තරණිට අම්මා ගැන තිබුණේ යහපත් මතකයක් නෙවෙයි. අම්මා තරණිව ආච්චි ට දාලා රට යනකොට තරණි යන්තම් එකේ පන්තියේ. තාත්තා කියන්නේ කොහොම කෙනෙක්ද කියලාවත් නොදැනගෙන උන්න තරණිගේ ජීවිතේ නෑදෑයෝ කියලා හිටියේ ආච්චයි සීයයි විතරයි. ආච්චි නැති වුනාම ඒ හැමදේටම හිටියේ සීයා විතරයි. දැනුම් තේරුම් තිබුණ වැඩිහිටියෝ දෙන්නෙක් විදියට ආච්චියි, සීයයි තරණිගේ ජීවිතේ පුරවන්න තෝරලා දුන්න පාර අධ්‍යාපනය. තරණි ඒ පාරේ ඉස්සරහටම ගියේ ඒ දෙන්නගේම හිත් වලට සැනසීමක් එකතු කරලා. ආච්චි නැති වෙනකොට තරණි කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ.
ඒ වෙනකොට තරණි පුංචි ව්‍යවසායිකාවක් වෙලත් හිටියේ. අන්තර්ජාලය ඔස්සේ ම මිලයට ගන්නා ඇඳුම් නැවත විකුනණ ව්‍යාපාරය ඇතුලේ තරණි යම් ආදායමක් ලැබුවා. ඒ අතරට තරණි ඇඳුම් මහලා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන ව්‍යාපාරයකුත් පටන් ගත්තා. ඒ හැමදේම කලේ ජීවිතේ තනියෙන් නැගිටගන්න උවමනාවට කවදාම හරි අම්මව හොයාගෙන ගිහින් ඇයි මෙහෙම කරේ කියලා අහන දවසට, මං තනියෙන් හිටගත්තා කියලා පෙන්නන්න ඕනිකමක් ඒ අස්සේ හැංගිලා තිබුණා.
මේ හැමදේම වෙන අතරේ කවදාවත් තරණි අම්මා ගැන කිසිම දෙයක් ඇහුවේවත්, කාටවත් කිව්වේවත් නෑ. ඉඳලා හිටලා කෙනෙක් අම්මව නුවරදී, කොළඹදී දැක්කා කිව්වට තරණි ඒ ගැන හිතුවේවත් නැහැ. විදෙස් ගත වුණ අම්මාගේ මතකය විතරක් එහෙමම ගුලි වෙලා තියෙන්න දුන්නා.
කැම්පස් අවසන් කරලා , රැකියාවකුත් ලැබුනට පස්සේ සීයාගේ මැදිහත් වීමෙන් තමයි තරණිට සුමුදුව මුණ ගැහුණේ. සුමුදු අක්කා කෙනෙක් විතරක් උන්න පවුලක බාලයා. අක්කා විවාහ වෙලා වෙනම පදිංචි වෙලා හිටියේ. ඒ නිසාම සුමුදුව විවාහ කරගන්නවත් එක්කම තරණිට අම්මා කෙනෙක්ගෙයි, තාත්තා කෙනෙක්ගෙයි තනි අයිතිය ලැබුණා. කවදාවත් නොදැන උන්න හැඟීම් එක්ක ගුලි වෙලා ගෙවන අලුත් ජීවිතේ තරණිට හරිම ආශිර්වාදයක් වගෙයි දැනුනේ. සීයාගේ අකමැත්ත එක්කම වුනත්, සුමුදු මැදිහත් වෙලා සීයාවත් ගෙදර එක්කගෙන ආව නිසා තරණිගේ ජීවිතේ හිස් තැන් නොතිබුණ තරම්. තරණි අලුත් පවුලේ ආදරේ එක්ක ආදරණීයව වැඩුණා.
එක දවසක් තරණි පාසැල් යන්න සූදානම් වෙලා ඉන්නකොට ජංගම දුරකතනය ට ඇමතුමක් ආවා. ඒ ඇමතුම දුන්න කෙනා කීවේ තරණිගේ අම්මා අසනීප වෙලා රෝහක් ගත වෙලා ඉන්න බවත්, තරණිට පණිවිඩය කියන්න කීව බවත්.
එක පාරටමඑහෙම මතු වෙන අම්මව පැත්තකට දාලා ඉන්න තරණිට පුලුවන්කමක් නොතිබුන නිසාම තරණි සුමුදු එක්ක කීව මඟ සලකුණු වල තිබුන රෝහලට ගියා. ආච්චි ගේ හැඩහුරුකම තිබුණ කාන්තාවක් රෝහල් සයනයක වැතිරිලා උන්නා.
ඇගේ පලවෙනි ඉල්ලීම වුනේ මේ රෝහලේ ඉන්න නොහැකි නිසා,පෞද්ගලික රෝහලකට ඇතුල් කරන්න කියලා. තරණි දෙවතාවක් නොහිතාම අදාල ලිපිගොණු කටයුතු කරගෙන අම්මව පෞද්ගලික රෝහලකට ඇතුළු කරා. දින කිහිපයක් නිවාඩු දාලා සාත්තුවට ළඟ නැවතුණා. ඒත්, සුමුදුගේ අම්මගෙන්, ආච්චිගෙන්, කොටින්ම පාසැලේ වැඩිමහල් ගුරුවරියන්ගෙන් විතරක් නෙවෙයි සීයාගෙන් සුමුදුගේ තාත්තාගෙන්, සුමුදුගෙන් පවා ලැබෙන මව්වත් කම මේ අම්මා ළඟින් නොදැනෙන වග තරණිට තේරුම් ගියා. සුමුදුට ඒ බව හොඳින්ම වැටහුණත් ඒ ගැන මුකුත් නොකියා උන්නා.
ශල්‍යකර්ම කිහිපයක් සහ ඖෂධ වෙනුවෙන් තරණිට සෑහෙන්නම මුදලක් වැය කරන්න සිදු වුණා. තරණි හිතුවේ ඒ හැමදේම යුතුකම් කියලා. ඒත් එක දවසක් අම්මා හිටපු රෝහල් කාමරයට යනකොට ඇහුණ දෙයක් නිසා තරණිගේ දෙපා අවසඟව ගියා.
“මං මොකෝ මේකිගෙන් සතයක දෙයක් කාලා බීලා තියෙනවා ද..? අවුරුදු පහක් මං කිරි දීලා හැදුවා… ඉතින් මේ ටික කරගත්තාට කමක් නෑ විජේ… අනෙක, මං හිතන් ඉන්නේ පොඩි පුතාගේ කැම්පස් එකේ ඊළඟ සෙමෙස්ටර් එකේ සල්ලි ටිකත් තරණිගෙන්ම ඉල්ලගන්න… තාත්තා බන්දලා තියෙන්නේ ලේසි පහසු මිනිහෙක් නෙවෙයි … ටව්මේ බිස්නස් දෙක තුනක් තියෙන බස්කාරයෙක්….”
අඬාගෙන ගෙදර ආව තරණි සුමුදුගේ අම්මාව බඳාගෙන තව ඇඬුවා. සුමුදු ඒ දිහා බලාගෙන මුකුත් ම නොකියා හිටියා.
“ඇයි අම්මේ. ඒ අම්මා මට එහෙම කරන්නේ ? මොකක්ද මං කරපු වැරැද්ද ?”
තරණි අඬ අඬාම ඇහුවා.
“වදලා කිරි දුන්න පලියට ගෑණු අම්මලා වෙන්නේ නෑ දෝණි… ඒ නිසයි එහෙම වෙන්නේ… දැන් ඔය ණය ඔහොම ගෙවිලා ඉවර වෙන්න දෙන්න.. දෝණිගේ චේතනා කිළුටු කරගන්න එපා… ආයේ වෙන වෙන වැඩවලට සල්ලි ඉල්ලගෙන ආවොත් ඒක සුමුදු එක්ක කතා කරගන්න කියන්න … හොස්පිටල් වැඩ ටික ඉවර කරගන්නකල් බලාගමුකෝ….”
සුමුදු අම්මා දිහා බලාගෙන හිටියේ ආදරෙන්.
| අපේක්ෂා ගුණරත්න |