කටට සැරට රසවත් අඹ මාලුවක් හදමු

අඹ කියන්නෙ එළවලුවක් විදියටත් පලතුරක් විදියටත් දෙවිදියට ම කන්න පුළුවන් ගුණදායක ආහාරයක්. තරමක් ඇඹුල් රසකින් යුතු අඹ රස ම රසට උයා ගන්න හැටි ගැනයි මේ ලිපිය.

අඹවල විටමින් සී බහුල වශයෙන් අඩංගුවෙනවා. එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතා ම වැදගත්. ඒ වගේ ම ප්‍රතිඔක්සිකාරකවලිනුත් පිරිපුන් ආහාරයක් ලෙස අඹ හඳුන්වන්නට පුළුවන්. අඹවල ආහාර දිරවීමේ සුවිශේෂී එන්සයිමයක් අඩංගුයි. ඉතින් අඹවලට ඉක්මනින් ආහාර දිරවීමේ හැකියාවත් තිබෙනවා.

අපි අද බලමු අඹවලින් රස ම රස ව්‍යාංජනයක් හදන විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පැසුණු අඹ ගෙඩි දෙකක්
කහ තේ හැඳි බාගයක්
මිරිස් තේ හැඳි දෙකක්
බැදපු තුනපහ තේ හැඳි බාගයක්
ගම්මිරිස් තේ හැඳි බාගයක්
ලුණු තේ හැන්දක්
උළුහාල් තේ හැන්දක්
අබ තේ හැඳි බාගයක්
එනසාල් ඇට දෙකක්
කුඩා කුරුඳු පොත්තක්
මිටි කිරි කෝප්ප කාලක්
තලාගත් ඉඟුරු සුදුලූණු
අමුමිරිස් කරල් දෙකක්
පොල්තෙල් ටිකක්
කරපිංචා
රම්පෙ

  • අවශ්‍ය නම් සීනි මේස හැන්දක්

හදන්නේ මෙහෙමයි

අඹ ගෙඩි ටික සෝදා ගන්න. දැන් පොත්ත සහ ඇට ඉවත් කර තරමක කෑලි කපා ගන්න. දැන් තාච්චියක් ලිප තබා අබ පුපුරවාගන්න. ඉන්පසු ඉඟුරු සුදුලූණු පේස්ට් එක එකතු කරන්න. එය යන්තම් රන්වන් පැහැ වන විට කරපිංචා සහ රම්පෙ එක් කරන්න. උලුහාල් ද එක් කරන්න. දැන් මිරිස් ටික එක් කරන්න. මිරිස් අඳුරු පැහැවන විටම පොල්කිරි හැර ඉතිරි සියල්ල එක් කරන්න. වතුර කෝප්ප බාගයක් එක් කර තම්බා ගන්න. අවශ්‍ය පමණට තැම්බෙන විට කිරි එක් කරගන්න. කෑලි නොකැඩෙන සේ හැඳි ගාමින් කිරි නටන තෙක් පිස ගන්න. ඔබ පැණිරස ව්‍යාංජනයකට කැමති නම් පමණක් සීනි මේස හැන්දක් අවසානයේ එක් කරන්න. නැති නම් සීනි නැතිව වුවත් ඉතා ම රසයි. කහ බත් එකකට වඩාත් ගැළපේ.

Related Articles

Don't Miss


Latest Articles