සියක් සියපත් 34

පංකජී ඩෙස්ක් එක මත හිස තියා ගෙන නිසොලමනේ හිටියා ය. තද හිස රදයක් ඇයට දැනේ. ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් නිසා වැඩිපුර ඉගැන්වීම් සිදු නොවීම ඇයට සහනයක් විය. අතැඟිලි වලින් ඕ නළල දෙපස තද කොට ගත්තා ය. කඳුළක් ඇස් පිල්ලම් වලට මිරිකී පිටතට පැන්නේ ය.

“තමුසෙ මට කැමති වුන්නැත්තං මං තමුසෙගෙ අක්කව දූ ෂ ණ ය කරල මරන්නෙ. ම ර න එක ම ර නව මයි..”

සුපුන් දත් මිටි කමින් කියූ ඒ මොහොත මේ දැනුත් පංකජී ගේ සිතේ මනස් රූප අඳී. ඒ හඬ ඇගේ සවන් තුළ පිළිරැව් දේ. ඒ වචන ටික ඇහෙත්දී දැනෙනා අප්‍රසන්න හැඟීම ඇගේ සිරුරේ හී ගඩු නංවයි. යුවතිය අත් දෙකෙන් ම කන් දෙක තද කොට වසා ගත්තා ය.

“අනේ එපා”

ඇගේ මුළු ආත්මය ම කෑ ගසා කියයි. ඉකි බිඳ හඬයි. උණු කඳුළු අහුරු ගණන් ඇස් වලින් ගිලිහෙයි. පංකජී ඩෙස්ක් එකෙහි හිස ගසා ගත්තී ය.

“ආ මේ පැරසිටමෝල් දෙක බොන්න. එතකොට ටිකක් අඩු වෙයි මෙයා ඕනවට වඩා නිදි මරාගෙන පාඩං කරනවද කොහෙද”

මිතුරියක පෙති දෙකක් දුන්නා ය. පංකජී වතුර බෝතලය උගුරට හලා ගෙන ඒ ගිල දමා නැවත ද හිස ඩෙස්කුවේ ඔබා ගත්තා ය.

සුපුන් එවන් බලහත්කාර තර්ජනයක් කළේ පංකජී පාසල් ඇරී එමින් සිටියදී ගුරු පාරේදී ය.

“මං තාත්තට කියනව ඕකනං. තාත්ත පොලිස්සි යයි මේ සැරේනං”

ඇය ආඩම්බරයෙන් පිම්බී ලොකු කතාවක් කීවා ය. නමුත් සුපුන් ගේ සමච්චල් සිනහව ඉදිරියේ ඇගේ මානය බිඳී යමින් තිබිණි.

“එහෙම දෙයක් වෙලා තිබුණොත් බල්ලෙක් වගේ පාරෙ මුලින්ම ම ර ල දාන්නෙ ශාන්තයව. අන්න ඒක මතක තියා ගන්නව. තමුසෙලගෙ පවුලෙ එවුං මට කරපු අවනම්බුවට ම රා ගෙන මැ රෙ න්න මට පුළුවන් හරිද… මට දැං උලේ හිටියත් එකත් පිළේ හිටියත් එකයි”

පංකජී තැති ගත්තේ ඉනික්බිති ය. සුපුන් ගේ මූණේ තිබුණේ ඒ තරමට අළුගෝසු පෙනුමකි. ඔහු පැවසූ ඕනෑ ම දෙයක් කළ හැකි විදිහේ අපාගත ස්වභාවයකි. 

“මේ ගැන ගෙදර ගිහිං කටක් හොල්ලන්න එපා නංගි. එහෙම වුණොත් ඒක ඕගොල්ලොංගෙ මුළු පවුලෙම අවසානෙ වෙන්න පුළුවන්. වෙන්න යන ලොකු විනාසයක් නතර කරන්න පුළුවන් ඔයාට විතරයි. ඔයාට මට කැමති වෙන්න විතරයි තියෙන්නෙ. එහෙම වුණොත් ගෙදර කාටවත් මගෙන් කිසි හිරිහැරයක් නෑ”

“තමුසෙ හදන්නෙ මහ ජරා විදිහට පලිගන්න. අපේ අක්ක තනියම ඉන්න වෙලේ ගෙට රිංගපු මිනිහගෙන් මීට වඩා හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ කියල කොහොමත් මං දන්නව”

“කොහොම වුණත් තීරණේ තියෙන්නෙ ඔයාගෙ අතේ. මහලොකු අක්කගෙයි තාත්තගෙයි ජීවිතේ තියෙන්නෙත් ඔයාගෙ අතේ. ඇඟේ ඇඳුං කෑල්ලක්වත් නැතුව ගමේ කොල්ලො දහයක් දොළහක් අතින් දූ ෂ ණය වෙලා මැ රි ල ඉන්නකොට කොහොමද අර කුමාරිහාමි…”

පංකජී වෙව්ලා ගියා ය. සුපුන් කී විදිහේ දර්ශන ඇගේ හිතේ මැවි මැවී ඈ බියපත් කරවන ලදී. යුවතිය ඇතුළාන්තයෙන් ම ගල් ගැසී සිටියා ය. ඇහැට කඳුළක් හෝ උනන්නේ නැති තරමට ඇය වියළී ගිහින් සිටියා ය. ඇය ගුරු පාර දිග ගෙදර ගියේ දෙපා අද්ද අද්දා ය. මේ ගැන ගෙදරට කියන එකේ අවදානම ගැන හිතන්නත් ඇය බිය වූවා ය. ළාබාල ගෑනු ළමයෙකුට  ඒ වාගේ දරුණු ගණයේ තර්ජනයක් යනු මනසට ඔරොත්තු නොදෙනා විදිහේ එකකි. නමුත් පංකජී යනු බුද්ධිමත් ගෑනු ළමයෙකි. මෙහෙම වෙලාවක කලබල වෙන්නේ නැතිව ඉවසීමෙන් කටයුතු කළ යුතු යයි ඇය මුලින් ම සිතා ගත්තා ය. කල්පනා කොට යමක් කිරීම සඳහා කාලය ගත යුතු ය කියා ද ඇය තීරණය කළා ය. සුපුන් අක්කා ට අනතුරක් කරන්නට නියමිත නම්, එය යම් තරමකට පමා කර ගැනීමෙන් ඒ අතරේ විසඳුමක් සොයා ගත හැකි වනු ඇත. එහෙම අවස්ථාවක් ලැබෙනා තුරු ඇය සුපුන් ගේ යෝජනාවට එකඟ වූවා ය. ඔහු ඇයව යතුරු පැදියෙහි නංවා ගෙන යනු සියපත් දුටුවේ එදා ය. පංකජී එහෙම කළේ පුළුවන් කමකට නොවේ. ඇය අක්කාටත් මව් පියන්ටත් හිතුවක්කාර වූයේ ද වෙන කරන්නට දෙයක් නැති කමට ය. දිවි තොර කර ගන්නවා කියා ඔවුන් ව නිසොල්මන් කළේ කිසිවෙකුට කරදරයක් නොවනු වස් ය.

නමුත් සුපුන් පැන යන්නට කතා කරතැයි ඇය සිහිනයෙනුදු සිතුවේ නැත. ඒ තරම් ඉක්මනින් ඔහු ඒ වාගේ අශ්ලීල තීරණයක් ගනු ඇතැයි ඇය සිතුවේ ම නැත. හැම අතින් ම ඇය කොටු වී ඇතැයි හැඟෙත්දී පංකජී ට කර කියා ගන්නට දෙයක් නො විණි. එදා උපකාරක පන්ති නොමැති දවසක් නිසා ඇය එන්නේ පාසල් බස් රියෙහි ය. කොහුවල දී බසයෙන් බසිනා ලෙස සුපුන් දැනුම් දුන්නේ ය.

“හැබැයි මාත් එක්ක සෙල්ලං කරන්නනං හදන්නෙපා. ගෙදර අයට කියල පොලිස්සි එක්ක එහෙම එතන්ට එන්න හිතං ඉන්න එපා. එහෙම වුණොත් තමුංගෙ බඩ බොකු එළියට එන්න අඟල් හය හතක් බස්සෝලයි මං හිරේ යන්නෙ. ගේම් ගහන්නනං හිතං ඉන්න එපා. එහෙම වුණොත් ගෙදර එකෙක් නෑර බාවෝනව”

ඒ වචන සිහි වෙත්දීත් පංකජී හිස අත් බදා ගත්තා ය. මේ කොහොල්ලෑ ගුලියෙන් කොහොම ගැලවී ගන්න ද කියා ඇයට තේරෙන්නේ නැත. අක්කාට හෝ ගෙදර කිසිවෙකුට හෝ හිරිහැරයක් නොවී සුපුන් එක්ක යන එක ගැන හිත හදා ගන්නට ද ඇය උත්සාහ කළා ය. නමුත් එය පහසු නැත. අද උදේ පාසල් ඇඳුම ඇඳ ගෙන ඇය ගෙයින් දොට්ට බැස්සේ ආයේ ඒ ගෙදරට එන්නට හැකි වේද කියා හරියට නො දැන ය. එහෙම හිතත්දීත් ඇගේ බඩ පපුව දැවී ගියේ ය. සියපත් වෙත දිව විත් ඇය වැළඳ ‘ආදරෙයි’ කියා කීවේ වෙන ඇයට කරන්නට දෙයක් නැති නිසාවෙනි. මේ ගමන ඉරණම් ගමනක් බව ඇය දැන සිටියා ය. සමහර විට ඇයට යළි ගෙදර එන්නට සිදු වනුයේ මිණී පෙට්ටියක් තුළ වන්නට පුළුවන. 

එක ම ගැලවීමේ මාර්ගය වශයෙන්, ඇය පාසලෙන් පිටතට විත් සන්නිවේදන මධ්‍යස්ථානයකින් සදාතන ගේ දුරකතනය අංකනය කළා ය. ඒ වෙලාවේ ඔහු හිටියේ රිය ධාවනය කරමින් ම, යාබද අසුන මත තබා තිබූ මංජුසාව හැර ඒ රන් දම් වැල දෙස නැවත නැවත ද බලමිනි. ඔහු ගේ දෙතොලතර ප්‍රීතිමත් මඳහසක් නළියෑවේ ය. ජංගම දුරකතන තිරය එළිය කළ අංකය කොළඹ දිස්ත්‍රක්කයට අයත් ස්ථාවර දුරකතනයකි. එය ඔහු දන්නා කෙනෙකු ගේ විය නො හැකි බැවින් සදාතන පිළිතුරු නොදී සිටියේ ය. මේ වෙලාවට පාර වාහන වලින් තදබද වී තිබේ. පාසල් නිම වන වෙලාව නිසා සිසුහු කොහෙන් පාර මාරු වෙනවාද කියා නිශ්චිත නැත.

දුරකතනයට පිළිතුරු නො ලැබුණෙන් පංකජී ගේ හද ගැස්ම වේගවත් විය. ඇස් වලට කඳුළු පුරා ආවේ ය. ඕ ගවුම් උරහිසින් කඳුළු පිස ගත්තා ය. බස් එකෙන් බැස පාරේ ඉන්නා පොලිස් නිලධාරියෙකුට මේ ගැන කියනවායි ඇය සිතුවා ය. නමුත් සුපුන් කියන්නේ පන්න පන්නා පළි ගන්නා සර්පයෙකු බව දැන් ඇය දනී. එහෙම දෙයක් සිදු කළ හොත් එහි වාඩුව කෙසේ ගෙවන්නට සිදු වේ දැයි සිතා ගත නො හැකි ය. ඇය දෙවන වතාවට ද කෝකටත් කියා සදාතන ගේ දුරකතන අංකනය කළා ය. පසු ගිය දින වල සියපත් ගේ දුරකතනයෙන් ඇය ඒ අංකය හොරකම් කොට ගත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවක එය වැදගත් විය හැකැයි අනුමාන කොට ය. 

“හෙලෝහ්”

කලබලකාරී ලෙස පිළිතුරු ලැබිණි. පංකජී ට හැඬුණේ ය.

“හෙලෝ..කවුද මේ…”

“අනේ අයියෙ…මං පංකජී”

“නංගි. ඇයි මේ…කොහෙද ඔයා ඔය ඉන්නෙ..”

ඒ ප්‍රශ්නයත් සමග ම ඔහු අයිනක් බලා රිය නතර කළේ ය. පංකජී ඉතා ඉක්මනින් සියල්ල කියා ගෙන ගියා ය. ඒ අතරේ ඇගේ දෑස් තිබුණේ පාසල් බස් රිය වෙත ය. එය යන්නට පෙර නැග ගත යුතු ය. සුපුන් බලා සිටින්නේ පාසල් බස් රිය දෙසයි. ඇය එහි නාවොත් ඔහු සැක සිතනු ඇත. කිසියම් අවස්ථාවකට ඔහු සූදානම් වනු ද ඇත.

“හරි නංගි ස්කූල් බස් එකේ ඇවිත් කොහුවල බහින්නකො. කිසි වෙනසක් නැතුව මිනිහව කතාවට අල්ලං ඉන්න ටිකක් වෙලා. එකපාරටම බයික් එකට නගින්නෙපා තේරුණාද…බය වෙන්න එපා. මං ඉන්නව හරිද…”

පාසල් බසය නික්මෙන්නට පණ අදිමින් තිබිණි. පංකජී ඉතුරු මුදල් හෝ ගන්නේ නැතිව දිව ගොස් එහි එල්ලුණා ය.

“අනිත් දවසෙ කොල්ලොන්ට කෝල් කර කර හිටියොත් දාල යන්නෙ”

කොන්දොස්තර තරුණයා විහිළුවක් කළේ ය. පංකජී සිනාසුණා ය. තමන් මේ සිනහ වෙන්නේ මතක නැති තරම් දින ගණනකින් ය කියා ඇයට සිහි විය. පසු ගිය දවස් ඉතා දිගු වූයේ ය. දහවල ගෙවෙන්නේ ඉතා හෙමිනි. රාත්‍රිය ඊටත් වඩා දිගු ය. තත්පරයක් හෝරාවක් සේ දැනේ. නමුත් ගෙදර අයත් සමග එක රොත්තක සිටි නිසා ඒ දිගු රාත්‍රීන් වල ඇය නොකඩවා පාඩම් කළා ය. එසේ වී ද නො නිවෙන ගින්දරක් පපුවේ විය. ඇය කුස පිරෙන්නට කෑවේ නැත. කන්නට බැරි විය. සිනහ වෙන්නට අමතක විය. උසස් පෙළ සිසුවියකට එහෙම බරක් හිසින් දරා ගෙන පාඩම් කළ නො හැකි ය. ඒ මුළු කාලය පුරා ඇය ජීවත් වූයේ මැරෙමිනි. පාසලේ මිතුරියකට හෝ ගුරුවරිවකට වුව මේ ගැන පැවසීම නිසා විශාල ව්‍යසනයක් විය හැකැයි සිතුණෙන් ඇය සියල්ල නිහඬව තමන් තුළ දරා ගත්තා ය.

පංකජී පාසල් බස් රියෙන් බසිත්දී සුපුන් ගේ කට කොනකට සිනහවක් ආවේ ය. දැන් ඉතින් තමන් ජය ගෙන අවසාන ය යන්න ඒ සිනහවේ විය. පාසල් බස් රිය නික්ම ගිය පසු ඇය ඔහු වෙතට ඇදුණා ය.

“හොඳ මැණිකෙ. මං හිතුව ඒත් පාරෙ බස් එකක ගෙදර ගිහිං අරව මේව කරල නිකං කරදර ඇති කර ගනී කියල”

“අනේ සුපුන් මට විභාගෙ කර ගන්න දෙන්නකො”

ඇය එක් වර ම හැඬුම් බර වී කීවා ය.

“ඊට පස්සෙ ඔයත් එක්ක එන්නං. විභාගෙ කර ගත්තොත් ජොබ් එකක් හරි හොයා ගන්න පුළුවන්. ඔයාටත් රස්සාවක් නැතුව…කොහොමද ජීවත් වෙන්නෙ..”

“මේ මේ…බබා පාට් දාන්නනං එන්නෙපා. ඉගෙන ගත්ත ලොකු නෝනා කෙනෙක්ව බඳින්න මට ඕන්නෑ හලෝ. මට ඕනෙ මට පාට් දාපු උන්ට පාඩමක් උගන්නන්න. නගිනව”

ඔහු හෙල්මට් එක ඇය වෙත පෑවේ ය. පංකජී ගේ උගුර කට වියළී යමින් තිබිණ. සදාතන තවමත් නැත. මෙතැන කතා කරමින් සිටීමේ උනන්දුවක් සුපුන් ගේ නැත. ඔහු ට ඕනෑ ඉක්මනින් පිටත් වී යන්නට ය.

පංකජී හෙල්මට් එක ගන්නට අත පෑවා ය. නමුත් හිතා මතා ම එය නො ඇල්ලුවා ය. සුපුන් අත් හළ වහා එය බිම වැටිණ. ඔහු නො රිස්සුම් වූයේ ය.

“පණ නැද්ද…ඉක්මන්ට ඇහිඳ ගන්නව මොකද්ද කරන්නෙ..” 

පංකජී ගේ දෙතොල් සුදු මැළි වී තිබිණ. තව ලොකු වෙලාවක් ඉතිරි වී නැති බව ඇය හොඳින් දනී. යුවතිය වෙව්ලනා අතැඟිලි වලින් අල්වා ගෙන හෙල්මට් එක දමන්නට ගියා ය.

“නංගි”

කියන ඇමතුම ඇසුණේ එතකොට ම ය.

“පංකජී මොනාද මෙතන කරන්නෙ…”

පංකජී සදාතන පිටුපස මුවහ වෙන්නට ගියා ය. නමුත් සුපුන් තත්පරයකට ඉස්සර විය. ඇගේ අතක් තදින් අල්වා ඔහු ඇයව තමන් වෙතට ඇද්දේ සඟවා ගෙන උන් කිණිස්සක් ඇද වහා ඇගේ ගෙලෙහි තබමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles