පතිදම්වැල් 18

කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාගාරයේ අවන්හලේ හිඳ අනුප මධුවිත තොලගාමින් උන්නේ සවස හය හමාර වෙද්දීම වාගේ අඳුරු සලුපිලි පොරවාගත් අහස දෙස බලමිනි.ඒ අහස තරම්ම අන්ධකාරයක් තම සිත අස්සේත් පැලපදියම් වී ඇති බව අනුප දනී.

මිනිසෙකු බොහෝ විට තනිවම බාරයකට පැමිණ මධුවිතෙන් සප්පායම් වෙමින් අන්ධකාරය දෙස බල හිඳ කල්පනා කරන්නේ සිත දවන ගැටලුවක් ගැන බව දන්නා නිසාවෙන්දෝ මද පවන පවා ගලා ගියේ අනුපගේ ඒ කල්පනාවට බාධාවන් නොපමුණුවමිනි.

“මට ඩිවෝස් වෙන්න ඕන”

එවදන් අසන්නට පවා ෂෝබිතා වචන හොයාගත්තේ කොහෙන්දැයි අනුපට සිතගන්නටවත් නොහැක.

තමා ඇයට පෙම් කල බව මිසක, සියල්ලන්ගේම කැමැත්තෙන් එකිනෙකා හා විවාපත් වූ බව මිසක ඇයව බලෙන් විවාහ කරගත් බවක් අනුපට මතක නැත. එහෙත් ෂෝබිතා දැන් හැසිරෙන්නේ තමා ඇයව බලෙන් විවාහ කරගෙන, බලෙන් දරුවෙකු හදා ඇයගේ පැරණි පෙම්වතාගෙන් ඇයව ඈත් කලාක් මෙනි.

විවාහ ජීවිතය තුල අඹු සැමියන් අතින් එකිනෙකාට වැරදි සිදුවන බව අනුප නොදන්නවා නොවේ. තමා අතින් ඈට කිසිත් වරදක් නොවුණ තැනක ඇය කල් ඉතාම බරපතළ වරදට පවා සමාව දී කුලගෙය රැකගන්නට උත්සාහ කල තමාට ෂෝබිතා මෙතරම්ම දඬුවමක් දෙන්නට සිතුවේ ඇයිදැයි කියා අනුපට සිතා ගන්නටවත් නොහැක.

“ඔයාට මොන යකෙක් වැහිලද ෂෝබිතා මේ පිස්සු කියවන්නේ”

මහන්සිය නිසාවෙන් ඇඟ පත සෝදාගෙන නින්දට යන්නට ආ තමාගේ සිත මත ඇය ඊයේ දිනයේ තැබුවේ මොනතරම් නම් බර කන්දරාවක් ද?

අත්‍යවශ්‍යම මීටින් කිහිපයක් නිසා රැකියාවට ආවා මිසක අනුප උන්නේ සිත එකලස් කරගෙන රාජකාරි කරගෙන යා හැකි තැනක නොවේ.

රැකියාවේ වැඩ අවසන්ව ගෙදර නොයා වෙන කොහේ හෝ යන හැකියැයි සිතූ සිතුවිල්ල නැවතුනේ කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ අවන්හලෙනි.

ජීවිතය මෙතරම්ම අපහසුම තැනකට තමාව ගෙනවිත් තිබෙන්නේ ඇයිදැයි කියා අසන්නට නොහැකි බැවින් එක් අතක මත්පැන් වීදුරුව රඳවාගෙන එයට එක් ඇඟිල්ලකින් තට්ටු කරමින් අනුප උන්නේ ඈත ආකාශයෙ අන්ධකාරය දෙස බලමිනි.

“මට පිස්සු නෑ අනුප.හැබැයි දිගටම මෙහෙම ඉන්න ගියොත් මට පිස්සු හැදේවිද කියල මට බයයි”

“මට තේරෙන්නෙ නෑ ෂෝබිතා මම ඔයාට කරපු වරද මොකද්ද කියල ඔයා මට ඔය විදියට සලකන්න? අනික ඔයාට කොහොමද පුලුවන් උනේ මෙහෙම මේ තමන්ගෙ දරුවව අමතක කරල තමන් ගැන විතරක් හිතල තීරණයක් ගන්න?

මම කොහොමද ලෝකෙට මුණ දෙන්නෙ?

මගෙ දරුව කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ?”

එක කඳුලක්වත් නොසලා, කොහෙන්දෝ සොයාගත් අමුතුම මුරණ්ඩුකමකින් තමගේ මුහුණ දෙස බලා හිඳින ෂෝබිතා දෙස බල අසද්දී පවා තම සිත ගැහෙමින් තිබුණ බව අනුපට මතකය. එහෙත් ෂෝබිතා උන්නේ ඒ කිසිවක් ගණන් ගනිමින් නොවේ. තම වේදනාවන් අමතක කල ගැහැනියක මෙන් ඇය තමා දෙස බලා හිඳී.

“මෙතන වරද මගේ කියල මම දන්නව අනුප. වෙන මනුස්සයෙක්ට කැමැත්තෙන් ඉඳල අම්මලගෙ කීමට ඒ මනුස්සයව බැඳගන්න බැරි වුනාම මම කාගෙන් හරි පලිගන්න වගේ ඔයව බැඳපු එක වැරදි.

ඊටත් වඩා මම දරුවෙක් හදපු එක වැරදි. ඒත් දුලන්‍යා ඉපදෙද්දි මම කවදාවත් හිතුවෙ නෑ දමිත් ආපහු ඒවි කියල. එයා ඒවි කියල පොඩි හරි බලාපොරොත්තුවක් හිත ඇතුලෙ තිබුනනම් මම කවදාවත් දුලන්‍යාව හදන්නෙ නෑ.

ඒත් මට ආය දමිත්ව අතෑරගන්න බෑ. අනුප අයෑම් සොරි.

මම ආයෙ වතාවක් කවුරුහරි නිසා එයාව නැතිකරගත්තත් මම හිතන්නෙ නෑ මට ආයෙ කවදාවත් ඔයගෙ වයිෆ් විදියට හොඳින් සන්තෝසෙන් ඉන්න පුලුවන් වෙයි කියල.

ඔයාට පුලුවන් ලේසියෙන්ම මට විරුද්ධව ඩිවෝස් කේස් එකක් දාන්න. මොකද ඔයා දන්නවනෙ මට කිසිම හේතුවක් නෑ කියල ඔයාට විරුද්ධව කේස් එකක් ෆයිල් කරන්න. ඒ නිසා අපි මේක සුහදව කතා කරල වෙන් වෙමු අනුප ප්ලීස්.මට තවදුරටත් මෙහෙම හිතෙක් එක තැනක ඉන්න ගමන් ලෝකෙට පෙන්න ඔයාගෙ වයිෆ් විදියට රඟපාන්න බෑ.

මෙතන වරද අපේ අම්මලගෙ සහ මගේ කියල මම පිලිගන්නවා.

ඒකට මට සමාවෙන්න”

තමා කල දේ ගැන කිසිදු පසුතැවිල්ලක් නැතුව මෙන් කියන ෂෝබිතා දෙස අනුප බලා උන්නේ පුදුමයෙනි.

ඔලුව කැක්කුමක් සමග නැගී එන සිහිය විකල්වන අන්දමේ හැඟීම දරාගන්නට බැරිම තැන සඳලුතලයට ආවද අනුප උන්නේ ඒ වේදනවෙන් බිඳක් හෝ මිදෙන්නට නොහැකිවය.

තම බිරිඳ අනියම් ඇසුරක් පවත්වන බව ඇසුණු තැනක වෙන ඕනෑම පිරිමියෙකු හැසිරෙන අන්දමට වඩා වෙනස්ව යහපත්ව හැසිරෙන්නට තමා නිරතුරුව කටයුතු කලේ ඇය ගැන කෝපයක් වේදනාව්ක් සිත තුල නැති නිසා නොව දුලන්‍යා වෙනුවෙන් හෝ මේ කුල ගෙය රැකගත යුතු වූ නිසාවෙනි.

එහෙත් අවසානයේ තමා වෙනු ඇතැයි බිය වෙමින් හුන් දෙයම සිදුවෙමින් පවතින බව පමණක් අනුපට තේරුම් යමින් තිබුණාය.

මුදල් සහ මැර බලය පමණටත් වඩා තිබෙන දමිත් වැනි රාජ්‍ය මන්ත්‍රීවරයෙකු සමග සටන් කල ෂෝබිතා රඳවාගන්නට බැරි බව පමණක් අනුප දැන හුන්නේය. එවන් දෙයක් ගැන සිතීම පවා සිතට වේදනාවක් ගෙන එන්නේ දුලන්‍යා ට තාත්තා කෙනෙකුගේ සෙනෙහස පවානැතිවන්නට තරම් එහි ප්‍රතිපල දරුණු විය හැකි බව දන්නා නිසාය.

“කසාද බැඳපු ගෑනියෙක්ව තමන්ගෙ ගෑණි කරගන්න රටම දන්න මිනිහෙක් කැමති වෙයි කියල ඔයා හිතනවද ෂෝබිතා?”

ඒ අවසාන තුරුම්පුවලින් එකකි.

දමිත් වැනි බල සම්පන්න මිනිසෙකු කෙතරම් සුන්දර වුවද ෂෝබිතා වැනි විවාහක, පෙර විවාහයෙන් දුවණියක සිටින කාන්තාවක් විවාපත් කර ගැනීම රටේ ලෝකයේ මිනිසුන්ට ප්‍රවෘත්ති මවන්නට හේතු වන බව අනුප දැනහුන්නේය.

එහෙත් ෂෝබිතා ඒ පැනය අරගත්තේ සැහැල්ලුවෙනි.

“මම දමිත්ව දන්නේ එයා ස්ටේට් මිනිස්ටර් කෙනෙක් වෙන්නත් කලින් අනුප. අයි නෝ හිම් බෙටර් දෑන් එනිවන් එල්ස්”

“මීට අවුරුදු ගාණකට කලින් බ්‍රේක් අප් වෙලා අහම්බෙන් හම්බෙච්ච ඒ මනුස්සවය ඔච්චර හොඳට තේරුම් ගත්ත ඔයාට අවුරුදු හයක් විතර එකට ජීවත් වෙච්ච මාවවත්, අපෙ දරුවවත් තේරුම් ගන්න බැරිඋනේ ඇයි කියල් මට හිතාගන්න බෑ ෂෝබිතා

ඒත් කවුරු මොන වරද කලත් මම ඒ වරද කාටවත් කිසිම වරදක් කලේ නැති අහිංසක දරුවෙක්ගෙ පිටින් යන්න ඉඩ තියන්නෙ නෑ.

පුලුව හේතුවක් දාගෙන ඩිවෝස් එක ගන්න ට්‍රයි කරන්න.මම කේස් එකක් ෆයිල් කරන්නෙ නෑ”

දැවෙන දෑසින් ෂෝබිතා කාමරය මැද හිඳ බලා ඉද්දී අනුප වේගයෙන් මෙන් ඇවිද අවුදින් නතර වුයේ පහත මාලයේ විවෘත ආලින්දයේය.

නිදා සිටි අම්මාට සහ තාත්තාට බාධාවක් නොවන්නට හෙමින්සීරුවේ දොරේ අගුල විවර කල අනුපගේ සියලු වේදනාවන් සනහන්නට මෙන් සිහිල් සුලං රැල්ලක් පාවී අවුත් නැවතුනේ නිවස තුල අතරමං වෙමිනි.

බරසාර කල්පනාවක ගිලී යන්නට මෙන් ආලින්දයේ සැහැල්ලු පුටුවක වාඩි වී හුන්නද සිතට කිසිවක් සිතන්නට එකඟතාවක් නැත. සියලුම කල්පනා රැහන් ගොස් නතරවන්නේ එකම තැනකිනි.

ෂෝබිතා තම අතහැර යන්නට විමසුවේ විවාහය මුල් කාලයේදී නම් ලැජ්ජාව වේදනාව අන් සියල් සංවේදනාවන් දරාගෙන එකී තීරණයට හිස නවන්නට හිත හදාගන්නට පුලුවන් කම තිබුණද දැන් එසේ කරන්නට කිසිත් හැකියාවක් නැත.

වරද කා අතේ තිබුණද කිසිවෙකුට වරදක් කර නැති අහිංසක දරුවෙක්ට මවක් අහිමි කරන්නට තරම් කෲර සිතක් ෂෝබිතාට ඇතැයි යන්න සිතන්නට පවා අනුපට නොහැක.

හිස්වෙමින් තිබූ වීදුරුව මේසය මත තබා වේටර් කොලුවෙකට සන් කර බිල ගෙනෙන මෙන් කියූ අනුප පුටුවෙන් නැගී හිඳ කොල්ට්ස් බාරයේ බිම හිඳ අඩි දෙක තුනක් පමණ උස බැම්මට අත තබා පහල ක්‍රීඩාංගනය දෙස බලා හුන්නේය.

තරුණ ක්‍රීඩකයන් නිදහසේ ක්‍රීඩා කරන අයුරු දකිද්දී තම තරුණ කාලය මතක් වීම වළක්වන්නට නොහැකිය.

“සර් මෙන්න බිල් එක”

අනුප ආපසු හැරුණේ වේටර්වරයාගේ හඬිනි.

බිල සහිත ෆයිල් කවරය තුලට තම බැංකු කාඩ් පත සහ කොල්ට්ස් සාමාජික කාඩ්පත තබමින් හුන් අනුප දෙස බලා අසන්නට හුරුපුරුදු වේටර්වරයාට දහක් ප්‍රශ්න විය.

එහෙත් බිල ගෙවා අවසානයේ දොරටුවෙන් පිටව යමින් හුන් අනුප දෙස බලා “ඒ සර් අදනම් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ” කියා කියනවා හැර එගැන ඔහු විමසන්නා නොසිතීය.

වාහනය පණ ගන්වා වාහන අංගනයෙන් එළියට දමද්දී ආ දුරකතන ඇමතුම අම්මා ගෙනි.

“මම එන ගමන් අම්මේ”

“පුතා”

අම්මාගේ හඬේ වූයේ කලබලයකි.

“කියන්න අම්මේ?”

දුලන්‍යාට විපතක්ද යන්න ඇරෙන්න අනුපගේ සිතට වෙන කිසිත් මතකයක් ආවේ නැති බව සහතිකය.

අම්මගේ පිළිතුරෙන් ලැබුණ වේදනාව මදකට හදවත නතර කරවන්නක් බව පමණක් දැනෙද්දී රියේ වේගය වැඩිවුනේ නිරායාසයෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles