත් එතැන පිළිතුරු දුන් බොහෝ කාන්තාවන් සැබෑ සුහුරු පිළිතුරු ලබා දී තිබිණ. ඩෙටොල් බිඳු කිහිපයේ ප්‍රතිකාරය හැරෙන්නට මේ මොහොතේ වෙනත් යමක් කිරීම අසීරු ය. උදෑසනම නාගන්නට පයිප්පය අල්ලා ගන්නට නොලැබෙන දවසේ මේ දාඩිය ගඳ ප්රශ්නය වැඩි වෙන බව ඇය ද නොදන්නවා නොවේ. නමුත් ඇයට පළමු වැටුප ලබා ගන්නා තුරු විලවුන් මිලට ගන්නට අවස්ථාවක් නැත. ඒවා මෙතැන හිඳින්නියන් සමඟ බෙදා ගැනීම අසීරු ය.
“හායි කොහොමද ළමයි..”
මුලින්ම ආවේ විලවුන් සුවඳකි. ඉනික්බිති කෙල්ලන්ගේ පිළිගැනීමේ හඬ ය.මෙරූන් පැහැති අත් නැති කොට ගවොමකින් සැරසුණු අහස්‍යා ලියනාරච්චි බබෙකු මෙන් යැයි නිලුපුලීට සිතිණ. ඇය කොහොමටත් ආඩම්බර නැත.
“ඒ වුණාට එයා නිකං රඟපානවා කියලා මට හිතිලා තියනවා ඕයි.”
අහස්‍යාගේ සැමියා වූ රදීෂ් ලියනාරච්චිගේ ආයතනයේ රැකියාවක් ලැබුණු බව කියද්දී නිලුපුලිගේ වත්තේ මිතුරිය වූ රුකී පැවසුවා ය. රුක්ෂානි හෙවත් රුකී පාසල් අධ්‍යාපනය නිම කළේ ලොකු පුතා ලැබෙන්නට ආ පහළොස් හැවිරිදි වියේදී ය. දැන් ඇයට විසි දෙකකි. දරුවන් තිදෙනෙකි.
“ඒකි කතා කරන්නේ උඹලගෙ බොසා වටේ ඒකිගෙ මුළු ලෝකෙම හැදිලා වගේනෙ.මොන බොරුද යකෝ ඕවා. එහෙම වෙනවනම් බැරියැ. මිනිහෙක් එච්චර හොඳ වෙන්න මොකද ඒ සිදුහත් ද?”
රුකීගේ ඒ කතාවලට පිළිතුරු දෙන්නට නිලුපුලීට ඕනෑ වූයේ නැත. ඇය උරහිස් ගස්සා අහක බලා ගත්තා ය. මේ මොහොතේ ද ඇයට ඒ කතාව සිහි වේ. අහස්‍යා හිනැහෙමින් බලා සිටින්නේ ඇය දෙස ය.
“මගේ එකවුන්ට් එකක වැඩක් බලන්න කිව්වම නිලුපුලී ඒ වැඩේ ලස්සනට හැන්ඩ්ල් කරලා තිබ්බනෙ. මං ආවේ එයාට තෑන්ක්ස් කරන්න ගිහානි.”
අහස්‍යා එසේ පැවසුවේ ප්‍රධාන ගණකාධිකාරිනිය වූ ගිහානිට ය. ගිහානි ඉතා හොඳ බව පෙන්වන එහෙත් දැඩි පාලනයකට අන් අය ලක් කරන බහු පෞරුෂයක් ඇති ගැහැනියකි. ඇයට මේ කතාව දැරීමට අපහසු ය. අහස්‍යාගේ පෞද්ගලික වැඩ කරදෙන්නී ඇය ය.
දැන් ඒවා මේ හපුටු කෙල්ලකට ලැබීම හොඳ වැඩක් නොවේ.
“ඊයේ රෑ නයින් තර්ටි වගේ මං ඔයාට රිං කරා. ඔයා ආන්සර් කරේ නෑනෙ. නිලුපුලී ඇහැරන් හිටියා. ඊටපස්සෙ එයා මගේ වැඩේ කළා.”
ගිහානි කොහොම මනුස්සයෙක්දැයි දන්නා අහස්‍යා වහාම කතාව නිවැරදි කළා ය. අනතුරුව ඇය නිලුපුලී වෙත ආවේ හිනා කටක් පුරවාගෙන ය.
“ඒ වැඩේ හරියට කළාට මගෙන් ඔයාට තෑග්ගක්.”
ඒ ඉහළම සන්නාමයක් දරන රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයක බෑගයකි. එහි ආලේපන කිහිපයක්ම ඇතැයි කෙල්ලන්ට සිතිණ. දහඩිය ගඳ ඇතැයි සරදම් ලැබූ එකිය හෙට සිට ඉතා සුවඳැති මලක් වන්නට ඇති ඉඩකඩ වැඩි ය. ඔවුන් මුහුණට මුහුණ බලා ගත්තේ එනිසා ය.සියල්ලටම වඩා පැටලී ගොස් සිටියේ නිලුපුලී ය. අහස්‍යා ඔය කියන අන්දමේ කිසිවක්ම ඇය කර නොමැත. ඒ හන්දා මෙහෙම තෑග්ගක් දෙන්නට ඇයට සිතුණු කාරණාව නිලුපුලීට සිතා ගැනීම පවා අසීරු ය.
“අර පෝස්ට් එක දාන්න ඇත්තේ ඔෆිස් එකේ ගෑනු ටිකම තමයි. ඊටපස්සෙ මැඩම්ට කම්ප්ලේන් කරන්න ඇති.”
නිලුපුලී පාර්සලය ඇගේ බෑගයට ඔබා ගන්නා අතර සිතුවා ය. එහි කාඩ් පතක් ඇති බව පෙනෙයි. තිබෙන්නේ මොනවාදැයි කියවන්නට අහස්‍යා මෙතැනින් යන තුරු ඉන්නට ඇය ඊළඟට තීරණය කළා ය.